චැනල් දෙකයි ටෙලි හතරයි

නව පරපුරේ රංගන ශිල්පිනී නයනි රාමනායක
දෙසැම්බර් 31, 2020

ඇයගේ නම නයනි රාමනායක. මේ දිනවල ටෙලි සිතුවම් කිහිපයකින්ම ඇය ඔබ හමුවට පැමිණෙනවා.

 

ඔබ රංගනයෙන් දායක වන ටෙලි සිතුවම් මොනවාද කියල පවසන්න මා ඔබටම ඉඩ දෙනවා?

මේ දවස්වල විකාශය වන ටෙලි නාට්‍ය හතරක විතර මම ඉන්නවා. ස්වර්ණවාහිණි විකාශය වන අග්නි පියාපත් ටෙලි නාට්‍යයේ ආශාට රඟපාන්නෙ මම. ඒ වගේම ඒ නාළිකාවේ විකාශය වන හදවතේ කතාවේ සනුකිත් මමයි. ස්වාධීන රූපවාහිනී පුළිඟු ටෙලි නාට්‍යයේ ප්‍රසාදි කියන වෙනස්ම චරිතයට පණ පොවනවා. ඒක මනස ව්‍යාකූලවූ තරුණයකුට අනුකම්පා කරන චරිතයක්. ස්වාධීන රූපවාහිනියෙම අසංවර වර්ෂා නාට්‍යයේ අරුන්දතීගේ චරිතය රඟපාන්නෙත් මම.

මේ අතරින් ඔබට වඩාත් සමීප මොන චරිතයද කියලා මම ඇහැව්වොත්?

ඒකට මම දෙන උත්තරය තමයි අග්නි පියාපත් ටෙලි නාට්‍ය ආශා කියන චරිතය. ආශා කියන්නේ අහිංසක ගෑනු ළමයෙක්. ඇය බොහොම අධිෂ්ඨානයෙන් ජීවත් වෙන චරිතයක්. මම හිතනවා ඒක ඉතාම ප්‍රායෝගික චරිතයක් කියලා. ඇයට තියෙන්නේ සියයට සියයක්ම මගේ ගතිගුණ හෝ මගේ ස්වරූපය නෙමෙයි. නමුත් මට ඒක කියා ගන්න බැරි තරම් දැනෙන චරිතයක්.

 

ඔබ රංගනයට පිවිසෙන්නේ කොහොමද?

රංගනයට ඇති ආශාව නිසාම මම එක්තරා ඔඩිෂන් එකකට සහභාගි වුණා. ඒක හිරු ඇවිදින් කියලා නාට්‍යයක එකක්. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයා තමයි අධ්‍යක්ෂ. නිෂ්පාදනය කළේ චාමර සමරවික්‍රම මහත්මයා. ඔවුන් මාව තෝර ගත්තා ඒ නාට්‍යයේ හිමාලි කියන චරිතයට. ඒක තමයි පළවෙනියටම රඟපාපු නිර්මාණය. ඉන්පසුව දිගින් දිගටම රඟපෑම සඳහා ආරාධනා ලැබුණා. මේ වෙලාව මතක් කරන්න ඕන චාමර සමරවික්‍රම මහත්මයාව. ඔහු තමයි මාව රංගනයට අවස්ථාව දීලා, චරිතයක් ලබා දීලා මාව ඉදිරියට ගත්තේ. රංගන ජීවිතයේ මම ගුරුවරයා හැටියට සලකන්නේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයා.

 

දැනට රඟපෑමේ නියැළුණාට ඔබ වෙනත් වෘත්තියක නේද ජීවිතයේ ඉදිරිය දකින්න තෝරගෙන තියෙන්නේ?

ඖෂධවේදිනී කියන උපාධිය මම හැදෑරුවා. පසුකාලීනව ෆාමසි සම්බන්ධ ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් රඟපෑම අතහරින්නේ නැහැ.

 

මේ වන විට පෙම්වතියගේ චරිතය ඔබට ලැබිලා තියෙනවද?

අනේ නැහැ. ඒ වගේ චරිතයක් මට තවම ලැබිලා නැහැ. පෙම්වතිය නොවුණත් එකිනෙකට වෙනස් චරිත තමයි මම රඟපෑවේ. පෙම්වතියගේ චරිතය අද රඟපාන්න ඉතා කැමැත්තෙන්, බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

තිරයේදී පෙම්වතා කරගන්න කැමැත්තෙන් ඉන්න නළුවා කවුද?

මම හිතනවා නව පරපුරේ නළුවෙක් වන චානුක ප්‍රබුද්ධ මට පෙම්වතා විදිහට ගැළපෙයි කියලා.

 

රඟපාන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?

අග්නි පියාපත් නාට්‍යයේ තිබුණා මාව කිඩ්නැප් කරන දර්ශනයක්. ඊට අනුව මගේ අත් දෙක ගැට ගහලා ජනේලක එල්ලෙනවා. එහෙම එල්ලුවාට පස්සේ මම කුසගින්නේ ඉන්නකොට ගංගු කියන චරිතය මට බත් කවනවා. මට ඒ සම්පූර්ණ දර්ශනය ජීවිතයට අමතක වෙන්නේ නැහැ. ඒ වගේම එක හිතට දැනෙන දර්ශනය වුණා.

 

මේ ක්ෂේත්‍රය ඔබට දැනෙන්නේ කොහොමද කියලා කිව්වත්?

මම බොහොම ආසාවෙන් රඟපාන්න ආවෙ. නමුත් මුල් කාලේ අපි අලූත්ම නිසා පොඩි කොන් කිරීමක් වගේ දෙයක් කෙරුණා කියලා මට දැනුණා. නමුත් මම ඒ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. දැන් ඒ තත්ත්වය යටපත් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේක හරිම හොඳ ක්ෂ්‍රේත්‍රයේ කියලා කියන්න පුළුවන්.

 

නයනිගේ ගම කොහෙද?

මම බියගම.

 

ඉගෙන ගත්තු පාසලත් මතක් කළොත්?

විහාර මහා දේවි විදුහල කිරිබත්ගොඩ.

 

උපන් දිනය?

අනූහයේ ජූනි විසි අට.

 

මේ වන විට නයනි පෙම්වතියක්ද?

අනේ තවම නැහැ.

 

ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

අහිංසක, ඒ වගේම ටිකක් දඟකාර චරිතයක්.

 

පැමිණි ගමනට උදව් කරපු අය කවුද ඉන්නේ?

උදව් කරපු අය අතරින් චාමර සමරවික්‍රම සහ සිවගුරුනාදන් කියන මහත්තුරු විශේෂයි. ලසිත කාරියවසම්, බුද්ධික ලොකුකැටිය ඇතුළු මට උදවු කරපු සියලු දෙනා මතක් කරනවා. ඒ අය වගේම ගෙදර පිරිසවත් මම ආදරෙන් මතක් කරනවා.

 

නිමෙශ්ක කුමාරසිංහ