ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ කාලේ ගාල්ලට ආව හීනි උස නළුවෙක්

සුදු ඇඳගෙන කළු ඇවිදින් සම්මාන දිනූ Can You Hear Me හදන සුනිල් කොස්තා හෙළි කරයි
ඔක්තෝබර් 15, 2020

බර අවි හංගපු හිත්වල

සැර මූණිස්සම් ඇස්වල

කිරි තිසර තුඩු පවා උස් පහත් වෙවී

Can You Hear Me

ඇසුණාද? ඇසුණාද?

ඇසුණාද? ඇසුණාද?

මෙය ඔබටත් ඇසුණාද? සිත ගත නටවන තාලයකින්? ජාතික රූපවාහිනියෙන් විකාශය වන කැන් යූ හියර් මී ටෙලි නාට්‍යය විකාශය වන වෙලාවට? මෙවර රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ හොඳම නළුවා සහ හොඳම ටෙලි නාට්‍යය සඳහා සම්මාන ඇතුළු නිර්දේශ 14ක් මෙන්ම සුමති ටෙලි සම්මාන උලෙළේ ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානය ලබාගත් සුදු ඇඳගෙන කළු ඇවිදින් ඔබ වෙත ගෙනා, රෝද හතරෙ මනමාලයා, ෂර්ලොක් හෝම්ස්, පින්සාර දොස්තර, පියස සහ කන්නඩි කූට්ටම වැනි සම්මානනීය ටෙලි නාට්‍ය ඔස්සේ ඔබේ ආලින්දය රසවත් කළ ප්‍රවීණ අධ්‍යක්ෂ සුනිල් කොස්තාගේ නවතම නිර්මාණය Can You Hear Me සහ ඔහුගේ මෙතෙක් ගමන් මඟ පිළිබඳ සරසවිය සොයා ගියා...

 මොකද මේ ඉංග්‍රීසි නමක්?

ලෝකප්‍රකට ගායිකාවක වන ඇඩෙල්ගේ 'හෙලෝ' කියලා සින්දුවක් තිබෙනවා. ඕක අහද්දි එක තැනක එයා අහනවා කැන් යූ හියර් මී කියලා. ඒකෙ අදහස වචන පරිවර්තනයෙන් එන 'ඔබට මාව ඇහෙනවාද' කියන එක නෙවෙයි. 'ඇයි ඔබට මාව ඇහෙන්නේ නැත්තේ' කියන එකයි. එතකොට මම කල්පනා කළේ අපේ ගෙදරට, සමාජයට, රටට, ලෝකෙට හැම තැනටම වෙලා තිබෙන්නේ අනෙකාව ඇහෙන්නෙ නැතිකම, දැනෙන්නෙ නැතිකම නේද කියලා. ඒ නිසා තමයි මේ නම දැම්මේ. කැන් යූ හියර් මී- සීසන් 1- අහන්න කෙනෙක් නෑ.

 සීසන් වන් කියන්නේ 2, 3 ත් එනවද?

ඔව්. සීසන් වන් කියන්නේ එපිසෝඩ් 50ක්. සීසන් ටූ සහ සීසන් ත්‍රීවලටත් කොටස් පනහ බැගින් ලෙසයි අදහස් කරන්නේ. මොකද විවේකයක් නැතුව ටෙලිනාට්‍යයක් කරගෙන යද්දි හරි තෙහෙට්ටුවක් දැනෙනවා. ලියන්නෙත් මම නිසා කාලයත් කළමනාකරණය කරගන්නත් එපැයි. අනෙක මේ වැඩ ටිකක් සැහැල්ලුවෙන් කරනවා මිසක් ණය වෙලා, පීඩනයකින් කරන්න මම කැමති නැහැ.

සරසවියට පළමු වැනි වතාවට මම දෙයක් කියන්න ඕනෙ. සුදු ඇඳගෙන කළු ඇවිදින් කළාට පස්සේ හැමෝම හිතුවේ මම තව අඩියක් ඉදිරියට තියයි කියලා. නෑ, මම කළේ අඩි ගාණක් පස්සට ගිය එක. මොකද කලින් වතාවේ අපි දැක්කා අපට ප්‍රේක්ෂාගාරයක් තිබෙන බව. හැබැයි ඒ වගේ හත්අට ගුණයක් රසිකයන් අප අතහැරලා ගිහින්. දන්න ප්‍රේක්ෂාගාරය එක්ක හැමදාම වැඩ කරනවා. අපට සිනමා ධාරාවක් තිබුණේ හැමෝටම නැරඹිය හැකි, ගඟ අද්දර, සිරි බෝ අය්යා, දෙවෙනි ගමන, පරිත්‍යාගය වගේ චිත්‍රපට හැදුණ. ඒවා නැතුව විදග්ධ සිනමාවට සීමා වුණා වගේ අපිත් විදග්ධ ටෙලිනාට්‍යවලට සීමා වෙලා අනෙක් කොටස ඉන්දියාවෙන් හෝ කොහෙන් හරි ගෙනත් මෙහෙ පෙන්වන තැනට නොගිහින් අපේ ඉලක්ක කණ්ඩායම පුළුල් කරගන්න අපේකමක් හොයාගෙන යන ගමනේ ආරම්භය තමයි මේ. ඒකට අපට ප්‍රේක්ෂකයාට ඉදිරියෙන් යන්න වෙනවා. එහෙම හෙලවුඩ් සිනමාවක් වගේම ටෙලිනාට්‍යවලටත් අපේම කලාවක් නොවී මේ ගමන ඉදිරියට යන්න බැහැ.

 යශෝරාවය වගේ ඉස්සරම ටෙලිනාට්‍යවල ඔය අපේකම තිබුණානේ?

අපේ තිබුණු මෝඩකම තමයි ඒවාට වැටෙන්නම ගැහුව එක. අපේ විචාරකයන් විතරක් නෙවෙයි සමාජයම වගේ ජෝතිපාලට ගහලා දැන් ජෝතිගේ සින්දු අහන්නෙ. ඒ වගේ ජනප්‍රිය සංස්කෘතියේ දේවලට කුඩුවෙන්න ගැහුවානේ. ඒකට පිළිතුරු දුන් හොඳම උදාහරණය ජයන්ත චන්ද්‍රසිරිගේ දඬුබස්නාමානය. අතිශය ජනප්‍රියයි. හැබැයි හොඳයිනේ...

 එහෙම වුණේ සමාජය මාධ්‍යය හඳුනා නොගත් නිසාද?

මාධ්‍යය හඳුන ගන්නේ කොහොමද? සිනමාවට අවුරුදු හැත්තෑවක් කියනවා. රූපවාහිනියට අවුරුදු හතළිහක් විතර වෙන්නේ. හැබැයි එයින් යැපෙන අය දහදාහකට වැඩියි. ඉතින් නොනැවතී ජීවිතේ කැප කරමින් යන ගමනක් වගේ මේ කටයුතු කෙරෙනවා මිසක්, කෝ මේ අයට දැනුම. කොහෙද තියෙන්නේ. ඒකට මම රජයන්ට දොස් කියන්නේ නැහැ. සරලව කීවොත් ත්‍රීවීල් පාක් එකක ඉන්න අයටත් ලයිසන්ස් තියෙනවා. ජනමාධ්‍යවේදීන්ට පිළිගත් මාධ්‍ය හැඳුණුම්පතක් ලැබෙනවා. ඒත් අපේ විෂයයට එහෙම එකක් නෑ. එන අය වැරැදියි කියනවා නෙවෙයි. එන්න ඕනා යම් පරිචයක් ඇතුව. ඒත් ඒ පරිචය උගන්වන්න කෙනෙක් නෑ. ඒ දේ කළ යුත්තේ කවුද? අපිමනේ. ඒත් අපි පරම්පරා ගාණක්ම එය කරලා නැහැ. මෙය ලේසි දෙයක් නෙවෙයිනේ. මේ තමයි රටේ, මිනිසුන්ගේ සිතුම් පැතුම්වල අනාගතය. අපට සමාජ වගකීමක් තිබෙන්න එපැයි මේ ගැන. ඉතින් මම දොස් කියනවාට වඩා මෙහෙම කීවොත්... අද මට තව නිර්මාණ කීපයකට වුණත් නිෂ්පාදකවරුන් ඉන්න සුරක්ෂිත වටපිටාවක් තියෙන්නේ. ඒ නිසා අනෙක් අයගේ සුරක්ෂිතතාව ගැන මට දැනෙන්නේ නැහැ.

 ඔබ නොකියා කියන්නේ පොඩි ආත්මාර්ථකාමී හැඟීමක් ගැන?

මම හිතන්නේ ඔව්. අපි වෙනස් දෙයක් හිතන්න කැමැති නෑ. අපි කෙබඳු මට්ටමක නිර්මාණ කළත් අපි නිර්මාණකරුවන් කියන අධිමානය පසෙකින් තබා එකතු වෙන්න සූදානම් නැහැ. එකතු වෙනවා, පෞද්ගලික අවශ්‍යතා ඉටු කරන දේශපාලනය වෙනුවෙන්. තමන්ගේ දේශපාලනය සඳහා කෙනකුට තිබෙන අයිතියට අපි ගරු කරනවා. හැබැයි වෘත්තිකත්වය ගොඩනඟන්න එකතු විය යුතුයි, යම් වැඩපිළිවෙළක් ගොඩනැඟිය යුතුයි යන්න අවබෝධ කරගන්න ඕනෑ.

අපි දැන් යම් කතිකාවක් ගොඩනඟාගෙන යන නිසා මම දන්න දෙයක් කියන්නම්. අපට වසරකට දළ වශයෙන් ටෙලි නාට්‍ය කොටස් 15000ක් පමණ අවශ්‍ය වෙනවා. අවුරුදු එකහමාරකට පමණ පෙර ඉන් හරි අඩක් පමණ විදෙස් නාට්‍ය. හැබැයි දැන් ශීඝ්‍ර ලෙස එය අඩුවෙලා. ඒත් විදෙස් නාට්‍ය නැවතුණා කියලා අපේ නාට්‍ය ගුණාත්මකව ඉහළ ගොස් නැහැ. ඉතින් ප්‍රශ්නය විදෙස් නාට්‍යවල නෙවෙයි. අරගලය තිබෙන්නේ අප තුළමයි. නැතුව දියසෙන් කෙනෙක් එන්නේ නැහැ මෙය ගොඩගන්න. ඉතින් කොතරම් දුරට ලෑස්තිද ඔළුවල තිබෙන කුණුගොඩවල් ඉවත් කරලා එකතු වෙන්න. එක තුර්කි නාට්‍යයක් තිබෙනවා, රටවල් එකසිය හතළිස් ගණනකට විකුණපු. කොයිතරම් විදේශ විනිමයක්ද? ඇයි අපට තාම බැරි වුණේ එහා පැත්තේ තිබෙන මාල දිවයිනට එකක් විකුණ ගන්න.

 මොකක්ද රහස?

තුර්කිය මීට අවුරුදු දහයකට විතර කලින් සිනමා පාසලක් පටන් ගත්තා. එයින් පිටවුණු සිසුන් ලෝකේ සෑම රටකටම නිර්මාණ හදන අය බවට පත්වෙලා. අපේ අයට තිබෙන ගාය, ඇම්ම වගේම නිර්මාණශීලීත්වය එක්ක අපිත් අලුතෙන් එන්න ඉන්න අයට හරි පදනමක් දාලා මාර්ගය හදලා දුන්නේ නැත්නම් අපිත් වැටෙන්නේ අර මුලින් කීව ගණයටමයි. ඒ වගේම දැනට ක්ෂේත්‍රයේ නියැළි අයටත් විධිමත් ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ. උණ තිබෙන නිසානේ මේ ක්ෂේත්‍රයට එන්නේ. ඒ අයට සංයමයක්, ශික්ෂණයක් ඇති කරන්න ඕනෙ. අපේ සමහර අලුත් ළමයි දන්නේ නැහැ ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරන්න ඕනෙ කියලා. ඒ අපේ සමාජය අද පත්වෙලා තිබෙන තත්ත්වය. ගෙදරින් ඒවා හුරු කරලා, ආකල්ප වර්ධනය කරලා නෑ.

 ඔබට පුළුවන්නේ පුරෝගාමී මෙහෙවරක් කරන්න?

අපි දැනට යෝජනා කරමින් ඉන්නවා අපේ දැනුම ලේඛනගත කරලා, අත්දැකීම් සහ ක්ෂේත්‍රයේ නියැළි කාලය අනුව NVQ level 4 හෝ 5 මේ පිරිසට ලබා දෙන්න. එතකොට ඒ සුදුසුකම් සහිත ශිල්පීන්ට රජයට කියන්න පුළුවන් අන් අයටත් වසර තුනක් තුළ NVQ ලබා ගන්න උනන්දු කරවන්න කියලා. අපට පුළුවන් අපේ වැඩවලට ගන්නේ NVQ සහිත අය පමණක් බව කියන්න. එය පොඩි ක්‍රමවේදයක්. සතුටට කාරණය ශිල්පීන් අතර සංසද බිහිවීමේ යම් ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. අපේ තරගකරුවා විදෙස් නාට්‍ය නොවේ. ඒවා එන්නේ අපි දුර්වල නිසයි. ක්‍රමයෙන් මේ රූපවාහිනී මාධ්‍යයත් හැකිලෙමින් තිබෙන්නේ. ගුවන්විදුලියට වුණ දේ රූපවාහිනියටත් නුදුරේ වෙයි. සමාජ මාධ්‍ය තමයි එවිට ප්‍රබල වන්නේ.

 එයට ඔබ මුහුණ දෙන්න සූදානම්ද?

ඔව්. කැන් යූ හියර් මී ගත්තොත් ජාතික නාළිකාව සහ අපි ගිවිසුමකට එලැඹියා සමාජ මාධ්‍යවල ප්‍රදර්ශනය වන නාට්‍යවලින් අපටත් ආදායම් කොටසක් ලැබෙන විදිහට. එය මීට පෙර නොවුණු දෙයක්. ජාතික නාළිකාව ඒ ජාතික වගකීම ඉටු කරන්න ඉදිරිපත් වුණා. ඒ ලැබෙන ආදායම අපි පරිහරණය කරන්නේ නැහැ. ඒ වෙනුවට නාට්‍යය ඉංග්‍රීසියෙන් උපසිරැසි යොදන්න වියදම් කරනවා. එහෙම වුණාම තවත් භාෂා දෙසියයකට විතර අපට මෙය පරිවර්තනය කරන්නත් හැකියාව ලැබෙනවා. මෙය සිදු වුණේ ලංකාවේ පළමු වතාවට.

 කොහොමද ප්‍රතිචාර?

බලන්න යූටියුබයේ ගිහින්, එක්කෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබෙනවා, ඔහු ලංකාවේ ඉපදුණත් පිටරට හැදුණු සිංහල වැඩිය නොතේරෙන නාට්‍ය බලන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. අපේ මේ වැඩෙන් ඔහුගේ විදේශික බිරිඳගේ බසින් පවා මේ නාට්‍යය නරඹන්න පුළුවන් වීම ඔවුන්ට සතුටක්. මම කියන්නේ නෑ ලෝකේ මේ නාට්‍යය පැල් බැඳගෙන බලනවා කියලා. ඒත් සියයට එකකින් ප්‍රේක්ෂාගාරය වැඩි වුණොත් ඒ ලැබෙන්නේ ඩොලර්නේ. මෙය තව පුළුල් වුණාම තමයි අර විදේශ නාට්‍ය සමඟ තරග කළ හැකි ආර්ථික පදනම පවා අපට ලැබෙන්නේ. ඒ වගේම රූපවාහිනියටත් මෙය වාසියක්. හොඳ නාට්‍ය නිෂ්පාදකයන් ජාතික නාළිකාවට තමන්ගේ නිර්මාණ දෙන්න උනන්දු වෙනවා මේ ක්‍රමය නිසා. මගේ විශ්වාසය නම් අනෙක් නාළිකාවලට පුර්වාදර්ශය විය යුත්තේ ජාතික නාළිකාවයි.

 ඔබ මේ දුර ආ මඟ යළි සිහි කළොත්?

1978 කාලේ අපේ ගමට එනවා ගාමිණි හත්තොට්ටුවේගම සහ පරාක්‍රම නිරිඇල්ල. ඒ මුණ ගැසීම තමයි මගේ නිවැරැදි ගමනේ ආරම්භය. අපි වීදි නාට්‍ය කළා විවෘත කලා කවය කියලා. අපි නළුවො වෙන්නනෙ මුලින් ආවේ. ගැලීලියෝ, මාවතේ අපි වගේ නාට්‍යවල වගේම ඇබැද්දිය කියලා මුලින්ම බාහිර රූපගත කිරීමකට ගිය රූපවාහිනී නාට්‍යයේ, ක්‍රිස්තු චරිතය, විජයබා කොල්ලය වැනි චිත්‍රපටවල රඟපෑවා. තාමත් නළුකමට ආසයි. ඒත් රැකෙන්න ඕනෙ නිසා වේශ නිරූපණ සහාය ශිල්පියෙකු ලෙස වසන්ත විට්ටච්චි මඟින් ශේෂා පලිහක්කාර මුණගැසුණා. ලෙස්ටර් මහත්තයාගේ යුගාන්තය, තිස්ස අබේසේකර මහත්තයාගේ විරාගය, ආචාර්ය ධර්මසේන පතිරාජගේ ඇල්ල ළඟ වලව්ව, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ක්‍රිස්තු චරිතය සඳහා සහාය වේශ නිරූපණය කළා. ඉතින් විශ්වවිද්‍යාලවල ගියා වගේ නෙවෙයිද? මම චන්ද්‍රන් රත්නම් මහත්මයා සමඟ ෆිල්ම් ලොකේෂන් සර්විසස් එකේදි අන්තර්ජාතික චිත්‍රපටවල පවා සහාය වේශනිරූපණයට ගිහින් තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ කාලේ හීනි උස නළුවෙක් විදිහට ගාල්ලෙ ආවා ඒකක රඟපාන්න. මේ සියල්ල එක්ක කටානේ කඳවල අපේ ගම මට උදවු කළා මේ ගමනට කෙටි නාට්‍ය, පාස්කු නාට්‍ය එහෙම කරද්දි. මම මුලින්ම සම්බන්ධ වුණ පිටගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන් ලැබුණ මුදල් සහ මගේ නෝනාගේ රත්තරන් බඩු උගස් කරලා 'අරුන්දතී, කාක්කෝ, මුදුවේ කතාව' කියන ඒකාංගික නාට්‍ය කළා. ඒවාට සම්මාන ලැබුණා. එතැනින් මගේ උනන්දුව වැඩි වුණා. ඉන් පස්සේ 1999 රෝමියෝ ජුලියට් කතාවක් කළා. එය වාණිජ ලක්ෂණ දැරූවක්. පස්සේ මගේ ගමන ඒක නෙවෙයි කියලා තමයි රෝද හතරේ මනමාලයා වගේ නාට්‍යවලට යොමු වුණේ.

 ඔබ පින්සර දොස්තර කළේ ඉංග්‍රීසි සාහිත්‍යයේ එන ඩොක්ටර් ජැකිල් ඇන්ඩ් මිස්ටර් හයිඩ් කෘතියෙන්. මේ ආභාසය ඔබට ලැබෙන්නේ?

අපි කතෝලික වීම නිසා නිවෙස්වල ඒ පොත්පත් පරිශීලනය කරන්න ලැබෙනවා. ඒ පිටපත ලීවේ සමන් වීරමන්. මම සාමාන්‍යයෙන් පිටපත ලියාගෙන නාට්‍ය කරන කෙනෙක්. ඒත් පිටපත් රචකයා නම්‍යශීලී නම් ඒ ගැන මම සිතාබලනවා. මිනිසුන්ගේ ජීවිතවලට අලුත් අර්ථකථනයක් දෙන්න බැරිනම් මම කොපමණ මුදල් ලැබුණත් නිර්මාණයකට අතගහන්නේ නැහැ. මස් කඩයක වුණත් හොඳ මස් දෙන්න එපැයි. මේ මොහොතේ මට රටවල් තුනක් එකතුවෙලා ටෙලිනාට්‍යයකට ආරාධනා කරනවා. ඉතින් ප්‍රඩියුසර් කෙනෙක් ඉන්නවා මචං මොනවාහරි ලියලා ටෙලියක් ගහමුකො කියන තැන මම නෑ. මොනවා ලැබුණත් මට කියන්න දෙයක් නැත්නම් මම ලියන්නේ නැහැ. හිතට දැනෙන දේ ලියලා ඉවරවෙලායි මම අහන්නේ ඔන්න පිටපතක් තියෙනවා කවුද ඉන්නේ කියලා. එතකොටයි එය ආත්ම ප්‍රකාශනයක් වන්නේ. අපි අතහැරපු කොටසත් ඒකයි. රසිකයන් දැඩි පිපාසයකින් ඉන්නවා ජීවිතය ගැන අලුත් මානයකින් බලන්න. අපි මෙච්චර ජීවිතය කැප කළේ මේ ක්ෂේත්‍රය වෙනුවෙන්. මම සතුටින් මෙය කරන්නේ. මේ වෙනුවෙන් ඕනෙ තරම් නිදිවරන්න, පයින් යන්න මට පුළුවන්. වෙන දේකට බෑ. මම හැමෝටම කියන්නේ තමන් කැමැති දේ ඉගෙන ගන්න. එයම රස්සාව කරගන්න.

 ඔබේ ගෙදර අයටත් ඒ නිදහස තිබෙනවාද?

ඔව්. මගේ ලොකු පුතා ඉසිරටත් ඕනෙ වුණා මේවාම කරන්න. ඉතින් නාට්‍යවලින් එකතු කරගත් මුදල්වලින් ඕස්ට්‍රේලියාවේ යවලා උගන්නලා දැන් එහෙ ප්‍රඩක්ෂන් හවුස් එකක ප්‍රධාන තනතුරක් දරනවා. දුව නෙත්මි මෝස්තර නිර්මාණය කරන්න ඕනේ කියලා ඒකට ඉඩ දුන්නා. පොඩි පුතා දිල්රු සංගීතයට කැමැතියි කියලා පිටරට යන්න ලෑස්ති වුණත් මේ කොරෝනා නිසා ප්‍රමාද කරගෙන ඉන්නේ. නෝනා නිල්මිණි කැස්බෑවේ මොන්ටිසෝරියක් කරනවා දැන් අවුරුදු විසිගාණක්. මම මේ ජොලියේ ඉන්නේ හාල් කිලෝවක මිලවත් දන්නෙ නැති නිසා. ගෙදරින් මට ඒ පූර්ණ සහයෝගය ලැබෙනවා නිදහසේ නිර්මාණකරණයේ යෙදෙන්න. මම ටෙලි නාට්‍යවලින් හම්බ කළ මුදල් දරුවන්ගේ අධ්‍යාපනයට හැර කිසිම අනිසි දේකට යෙදෙවුවේ නෑ. මගේ ආයතනයේ නම තලෙන්තුව. ඒ කියන්නේ හැකියාව. අපි හැමෝටම ඒ දේ තිබෙනවා. ඒත් අපේ අධ්‍යාපන ක්‍රමයේ නැහැ ඒක හොයාගන්න විධියක්. සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයෙත් මම කතා කළේ ගුරුවරයා මත යැපෙන අපේ ඒ වහල් අධ්‍යාපනය ක්‍රමය ගැන තමයි. අපි නිර්මාණය කළ යුත්තේ ස්වාධීන මහ වෘක්ෂ වගේ අය මිස තවත් යැපෙන්නෙක් නෙවෙයි.

 ඔබ තිරරචනයට යොමු වුණේ කොහොමද?

අපි පොඩි කාලේ තාත්තා, ඇලෝෂියස් කොස්තා, දෙකක් දාගත්තාම අතට ගන්න පොතක් තියෙනවා කළු කවරෙ වේයෝ ඉරි ගිය. ඒකේ ඉන්න චරිත අපට පේන්න රඟපපා තමයි කතාව කියන්නේ. මට අදත් ඒවා මතකයි. අපෙ අම්මා ලිලියානා. අපේ පවුල පොඩි සමිතියක් වගේ නංගිලා පස්දෙනයි මල්ලියි මායි. ඒ වගේ පවුලක වැඩිමලා වුණ මට නාට්‍ය පිස්සුව ඉහට ගැහුවාම තාත්තා මුකුත් නොකියපු එකයි පුදුමෙ. හැබැයි අපේ මහ ගෙදරිනුත් මගේ ඒ වැඩවලට උපරිම සහයෝගය ලැබුණා. නංගිලා මගෙ ඇඳුම් පවා හෝදලා නිදහස දුන්නා. මට මතකයි පල්ලියේ මංගල්ලවලට ගියාම ඩෝලයක් අරගෙන ඇවිත් ඉස්සරහ වැලිගොඩේ ඉඳන් සින්දු කියනවා. අපේ ගෙදර තමයි රේඩියෝවක් තිබුණෙත්. එක පාරක් ඇලෝෂියස් ඉඳුරුව කියන ගුරුවරයා එක්ක මනමේ කළා. මම වැදි දෙටු. අහල පහළ ගම්වල පෙන්නලා මට රුපියල් 2.50කුත් ලැබුණා. අපට බේකරියක් තිබුණා. අපි කොන්සර්ට් එකක් කරන්න ගත්තා. වාහනේ වගේ ඈං ඈං ගගා ගෙවල් ගානේ ගිහින් නාට්ටි බලන්න එන්න කියලා ගමේ අයටත් කීවා. ඇත්තටම නාට්ටිත් නෙවෙයි ඒවා මොනවද මන්දා. හැබැයි මොකක්දෝ දේකුත් තිබුණා. තාත්තාට නහයෙන් අඬලා එන මිනිසුන්ට කන්න දෙන්න ලොකූ බිබික්කං තැටියකුත් හදාගත්තා. හවස හත වෙද්දි කපලා එකයි සෙනඟ. අර තැටිය මදි ඒ සෙනඟට බෙදන්න. අන්තිමේ නාට්ටිය ඉවර වෙලා අපිම ඒක කෑවා. ඒ කාලේ ගම්වල එහෙම ගතියක් තිබුණා. අපි කුඹුරු වැඩ කරනවා. අපේ ගෙට එහා පැත්තේ ගම්මඩුවක් නටනවා. තාත්තා ඒවා බලන්න අපිව යවනවා. හැමදාම පත්තරේ ගන්නවා. තාත්තා පාං ගණන් ලියන්නේ පත්තර වාටියේ. එය දේවලින් තමයි ළමයින්ගේ ආකල්ප වර්ධනය වෙන්නෙ. ඒ සමඟ තමයි ලියන්න පෙලඹෙන්නේ '78 විතර. ඒවාට අපේ ජෝසෆ් වාස් උන්නාන්සේගේ දැක්මත් බලපෑවාද කියල මට වෙලාවකට හිතෙනවා.

 සම්මාන ගැන මොකද හිතෙන්නෙ?

සම්මානෙකට නිර්දේශ වුණාම මට ඇති. ඒකෙ තේරුම මම ප්‍රධාන ධාරාවේ ඉන්නවා කියන එකනේ. ඒ වගේම ජනතා සම්මානයත් අපට පාරෙ තොටේදි, වැඩක් කරන්න යද්දි ලැබෙනවා. අපි හරි දේ කරනවා නම් රටක් අපිව බලාගන්නවා.

 ඊළඟ පියවර සිනමා අධ්‍යක්ෂණයද?

සම්මාන උලෙළවලදිත් මට එහෙම ආරාධනා ලැබුණා. ඒත් මාධ්‍යවේදී නිහාල් පීරිස් මුහුණු පොතේ කියූ දෙයට මම වඩාත් කැමැතියි. ඔහු කියන්නේ අපි වගේ අමාරුවෙන් කට්ට කාගෙන ටෙලිනාට්‍ය කරන අය සිනමාවට ඇදලා ගන්න එපා මොකද ප්‍රේක්ෂකාගාරය දැන් තිබෙන්නේ රූපවාහිනී මාධ්‍යයේ කියලා. ඇත්තෙන්ම අපට තිබෙන ලොකුම අඩුව ගුණාත්මක රසවත් තිරපිටපත්. සුදු ඇඳගෙන කළු ඇවිදින් මම හයවතාවක් ලීවා. මේ කතාව අටවතාවක් හැදුවා. සීසන් වන් මම පොදු ප්‍රේක්ෂකයන් සමඟ යනවා. දෙවැන්නෙදි ඒ අයත් එක්ක වෙන දිහාකට යනවා. තුන්වැන්නෙදි බරපතළ තැනකට ඔවුන් ගෙනයනවා. වාසනාව ගැන මට අදහසක් නෑ, හැබැයි මට හැමදාම ලැබුණ පිරිස පුදුම කැපවීමකින් වැඩ කරන්නේ. අඩුපාඩු නැතිවාම නෙවෙයි. මමත් තාත්තා කෙනෙක් ව‌ගේ ඒ අයට සලකන්නේ. අපේ රටේ මිනිස්සු හරි හොඳයි. අපිම තමයි ඔවුන් නරක් කරන්නේ. අපට පුළුවන් නම් අනෙක් අයට ඇහුම්කන් දෙන්න, අනෙක් කෙනා එක්ක එකතුවෙලා වැඩ කරන්න එදාට තමයි මේ කර්මාන්තය දියුණු වෙන්නෙ. ඒවා මොනවා වුණත් මම බොහොම සතුටින් ඉන්න කෙනෙක්. ඉතින් මම එකක් කියන්න ඕනෙ. මම චිත්‍රපටයක් කළොත් ඒකටත් ප්‍රේක්ෂකාගාරය ගේනවාමයි.

තුසිත ලොකුගේ