සකූගේ කතාව අවසානයට ළඟයි

පුළුවන් නම් අඬන්නේ නැතුව බලන්න
ජනවාරි 31, 2019

- ප්‍රියන්ත කොළඹගේ

ස්වර්ණවාහිනි නාළිකාවෙන් විකාශය කෙරෙන 'සකූගේ කතාව' මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟින් විකාශය කෙරෙනවා. එය අධ්‍යක්ෂණය කරන්නේ, සිංහල සිනමාවේ වෙනසක් දැකීමට පෙරමුණ ගත් නිර්මාණකරුවෙකු ලෙසින් 'දැහැන', 'විමුක්ති', 'අරුමෝසම් වැහි' චිත්‍රපටවලින් පසු 'ආදරණීය කතාවක්', 'දේදුනු ආකාසේ' චිත්‍රපට සිනමාවට ගෙන ආ ප්‍රියන්ත කොළඹගේ විසින්. සරසවිය සම්මාන උලෙළෙන් පළමුවරට පිදුණු සිනමාකර්ෂණීය නිර්මාණයට හිමි සම්මානය හිමි වූයේ ද ඔහුගේ ආදරණීය කතාවක් චිත්‍රපටයටයි. ලාංකේය ටෙලි කලාවේද වෙනසක් ඇති කරමින් 'සකූගේ කතාව' ලද ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණය ගැන ප්‍රියන්ත කොළඹගේ පැවසුයේ මෙවැන්නක්.

"2016 වසරේ 'ආදරණීය කතාවක්' බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් තිරගත කෙරුණා. 2017 වසරේදී 'දේදුනු ආකාසේ' චිත්‍රපටයත් ඉහල ආදායම් වාර්තා තබන්න සමත් වුණා. 2018 දී මම 'සකූගේ කතාව' ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ මගේ පළමු ටෙලි නිර්මාණය විදියටයි. 'සකූගේ කතාව' මේ වන විට රූපවාහිනි නාළිකා අතරේ අංක එකේ ටෙලි නාට්‍ය බවට පත්වෙලා තියෙනවා. රේටින්ග්ස් ගත්තොත් 12ට වැඩියි. මගේ පළමු ටෙලි නිර්මාණයට මේ තරම් ඉහළ ප්‍රතිචාරයක් ලැබීම ගැන ඇතිවන්නේ නිහතමානී සතුටක්."

'සකූගේ කතාව' කියන්නේ ළමයින් වෙනුවෙන් කළ ටෙලි නිර්මාණයක්ද?

ඇත්තටම මෙය පවුලේ ටෙලි නාට්‍යයක්. මේක පවුල් දෙකක කතන්දරයක්. මෙහි කතාව ගොඩනඟලා තියෙන්නේ මේ පවුල් දෙක එකතුකරමින්. දරුවන් පිරිවරාගෙන මවුපියන්ට නරඹන්න පුළුවන් පවුලේ කතන්දරයක්.

මේ කතාවට මුලපිරූ අයුරු සඳහන් කළොත්?

ස්වර්ණවාහිනියේ විධායක අධ්‍යක්ෂ මහේන් පෙ‍රේරා නිරන්තරයෙන් වර්තමාන ටෙලි නිර්මාණ පිළිබඳ මා සමඟින් කතාබහේ යෙදුනා. සෑම විටම ඔහුගේ අදහස වුණේ මේ දිනවල විකාශය කෙරෙන ටෙලි නිර්මාණවලින් වෙනස් වූ අලුත් ටෙලි නිර්මාණයක් කළ යුතු බවයි. ඇයි අපි කොරියානු ඉන්දියානු ටෙලි නාර්මාණවලට අපි මේ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ කියන එක මමත් නිතරම උනන්දුවෙන් කල්පනා කළ දෙයක්. මහේන් සෑම විටම සිටියේ, ඒ කොලිටි එකටම නිර්මාණය කළොත් මිනිස්සු නරඹයි කියන මතයේ. ඒක ඇත්ත. අපි බාල නිර්මාණ කරන්න ගත්තාම ප්‍රේක්ෂකයන් ඒ නිර්මාණවලින් ඈත් වෙන එක පුදුමයක් නෙවෙයිනේ. ඉතින් මේ විදෙස් ටෙලි නිර්මාණවලට අභියෝග කළ හැකි ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න මහේන් මට යෝජනා කළා. සකූගේ කතාව නිර්මාණය කෙරුණේ ඒ අනුවයි.

ගායන හැකියාවක් හිමි පිරිමි ළමයෙන් හෝ ගැහැනු ළමයෙක් දුරස්ව සිටින තම මව හෝ පියා සොයා ගැනීමට ගන්නා උත්සාහය ගැන කතාවක් නිර්මාණය කළ හැකි නම් වඩා හොඳ බව යෝජනා කළේ මහේන් පෙ‍රේරා විසින්. ඉතින් ඒ අනුව ආරම්භ කෙරුණු ටෙලි නිර්මාණය කුමන දිශාවකට ගලා ගෙන යා යුතු ද කියන අදහස ආවෙත් කොටස් 40ක් පමණ ලියවෙනකොට තමයි. මොකද මෙහි පිටපත ආරම්භයේදී තිබුණෙත් වෙනත් නමක්. 'සකූගේ කතාව' ලෙස මෙයට නම දැම්මෙන් ඒ අවස්ථාවේදියි.

'සකූගේ කතාව' හින්දි ටෙලියක පිටපතක් කියන චෝදනාවත් ආවා නේද?

ඇත්තටම ඔය චෝදනාව කළේ එක්තරා නාළිකාවක් විසින්. ඒ සමඟින් සකූගේ කතාවේ ඔරිජිනල් නාට්‍ය ඔවුන් ගෙන්වා තිබෙන බවට ප්‍රචාරය කළා. එහි නම 'කුල්ෆි කුමාර්'. එතකොට සකූගේ කතාවේ කතාංග විසි ගණනක් විතර විකාශය කරලා තිබුණේ. ඒ වන විට 'කුල්ෆි කුමාර්' ඉන්දියාවේ කතාංග එකසිය හැත්තෑවක් විතර විකාශය කරලා තිබුණා. අදාළ නාළිකාව දැනට එහි කොටස් හතලිහක් විතර විකාශය කරලා තිබෙනවා. එයට තියෙන්නේ රේටින්ග්ස් හතරයි දශම සංඛ්‍යාවක්. සකූගේ කතාවේ රේටින්ග්ස් දොළහෙන් ඉහළ තවමත් තියෙනවා. ඒක දැන් ඉවර වෙන්නත් ළඟයි. ඒ නිසා ටෙලි නිර්මාණ දෙකේ වෙනස ප්‍රේක්ෂකයන් දැන් අවබෝධ කරගෙන අවසන්. මේ කතා දෙකේ සමානත්වයක් තියෙනවා නම් ඒ කතා දෙකේම ඉන්නේ ගීත ගායනයේ දස්කම් දක්වන ළමයින් දෙදෙනෙක් සිටීම පමණයි. එහෙම බැලුවොත් ලෝකයේ තියෙන්නේ කතා 52යි කියලා කියනවානේ. අනෙක් කතා සියල්ලම නිර්මාණය වෙන්නේ මේ කතා 52 ඇසුරෙන්. එවිට යම් යම් නිර්මාණවල සමානතා ඇති වීම අරුමයක් නෙවෙයි.

'සකූගේ කතාව' ඉවර වෙන්න ළඟයි කිව්වේ?

මම මේ කතාව ආරම්භ කරනවිටදීම මහේන්ට කිව්වේ කතාව කොටස් අසූ ගණනක් ඇතුළත අවසන් කරන බවයි. මේ වන විට විකාශය වන්නේ කතාංග හැත්තෑ ගණන්. කිව්වා වගේම කතාංග 85 - 86 විතර වෙනකොට සකූගේ කතාව අවසන් කරනවා.

යම් ටෙලි නිර්මාණයක් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන විටදී අදාල නාළිකාව විසින් එයට තව තවත් කොටස් එක් කරමින් ඉදිරියට ගෙන යාමට උනන්දු වෙනවා. එවැනි බලපෑමක් මේ ටෙලියටත් තිබුණා ද?

ඔය කියන විදියේ බලපෑමක් නම් කවදාවත් තිබුණේ නැහැ. නමුත් මෙතැනදී තව කොටස් 40ක් විතර යමු ද? කියලා මහේන් මට යෝජනාවක් පමණක් කළා. හැබැයි කොටස් අසූ ගණනකින් අවසන් කරන බව මම මුලින්ම කියලානේ පටන් ගත්තේ. ඒ නිසා මම ඒ යෝජනාව බොහොම කාරුණිකව ප්‍රතික්ෂේප කළා. ඔහුත් එයට බොහොම සතුටින් එකඟ වුණා.

නළු නිළියන් තෝරා ගන්නා විටත් ස්වර්ණවාහිනි නාළිකාව කිසිම අයුරකින් මැදිහත් වීමක් වුණේ නැහැ. ඇත්තටම මේ නිර්මාණය වෙනුවෙන් රංගන ශිල්පීන් ශිල්පිනියන් තෝරා ගැනීම පවා බොහොම ස්වාධීනව සිදු කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි අනෙකුත් කිසිම අංශයකටවත් බලපෑමක් සිදු වුණේ නැහැ. මෙහි සංගීත නිර්මාණය කළෙත් ස්වර්ණවාහිනි නාළිකාවේම සේවයේ නියුතු උදාර සමරවීර. ඔහුටත් මේ ටෙලි නිර්මාණය තුළ ඉතාම ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව හිමි වී තිබුණා.

'සකූගේ කතාව' කොටස් 300ක් විතර යා හැකි කතාවක්. මෙහෙම නවත්වන්න ලෝබකමක් හිතුණෙ නැතිද?

ඇත්තටම මට ලෝබකමක් හිතුණේ නැහැ. එහෙම හිතුණේ නැත්තේ මම කතාව ආරම්භ කළේ අවසානයක් ගැන හිතාගෙන නිසා. අපට තියෙන්නේ මේ කතාව විතරක් නෙවෙයිනේ. ඉදිරියේදී අපට ඕනෑ තරම් කතා නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මම මහේන්ටත් කිව්වේ අපි 'සකූගේ කතාව' ඉවර කරලා වෙනත් කතාවක් පටන් ගනිමු කියලා. ඒක සමහරවිට සකූගේ කතාවේ දෙවැනි කොටස වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අලුත්ම කතාවක් වෙන්නත් පුළුවන්.

සකූගේ කතාවේ අවසානය විසඳෙන්නේ කොහොමද?

පුළුවන් නම් අඬන්නේ නැතුව බලන්න. ඒක කාටත් සංවේදී අත්දැකීමක් වේවි.

මෙහි ළමා නිළිය සහේලිට විශේෂ තැනක් හිමි වී තිබෙනවා?

සකූගේ චරිතය වෙනුවෙන් ළමයින් සියයක් විතර තිර පරීක්ෂණයට ලක් කළා. සහේලි මීට පෙර මගේ අධ්‍යක්ෂණය යටතේ 'දේදුනු ආකාසේ' චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඊට අමතරව තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් දායක වෙලා තිබුණා. ඒ නිසා මම ඇයගේ රංගන හැකියාව හොඳීන්ම තේරුම් අරගෙන හිටියේ. ඒ නිසා ඇයගේ රංගන හැකියාව මට මොන කරම් දුරට දියුණු කරලා ගන්න පුළුවන්ද කියන එක අමුතුවෙන් කල්පනා කළ යුතු වුණේ නැහැ.

එතකොට අනෙකුත් චරිත ගැන කතා කළොත් ප්‍රධාන නළුවත් ආධුනිකයෙක්?

මට මෙහි රංගන පිරිවර තෝරා ගන්න මාස තුනක පමණ කාලයක් ගත වුණා. එතැනදීත් මට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව ලැබුණු නිසා මගේ ඔලුවේ ඇඳී තිබුණු පිරිස තෝරා ගන්න හැකි වුණා. මාලකගේ චරිතයට ප්‍රවීණ නළුවන් කිහිප දෙනෙක් සමඟත් සාකච්ඡා කරලා තිබුණේ. ඒ අතරේ දී මගේ බිරියගේ යාළුවෙකුගේ මාර්ගයෙන් තමයි චානුක ප්‍රබුද්ධ හමු වෙන්නේ. ඉතින් චානුක තිර පරීක්ෂණයට ලක් කරලා ඔහුගේ වීඩියෝ ක්ලිප් එකක් හැදුවට පස්සේ මට හිතුණා ඔහුට රංගනයේ ලොකු අත්දැකීමක් නැති වුණත් මට මේ චරිතයට අවශ්‍ය විදියට ඔහු හදාගන්න හැකි බව අවබෝධ වුණා.

මේ කතාව තුළ සත්‍ය සිදුවීම් එහෙමත් ඇති?

මේ කතාවට ලංකාවේ ජනප්‍රිය චරිත මුහුණදුන් සිදුවීම් පවා අදාළ කරගෙන තියෙනවා. ඇත්තටම මේකට ඉන්දියානු නිර්මාණයක කොපියක් කියන අයට මම කියන්නේ, ඔබ හොඳීන් හඳුනන පුද්ගලයන් මුහුණ දුන්, මේ රටේ සිදුවුණු සිදුවීම් මේ කතාව තුළ තියෙනවා කියලයි. ඕනෑම කෙනෙකුට ඒ කතා මොනවාද කියලා හොයා ගන්න අමාරු වෙන එකක් නැහැ. ඇතැම් ජනප්‍රිය ළමා චරිතවවලට වුණු දේවල් පවා මම සකූගේ කතාවට ඇතුළත් කරලා තියෙනවා.

'සකූගේ කතාව' ඉහළ ජනතා ආකර්ෂණයකට ලක් වීමට අධ්‍යක්ෂවරයා ලෙසින් ඔබ භාවිත කළ විශේෂ උපක්‍රම මොනවාද?

ප්‍රධාන වශයෙන් මගේ අවධානය යොමු වුණේ ප්‍රේක්ෂකයන් විදෙස් ටෙලි නිර්මාණවලට යොමු වන්නේ ඇයි කියන එක පිළිබඳවයි. එවිට මම තේරුම් ගත්ත දෙයක් තමයි අපේ රටේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හදවතට දැනෙන කතාකරන මානුෂිය ගුණාංග කතාවට එක් කළ යුතුබව. ඉන්දීය ප්‍රේක්ෂකාගාරය ගත්තොත් මීට වඩා වෙනස්. ඔවුන් රණ්ඩු කරමින් ගහමරා ගන්නා දේවල් රූපවාහිනි තිරයෙන් දකින්න ප්‍රිය කරනවා. තුර්කි ප්‍රේක්ෂකයන් ගත්තොත් ඔවුන් ක්‍රියාදාම ජවනිකා දකින්න කැමැතියි. ඒ කෙසේ වෙතත් මේ හැම කොට්ඨාසයක්ම ආදරය, මානව බැඳීම් වගේම සංගීතයටත් බෙහෙවින් ඇලුම් කරනවා. ඊළඟ කාරණය තමයි රූපරාමු. එකම ස්ථානයක රූගත කිරීම ලංකාවේ බොහොමයක් ප්‍රේක්ෂකයන්ට අපේ නිර්මාණ එපා වෙන්න ප්‍රධාන හේතුවක්. බොහොමයක් රූගත කිරීම් කරන්නේ ගෙවල් කිහිපයක් ප්‍රධාන කොට ගෙන පමණයි. මෙහි රූගත කිරීම් වෙනුවෙන් අධික වියදමක් දරන්න සිදු වුණා. මොකද මට ලෙහෙසියෙන්ම බණ්ඩාරගම වගේ ප්‍රදේශයක රූගත කිරීම් කරන්න හැකියාව තිබියදීත් මෙහි රූගත කිරීම් වෙනුවෙන් මම කුරුණෑගලට ගියා. කොළඹ දර්ශන භාවිත කළේ ඉතාමත් අඩුවෙන්. ඒ වගේම ගෙවල් ඇතුළේ රුගත කිරීම් වෙනුවට හැකි තරම් එළිමහනේ දර්ශන තමයි යොදා ගත්තේ. වියදම වැඩි වුණත් ප්‍රේක්ෂකයන්ට මේ නිසා නව රසයක්, අලුත් අත්දැකීමක් එක් වුණු බව නම් විශ්වාසයි. ඒ වගේම තමයි මම මේක ටෙලි නාට්‍යයක් කරනවා කියලා හිතාගෙන රූගත කළේ නැහැ. ඒ නිසා සකූගේ කතාවට බොහෝවිට යොදා ගත්තේ සිනමාත්මක රූප රාමු. ඒක ටෙලිවිෂනයට හරියනවාද නැතිද යන කාරණය තියෙන්නේ මම එළියට දෙන රූපය සමඟින්. ඉතින් සෑම කරුණක් දෙසම අවධානය යොමු කළාම දැන් මට හිතෙන්නේ සකූගේ කතාව තුළ මම ගත් මේ පියවර සාර්ථක වුණු බවයි.

චිත්‍රපට පෙළකින් පසු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසීම නිර්මාණකරුවෙකු ලෙසින් ඔබ අත්විඳීන්නේ කෙසේද?

මම 'ආදරණීය කතාවක්' චිත්‍රපටය කරන විටදීත් ඇතැමුන් කිව්වේ දැන් චිත්‍රපට කරලා වැඩක් නැහැ. මිනිස්සු චිත්‍රපට බලන්න එන්නේ නැහැ කියලායි. නමුත් මම තෝරා ගත් කතා තේමාව, එය ආරම්භ කළ ආකාරය, එයට කළ සත්කාරය අනුව 'ආදරණීය කතාවක්' අපේ සිනමා සිනමා ක්ෂේත්‍රයේ මතක හිටින චිත්‍රපටයක් වනු ඇති බවට මට මගේ හිතේ ලොකු විශ්වාසයක් ඇති වෙලා තිබුණා. ඒ වගේම 'ආදරණීය කතාවක්' චිත්‍රපටය ලංකාවේ යම්කිසි හැරවුම් ලක්ෂයකටත් ළං වුණා.

මෙතන ලොකු රහසක් නැහැ. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේත් මට මේ දේ කරන්න වුවමනා වුණා. බොහෝ දෙනා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ‍සම්බන්ධයෙන් මැසිවිලි නැඟුවත් අපි අතරත් යම් යම් මට්ටමෙන් වැරදි තියෙනවා. මොකද අපි නිර්මාණයක් කරන්න පෙර ප්‍රේක්ෂකයන් අවබෝධකර ගත යුතුයි. ඔවුන්ගේ හැඟිම් තේරුම් අරගෙන ඔවුන්ගේ රසඥතාව හඳුනාගෙන අපි නිර්මාණ ඉදිරිපත් කළොත් ප්‍රේක්ෂකයන් ඒවා ආදරයෙන් වැළඳ ගන්නවා. සකූගේ කතාවේ සාර්ථකත්වයේ රහස එය යි. ප්‍රේක්ෂකයන්ට උචිත කතන්දරයක් රැගෙන පවුලේ සැමට එකට සිට රසවිඳීය හැකි අයුරින් එය ඉදිරිපත් කළා. ‍ඉතින් චිත්‍රපටයක් හැදුවා හා සමානවම සතුටක් මං මේ ටෙලි නිර්මාණයෙනුත් ලබනවා.

ටෙලි හෝ චිත්‍රපට නිර්මාණකරයේදී අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔබේ මූලික අවධානය යොමු වන්නේ කුමකටද?

නිර්මාණයක් ආරම්භයට පළමුව මා හිතන්නේ මගේ රසවිඳනය තිබෙන්නේ කොතැනද කියන එකයි. අපි මොනවා කතා කළත් කතා කළ යුතු වන්නේ අප ජීවත්වන සමජය සමඟින්. අපට ප්‍රේක්ෂකයන් සමඟ බෙදා ගන්න තියෙන්නේ මේ සමාජයේම දේවල්. ඒ නිසා මගේ හිතට එන නිර්මාණ අතරට ආදරය, මානව බැඳීම් ඉබේම පිවිසෙනවා. ඒක මම හිතාමතා කරන දෙයක් නෙවෙයි. මගේ 'අරුමෝසම් වැහි' චිත්‍රපටය ගත්තොත් එහි අවසානයේ දී කතා කරන්නෙත් අපි අතර තිබිය යුතු බැඳීම්. ඊට අමතරව නවීන කතා තේමා තෝරා ගන්නත් මම කැමැතියි. ඉදිරියේදී මා අතින් නිර්මාණය කෙරන ටෙලි නිර්මාණ එවැනි තේමාවක් යටතේ නිර්මාණය කෙරෙන්නක් විය හැකියි. හැබැයි ඒ තේමාව යටතේ වුණත් ආදරය, මානව බැඳීම් විශේෂ වේවි. උදාහරණයක් විදියට ස්පිල්බර්ග් ගත්තොත් ඔහුගේ 'ඊටි' නිර්මාණයේ පිටසක්වල ජීවියෙක් මූලික වුණත් ආදරය, සෙනෙහස, බැඳීම් සුවිශේෂි වෙනවා. මිනිසුන්ට වුවමනා දේත් එයයි. සමාජයක්, රටක් ගොඩනැ‍ඟෙන්න මේ දෙවල් හරියට ක්‍රියාත්මක විය යුතුයි.

ඔබ ළමා වැඩසටහන් නිර්මාණයේත් සුවිශේෂ මෙහෙවරක නිරතයි. අධ්‍යක්ෂවරයෙක් විදියට ඔබ අපේ රටේ ළමා පරපුරේ දස්කම් ගැන අදහස කුමක්ද?

මගේ වැඩසටහන් බොහොමයක් ළමයින් දායකකර ගත් ඒවා. 'අරුමෝසම් වැහි' චිත්‍රපටයක් ළමයින් වෙනුවෙන් කළේ. ඊටත් පෙර දරුවන් වෙනුවෙන් 'අකුරෙන් අකුර' වැඩසටහන කළා. ඒක කළේ හාවඩ් විශ්වවිද්‍යාලය වෙනුවෙන්. මේ දිහා බලනකොට තේරුම් ගන්න තියෙන්නේ අපේ රටේ පිරිසිදුම රංගන ශිල්පීන් ශිල්පිනියක් නම් මේ දරුවන් බවයි. ඔවුන් තුළ මහා ලොකු අදහස් මොකුත් නැහැ. ඔවුන්ගේ ප්‍රතිභාව උපයෝගි කරගෙන නිර්මාණ කරන්න හරිම පහසුයි. අපි සහේලිව ගත්තොත් රංගනය වෙනුවෙන් ඇයට තියෙන්නේ සංසාර ගත පුරුද්දක්. රූගත කිරීම්වලදී ඇය යම් අවස්ථාවක් අපහසු වුණොත් "අංකල් මට මේක ෆීල් වෙන්නේ නෑනේ" කියනවා. එතකොට මම ඇයට අදාළ දේ හෙමින් සීරුවේ පහදා දෙනවා. අඬන්න ඕනි සීන් එකක වුණත් ග්ලිසරීන් දාන්නේ නැතුව අඬන්න ඇයට පුළුවන්. ඇතැම් ප්‍රවීණයන්ටවත් එහෙම කරන්න නොහැකි වන අවස්ථා තියෙනවා. හැබැයි ඇය අඬනවා. උවමනා වෙන්නේ ඇයට අවශ්‍ය පසුබිම සකසා දීම විතරයි. ඇය වගේම තවත් දක්ෂ ළමා රංගන ශිල්පීන් අප අතරේ සිටිනවා. සෙනූගේ චරිතය කරන එලීසාත් ගොඩක් දක්ෂ දරුවෙක්. මේ වගේ දක්ෂ දරුවන්ගේ හැකියාවන් හසුකර ගැනීම අධ්‍යක්ෂවරයා සතු වගකීමක්. ඔවුන්ගේ දස්කම් ක්‍රමානුකූලව රැගෙන ඔප් නංවන්න ක්‍රමයක් ලංකාවේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ වයස අවුරුදු 15 - 16 විතර වෙනකොට නිර්මාණවල චරිත නැතිව හුදකලා වෙනවා. එසේ නොවී ඔවුන්ගේ රංගන කුසලතා දිගටම ඉදිරියට ගෙන යන්න ක්‍රමයක් අපි නිර්මාණය කරගත යුතුයි.

ඔබේ ඉදිරි නිර්මාණ පෙළ ගැසෙන අයුරුත් දැන ගන්න කැමැතියි?

'සකූගේ කතාව' ටෙලි නිර්මාණය ආරම්භ කළේ ස්වර්ණවාහිනි නාළිකාව සමඟින්ම චිත්‍රපටයකට සූදානම් වෙමින් සිටියදීයි. මේ අතරේදී සකූගේ කතාව අපි නිර්මාණය කළේ අත්හදා බැලීමකටයි. හොඳ දේශීය ටෙලි නිර්මාණයක් කරන්න මටත් වුවමනාවක් තිබුණා. ඒ කාර්යය දැන් සාර්ථක වෙලා තියෙනවා. දැන් අර චිත්‍රපටයේ වැඩකටයුතු ආයෙමත් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව සකූගේ කතාව වෙනුවෙන් වෙන් වුණු කාලයට තවත් ටෙලි නිර්මාණයක් කරන්න ආරාධනා ලැබිලා තියෙනවා. පූර්ණව අධ්‍යක්ෂණයෙන් දායක නොවුණත් නිෂ්පාදනයෙන් සහ තිරරචනයෙන් දායකවෙමින් එයට සම්බන්ධ වේවි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.