තාත්තාගේ කතාව තාම ඉවර නෑ

Mario Ananda
නොවැම්බර් 1, 2018

අපි දන්නවා ඔබ ලංකාවේ හිටිය ජනප්‍රියතම, ප්‍රවීණතම ගායන ශිල්පියෙකුගේ පුතෙක් කියලා. ඒත් ඔබ කොහොමද ඔබව හඳුන්වන්නේ?

මම ඇත්තටම කැමැතියි මම ග්‍රේෂන් ආනන්දගේ පුතා කියනවට. මොකද මට හිතෙනවා එක්තරා ආකාරයකට තාත්තගේ කතන්තරය තවම ඉවර නෑ කියලා වගේ. තාත්තා ආපු ගමන් මඟ තුළ සමහර තැන් තියෙනවා තවදුරටත් ගියා නම් හොඳයි වගේ කියලා හිතෙන. සමහරුන් තාත්තගේ ගමන් මඟ දිහා එක් පැත්තකින් විතරක් බලලා අසාර්ථක පුද්ගලයෙක් විදියටත් හඳුන්වන්න උත්සාහ කරපු අවස්ථා තිබෙනවා. එහෙම නොවෙනවා කියන දෙය ඔප්පු කරන්නට තිබෙන ප්‍රබල සාක්ෂිය තමයි මමයි, මගේ අක්කයි. මම දකින විදියට මම කියන්නේ නෑ මම අති සාර්ථක පුද්ගලයෙක් කියලා. නමුත් මම මුදල් හම්බ කරනවට වඩා මොනවද මම කළේ කියන දේට යමක් ඉතිරි කර ගත්ත කෙනෙක් මම. මුදල් පස්සේ යනවා නම් ඒකට ඕන තරම් අවස්ථා මට තිබුණා. නමුත් මගේ ජීවිතේ අදටත් එහෙම නොවුණු නිර්මාණ පිපාසයක් තියෙනවා. ඒකයි අදටත් මම බයිසිකලේක නැගලා යන කෙනෙක් වෙලා තියෙන්නේ. හුඟාක් දෙනෙක් ඒකට මට හිනා වෙනවා. නමුත් මම දන්නේ නෑ ඒක ගායකයයෙකුට නුසුදුසුකමක්ද කියලා. මගේ තාත්තා මැරෙනතුරුම බස් එකේ ගිය කෙනෙක්. ඒ අතින් බලන කොට මම බයික් එකක යන්න හරි ඉතිරි කිරීමක් කරලා තියෙනවා. ඒ අතින් තාත්තට වඩා පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා. මට තියෙන එකම ප්‍රශ්නෙ එහෙම ගිහින් මම කරලා තියෙන වැඩ ටික මේ රටේ පොදු ජනතාව දැනගන්නේ නැතිකමයි. මට ලොකු ඕනකමක් තියෙනවා ඒවා පොදු ජනතාව අතරට අරගෙන එන්න.

මාරියෝ ආනන්ද, ග්‍රේෂන් ආනන්දගේ පුතා විදියට ක්ෂේත්‍රයට පැමිණ ඒ තුළ ස්ථාවර වෙන්නට කලින්ම ඔබේ පියා මෙලොවින් සමු ගැනීම ඒකට හේතුවක් වෙන්නැති?

ඔව්. එකත් මට දැඩි විදියට බලපෑවා කියලා මම විශ්වාස කරනවා. මාත් සමඟ ආව මගේ අනෙකුත් මිතුරන් ගැන හිතනකොට ඔවුන්ගේ ගමනට දිරි දෙන්න තවමත් ඔවුන්ගේ මවු පියවරුන් ජීවතුන් අතර ඉන්නවා. දෙමව්පියෝ ඉන්න කොට කොච්චර ගැම්මක් තියෙනවද කියලා මම දන්නවා. අපේ අම්මා තවමත් අපිත් එක්ක හිටියට එයා අපව කුඩා කාලයේ ආරක්ෂා කළාට දැන් අපි කියන කරන දේවල්වලට වචනයකින් හරි උදව්වක් දෙන්න පුළුවන් තැනක නෙවෙයි අපේ අම්මා ඉන්නේ. ඒ අතින් බලනකොට මම මේ ක්ෂේත්‍රයට ඇවිත් තනියම අතරමං වුණු ළමයකේ වගේ. මේ වෙනතුරු ගත්තේ මම තනියෙන් ගත්තු තීන්දු තිරණ තමයි. නමුත් තාත්තා හිටියා නම් මේ තත්ත්වය හුඟාක් වෙනස් වෙන්න තිබුණා. ඔහුගේ අනුගාමිකත්වය මත මට මේ ගමන යන්න තිබුණා. මොකක් හරි හේතුවකට මට එහෙම නොවෙන්නත් එක පැත්තකට හොඳක් ද කියලත් මට වෙලාවකට හිතෙනවා. තාත්තා හිටිය නම් මම මේ බැරෑරුම් කාර්යය හුඟක් පහසු දෙයක් හැටියට සලකයි සමහර විට. එහෙම වුණා නම් මට පවුලේ බරක් නොදැනේවි. අම්මව, අක්කව රැක බලා ගන්න ඕන කියන වගකීම් නොදැනේවි. අද මටයි කියලා පවුලක් තාම නෑ. අක්කට කියලා පවුලක් තාම නෑ. අපි ඔක්කොම එකට එකතු වෙලා පවුලක් හදා ගන්න කොච්චර කට්ට කෑවද කියලා දන්නේ මං විතරයි. ඉතිං මේ සියලු දේම එකතු වෙලා තමයි මාරියෝ ආනන්ද කියන මම ගොඩ නැගෙන්නේ. ඒක සංගීතයෙන් ගායනයෙන් විතරක් නිර්මාණය වුණු එකක් නොවෙයි.

තාත්තත් එක්ක කුඩා කාලයේ ඔබට තියෙන මතක මොනවාද?

සංගීතය පැත්තෙන් නම් තාත්තා මට දෙන්න ඕන දේවල් හරියටම දුන්නා. ඒ කාලේ මම දැනගෙන හිටියේ නෑ සංගීතයෙන් මම මේ විදියට යැපෙයි කියලා. මට තිබුණේ හොඳට ඉගෙන ගෙන ඉහළට යන්න ආසාවක් විතරයි. මම හිතුවේ ඉගෙන ගෙන මොනව හරි රැකියාවක නියුතු වෙයි කියලයි. ඒක සම්පූර්ණයෙන්ම තාත්තගේ වියෝවත් එක්ක වෙනස් වුණා. තාත්තා නැති වුණේ මම උසස් පෙළ කරන්න ඉන්න කොට. ඒ නිසා මට ඒ/ඹ් කරන්න බැරි වුණා. ආපහු අවුරුදු දෙකකට පස්සේ තමයි මට අධ්‍යාපනය ඉවර කර ගන්න පුළුවන් වුණේ.

ඒ කඩා වැටීමත් එක්ක ඔබට නැවත නැගිට ගන්න ශක්තිය ලැබුණේ කොහොමද?

ඒ කාලය හරිම අසරණ කාලයක්. වැඩිය දැනුම් තේරුම් නෑ. අතේ මිල මුදල් නෑ. ඉන්න ගෙයක් දොරක් තිබුණේ නෑ. පවුලක් විදියට අපි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන්නා තමයි. පොඩි කාලේ ඉඳන්ම මම තීන්දු තිරණ ගනිත්දී හැමෝටම හොඳ දෙයක් වන තීන්දු ගැනීමේ හැකියාවක් මට තිබුණා. ඒක හින්ද යම් යම් තැන්වලදී මම ගත්ත දැඩි තීරණ මාව ආරක්ෂා කළා සහ මගේ පවුල ආරක්ෂා කළා. ඒ විතරක් නෙමේ තාත්තගේ සිංදු පවා ආරක්ෂා වුණා. ඒ කාලේ තාත්තගේ සිංදු ඉල්ලලා ලොකු මුදලක් දෙන්නත් සමහරු ඉදිරිපත් වුණා. සිංදු ලිස්ට් එක ලියාගෙන ගෙදරටත් ආවා. ඔවුන් ඒ වෙලාවේ කරන්න හැදුවේ මට උදව්වක්. ඒ අතරෙම තවත් ගොඩක් අය බලාගෙන හිටියා මේක අතට ගන්න. ඒ වෙලාව මටත් ආර්ථික අමාරුකම් ගොඩක් තිබුණ අවස්ථාවක්. මටත් මේ අවස්ථාව පැනලා බාර ගන්න තිබුණා. හැබැයි මම පොඩිකමට ඒක කළේ නෑ. ඒක මගේ තනි තීරණයක්. අම්මා ඒකට අත දාන්න කැමැති වුණේ නෑ. මාත් සමඟ තමයි සම්බන්ධකම් තිබුණේ. ඒකට අකමැති වීම තුළින් එක්තරා පැත්තකින් මම කොන්වීමක් වුණා. මුදල් පැත්තෙන් නම් මට වැටෙන්න තැනක් තවත් තිබුණෙම නෑ. නමුත් එකට වැඩ කරත්දි පොඩි හිත් නොහොඳකමක් තිබුණා කියලා මට දැනුණා. මගේ නිර්මාණයන් වුණත් බාර දුන්නම ඉදිරියට ආවෙ නැති ගතියක් තිබුණා. නමුත් අද මම සතුටු වෙනවා ඒ තීරණය ගත්ත එකට. ඒකෙන් මම තාත්තාගේ නිර්මාණ ටික රැක්කා වගේම ඒක මත්තෙම මගේ චරිතය ගොඩ නඟා ගන්නත් උත්සාහ කළේ නෑ. මම මගේ උත්සාහයෙන් නිර්මාණ කරන්න පෙලඹුණා. හැම දවසකම වගේ මම නිර්මාණයක් කරන්න ගත්තා. ඒවා මිනිස්සු අතරට නොගියාට සතත්‍යාභ්‍යාසයක් වගේ හැමදාම මම නිර්මාණ කරන්න ගත්ත. එහෙම කරපු නිර්මාණ එකතුවක් තමයි දැන් මං ගාව තියෙන්නේ.

පහුගියදා ඔබ අයර්ලන්තයේ සංචාරයකට එක් වුණා නේද?

පසුගියදා අයර්ලන්තයේ සංචාරයකට අවස්ථාව සැලසුණේ මගේ ඉංග්‍රීසි ගී නිර්මාණ නිසා. අයර්ලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකික පවුලක් තමයි මාව ගෙන්වා ගත්තේ. මේ පවුලේ ඉන්නවා අවුරුදු 12 ක දියණියක්. එයා එහේ ඉගෙන ගත්තට හොඳට ලියන්න කියන්න දැනුමක් තියෙන කෙනෙක්. මගේ ඉංග්‍රීසි ගීත යූ ටියුබ් හරහා දැකලා අහලා තමයි මා ලවා ගීතයක් කරවා ගන්න ගෙන්න ගත්තේ. එයගේ නම සෙනුරි වික්‍රමරත්න. එහේ ප්‍රසංගයකුත් කළා. එහේ ළමයි යොදලා විෂුවල් කිහිපයකුත් කළා. මේ ප්‍රසංගය නිසා අයර්ලන්තයේ ඉන්න කථිකාචාර්යවරයෙක් මට හඳුන ගන්න ලැබෙනවා. ඒ කාලයේ අයර්ලන්තයේ ගබ්සාව පිළිබඳ ලොකු කතාබහක් ඇතිවන කාලයක්. ඒ වෙලාවේ මගෙන් ඉල්ලිමක් කළා ඒකට ගීතයක් ලියන්න කියලා. ඒ ගීතය මම ලිව්වා. ගීතය ලස්සනට කළා. සංගීතය නිර්මාණය කළා. මමම ගායනා කළා. ඒක අයර්ලන්තයේ ගොඩක් ජනප්‍රිය වුණා. හුඟාක් දෙනෙක් මට කිව්වා ඒක සිංහලෙන් කරලා ලංකාවටත් දෙන්න කියලා.

පසුගිය දිනවල පැවති මිස් ශ්‍රී ලංකා ඉන් යුරෝප් තරගයේත් ඔබ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවා නේද?

යුරෝපයේ මේ සඳහා බොහෝ දෙනෙක් පැමිණෙන නිසා ඔවුන්ටත් දැනෙන ආකාරයේ ඉංග්‍රීසි සිංදුවක් කරන්න අවස්ථාවක් මට හිමි වුණා. මේ ගීතය ලිව්වේ ලින්ඩා රෝස් කියන ජර්මන් ජාතික තරුණියක්. ඒ අවස්ථාව මට ඒගොල්ල බය නැතුව දුන්නා. ඉංග්‍රිසි පද රචනය, සංගීතය හා ගායනය මමයි කළේ. සිංහල සහ ජර්මන් භාෂාවෙනුත් කළා. මම හිතුවේ නෑ මගේ සංගීත ජීවිතය තුළ ඔහොම පැත්තකට යන්න පුළුවන් වෙයි කියලා.

දැන් ඔබේ පියා නැතිවෙලා වසර 8 ක් වෙනවා. ඔබ දැන් තරුණයෙක්. ඔබටත් අවශ්‍යතා රාශියක් තිබෙනවා. දැන් ඔබ හොඳ පදනමක් ගොඩ නඟාගෙනද?

මම වෘත්තියක් විදියට කරන්නේ සංගීතය තමයි. තරුණ පුතෙක්, දුවෙක් ඉන්න අම්ම කෙනෙකුට දැනෙන සංවේදනා දැන් අපේ අම්මා විඳිනවා ඇති. විශේෂයෙන් අපේ විවාහය, අනාගතය ගැන ඇය නිරන්තර හිතනවා ඇති. අනෙක් පැත්තෙන් ඒක මටත් නොදැනෙනවා නොවෙයි. ඒක තමයි යථාර්ථය. මම ජීවිතේ එක තැනකදි මමයි, අම්මයි, අක්කයි, තාත්තයි එකවුන්ට් එකේ සතයක් නැතිව ගෙයක් දොරක් නැතුව, අඳින්න ඇඳුමක් නැතිව අසරණ තත්ත්වයට වැටුණු මිනිස්සුනේ. එතැනින් එහාට වැටෙන්න තැනක් නෑනේ. ජීවිතේ දුක මොනවද කියලා මම දන්න කෙනෙක්. නමුත් දැන් මගේ එකවුන්ට් එකේ සල්ලි චුට්ටක් හරි තියෙනවා. එතැන්ටවත් ආව එක ගැන මට සතුටුයි. ගේකුත් අරගෙන, බයික් එකකකුත් අරගෙන අර හිටපු තැන ඉඳලා පඩි කිහිපයක් නැගලා තියෙනවා කියලා හිතෙනවා. ඉතුරු ටික බය වෙන්නේ මොකටද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. දෙවියන්ගේ පිහිටෙන් මට සල්ලි වුවමනා වෙනකොට කුමක් හෝ වැඩක් සෙට් වෙනවා. කවදාවත් කාගෙන්වත් ඉල්ලන්න සිද්ධ වෙන්නේ නෑ. ඒක මගේ තාත්තගේ පින් ශක්තිය වෙන්න පුළුවන්. අම්මගේ පින් ශක්තියත් වෙන්න පුළුවන්. තාත්ත නිසා තමයි මම කුමක් හෝ වැඩක් කැරකෙන්නේ. විශේෂයෙන්ම මගේ ජීවිතේ ආදරේ ගැන කල්පනා කරන කොට මට දැන් ප්‍රේමවන්තියක් නෑ. කලින් මට ප්‍රේමවන්තියක් හිටියා. දැන් නෑ. දෙවැනියෙක් මුණ ගැසුණොත් එයා මගේ අවසාන පෙම්වතිය විය යුතුයි කියන තර්කය මට තියෙනවා. එහෙම අනාගතයක් ගැන හිතන්න ලොකු ආර්ථික ශක්තියකුත් ඕන.

අනාගතේ බලාපොරොත්තු මොනවාද?

මම තාමත් ඉගෙන ගන්න ආසයි. ඉගෙන ගන්න කලෙදි ඒක මට නිසි පරිදි හිතේ හැටියට කර ගන්න බැරි වුණා. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 8 ක් වෙනවා. මාරියෝ ආනන්ද කියන චරිතයේ මිනිස්සුන්ට පෙන්වන්න දෙයක් තියෙන්න ඕන. ඒක හදා ගනිමින් යන ගමනක් තමයි තවමත් මට තියෙන්නේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.