රංගනයේදී මගේ පළමු සහ එකම පෙම්වතා ජැක්සන් ඇන්තනී

-රූපා පතිරණ
සැප්තැම්බර් 16, 2021

නාඩගම්කාරයෝහි සරාගේ අම්මා කියන කතාව

 

සරා එතැනට වැටෙන්න අම්මත් එක හේතුවක්

මට හැම වෙලාවෙම කියන්නේ රතිඤ්ඤා කරල වෙන්න කියලා

 

කලා නිර්මාණවල චරිත අතර ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගන්න චරිත සේම ප්‍රේක්ෂකයන් ප්‍රතික්ෂේප කරන, විවේචනයට ලක්වන චරිත ද බහුලය. මේ දිනවල ජනප්‍රියත්වයේ ඉහළම තලයේ පවතින ටෙලිනාට්‍යයක් වන නාඩගම්කාරයෝහි ද එවැනි චරිත එමටය. කරඬුතැන්නේ සරා හෙවත් මෙහි කතානායකයාගේ මවද එලෙස නිරතුරුව ප්‍රේක්ෂකයන්ගේ දෝෂදර්ශනයට ලක් වන චරිතයකි. එම චරිතයට පණ පොවන්නේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් වන රූපා පතිරණයි. වේදිකාවෙන් සහ ගුවන්විදුලියෙන් තම කලා දිවිය අරඹා වසර තිස්හතක් වැනි දීර්ඝ කාලය තිස්සේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සිටින රූපා පතිරණ සමඟ නාඩගම්කාරයෝහි ඇගේ චරිතය පිළිබඳව සේම කලා ක්ෂේත්‍රය පිළිබඳව මෙසේ කතාබහ කළෙමු.

සරාගේ අම්මාට හැමෝම බනිනවා ඇති නේද?

"නාඩගම්කාරයෝ" ටෙලිනාට්‍යයේ සරාගේ අම්මට හැමෝම බනින්නේ සරාගේ අම්මා නපුරු නිසා. සරා වගේ දක්ෂතා තියෙන දරුවෙක් කසිප්පු පෙරන තැනකට වැටෙන්න හේතුවත් ඒ අම්මා. ඉතින් ප්‍රේක්ෂකයෝ මට බනින එක අහන්නත් දෙයක්ද?

 

රූපා පතිරණ සරාගේ අම්මා වෙන්නේ කොහොමද?

සිවගුරුනාදන් මහත්මයගේ නැතිදා, අමුතු රසිකයා ඇතුළු නිර්මාණ කීපයකටම මම මීට පෙර සම්බන්ධ වුණා. සිවගුරුනාදන් මහත්මයා සහ සද්ධාමංගල මහත්මයා මේ චරිතයට සුදුසුම කෙනා මම කියලා සාකච්ඡා කරලා තිබුණා. මේ ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂ ජයන්ත අබේරත්න හරහා මට මේ චරිතයට ඔවුන් ආරාධනා කළා. මම මේ සියලුදෙනාට සහ ස්වර්ණවාහිනී ආයතනයට ස්තූතිවන්ත වෙනවා.

 

මේ චරිතයේ ස්වභාවය ගැන කිව්වොත්?

සරාගේ අම්මාගේ චරිතය කොහොමත් නපුරු චරිතයක්. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයා මට මේ චරිත ස්වභාවය ගැන කියද්දී කිව්වේ මේක හරිම නපුරු සල්ලි මත්තෙම නැහෙන අම්මා කෙනෙක්ගේ චරිතයක් කියලා. එයා හොඳීන් හෝ නරකින් සල්ලි බලාපොරොත්තු වෙන්නේ. කොහොමත් සැර වැර අම්මා කෙනෙක් සරාගේ අම්මා. මම නපුරු විදිහට රඟපානකොට තව අධ්‍යක්ෂතුමා තව ටිකක් රතිඤ්ඤා කරල වෙන්න කියනවා. ඒ තරම්ම ඒ චරිතය සැර පරුෂයි. මට කාලෙකින් මේ වගේ සැර චරිතයක් ලැබුණේ. මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර 37ක් වෙනවා. මට වැඩිපුරම ලැබුණේ වයස්ගත කාන්තාවන්ගේ චරිත. ඒ අතරිනුත් සැර පරුෂ චරිත විශේෂයි. ඒත් ඒ කරපු හැම චරිතයකටම වඩා නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරාගේ අම්මගේ චරිතය නොහිතපු විදියට ජනප්‍රිය වුණා.

 

මේ වගේ අම්මලා මේ සමාජයේ තවමත් ඉන්නවා ඇති නේද?

ඕනේ තරම් ඉන්නවා. මම ගමක ඉපදුණු කෙනෙක්. ඒ වගේ අම්මලා මම ඕනේ තරම් ඒ ගම්වල දැකලා තියෙනවා. අම්මා කියන කෙනා අම්මාම තමයි. ඒ මව්වත්කම මේ වගේ අම්මලාගේ හිත්වලත් තියෙනවා. ඒත් අගහිඟකම් එද්දි වෙන කරන්න යමක් නැති නිසා ඒ අම්මලා දරුවන්ව වරදට පොලඹවනවා. සරාගේ අම්මාත් දරුවන්ට ආදරෙයි. ටෙලිනාට්‍යය බැලුවා නම් මතක් වෙයි අත්‍යවශ්‍යම වෙලාවල්වලදී ඒ අම්මා දුවටයි පුතාටයි මුදල්වලින් උපකාර කරන විදිහ.

සරාගේ අම්මාගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

ප්‍රේක්ෂකයෝ සුපුරුදු පරිදි මේ චරිතයට බනිනවා. එහෙම බනින අයම මට කියනවා, අපි මෙච්චර තරහ ගන්නෙ මෙච්චර බනින්නෙ ඔයා ඒ චරිතය සාර්ථකව කරන නිසා කියලා. සරා ඉස්පිරිතාලේ ඉන්නකොට අම්මා තිස්පන්දාහක් දෙනවා. ප්‍රේක්ෂකයො මගෙන් අහනවා ඒ සල්ලි කොහෙන්ද කියලා. මාස්ටර් එක්ක මොකක්ද ඔච්චරට තියෙන තරහ කියලා සමහරු අහනවා. මාස්ටර් මගේ සහෝදරයෙක්ද කියලා සමහරු අහනවා.

 

ඔබ හැම චරිතයක්ම රඟපාන්නේ තරුණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් එක්ක. කොහොමද ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය?

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන ළමයි ඇත්තටම හරිම දක්ෂයි. ඔවුන්ගෙන් මට උපරිම සහයෝගය ලැබෙනවා. සජිත අනුත්තර, සෙනාලි ෆොන්සේකා, කසුනි කාවින්දි ඇතුළු හැම දරුවෙක්ම හරිම ආදරෙන් සහයෝගයෙන් වැඩ කරනවා. මේ ළමයි දිහා බැලුවාම ලංකාවේ කලා ක්ෂේත්‍රය ගැන මට ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ වෙනත් ටෙලිනාට්‍යවලදි මට මීටවඩා වෙනස් දරුවොත් මුණගැහිලා තියෙනවා. ඔයා කවුද, මේ ඔයාගේ පළවෙනි ටෙලිනාට්‍යයද කියලා මගෙන් අහපු තරුණ තරුණියොත් ඉන්නවා. ඒ වගේම අපි ඉස්සර රඟපෑවේ සල්ලි බලාපොරොත්තුවෙන් නෙමෙයි. මුදල් ලැබුණා හෝ නැතා මම රඟපෑවා. ඒත් දැන් අලුත් පරපුර ඊට හරි වෙනස්. අපිට වැදගත් නිර්මාණය වුණාට තරුණ අයට වැදගත් මුදල්. අපි චරිතයක් ලැබුණා ම රෑ එළිවෙනකල් කල්පනා කරන්නේ ඒ චරිතය ගොඩනඟාගන්න විදිහ ගැන. ඒත් දැන් තරුණ තරුණියෝ රෑ එළිවෙනකන් කල්පනා කරන්නේ සල්ලි හම්බ කරන විදිය ගැන.

 

කාලයක් තිස්සේ ඔබ පණ පෙව්වේ නපුරු චරිතවලට. ඒ ඇයි?

ඒක ගැන නම් ඇත්තටම මාත් කල්පනා කරනවා. (සිනාසෙමින්) චරිතවලට නපුරු වුණාට මම එහෙම නපුරු කෙනෙක් නෙමෙයි. මම නිතරම හිනාවෙලා විනෝදෙන් ඉන්නේ. මම සත්තුන්ට ගොඩක් ආදරේ කෙනෙක්. මගේ ගෙදර සත්තු නව දෙනෙක් හදනවා. මම පරිසරයට ගොඩක් ආදරේ කරන හැමෝටම හරිම කරුණාවන්ත කෙනෙක්. මම හිතන්නේ මගේ හැකියාව නිසා තමයි මට ඒ වගේ චරිතම ලැබෙන්නේ. හැමෝටම නපුරු චරිත රඟපාන්න බැහැනෙ. ඒකට හැකියාවක් තියෙන්න ඕනේ. මට ඕනේම චරිතයක් රඟපාන්න පුළුවන්.

 

ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලය ගැන මතක් කරමු?

මම වේදිකාවෙන් ක්ෂේත්‍රයට ආපු කෙනෙක්. වේදිකාවට එන්න පෙර මම ගුවන්විදුලියේ සරල ගී සහ ජන ගී ගායිකාවක් ලෙස ගීත ගැයුවා. ඊටපස්සේ තමයි රංගනයට එන්නේ. මගේ ගම පොල්ගහවෙල. මානිස් අප්පුහාමි කියලා පැරණි වේදිකා නාට්‍යකරුවෙක් ගමේ වේදිකා නාට්‍යයක් කළා ඇහැලේපොළ කියලා. ඒකෙ ඇහැලේපොළ කුමාරිහාමිට රඟපෑවේ මම. පසුව සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයාගේ නාට්‍ය පාඨමාලාවකට සම්බන්ධ වෙලා නාට්‍ය හා රංග කලාව ඉගෙනගත්තා. මගේ පළවෙනි වේදිකා නාට්‍ය "කෝන්තරය" මට ඒකේ හොඳම නිළියට සම්මාන ලැබුණා. පරාක්‍රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල, සුගතපාල ද සිල්වා යන ප්‍රවීණ කලාශිල්පීන් විශ්චය මණ්ඩලයේ හිටියේ. පසුව කෝන්තරය වේදිකා නාට්‍යය ලූෂන් බුලත්සිංහල මහත්මයා රූපවාහිනී සංස්ථාවේ මැදිරි පරීක්ෂණ නාට්‍යයක් ලෙස නිර්මාණය කළා. මගේ දෙවෙනි ටෙලිනාට්‍ය "භවතු සබ්බ මංගලම්". ඒකේ පළමුවෙනි සහ අවසාන වතාවට මම පෙම්වතියගේ චරිතය රඟපෑවා. ඒ 1986දී ජැක්සන් ඇන්තනී මහත්මයා එක්ක. එයා තමයි රංගනයේදී මට හමුවුණු එකම පෙම්වතා. දැන් මම ඔහුගේම පුතාගේ අම්මා ලෙස රඟපානවා. ඒක අහඹු සිදුවීමක්. මම සජිතටත් (සරා) ඒ ගැන කිව්වා.

 

පසුව ඔබ දිගටම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ රැඳුණා?

 

ඔව්. මම ඊට පස්සේ දිගටම ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයේ හිටියා. හැබැයි ඒ රඟපාපු හැම චරිතයක්ම වයස්ගත චරිත. මට ලැබුණේ ඔක්කොම 65 - 70 වයස් මට්ටම්වල චරිත. 2006දී "ගල්පිළිම සහ බොල්පිළිම" ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නිළියට මට රාජ්‍ය සම්මාන ලැබුණා. 2007දී "තුන්පත් රටාවක ලස්සන" ටෙලිනාට්‍යයේ ජයලත් මනෝරත්න මහත්මයාගේ අම්මට රඟපාන්න ලැබුණා. ඒකටත් මට හොඳම සහාය නිළියට රාජ්‍ය සම්මාන ලැබුණා. ඊටපස්සේ දිගින් දිගටම ටෙලිනාට්‍යවල රඟපෑවා. ඒ අතර මම වේදිකා නාට්‍යවලත් රඟපෑවා.

 

ඔබ දරුවන්ට නාට්‍ය හා රංග කලාව ඉගැන්නුවා නේද?

මම වසර ගාණක් නාට්‍ය හා රංග කලාව උපකාරක පංති පැවැත්වුවා. කුලියාපිටිය, රත්නපුර සහ පොල්ගහවෙල යන ප්‍රදේශවල මම පංති කළේ. ඒ පන්තියේ දරුවෝ එකතු කරගෙන මම "සුවඳ කැකුළු මල්" කියලා ළමා චිත්‍රපටයක් කළා. ඒ දරුවෝ හරිම දක්ෂයි.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මේ දවස්වල ක්‍රිස්ටි ෂෙල්ටන් මහත්මයා අධ්‍යක්ෂණය කරන ස්වාධීන රූපවාහිනියේ විකාශය වන 'සකුණ පියාපත්' ටෙලිනාට්‍යයේත් මේ වගේම අම්මා කෙනෙක්ගේ චරිතයක් රඟපානවා. ඉදිරියේදී විකාශය වෙන්න නියමිත ක්‍රිස්ටි ෂෙල්ටන් මහත්මයාගේ "කුංචනාද" ටෙලි නාට්‍යයේත් මම චරිතයක් රඟපානවා. වියළි සහ දුම්කොළ මහත්තයා කියලා තවත් ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම් කරමින් පවතිනවා.

 

නාඩගම්කාරයෝහි සරාගේ අම්මා කියන කතාව