මේ සම්මානය හෙට දිනයේ සිනමාව ලැබූ ජයග්‍රහණයක්

PRIYANTHA KOLAMBAGE
ඔක්තෝබර් 22, 2018

 

 

මෙවර සරසවිය සම්මාන උලෙළේදී හඳුන්වා දුන් විශේෂිත සම්මානයක් වුණේ 'සිනමාකර්ෂණීය නිර්මාණය' වෙනුවෙන් පිදෙන සම්මානයයි. එය 2016 වසර වෙනුවෙන් හිමි කර ගන්නට වාසනාවන්ත වූයේ 'ආදරණීය කතාවක්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ප්‍රියන්ත කොළඹගේයි. ඔහු ලද මේ සුවිශේෂී සිනමා සම්මානය මෙන්ම ඔහුගේ නවතම කලා නිර්මාණ තොරතුරු සරසවිය හා බෙදා හදා ගත් අයුරුයි මේ.

නිර්මාණ කිහිපයක් සමඟයි ඔබ මේ දිනවල කාලය ගත කරන්නේ?

ඔව්. ඒ අතරින් මගේ අලුත්ම ටෙලි නාට්‍ය නිර්මාණය 'සකුගේ කතාව' සමඟයි වැඩිපුර කාලය ගත වෙන්නේ. එහි රූගත කිරීම් මේ දිනවල සිදු වෙනවා. එනිසා කුරුණෑගල, ඉබ්බාගමුව , බතලෙගොඩ වැව වගේ ප්‍රදේශවල තමයි මේ දවස්වල මම ඉන්නේ. මොකද මේ ආශ්‍රිතවයි එහි රූගත කිරීම් සිදු වෙන්නේ. ඊට අමතරව කොළඹත් රූගත කිරීම් සිදු වෙනවා.

සකුගේ කතාව' ඔබේ පළමු ටෙලි නිර්මාණයද?

මෙහෙමයි, මීට පෙර මම ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කර තිබෙනවා. නමුත් එය සම්පූර්ණයෙන්ම මම අධ්‍යක්ෂණය කරපු එකක් නෙවෙයි. අතරමඟ නැවැතුණු ටෙලි නාට්‍යයක් තමයි මම අධ්‍යක්ෂණය කළේ. නමුත් මා විසින්ම සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂණය කරන පළමුවන ටෙලි නිර්මාණය තමයි 'සකුගේ කතාව'.

'සකුගේ කතාව' තරමක් වෙනස් අත්දැකීමක් ප්‍රේක්ෂකයාට සමීප කරන නාට්‍යයක් වගෙයි?

ඇත්තටම මෙය වෙනස්ම කතා තේමාවක් රැගත් ටෙලි නාට්‍යයක්. මෙහි සිනමාරූපී ලක්ෂණ බහුලව භාවිත වෙනවා. ඒ නිසා මෙය සිනමාත්මක ටෙලි නාට්‍ය නිර්මාණයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා.

ඇයි ඔබ මෙවැනි ටෙලි නිර්මාණයක් කරන්න හිතුවේ?

මම සූදානම් වී සිටියේ මගේ නවතම චිත්‍රපටයෙහි වැඩ කටයුතු අරඹන්නයි. නමුත් ස්වර්ණවාහිනියේ මහේන් පෙරේරා මගෙන් ඉල්ලීමක් කළා අලුත්ම තේමාවක් රැගත් ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න කියලා. මොකද අද ලංකාවම ආක්‍රමණය කළ පිටරට ටෙලි නාට්‍ය රැල්ලක් තිබෙන නිසා අපේ ටෙලි නාට්‍ය කලාවට එයින් දැඩි බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. එවන් පසුබිමක අපි දෙන්නා සාකච්ඡා කළා ඇයි අපේ නාට්‍ය කලාව මෙවන් තත්ත්වයකට මුහුණපාලා තිබෙන්නේ, එයට විසඳුමක් අපිට දෙන්න පුළුවන් ද කියන දෙය. අපේ ටෙලි නාට්‍ය අභිබවමින් පිටරට, ඉන්දියානු ටෙලි නාට්‍ය වෙළෙඳපොළේ මුල් බැහැගෙන ඉන්න මොහොතක මෙයට විකල්පයක් විදිහට තමයි 'සකුගේ කතාව' නිර්මාණය වෙන්නේ. මහේන් මහත්මයා මෙහි කතා සංකල්පය මට යෝජනා කළා. ඔහු මගෙන් ඉල්ලීමක් කළා 'ඔබට පුළුවන් නම් එක වතාවක් හරි ටෙලි නාට්‍යයක් කරන්න' කියලා. ඒ ඉල්ලීමත් එක්ක මට ඇත්තටම ආසාවක් ඇති වුණා මෙය අත්හදා බලන්නට. ඇයි අපිට බැරි පිටරට ටෙලි නාට්‍යවලට අභියෝගයක් වෙන්නට ශ්‍රී ලංකාවේ කතා තේමාවකින් කියන දේ මට හිතුණා. ඒ අනුව මම කරන්නට සිතමින් සිටි චිත්‍රපටයේ වැඩ කටයුතු තරමක් දුරට අඩාල කරලා 'සකුගේ කතාව' ටෙලි නාට්‍යය කරන්නට කටයුතු කළා. මෙය ටෙලි නාට්‍යයකට එහා ගිය සිනමාත්මක ලක්ෂණ බහුලව පවතින ටෙලි චිත්‍රපටයක් කිව්වොත් නිවැරැදියි.

මෙහි තේමාව ගැන කතා කළොත්?

මෙහි එන ප්‍රධාන චරිතය 'සකුණි'. මේ දැරිය වටා තමයි මේ කතාව ගොඩ නැඟෙන්නේ. ගමත් නගරයත් අතර ජීවත්වන මිනිසුන් හා ඔවුන් අතර ඇතිවන මානුෂීය බැඳීම් ගැන ඒවායේ ඇති සමාජමය බලපෑම, ගුණාංග මේ නාට්‍යය ඔස්සේ කතාබහට ලක් වෙනවා.

ඒ වගේම ලංකාව වැනි රටක පියෙකුගේ නමක් නොමැතිව ඉපදුණු දරුවෙක් මේ සමාජයට මුහුණ දෙන අන්දම ද, සමාජය එවැනි දරුවනට සලකන අන්දම ඔවුනට මුහුණ පාන්නට වී ඇති වාතාවරණය, එවැනි ළමයින්ගේ ළමා මානසිකත්වය ගැන ඉතාම ගැඹුරින් කතාබහට ලක්වෙන ටෙලි නාට්‍යයක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්. ඒවගේම ඉතාම සුන්දර ලෙස සංගීතය මුසු වී සමාජමය විවරණයක් අපූර්වත්වයෙන් යුතුව ගෙනහැර පාන නාට්‍යයක් විදිහටත් මෙය ප්‍රේක්ෂකයාට ළං වෙනවා.

සකු'ගේ කතාවට ලැබෙන ප්‍රතිචාර?

මේ වන විට කොටස් කීපයක් පමණයි විකාශය වී තිබෙන්නේ. ඉතාම ජනප්‍රිය වී තිබෙනවා ප්‍රේක්ෂකයන් අතර මෙය. මට හිතෙන විදියට මගේ හිතේ තිබුණු පර්මාර්ථය එනම් අපේ ටෙලි නාට්‍යය ගැන මම දැකපු ආකල්පය නිවැරැදියි කියන එක විද්‍යාමාන වෙලා තිබෙනවා. අපේ දෙයක් ප්‍රේක්ෂකයාට නිවැරැදි ලෙස දුන්නොත් එය ඔවුන් ඉතාම ආදරයෙන් වැළඳ ගන්නවා.

ඔබ වෙළෙඳ දැන්වීම් කලාව තුළත් අනන්‍යතාවයක් ගොඩ නඟා ගත් නිර්මාණ ශිල්පියෙක්?

වෙළෙඳ දැන්වීම් කලාව තුළත් මම දශක කිහිපයකම සිට නියැලෙනවා. මේ දිනවලත් වෙළෙඳ දැන්වීම් කීපයක් නිර්මාණය කරමින් සිටින්නේ. මේ වෙනකොට වෙළෙඳ දැන්වීම් .දහසකට අධික සංඛ්‍යාවක් මම නිර්මාණය කර තිබෙනවා. මේ වන විට මගේම 'ඛ්පඥචබඪමඥ ඉධපජඥ' ආයතනය ඔස්සේ වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරනවා. දැන් එය පිහිටුවාගෙන අවුරුදු දොළහක් පමණ වෙනවා.

ඔබ කලා ලොවට පිවිසෙන අතීතයත් දැනගන්න කැමැතියි?

මම පාසල් ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට. උසස් පෙළ විද්‍යාව අංශයෙන් හදාරන්නට ගිහින් පසුව සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයෙන් ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. පසුව ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍ය උපාධිය හැදෑරුවා. මේ අතර මම උසස් පෙළ කරන අවධියේ සිටම ඡායාරූප ශිල්පින්ගේ සංගමයේ සාමාජිකයෙක් වුණා. අවුරුදු 3 ක පාඨමාලාවකින් පසුව මගේ වැඩිමහල් සහෝදරයින් දෙදෙනාගේ සහාය ඇතිව මගේ පළමුවෙනි චිත්‍රපටය නිර්මාණය කරන්න හැකි වුණා. මගේ අයියා ජයන්ත කොළඹගේ දක්ෂ තිර නාටක රචකයෙක්. මගේ චිත්‍රපට තුනේම තිර රචනය ඔහුගේ. අනෙක් අයියා පාලිත ලක්ෂ්මන් කොළඹගේ. ඔහු හොඳ ඡායාරූප ශිල්පියෙක්. ඔවුන්ගේ මඟ පෙන්වීම අනුව තමයි මගේ සිනමා මාධ්‍ය කලාවේ ඇරැඹුම පටන් ගත්තේ. ඉන් පසුව අක්කා නිර්මලා කොළඹගේ මට මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරන්න මූලික අඩිතාලම සකසා දුන්නා. රාවය සඟරාව පටන් ගත් මුල්ම කාලයේ එහි සාමාජිකයෙක් මම. පසුව එය පුවත්පතක් බවට පත් වුණා. එහි කලා පිටුව සංස්කරණය කළේ මම. 1989 දී මට අවුරුදු 19 දී තමයි මම 'දැහැන' මගේ පළමු චිත්‍රපටය කරන්නේ. ඉන්පසු 'විමුක්ති', 'අරුමෝසම් වැහි' චිත්‍රපට නිර්මාණය කරනවා. ඒවාට ජනාධිපති, සරසවිය සම්මාන උලෙළ මඟින් මෙන්ම අන්තර් ජාතික සම්මානත් හිමි වුණා. 2007 වසරේදී 'අරුමෝසම් වැහි' සඳහා චීනයේ 'මින්ගෝ' ජාත්‍යන්තර සම්මානය හිමි වුණේ ලෝකේ හොඳම ළමා චිත්‍රපටය වෙනුවෙනුයි. ඉන් පසුව වසර 14 ක නිහැඬියාවකට පසුව මම නැවත අධ්‍යක්ෂණයට පිවිසුණේ 'ආදරණීය කතාවක්' චිත්‍රපටය නිර්මාණය කරමින්. සිනමාවේ වසර 14 ක මගේ නිහැඬියාව බිඳ දැමූ චිත්‍රපටය එයයි. ඉන් පසුව නිර්මාණය කළ 'දේදුණු ආකාසේ' චිත්‍රපටයටත් සෑහෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. මේ චිත්‍රපට දෙකම ආදායම් වාර්තා තැබූ චිත්‍රපට බවට පත් වුණා.

පණිවිඩයක් ජනගත කරන ප්‍රබලම මාධ්‍ය සිනමාව ද වෙළෙඳ දැන්වීම් කලාවද?

චිත්‍රපටයකට වඩා දැන්වීමකින් සමාජයට අති විශාල බලපෑමක් කරන්න පුළුවන්. චිත්‍රපටයකින් යමක් ලබා දෙන්න පුළුවන් යම් පිරිසකට විතරයි. නමුත් වෙළෙඳ දැන්වීමක් නිරන්තරයෙන් වැඩි වාර ගණනක් ප්‍රචාරය වෙනවා. ඒ නිසා පණිවිඩයක් සමාජගත කරන්න ප්‍රබලම මාධ්‍යය දැන්වීම් කලාව තමයි.

පසුගියදා පැවැති සරසවිය සම්මාන උලෙළේදී ඔබත් සම්මානයක් හිමි කර ගත්තා?

ඔව්. ඒ ගැන අවංක සතුටක් හදවතේ තිබෙනවා. සරසවිය සම්මාන උලෙළ හැමදාමත් අපිට නිර්මාණකරුවන් ලෙස සුවිශේෂියි. අපි ලංකාවට වර්තමාන සිනමාව හඳුන්වා දෙමින් ඉන්නේ. නවීන සිනමාව. බටහිර රටවල නම් නවීන සිනමාව ගැන වඩාත් උනන්දුවෙන් කතාකරනවා. ඒ වෙනුවෙන් කටයුතු කරනවා. එවන් යුගයක ලංකවේ තවමත් නවීන සිනමාව හඳුන්වා දෙමින් තමයි පවතින්නේ. මෙවැනි වාතාවරණයක් තුළ බොහෝ සිනමා උලෙළවල නන සිනමාව විනිශ්චයට බඳුන් වෙනවා අඩුයි. ලංකාවේ සමහර සිනමා උලෙළවල විනිශ්චය මණ්ඩලවල නවීන සිනමාවට උචිත විනිශ්චය මණ්ඩලයක් නෙමෙයි සිටින්නේ. සරසවිය සම්මාන උලෙළකින් පළමු වතාවට සිනමාලංකරණය වෙනුවෙන් සම්මානයක් පිරිනැමීම ගැන වගේම මෙවර සරසවිය සම්මාන උලෙළ විනිශ්චය සඳහා සහභාගි වූ විනිශ්චය මණ්ඩලය නවීන සිනමාව ඩිජිටල් තාක්ෂණය ගැන නැඹුරුවක් තිබුණු පිරිසක් වීම ගැන මම හුඟක් සතුටු වෙනවා. මගේ ආදරණීය කතාවක් චිත්‍රපටය වෙනුවෙන් මට ලැබුණු සිනමාලංකරණයට හිමි සම්මානය ගැන ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම ආදරණීය කතාවක් චිත්‍රපටය සම්මාන 9 ක් උදෙසා නිර්දේශ වී සම්මාන 7 ක් ලබන්නට සරසවිය සම්මාන උලෙළේදී වාසනාවන්ත වුණා. ඒ ගැන ලොකු සතුටක් දැනෙනවා. මොඩන් සිනමාව පිළිබඳ සංක්‍රාන්ති සමයක ලංකා සිනමාව ඉන්න මොහොතක මම ලබපු මේ සම්මානය ලංකාවේ හෙට දිනයේ නවීන සිනමාවට ලැබුණු සහ දීපු ලොකු රුකුලක් ලෙස මම දකිනවා.

සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔබ අද කලාවේ නියැලෙන ප්‍රවීණයන් සහ නවකයන් ගැන දරන්නේ මොන වගේ ආකල්පයක්ද?

මෙහෙමයි, අද ප්‍රවීණ සහ නව පරපුරේ නළු නිළියන් දෙස බලත්දී මේ දෙපාර්ශවය සමඟම මම වැඩ කර තිබෙනවා. අපි ගත්තොත් ජෝ, සනත්, ලකී, සුවිනීතා වීරසිංහ වගේ ප්‍රවීණයන් ඒ අය තුළ මම දකිනවා ඔවුන් තුළ කලාවට තිබෙන පුදුමාකාර බැඳීම, ලැදි බව. ඔවුන් කලාව ආත්මය කොට ගත් අය කිව්වොත් නිවැරැදියි. මේ සමඟම නව පරපුරත් ඉතාම දක්ෂයි. අනිවාර්යයෙන්ම මේ දක්ෂ නව පරපුර අපිට අත්‍යවශ්‍යයි. ඒත් මම තවම ඔවුන්ගෙන් දකින්නේ නැහැ තමාගේ ආත්මීය භාෂාව බවට තවම සිනමාව පත් කරගෙන ඇති බවක්. ඉස්සර කලාකරුවෙක් දැනුමෙන්, සාහිත්‍යය අතින් වගේම ගති ගුණ, නිහතමානීත්වය අතින් ඉතාම සන්නද්ධයි. නූතන අය අද තාක්ෂණය සමඟ බද්ධ වුණත් සිනමාවට තවම දුරයි. කලාවේ මේ වෙනස මම දකිනවා. නව පරපුරේ වෘත්තීමය හැඟීම් ඇරෙන්න ඔවුන් තුළ සහෘද හැඟීම් ඇති වෙන්න ගොඩක් කාලයක් යාවි කියලා හිතෙනවා.

ඔබේ අනාගත බලාපොරොත්තු?

මම හරිම ආසයි ලංකාවේ වත්මන් සිනමා කර්මාන්තයේත් 70 දශකයේ වගේ මිනිස්සු පෝලිමේ ඉඳලා චිත්‍රපට ශාලාවල චිත්‍රපට නරඹන්න චිත්‍රපට ශාලාවල එන්න නම්. ඒ තත්ත්වය ඇතිවෙනතුරු මම ඉන්නේ නොඉවසිල්ලෙන්. ප්‍රධාන වේවා, විකල්ප වේවා මේ කුමන ධාරාවක චිත්‍රපට වුණත් ප්‍රේක්ෂකයා රොද බඳිමින් නරඹන කාලයක් උදා වෙන්න ඕනෑ කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඒ වෙනුවෙන් තමයි මම චිත්‍රපට නිර්මාණය කරන්නේ.

Add new comment