වරදට එකඟ නම් ඇය නිවරැදිකාරියයි

විජයන්තිමාලා වේදිකාවට
හේවගේ බන්දුල
අගෝස්තු 15, 2019

වර්තමානය වන විට සිරස රූපවාහිනියේ නාට්‍ය අංශය භාරව සේවය කරන හේවගේ බන්දුල සිය වෘත්තියට අමතරව නාට්‍යකරුවකු ද වෙයි. කුඩා කාලයේ පටන් නාට්‍ය කලාවට බෙහෙවින් ඇල්මක් දැක්වූ ඔහු පළමුව වේදිකාවට රැගෙන එන්නේ 2004 වසරේ ‘සිකියුරිටි’ කෙටි නාට්‍යයයි. දෙවැනුව 2009 වසරේදී ‘කුමාරවරු ඇවිත්’ කියන දිගු නාට්‍යය වේදිකා ගත කරන ඔහු අධ්‍යක්ෂවරයකුට අමතරව සම්මානලාභී පිටපත් රචකයෙකි. වේදිකා පරිපාලකවරයෙකි. ඔහුගේ නවතම නාට්‍යය ‘විජයන්තිමාලා’ යි. එහි මංගල දර්ශනය මේ මස 16 වැනිදා සවස ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත වෙයි.

ඔබ 'විජයන්තිමාලා' නාට්‍යය කිරීමට මේ තරම් කාලයක් ගත්තේ ඇයි?

මා මුලින්ම රැකියාව කළේ නිදහස් කලාකරුවකු විදියට. ඒ නිසාමත්, රටේ පසුගිය කාලයේ ඇති වුණු දේශපාලන ප්‍රශ්නවල විදියටත්, අවදානමක් අරගෙන, අතින් වියදම් කරගෙන නාට්‍යයක් කරන්න තරම් හැකියාවක් මට තිබුණේ නැහැ. අපට ලැබුණු ආදායමත් එදිනෙදා ජීවත් වීමට පමණයි ගැළපුණේ. මේ නිසා ස්ථාවර වෙන්න හිතාගෙන නාට්‍ය ලියන අතරේ මා සිරස රූපවාහිනියේ රැකියාවට එනවා. මේ වන විට මා එහි සේවයට ඇවිත් වසර තුනක්. ඒ අතරයි නාට්‍ය කරන්න මේ හොඳම කාලය කියලා මට හිතෙන්නේ. එය කරන අතරතුරයි මා කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිය ආරම්භ කරන්නේ. එය අවසන් කිරීම සඳහා නාට්‍යයක් නිෂ්පාදනය කළ යුතුයි. මා කොහොමත් නාට්‍යයක් කිරීමේ කැමැත්තෙන් සිටි නිසා පේපර් එකට ලියන්නේ නැතිව නාට්‍යයක් කරන්න අදහස් කළා. මේ අනුව මා නාට්‍යයක් ලියලා, නිෂ්පාදනය කළා. ඒ විභාගයේ වැඩකටයුතු සියල්ල අවසානයි. අද වනවිට මට ශාස්ත්‍රපති උපාධියක් වගේ ම නාට්‍යයකුත් තිබෙනවා.

ඔබ මේ නාට්‍යයට මෙවන් නමක් තැබීමට හේතුව කුමක් ද?

මේ නිර්මාණයෙන් කියැවෙන්නේ මිනීමැරුමක් ගැන කරන විමර්ශනයක්. මෙහිදී ඝාතනයට ලක් වෙන්නේ දමිළ මනුස්සයෙක්. එහෙත් එය නාට්‍යයක් බවට පත් කළාට පස්සේ ප්‍රධාන චරිතය දිවෙන්නේ ගැහැනු ළමයෙක් ඇසුරින්. ඒ ගැහැනු ළමයාගේ චරිතයට මා මුල ඉඳලාම ආමන්ත්‍රණය කළේ විජයන්ති නමින්. මේ නම යොදන්න විශේෂ වුණේ මගේ පෞද්ගලික කැමැත්තක් ඒ නමට තිබෙන නිසා. ඒ නමේ අගට මාලා කියන නමත් එකතු කරන්න මා සිතුවා. එවිට දමිළ හුරුවකුත්, ඉන්දියන් හුරුවකුත්, ඉතිහාසය සම්බන්ධ හුරුවක ස්වභාවයකුත් 'විජයන්තිමාලා' කියන නමේ තිබෙනවා.

'විජයන්තිමාලා' වගේ නමක් වේදිකා නාට්‍යයකට ගැළපෙනවා ද?

නාට්‍යයට යෙදුව 'විජයන්තිමාලා' කියන නම බොහෝ දෙනාගේ විවේචනයට ලක් වුණා. ඔවුන් මතු කළේ මේක පරණ කතාවක් වේවි ද, මේ නාට්‍යයකට ආකර් ෂණයක් හිමි වේවි ද දන්නේ නැහැ කියන කාරණායි. ඊට පස්සේ මා කළේ මේ නම මොඩන් විදියට ඉදිරිපත් කිරීමයි. මේ ඉදිරිපත් කිරීම මා කළේ වෙනස් විදියේ පින්තූර භාවිත කිරීම මඟින්.

'විජයන්තිමාලා' ත් දේශපාලන බල අරගලයක් ද?

බොහෝ දෙනා මේ දිනවල වේදිකාවේ කෙරෙන නාට්‍යයවලදි වැඩි නැඹුරුතාවක් දක්වන්නේ දේශපාලනයටයි. 'විජයන්තිමාලා' නාට්‍යයෙත් දේශපාලන නැඹුරුවක් ඇත්තේ ම නැහැ කියලා මා කියන්නේ නැහැ. මගේ කතාව ඇතුළේ තිබෙන්නේ මිනිසුන්ගේ සම්බන්ධකම් ගැනයි. කොයි වෙලාවක හෝ තමන්ගේ වටේ ඉන්න මිනිස්සුමයි තමන්ව විනාශ කරන්නේ කියන අදහසයි මා මේ නාට්‍යය මඟින් ගෙනෙන්නේ.

එය දිග හැරෙන්නේ කුමන ආකාරයෙන් ද?

යාළුවෝ විදියට ඉන්නේ නීතිඥවරුන් සිව්දෙනෙක්. ඔවුන්ගේ එක් යහළුවකු මරන්නේ අනෙක් තුන්දෙනාගේ එකමුතුවෙන්. ඔහුව මරන්න, ඔවුන්ට බලපාන්නේ පෞද්ගලික හේතු. ඒ වගේ ම ඔවුන්ට දේශපාලනයට හරි, නීති ක්ෂේත්‍රයට හරි පැමිණීමට නොහැකි වීම. එහෙම කරන්නේ මරණයට පත් කරන යහළුවා සෑම පැත්තකටම විසිරුණු දක්ෂතා ඇති පුද්ගලයකු වීම. මේ කාරණාවලට අමතරව මරණයට පත් කරන යහළුවාගේ බිරියත් එක්ක සම්බන්ධයක් ආරම්භ කිරීමටයි යහළුවන් තුන්දෙනාගේම කැමැත්ත වන්නේ. එය කළ නොහැකි වීම කියන කාරණා නිසා ඇති වන ඊර්ෂ්‍යාවයි ඔවුන් යහළුවාව මරණයට පත් කිරීමට හේතු වන්නේ. යහළුවාගේ මරණයෙන් පස්සේ ඒ ඝාතනය විමර්ශනය කිරීමට භාර දෙන්නෙත් යහළුවන් තුන්දෙනාටයි. ඔවුන් අවසානයේ යහළුවාගේ මරණයේ වරද පටවන්නේ ඔහුගේ බිරියටයි. ඔවුන් ඈට පවසන්නේ ඔවුන්ට එකඟ වන්නේ නම් ඈ නිවැරැදිකාරිය කළ හැකි බවයි. මේ සියලු කාරණාවලින් කියැවෙන්නේ මේ ලෝකය බලය, ලිංගිකත්වය හා මුදල් මත හැසිරෙවන බවයි.‍

ඔබ නාට්‍යය පිටපත ලියන්නේ සත්‍ය සිදු වීමක් පාදක කරගෙන බවයි අප අසා ඇත්තේ?

'විජයන්තිමාලා' නාට්‍ය පිටපත ලියවෙන්නේ අපේ රටේ දේශපාලන ඝාතනයක් මූලික කරගෙනයි. ඒ දේපාලනඥයාගේ ඝාතනය මගේ සිත සසල කළා. එහෙත් නාට්‍යයේ එන චරිත හා සමහර සිදු වීම් සත්‍ය සිදු වීමේ ඇතුළත් නැහැ. ඊළඟට මේ ඝාතනය සම්බන්ධයෙන් අප දන්නා බොහෝ දේ තිබෙනවා. ඒ සිදු වීම් ඇසුරු කර ගනිමින් මා නාට්‍යය ගොඩනැඟුවා. මේ මරණයේදී මා විශ්වාස කරන අනෙක් කාරණය නම් එහෙම ඝාතනයක් වීමට නම් තමන්ගේම හෝ හිතවත් කෙනකු ළඟ සිටිය යුතුයි යන්න. ඒ අදහස පදනම් කරගෙනයි මා ළඟ යහළුවන් තිදෙනකුගේ චරිත නාට්‍යයට අරගෙන එන්නේ.

ඔවුන් ඇසුරෙයි කතාව ගලා යන්නේ?

මගේ කතාව ගොඩනැඟීමේදී රජයට විරුද්ධව වැඩ කිරීමට අවශ්‍ය ලිපි ගොනු මනෝහරන්ට ගෙනැවිත් දෙන්නේ ඔහුගේ යහළුවන් විසින් බවයි මා ප්‍රේක්ෂකයාට එත්තු ගන්වන්නේ. එපමණක් නොවෙයි මනෝහරන් මෙවන් දෙයක නියැළෙන බව අනෙක් පැත්තෙන් බුද්ධි අංශයට ඔත්තුව ලබාදෙන්නේත් ඔවුන්මයි. මේ නිසයි මා පවසන්නේ ළඟ ඉන්න මිනිස්සු ම අපේ ජීවිත විනාශ කරන බව. ඒ වගේම බලය, ලිංගිකත්වය හා මුදල කියන කාරණාත් මෙවැනි දේ සිදු වීමට බලපාන බව මා පෙන්වා දෙනවා. මානුෂීය සම්බන්ධතාවල වටිනාකමයි මේ නාට්‍යය මඟින් ගෙනෙන්නේ.

'විජයන්තිමාලා' වේදිකාවට රැගෙන එන්න ඔබ හා සහභාගි වන අනෙක් පිරිස කවුද?

'විජයන්තිමාලා විදියට රඟපාන්නේ කසුනි ගනේවත්තයි. ඈට අමතරව දුමින්ද සඳරුවන්, කසුන් උක්වත්ත, ජෙනට් ඇන්තනී, තිලංක ගමගේ යන ශිල්පීන් ශිල්පිනියන් මෙහි රංගනයෙන් සහය වන විට පසුතල, ඇඳුම්, නිෂ්පාදන සැලසුම්කරණයෙන් ප්‍රදීප් චන්ද්‍රසිරි, ආලෝකකරණයෙන් රංග සමරකෝන්, අංග රචනයෙන් රුක්මන් තිලකරත්න, වේදිකා කළමනාකරණයෙන් කසුන් රජීවා, සංගීතයෙන් තිලංක ගමගේ ඇතුළු පිරිසක් මට සහය වෙනවා. නිෂ්පාදනයෙන් හා පිටපත් රචනයෙන් හා අධ්‍යක්ෂණය මගේමයි. මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුත්තේ මේ කටයුතු කරගෙන යෑමට මට සහය දුන් සිරස කාර් යමණ්ඩලයයි. ඔහුගෙන් බොහෝ උදව් නොලැබෙන්න මේ කටයුත්ත මට මේ තරම් ඉක්මනට කරගෙන යන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඔබ ජාතික තරුණ සේවා නාට්‍ය පාසලෙන් බිහි වුණු නාට්‍යකරුවෙක්

මම පාසල් ගියේ මාතර තල්පාවිල මධ්‍ය මහා විද්‍යාලයට. පසුව රාහුල විද්‍යාලයට ගියා. මගේ මතකයේ තිබෙන විදියට ශිෂ්‍යත්වය ලියන කාලයේමයි මා නාට්‍ය කරන්න පටන් ගත්තේ. ඒ කාලයේ මට මුණ ගැසෙන අයිවන් මහත්තයත් සමඟ මා දිගින් දිගට නාට්‍ය කළා. කොයිතරම් මා නාට්‍යවලට ප්‍රේම කළා ද කිව්වොත් පාසල විතරක් නොවෙයි විභාග ලියන්නවත් මට ඒ තරම් වුවමනාවක් තිබුණේ නැහැ. මේ යන ගමනේ එක වෙලාවකදි ඒ ලෙවල් ලිව්වට පස්සේ මට ස්වර්ණවාහිනියේ රැකියාවක් ලැබෙනවා. නාට්‍යවලට තිබුණු ආසාව හිතේ තියාගෙන මම කරන්නේ ස්වර් ණවාහිනියේ රැකියාවට පිවිසීමයි. එතැන ඉන්න විටයි මට දැන ගන්න ලැබෙන්නේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට නවකයන් ගන්න බව. ඒ කියන්නේ 99 - 2000 වසරේ කණ්ඩායම. මාදනී, අතුල, මිහිර, ආලෝක, මේ කණ්ඩායමේ සිටි අනෙක් අය. මෙතැනදි මා කරන්නේ රස්සාවෙන් අස් වෙලා නාට්‍ය පාසලට එන එක. නාට්‍ය පාසලෙනුයි මගේ කොළඹ නාට්‍ය කිරීමේ ගමන ආරම්භ වෙන්නේ.

නාට්‍ය කරන අතරතුර ඔබ කලාවේ වෙනත් ක්ෂේත්‍රවලටත් සම්බන්ධ වෙනවා නේද?

මෙහෙමයි. ක්ෂේත්‍රයේ ගොඩක් අයත් එක්ක මා වැඩ කරලා තිබෙනවා. ඒ නාට්‍යවල වගේම චිත්‍රපටවල, ටෙලි නාට්‍යවල සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසත්. ඒ වගේ ම අපේ රටේ තිබුණු සුවිසල් ආර් ට් ඉවෙන්ට්වල ඉවෙන්ට් මැනේජර් කෙනෙක් විදියටත්. පොඩි කාලයේ ඉඳන් තිබුණු ආසාව අනුවයි මා අද නාට්‍යකරුවෙක් විදියට මතු වන්නේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.