අද හොඳම පඬිවරු ඉන්නේ මුහුණු පොතේ

සමන් වික්‍රමආරච්චි
නොවැම්බර් 1, 2018

'අප්පච්චි ඇවිත්' මෙවර ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලද විශිෂ්ටතම නවකතාවයි. එහි කර්තෘවරයා ඔබ දන්නා පරිදිම වෘත්තීය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. ඊටත් වඩා ඔහු වෙනස්ම ශෛලියකින් ලියූ කෘති අනුව බලන කල විකල්ප මාවතක ගමන් කරන සාහිත්‍යකරුවෙකි. සමන් වික්‍රමආරච්චි නම් වූ මේ අපූර්ව ලේඛකයා සමඟ ඔහුගේ කෘති පිළිබඳ මෙසේ කතාබහක යෙදුනෙමු.

සම්මානයට සරසවිය අපේ සුබ පැතුම්,,,

ස්තුතියි... සම්මාන ලැබීම ලේඛකයකුට සතුටක්. එත් මම නවකථා දෙකම ලීවේ සම්මාන ගැන හිතාගෙන නම් නෙවෙයි. අනෙක කවුරුන් හෝ සම්මාන බලාගෙන ලියනවා නම් ලිවිය යුතු විධි, ප්‍රස්තුතයන් වෙනම තිබෙනවා. සාම්ප්‍රදායික යථාර්ථවාදී රීතිය ආඛ්‍යානික උපක්‍රමය නොවන විකල්ප දෙයක් කරන්න උත්සාහ කළ නිසා මම මේ කෘතියට සම්මාන ලැබෙයි කියලා හිතුවෙත් නෑ.

මොනවද සම්මාන ලබන්න නම් ලිවිය යුතු ක්‍රම සහ ප්‍රස්තුත?

මමත් සාහිත්‍ය ජූරිවල කටයුතු කළ නිසා ඒ නිර්ණායක දන්නවානේ. අපි තීරණයකට ආවා ඒ වාරේ සියලුම නවකතා අපි සියලුදෙනා විසින්ම කියවිය යුතුයි කියලා. මම කියවූ නවකතා සියල්ලේම සාරාංශය සහ මගේ මතය ලීවා. මොකද අපි නවකතාවක් ලියද්දි කතාකරුවාගේ මතය එළියට එනවා, කතාවෙන්ම විචාරයකුත් ලියැවෙනවා කියලනේ කියන්නේ. ඉතින් කතා සියල්ල කියවා අවසානයේ මම දැක්කා සිංහල නවකතාව කොහේද යන්නේ කියලා. බොහෝ කතාවල තිබෙන්නේ පහළ සිට ඉහළට නැඟුණු චරිත. හරියට දුකදිනා ජයගත් හපන්නු වගේ. ඒ කියන්නේ උන්නතිකාමය. බොහෝ නවකතා රසවත් වුවත් තේමාව එකයි. සරල ඒක රේඛීය කරුණු කියමින් කතාව කියවන්නාගේ ආශාවන් එළියට ගන්නවා. ඒ එක ප්‍රවණතාවක්. අනෙක ඉතිහාස කතා. පර්යේෂණ කරලා හෝ ලේඛනාරක්ෂක දේපාර්තමේන්තුවට ගිහින් තොරතුරු සොයාගෙන ලියනවා. හරියට ඉතිහාස කතා චිත්‍රපට රැල්ල වගේ. එය වැරැද්දක් නොවේ. ඒත් රෝගයක් බවට පත් වෙනවා.

එතකොට මේ ජූරිය?

මම දකින විදිහට සාහිත්‍ය උත්සවවලින් විනිශ්චයට ලක්වන්නේ ඇත්තෙන්ම විනිශ්චය මණ්ඩලයයි. ඔවුන්ට නව සාහිත්‍ය ප්‍රවණතා පිළිබඳ වැටහීමක් තිබේද ආදි කරුණු විනිශ්චයෙන් හෙළි වෙනවා. ඉතින් මම ජූරියට ස්තුතිවන්තවනවා මෙවැනි විනිශ්චයක් දීමේ රැඩිකල් තීරණය ගත්තාට.

ඔබේ වෘත්තිය ඔබේ සාහිත්‍යකරණයට රුකුලක්ද?

මේ වෘත්තිය කරන විශාල පිරිසක් ඉන්නවා. වෘත්තිය අත්දැකීම් පමණක් බලපානවා නම් ඒ සියලුදෙනා නවකතාකරණයට යොමු වෙන්න ඕනා. වෙනත් හැදෑරීම් සහ කියවීම් තමයි මට මූලික වුණේ. ඒත් වෘත්තිය එක්තරා ආකාරයකට බලපානවා. අපි යම් තීන්දුවක් ගන්නා විට එයට ප්‍රබල හේතු, තර්ක දක්වන්න ඕනා. සාහිත්‍ය විචාරයේදීත් එය වැදගත් තමන් තුළම හොඳ විශ්ලේෂණ හැකියාවක් ඇතිකර ගන්න.

ඔබ නවකතාවක් අර්ථදක්වන්නේ?

සමකාලින සමාජය එළියට ගෙන ඒමක් ලෙස. අද අප පය ගහගෙන ඉන්න සමාජය තමයි ප්‍රස්තුත විය යුත්තේ. සන්දර්භය ඉතිහාස කතාවක් වුණත් ප්‍රක්ෂේපණය විය යුත්තේ වත්මන් සමාජය. උදාහරණයක් ලෙස සයිමන් නවගත්තේගමගේ සාපේක්ෂණී වගේ කතාවක සන්දර්භය ඉතිහාසය. ඒත් ඔහුගෙන් කියවෙන්නේ වර්තමානය ගැනනේ. සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා වුණත් කැලේ ගැන ලීවා වගේ වුණාට ඔහු කියන්නේ කොළඹ ගැන. එය එක්තරා ආකාරයක දෘෂ්ටාන්තමය ලියවිල්ලක්. ඔහු තමන් ගැනමයි කියන්නේ.

ඔබේ කතාවල බොහෝවිට භින්නෝන්මාදය ගැන කියවෙනවා. එයින් ඔබ කියන්න හදන්නේ අද සමාජය ඒ ආකාරයි කියාද?

ඔව්. අද සමාජය මොන විදිහේ සමාජයක්ද? අපි අපම ප්‍රබන්ධ කරගන්නා සමාජයක් අද ඉන්නේ. අද අප යථාර්ථයට කියන පර්යාය පදයක් ලෙස 'සත්‍ය' යොදා ගන්නවා. ඒත් යථාර්ථය කියන මේ දෘශ්‍යමාන දේ ඇත්තක්ද නැත්නම් ප්‍රබන්ධයක්ද? අප කිසියම් භූමිකාවක් තුළ ඉඳීම කියන්නේම අපම ප්‍රබන්ධකරණය කර ගැනීමක් තුළ ජීවත්වීම නෙවෙයිද? හරියට ඇත්තම රජ්ජුරුවෝ කියනවා මමයි රජු කියලා. මානසික රෝගියකුත් කියනවා මමයි රජු කියලා. ඔය දෙක අතර වෙනසක් නෑ වගේ තමයි. විශේෂයෙන්ම අසන්ධිමිත්තා ගත්තාම ඒ චරිත තම තමන්ම ප්‍රබන්ධ කරගන්නවා. හැබැයි අවසානයේ අසන්ධිමිත්තාට කසාදයක්, ළමයින් ඉඳලා නෑ. එය ඇයගේ ෆැන්ටසිය. ඒ වගේම කතාව ලියන ලේඛකයාගේ සත්‍ය සංකේතික බිරිඳට ඒ සියල්ල තිබිලාත් සිටියේ ෆැන්ටසියක. ඔවුන් දෙදෙනා අතර වෙනසකුත් නෑ. අවසානයේ ලේඛකයාත් තමන් ප්‍රබන්ධ කරගන්නවා. ඉතින් මේ කාලේ සමාජයම ප්‍රබන්ධයක්.

ඔබට සාක්ෂි තිබෙනවාද?

තිබෙනවා. හොඳම සාක්ෂිය මුහුණු පොත. එහි තමයි පඬිවරු ඉන්නේ. කවියන්, විචාරකයන් ආදි සියලුම පොරවල් ඉන්නේ. ඒත් ඇත්තටම ඒ සියලු දෙනාම කරන්නේ තමන් තමන් විසින්ම ලෝකයට ප්‍රබන්ධ කරමින් පෙන්වමින් ඉඳීම නෙවෙයිද? අපි කියනවා රුසියානු විප්ලවයට සාහිත්‍යය බලපෑවා කියලා. ඒත් දොස්තොව්ස්කි, තෝල්ස්තෝයි, ගෝර්කි, චෙකෝෆ් මිනිසුන් විප්ලවයට මෙහෙයවන සටන් පාඨ ලීවේ නෑනේ. ඔවුන් ලීවේ තත්කාලීන සමාජය ගැන. චෙකොෆ් හයේ වාට්ටුව ලීවාම හැමෝම වගේ කීවේ ඔහු මුළු රුසියාවම උන්මත්තකාගාරයකට ලඝු කළා කියලා. ගොගොල්ගේ මළ මිනිස්සු, දොස්තොව්ස්කිගේ අපරාධය හා දඬුවම කතා කළේ පැවතුණු සමාජයේ අමනකම්, කම්කරු පන්තියේ මුග්ධභාවය ලිවීමෙන් තමයි ඒ සමාජයේ සැබෑ මිනිසුන් පිළිබඳ ඇහැරුණේ. මිනිසුන් තමන්ගේ සමාජය තේරුම්ගන්නවා ඒ සාහිත්‍යයෙන්. ඊට පසු ෆ්‍රාන්ස් කෆ්කා, සල්මන් රුෂ්ඩි, මිලාන් කුන්දේරා, මාකේෂ් වැන්නන්ගේ ආකෘතික වෙනස්කම් වුවත් සියල්ලන් ලියා තිබෙන්නේ සමකාලීන සමාජය ගැන.

 ඔබ කෆ්කාට බොහෝ ප්‍රියකරන බවක් පේනවා?

ඔහු අපට අතහරින්න බැරි ලේඛකයෙක්. බටහිර නවකතා ඉතිහාසයේ ඉතාම ප්‍රබල භූමිකාවක් ඔහු ඉටු කරනවා. ඔහුගේ කියවීම්වල, චරිතවල තිබෙන සුවිශේෂතා මට බලපානවා කිව්වත් හරි. මොකද ඔහුගේ මෙටමොෆෝසිස් වගේ සිනමාවට නැඟුණු කතාවක් ගෙන බැලුවත් මිනිසෙක් තමන් නිදියහනෙන් නැඟිටින විට අද්භූත සත්ත්වයෙක් බවට පත් වෙලා තිබෙනවා. එහෙම වෙන්න හේතුව තමන්ගේ ඒකාකාරී ජීවන රටාව තමන්ටම එපා වීම. ඔහුට ඕනැ ඒ අද්භූත ස්වභාවයෙන් මිදිලා කාර්යාලයට යන්න. ඒත් බෑ. මෙය තමන්ම නිර්මාණය කරගන්නා දෙයක්නේ කන්තෝරු යාමෙන් හෙම්බත් වීම නිසා. ඔහුගේ කාසල් වගේ නවකතාවක බලාධිකාරයේ තිබෙන තුච්ඡබව නිසා මිනිසකුගේ නිදහස අහිමි වීම ගැන කියැවෙනවා. කෆ්කාගේ ලිවීම එවැනි මානුෂික නිදහස වෙනුවෙන් වූ සාංදෘෂ්ටික දර්ශනයකට යොමු වෙනවා. අප්පච්චි ඇවිත් සහ අසන්ධිමිත්තා වුණත් භින්නෝන්මාදයට යන්නේ එවැනි අර්බුද නිසා.

සිග්මන් ‍ෆ්‍රොයිඩ්, ජීජැක්, ඊඩිපස් සංකීර්ණය වැනි දේ ඔබ කතා තුළ සිටම සංවාදයට ලක් කරනවා?

අප්පච්චි ඇවිත් කතාවේ භින්නෝන්මාදයට හේතුව පියාගේ භූමිකාව සංකේතීය පිළිවෙළ තුළ නිසි ලෙස ඉටු නොවීම. කතාව එක්තරා තැනකට ගෙන ගොස් මෙහි න්‍යායාත්මක කරුණු සරලව දැක්වීමට මම හිතාමතාම කළ දෙයක් තමයි එය. හේතුව ඕනැම යථාර්ථවාදී නවකතාවකට වුවත් පදනම් වන න්‍යායක් තිබෙනවා. ඒත් මට ඕනවුණා ගැඹුරු න්‍යායික කරුණු සහ ප්‍රබන්ධය අතර වෙනසක් දකින්න බැරි තරමට මිශ්‍ර වුණු නවකතා ශානරයක් හඳුන්වා දෙන්න. මෙය අපට අලුත් වුණාට ලෝකේ තිබෙනවා. ඔම්බතෝ එකෝ, මිහායෙල් කානෙත්ති වගේ ලේඛකයන්ගේ මේ ලක්ෂණය දකින්න පුළුවන්. ලෝරන්ට් බිනේ කියන ප්‍රංශ අලුත් නවකතාකරුවාගේ සෙවන්ත් ෆන්ක්ෂන් ඔෆ් ලැංවේජ් කතාවේ ප්‍රස්තුත වන්නේ රොලන් බාත්ගේ මරණය. එය හදිසි අණතුරක් වුවත් ඔහු පරිකල්පනය කරනවා බාත් ඝාතනය කරනවා කියලා. ඒ හරහා ඔහු මිචෙල් ෆූකෝ, සෝෂියර් වැනි චරිත පවා මුණගැහෙනවා. එය තනිකරම සංඥාර්ථවේදය පිළිබඳ කතාකරන්නක්. ඒත් කිසිම වෙහෙසක් නැතිව ගලා යනවා. එවැන්නක් තමයි මගෙත් අරමුණ වුණේ. එතරම් දුරටම නොවුණත්. ඔවුන්ගේ වස්තු බීජ වෙනස් වුවත් ශානරයේ ආභාසය මට බලපෑවා කියා හිතන්න පුළුවන්.

ආයෙත් මට හිතෙනවා ඔබේ වෘත්තිය වස්තුබීජ සොයාගන්න හේතු වුණා කියලා?

මේ කතාවල සාක්කි දීම්, මිනීමැරුම් ආදිය ඇතුළත් වෙලා තිබුණා වුණාට කවදාවත් මගේ වෘත්තිය අත්දැකීම් නම් නෙවෙයි. මගේ න්‍යායික කරුණු එළි දක්වන නිර්මාණ පමණයි.

අසන්ධිමිත්තා හි ඔබ පාඨකයා දුරස්තීකරණය කරන්න කතාවේ ඒකාග්‍රතාව වරින්වර බිඳීනවා?

ඒ නවකතාවේ ආකෘතිය ගොඩ නඟන්නේ කතාව ලියන ලේඛකයාත් චරිතයක් බවට පත් කරමින්. මට අවශ්‍ය මේ සියල්ල ප්‍රබන්ධයක් කියන්න. අසන්ධිමිත්තා නිර්මාණය කර කියන ප්‍රබන්ධයම නොවේ ලේඛකයා ලියන්නේ. ඔහු එය තවත් නිර්මාණය කරනවා. ඒ දෙදෙනාම තම තමන්ගේ ෆැන්ටසිවල තෘප්තිමත් වෙනවා. අප්පච්චි ඇවිත් කතාවෙත් තමන්ගේ පියා ලෙස දක්වන්නේ ඔහු කැමති ආකාරයේ පියකුගේ චරිතය. සමාජයේ බොහෝ දෙනා තමන්ගේ ඇත්ත මව් පියන්ගේ චරිතය නෙවෙයිනේ කියන්නේ. විශේෂයෙන් චරිතාපදාන ගෙන බලන්න. එය සාහිත්‍ය ශානරයක් ලෙස මම අකැමැතිම දෙයක්. මොකද ඒවා නවකතාවලටත් වඩා ප්‍රබන්ධ. ඒවායේ ඇත්ත සඳහන් කරනවා නම් ඒ මඟිනුත් බලාපොරොත්තු වන්නේ තමන්ගේ ප්‍රතිරූපය තවතවත් වඩා ගැනීම. කවදාවත් චරිතකතාවල ඉන්නවාද සාධු ගුණ නැතිව නරක චරිත කියන අය. ස්වයං චරිතාපදානවල තමන්ම ප්‍රබන්ධ කරගන්නවා.

මෙහි ඒ කතා වියමනෙන් ඔබ දැඩි සීරියස් බවක් තුළ රැඳුණු හාස්‍යයක් මතුකරනවා?

එය හරියටම හරි. මොකද මේ කාලේ අපට කරන්න තිබෙන්නේ හිනාවෙන එක තමයි. කෆ්කා කරන්නෙත් ඒකමයි. ඔහු මෙටමොෆෝසිස් කෙටිකතාවෙන් කියන්නෙත් සීරියස් දෙයක් නෙවෙයි. ඒක මහ ජෝක් එකක්. එයින් හදන චිත්‍රපටයත් සීරියස් වුණොත් කෆ්කා මැරෙනවා. එහි තිබෙන හාස්‍යය තමයි මතු කරන්න ඕනේ. ඇත්තටම මේ ප්‍රබන්ධ ලෝකය තුළ අප අපටම හිනාවෙනවා හැර කරන්න දේකුත් නෑ. රුසියානු කතාවල වුණත් මේ හාස්‍යය තිබෙනවා. එය හරි ප්‍රබලයි.

ඔබේ අසන්ධිමිත්තා සිනමාවට නැඟෙමින් පවතිනවා?

ඔව් අශෝක හඳගම මුල ඉඳන්ම මගේ මිතුරෙක්. ඔහු මේ තිර නාටකය ලියන විටත් මා සමඟ කතාබහ කළා. මම චිත්‍රපටයත් නැරඹුවා. මගේ කතාවට හඳගම සාධාරණයක් කර තිබෙනවා කියා හිතුණා.

ඔබේ භාෂාව සහ අදහස් බොහොම නිදහස්, හැබැයි ඒ තුළ මම දුටුවා දැඩි සංයමයකුත්?

අද වෙලා තිබෙන්නේ ලිංගිකත්වය කියන කාරණයට අදාළ කුණුහරුප පොත් පළ කරමින් එය වංගගිරියක් කරගැනීම. සමහරු පොතක් ලියලා එහි ලිංගිකත්වය තිබෙන බව සමාජයට ප්‍රකාශ කරනවා. ඒ මඟින් තමයි අලෙවිය හදා ගන්නේ. මගේ අමුතු උපාසකකමක් හෝ අමුතුවෙන් ආරෝපණය කරගත් සංයමයක් නොවේ මෙහි තිබෙන්නේ කතා කළ යුතු පමණට මම කතා කරලා තිබෙනවා ඒ කාරණය. මේ කාලේ සමහරු ලිංගිකත්වය අද්භූතජනක දෙයක් ලෙස ලියන්න උත්සාහ කරනවා. මම කියන්නේ ලිංගික කරුණු පොත්වල ලිවිය යුතු නෑ කියා නොවෙයි. එයට නිරායාසයෙන්ම එන සීමාවක් තමන්ට දැනෙනවා.

ඔබ කියන්නේ වාරණයක් ගැනද?

නෑ. නෑ. මම තමන් හෝ වෙන කෙනකු වාරණය කළ යුතුයි කියන්නේ නැ. වාරණය සම්බන්ධව මගේ එකඟත්වයකුත් නෑ. මේ කාලේ බිහි වී තිබෙන නැරඹුම් සමාජයට ගැළපෙන රූප මැවීමට තමයි ලේඛනයෙනුත් සමහරු උත්සාහ කරන්නේ. අසභ්‍ය දේවල් ලිවීම කියන දේත් ලෝකේ තිබෙනවා. ඒත් සංස්කෘතිය හා ශිෂ්ඨාචාරගත වීම කියලා දේකුත් පිළිගන්නවානේ. ඒ දෙක අතර වෙනසකුත් තිබෙනවානේ. සංස්කෘති වෙනස් වුණත් ශිෂ්ඨසම්පන්න වීම පිළිබඳ පොදු පිළිගැනීමක් තිබෙනවානෙ. ශිෂ්ඨ සමාජයක් බිහි කිරීම සඳහානේ මේ සියලු ලියවිලි ආදිය ලියමින් අප අපම තේරුම් ගැනීමට උත්සහ කරන්නේ. අර අවර ගණයේ දේවලින් එය සාක්ෂාත් වෙනවා කියලා මම හිතන්නේ නෑ. ඒ නිසා ලිවීමකදී යම් සිදුවීමක අවශ්‍ය ප්‍රමාණයක් තිබෙනවා. ඉන් එහාට ගියාම ලියමන හරිම ඕලාරික දෙවැනි පෙළ ලිවීමක් බවට පත්වෙනවා. එතැනට නොවැටී සිටීමේ වගකීම ලේඛකයා සතුයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.