මම නවකතා ලියන ක්‍රම මුකුත් දන්නේ නෑ

මං ඉතිහාසයට යොමුවුණේ මහත්තයා නිසා
ඔක්තෝබර් 25, 2018

ඇය ආර්ථික විද්‍යාව හා දේශපාලන විෂයයන් ඉගැන්වූ ගුරුවරියකි. 1974 පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිටත්ව මිහින්තලේ, තලාව සහ කැකිරාව වැනි දුෂ්කර පළාත්වල ගුරු සේවයේ නියුතුව පසුව නාරම්මල මහා විද්‍යාලයෙදී ගුරු භූමිකාවට සමු දුන්නාය. විශ්‍රාම සුවයෙන් සිටින කාලයේ සිතේ සාන්කාව අකා මකා ගැන්මට යමක් ලියන්නට වූ ඇය අවසානයේ නව කතා දෙකක කතුවරිය බවට පත් වූවාය. න ගච්ඡති ඇගේ පළමුවැනි නවකතාවයි. එය ගොඩගේ අත්පිටපත් තරගයේ ප්‍රශස්ත නවකතාව ලෙස මෙන්ම ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ දෙවැනි වටය නියෝජනයට සමත් විය. එයින් නව පණක් ලද ඇය 'වරණ' සිය දෙවැනි කෘතිය ලෙස පාඨකයන්ට ප්‍රදානය කළාය. පද්මිනී සෙනෙවිරත්න සිය නවකතාකරණය පිළිබඳ සරසවියට අවංකව පැවසූ තොරතුරු මෙසේ හෙළි කරමු.

 

ඔබ නවකතා ලිවීමට යොමු වුණේ මෑතකදීයි?

මම දුෂ්කර සේවයේ දිගු කාලයක් ගුරුවරියක් ලෙස ඉඳලා පසුව නාරම්මල හොරොම්බාව සහ පසුව නාරම්මල මහා විදුහල කියන පාසල් දෙකේ ඉගැන්වීමෙන් පස්සේ විශ්‍රාම ගියා. මගේ මහත්තයාත් නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්. අපි දෙන්නම විභාග කරමින් ලොකු තනතුරු ලබා ගන්න උත්සාහ නොකළ සන්සුන් ජීවිත ගත කරන්න කැමති දෙන්නෙක්. විශ්‍රාම ගත්තට පස්සේ පේරාදෙණියේ දුවගේ ගෙදර නතර වුණාම අපට දවස බොහොම දිගුයි කියා හිතුණා. ඉතින් කාලය ප්‍රයෝජනවත්ව ගෙවන්න ක්‍රමයක් විදිහට මොනවා හරි ලියන්න ගත්තා මිසක මට මුලින් කිසිම අරමුණක් තිබුණේ නැහැ මේ විදිහට නවකතා ලිවිය යුතුයි කියලා.

 

අරමුණක් ඇති වෙන්න පටන් ගත්තේ?

මගේ මහත්තයා නැති වුණේ න ගච්ඡති ලියමින් ඉද්දි. ඒ නිසා කටයුතු අඩාළ වෙන්න යද්දි දුව මගේ හිත හදන්නත් එක්ක කීවා ගොඩගේ සාහිත්‍ය තරගයේ අත්පිටපත් බාරගන්න අවසන් දිනයට තිබෙන්නේ තව මාසයයි, ඒ නිසා කොහොම හරි ලියලා ඉවර කරන්න කියලා. මටත් හිතිලා තිබුණේ මේ කතාවට පාඨකයන් කැමති වෙයි කියලා. මහත්තයාගේ වියෝවෙන් ඇති වුණ මානසික පීඩනයටත් ලිවීම හොඳ පිළියමක් වුණා. කොහොමෙන් හරි අවසානයේ අත් පිටපත් තරගයේ ප්‍රශස්තම නවකතාව බවටත් එය තේරුණා.

 

එතකොට වරණ ලීවේ?

මහත්තයා නැතිව තනි වුණාම මම දූලගෙ ගෙදර ස්ථිර පදිංචියට ආවා. එහෙත් දවල් දවස තනිවම ගෙවා ගැනීමේ මාර්ගය හැටියට තමයි වරණ ලියන්න ගත්තේ. එය කම්පනයෙන් මිදෙන්න මට අත්වැලක් වුණා.

 

ඔබ නවකතා පිළිබඳ යම් හැදැරීමක් කළාද?

අනේ නැ. මම නව කතා වැඩිය කියවන්නේත් නැ. විශේෂයෙන් අලුත් නව කතා ගැන වැඩි අවබෝධයක් නැහැ. ඒත්, ඩබ්ලිව්. ඒ. සිල්වා මහත්මයාගේ පොත් නම් හරිම කුතුහලයෙන් පිරුණු ඒවා නිසා ආසාවෙන් කියෙව්වා. මම නම් පොත් කියවන්නේ කතා රසයට. ඒක මගේ දැනුමේ පුළුල්බව මදිකමක්ද මම දන්නේ නැහැ. හැබැයි ඉතිහාස පොත් කියවීමෙන් මට මහත් වින්දනයක් ලැබෙනවා.

 

ඔබ ඉතිහාසය විෂයයක් ලෙස හැදැරුවාද?

මම විශ්වවිද්‍යාලයට එද්දි විෂයයක් ලෙස ඉතිහාසය තිබුණත් අපේ ඔළුවලට වැටී තිබුණා ඉතිහාසයෙන් වැඩක් නැ කියලා. ඒ නිසා දේශපාලන විද්‍යාව තෝරා ගත්තා. පසු කාලීනව මහත්තයාගේ ඉතිහාස පොත් කියවන්න අවස්ථාව ලැබුණා. එයින් මම වැඩිපුරම කැමති වුණේ මහනුවර යුගයට. ඒ නිසා ජාතික පුවත්පතකට ඒ පිළිබඳ ලිපියක් ලීවාම එහි කතුවරයා දිගටම මහනුවර යුගය ගැන ලියන්න කියලා මට කීවා. ඒ සමහර කරුණු සොයන්න මමයි මහත්තයයි ඒ තැන්වලට ගියා. මම ලිපි මාලාවේ ලීවේ වැඩි දෙනෙකු නොදන්න කරුණු නිසා ලිපි මාලාව ජනප්‍රිය වෙන්න ගත්තා. මැදවල පන්සල ගැන ලීවේත් අපි දෙන්නා ගිහින් කරුණු හොයලා බලලා. හාමුදුරුවන් එක්ක කතා බහ කරලා. ඒ වගේම ඒ. සී. ලෝරි, පෝල් ඊ. පීරිස් වගේ මහත්වරුන්ගේ පොත් කියවීමෙනුත් මට බොහෝ කරුණු දැන ගන්නට ලැබුණා. එය හරියට පර්යේෂණයක් හා සමානයි.

 

ඉතිහාසය සම්බන්ධ කතා ලිවීමේදී ලේඛකයකු බොහෝ පරෙස්සම් විය යුතුයි, ඇතැම් චරිත ආදිය පිළිබඳ නිවැරැද තොරතුරු ලබා ගැනීමේදී?

වරණ කතාවේ එන සොයිසා වැනි චරිත පිළිබඳ 1905දී ලියැවුණු සොයිසා චරිතය පොතෙන් තොරතුරු ලබා ගත්තා. මඟ දිගට ජන කතා පොතේ හඟුරන්කෙත ගැන බොහෝ විස්තර තිබෙනවා. නිදන් පිළිබඳ කතා බොරුය කියලා සමහර පොත්වල සඳහන් වුණත් ඒ දේවල් ඇත්ත කියලා විශ්වාස කරන පරම්පරාගත ගැමියන් තවමත් ඒ ප්‍රදේශවල ඉන්නවා. රජවරුන්ගේ වස්තුව සුරැකි පිරිස් සිටිය බවත් ඔවුන් විශ්වාස කරනවා.

 

ඔබ අධියථාර්ථවාදී ලක්ෂණ යොදා ගත්තේ කුමන අරමුණින්ද?

ඇත්තෙන්ම මම එහෙම ලක්ෂණ යෙදිය යුතුයි කියලා හිතලාවත් ඒ ශෛලිය පිළිබඳ අවබෝධයකින්වත් නෙවෙයි එහෙම ලීවේ. දුව නම් ඒ ඒ විධික්‍රම ගැන කියනවා මම අහලා තිබෙනවා. ඒත් මම ඒවා කියවලත් නැහැ, කියෙව්වට මගේ ඔළුවට දැන් යන්නෙත් නැහැ. මොකද මගේ වයස දැන් අවුරුදු 67ක්. මට ඕනැ වුණේ කතාව රසවත්ව ලියන්න. ඒවගේම කතාව සාධාරණීකරණය කරන්න සුදුසු චරිත ඒ ආකාරයෙන් හරි යොදා ගන්න. අනෙක මම පෞද්ගලිකව හොල්මන්, භූතයන් වගේ සමහරු මිථ්‍යාව කියන දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද ඒවා නැති බව කියන්න තරම් සාක්ෂි මා ළඟ නැහැ. ඒ යොදා ගැනීම්වලින් කතාව රසවත් වුණේ මගේ තිබුණු වාසනා ගුණයකට වෙන්න ඇති. එහෙම නැතිව ඒ විධික්‍රම අනුගමනය කරන්න ඕනා කියලා මට අදහසක් තිබුණේ නැහැ.

 

ගච්ඡති සහ වරණ කතා දෙකම ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නිදොස් කිරීමට උත්සාහ කරනවා?

ඔව්. ඒ කතා දෙක අතර කාල පරතරයත් අවුරුදු තිහ හතළිහකට වඩා නැහැ. ඒ වගේම නුවර යුගය ගැන කියවද්දී මට හිතුණා රාජසිංහ රජුට විශාල අසාධාරණයක් සිදු වෙලා තිබෙනවා කියලා. ඒ නිසා ඒ පිළිබඳ හෙළි කිරීමටත් මට වුවමනා වුණා.

 

මේ කාලේ ඉතිහාසය පිළිබඳ නිර්මාණ බිහිවනවා. ඔබත් ඒ රැල්ලට හසු වුණාද?

නෑ. මම නම් හිතන්නේ අපි කොහොම කීවත් බොහෝ දෙනා ඉතිහාසයට හුඟක් ළැදියි. ඉතිහාස කතා කියවන්න බලන්න කැමතියි.

 

ඔබේ මේ පොත්වල භාෂා භාවිතය වෙනස්?

සුමංගල ශබ්ද කෝෂය වගේම ජේ. බී. දිසානායක සර්ගේ පොත්වලින් පවා මම සමහර වචනවල තේරුම් සමාන පද සොයාගෙන තමයි ඒ වහර යෙදුවේ.

 

තවත් පොතකට සූදානම්ද?

ඔව්. තවත් ඉතිහාස කතා පොතක්. හැබැයි නුවර යුගය ගැන නෙවෙයි. සීතාවක යුගය ගැන.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.