මුලින්ම කළේ නළු නිළියන්ගේ රෙදි හෝදපු එක

නොවැම්බර් 1, 2018

මා ඔබ දකින ටෙලි සිනමා නිර්මාණයන්හි පසුතල නිර්මාණයන් සැකසෙන්නේ කලා අධ්‍යක්ෂවරයාගේ අතිනි. රූප රාමුවෙන් රූප රාමුවට නිර්මාණයට උචිතව ඔහු විසින් මනාව පසුබිම සකස් කළ යුතු වෙයි. ටෙලි හෝ සිනමා නිර්මාණයක වේවා එහි රඟපාන පිරිස හැරුණු කොට අපට පෙනෙන්නේ කලා අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවයයි. ඒ අනුව බලන කළ එම තනතුර හිමි තැනැත්තාට වගකීම් රැසක් නිතැතින්ම හිමිවේ. ප්‍රබෝධ සේනාරත්න ද එවන් වූ අයෙකි. වත්මනහි නිර්මාණ ගණනාවකටම ඔහු එකතු වූයේ කලා අධ්‍යක්ෂවරයකු ලෙසිනි.

ප්‍රබෝධ ඔබේ පසුබිම් කතාව පළමුව පවසමු?

මට මුලින්ම තිබුණේ රඟපෑමේ පිස්සුව. රඟපාලා ජනප්‍රිය වෙලා ඒ පැත්තෙන් ගමනක යෙදෙන්න හිතුවා. ඔය අතරේ මං දන්න හිතවත් අයියා කෙනෙකුටත් නිතර කිව්වා මගේ රඟපෑමේ පිස්සුව ගැන. පසුකාලීනව නිර්මාණයකට මට දායක වන්නට ලැබුණා. ඒ නළුවකු හැටියට නම් නෙවෙයි. සහාය කලා අධ්‍යක්ෂවරයකු ලෙසටයි මට වැඩ කරන්න වුණේ. ක්ෂේත්‍රයට එකතු වන්නට තිබුණු ආශාව නිසා එහෙම හරි එකතු වුණා. කලා අධ්‍යක්ෂ කොට්ටාරමුල්ලේ චමිල යටතේයි මං මුලින්ම වැඩ කළේ. නාට්‍යයේ නම පබා. ඊට පස්සේ රිතු නාට්‍යයේත් සහාය කලා අධ්‍යක්ෂ විදිහට හිටියා. දන්නවද මට මුලින්ම කරන්න ලැබුණේ මොනවද කියලා.

නැහැනෙ?

ඒ නාට්‍යයේ නළු නිළියන්ට භාවිත කළ ඇඳුම් හෝදන්න තමයි මුලින්ම සිදු වුණේ.

සහාය කලා අධ්‍යක්ෂ, කලා අධ්‍යක්ෂවරයකු බවට පත්වන්නේ මොන නිර්මාණය ඔස්සේද?

ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍යයෙන් තමයි මං කලා අධ්‍යක්ෂවරයකු වුණේ. ඒක සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයක්.

අනතුරුව ඔබ කලා අධ්‍යක්ෂවරයකු ලෙසට දායක වූ නිර්මාණ මොනවාද?

ටෙලි නාට්‍ය වශයෙන් ගත්තොත් සමනලුන් පියාඹයි, පුනර්ජායි, සිහින නෝට්ටු, යටිනුවර මැණිකේ, බඹර වසන්තය, රජ දහන කියන චිත්‍රපටවලටත් මං කලා අධ්‍යක්ෂණය කළා.

මේවා අතරින් වැඩිපුරම බර දුන් නිර්මාණය මොකක්ද කියලා මං ඇහැව්වොත්?

මේ නිර්මාණ සියල්ලන්ටම වගේ මං සාධාරණයක් ඉටු කළා. ඒ අතරින් බඹර වසන්තය ෆිල්ම් එකට ගොඩක් මහන්සි වුණා.

කලා අධ්‍යක්ෂවරයකු විදිහට නිර්මාණයක අධ්‍යක්ෂවරයාගේ ක්ෂණික ඉල්ලීම් ඉටු කරන්නට සිදු වෙලා නැතිද?

තියනෙවා තියෙනවා. එක සැරයක් නාට්‍යයක් කරන්න ගියා තබ්බෝව වැව කිට්ටුවට. අධ්‍යක්ෂවරයා හදිසියේම දර්ශනයට වෑන් එකක් ඕන කිව්වා. බැහැ කියන්න බැහැ. මං සාමාන්‍යයෙන් බැහැ කියන්නෙත් නැහැ. තියෙන සබඳකම් මත සුළු වේලාවක් ඇතුළත මං වෑන් එකක් සෙට් එකට ගෙනාවා.

සමහර නිර්මාණකරුවන් කලා අධ්‍යක්ෂණය ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ නේද?

ඒක ඇත්ත. එහෙම විය යුතු නැහැ. කලා අධ්‍යක්ෂණය කියන්නේ එහෙම සෙල්ලම් වැඩක් නෙවෙයි. සමහර අධ්‍යක්ෂවරුන් අපෙන් වැඩ අරගෙන නියමිත මුදල් දෙන කොට පවා අපව හෑල්ලුවට ලක් කරනවා. එහෙම නිර්මාණකරුවන්ගේ ගමන ඉතාම කෙටියි.

කලා අධ්‍යක්ෂවරයකු හැටියට ඉදිරිය දකින්නට සූදානම් වන්නේ?

නැහැ. අද වන විට මං අධ්‍යක්ෂණයට පිවිසිලා. මගේම කියලා වීඩියෝ නිෂ්පාදන ආයතනයකුත් කරගෙන යනවා. ඒ අතරේ හොඳ නිර්මාණයකට කතා කළොත් කලා අධ්‍යක්ෂවරයකු වශයෙන් සහභාගි වෙනවා.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.