මට මුලින්ම පණිවුඩය කිව්වේ සුසන්තිකා මිස්

සිනමාවට එක් වූ ධාවන ශූරිය නදීශානි හෙන්ඩසන්
නොවැම්බර් 1, 2018

ඒනම හිමි තැනැත්තිය පෙර දැන සිටියේ ක්‍රීඩා ක්ෂේත්‍රය ගැන උනන්දු වන්නන් පමණි. මලල ක්‍රීඩ්කාවක වූ ඇය මෙරටට අත්කර දුන් කීර්තිය ඉමහත්ය. නදීශානි ගැන ඉකුත් දිනවලදී වඩාත් අවධානය යොමු වුණේ ඇයගේ ක්ෂේත්‍රය තුළින් ලද ජයග්‍රහණයක් නිසා නොව ඇය චිත්‍රපට නිළියක වූ නිසාය. උදුම්බරා නමැති සිනමාපටයේ ඇය උදුම්බරා විය. සැබෑ ජීවිතයේ ධාවන ශූරියක වූ නදීශානි ඊට බෙහෙවින් සමාන ගැහැනු ළමයකුගේ චරිතයක් උදුම්බරා හි නිරූපණය කළාය.

නදීශානි, ඔබට උදුම්බරා චිත්‍රපටය ලැබෙන්නේ කොහොමද?

සුසන්තිකා ජයසිංහ මිස් තමයි මට මුලින්ම පණිවුඩයක් එව්වේ ඉන්දියන් ඩිරෙක්ටර් කෙනෙක් චිත්‍රපටයක් කරනවා කියලා. ඒ වෙලාවේ මලල ක්‍රීඩාවේ යෙදෙන අයකුව ඔවුන් හොය හොය ඉඳලා තියෙනවා. කිහිප දෙනෙකු හමුවෙලත් තිබුණලු ඒ චරිතයට. ඒත් ඒ අයට නොගැළපීම් මත අරගෙන නැහැ. ඔය අතර වාරයේදියි සුසන්තිකා මිස් මාව එතැනට යොමු කරන්නේ. පසුව මා ඒ ඩිරෙක්ටර් මුණ ගැහුණා. ඒ හමුවේදී ඔවුන් තීරණය කළා මාව මේ චරිතයට තෝර ගන්න.

ඒ වන විට ඔබ කිසිදු රංගන කටයුත්තක නියැළිලා හිටියේ නැහැ නේද?

ඔව්. මේක මට සම්පූර්ණයෙන්ම ආගන්තුක විෂයක්.

උදුම්බරා චරිතය ඔබට අභියෝගයක් වූ අන්දම විස්තර කරන්න පුළුවන්ද?

චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම ලෙහෙසි නැහැ. ඒක මං මුලදිම දැනගත්තා. ස්පෝර්ට්ස් මූව් එකක් හින්දම මේ චරිතය මං බාර ගත්තා. එතකොට මට හිතුණු දෙයක් තමයි මට මේ චරිතය කරන්න පුළුවන් කියන කාරණය. ඔබ කිව්වා වගේ ඒක අභියෝගයක්. නමුත් ලොකු ආත්ම විශ්වායක් තිබුණා මට එය කළ හැකි බවට. රංගනය ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. ඒ හින්දා මං අනෝජා වීරසිංහ මැඩම් යටතේ ඉගෙන ගන්න හිතුවා. උදුම්බරා චිත්‍රපටයේ පිටපතත් රැගෙනයි මං එහෙ ගියේ. දර්ශනයෙන් දර්ශනයට මට මනා පුහුණුවක් ලැබුණා. ලොකේෂන් එකට මං එන්නේ පුංචි හෝ දැනුමකුත් එක්ක.

රඟපෑ පළමු දර්ශනය මතකද?

ඒ මතකය නම් සදාකාලිකයි. කණ්නාඩියකින් මගේ මුහුණ බලන වාරයක් පාසා උදුම්බරා චිත්‍රපටයේ මං රඟපෑ පළමු දර්ශනය මතක් වෙනවා. දහ පාරකට වැඩිය මගේ මුහුණට ජයනි අක්කට තට්ටු කරන්න වුණා. සරත් කොතලාවල මහත්තයත් දර්ශනයේ හිටියා. ජයනි අක්කා මගේ අම්මට හිටියේ. ඇය මගේ මුහුණට තට්ටුවක් දානවා ඩයලොග් එකක් කියන ගමන්. ඒ සීන් එක රූපගත කරද්දී ටේක් දහයකටත් වැඩිය යන්න වුණා. ෆයිනල් ටේක් එකේදී මගේ ඇස්වලට කඳුළුත් ඇවිල්ලා. ජයනි අක්කා කොයි මොහොතකවත් හයියෙන් තට්ටු කළේ නැහැ. නමුත් පොඩි තට්ටුව ටේක් දහයකට ගියාම මොන වගේ වෙන්න ඇති ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

සම්මානනීය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී තමයි මෙහිදී ඔබේ පුහුණුකරු හැටියට රඟපාන්නේ. කොහොමද ඔහුගෙන් ලැබුණු සහාය?

ජැක්සන් සර් එක්ක රඟපාන්න ලැබීම මගේ වාසනාවක් හැටියට මං දකිනවා. ඔහු මට නිතරම උදවු කළා. රඟපාද්දී වැරදුණු තැන් මං අහ ගත්තේ ජැක්සන් සර්ගෙන්. මමත් මොනවා හරි දන්නේ නැති දේවල් පැකිලීමකින් තොරව සර්ගෙන් අහනවා. සැකයකින් තොරව මට චරිතය ගොඩනඟා ගන්න පුළුවන් වුණා ජැක්සන් සර් නිසා.

චිත්‍රපටයේ රූපගත කිරීම් නිසා ඔබේ ක්‍රීඩා කටයුතු අතපසු වුණේ නැතිද?

අතපසු වුණා. මාස දෙකකට ආසන්න කාලයක් මං චිත්‍රපටය වෙනුවෙන් කැප වුණා. උදේ පාන්දර ෂූටිං යනවා. ආයේ එන්නේ මහ රෑ. පුහුණුවීම්වලට යන්න බැහැනෙ. හැබැයි මෙහෙම දෙයක් වුණා. පුහුණුවීම්වලට ගියේ නැහැ කියලා අඩුවක් දැනුණේ නැහැ. චිත්‍රපටය වෙනුවෙන් දුවන්න වුණා. සමහර දර්ශනවලදී කිලෝ මීටරයක් විතර මං දුවලා.

කොහොමද යාළු මිත්‍රයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

යාළුවෝ ගොඩක් චිත්‍රපටය නරඹලා තිබුණා. ගොඩක් අය අඬලා චිත්‍රපට අවසානයේදී. ඒ හරිය ගොඩක් දුක හිතෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. මට ගොඩක් ඉන්නේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ යාළුවෝ. චිත්‍රපටයේ අවසානය අපේ ජීවිතවලට ගොඩක් සමීපයි. ඒ හින්දා හිතට සංවේදීව දැනෙනවා ඇති.

දිගින් දිගටම රංගනයේ යෙදෙන්නද අදහස?

රංගනයට ආරාධනා දෙක තුනක් ලැබුණා. තවම හැබැයි කන්ෆර්ම් නැහැ. හොඳ චිත්‍රපටයකට දායක වෙන්න තමයි කැමැති. රඟපෑම කළත් ක්‍රීඩා ක්ෂේත්‍රයට වැඩි ඉඩක් දෙන්න මං අපේක්ෂා කරනවා.

නදීශානි ඉගෙන ගත් පාසල මතක් කරමු?

මං ඉස්කෝල තුනකින් ඉගෙන ගත්තා. දෙවැනි සහ තෙවැනි ඉස්කෝල සඳහා මට ඇතුළත් වෙන්න ලැබුණේ මං ස්පෝර්ට්ස් කරපු නිසා. දූනගහ රණසිංහ මහ විදුහල මගේ පළමු ඉස්කෝලේ. ඉන් පසු මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ සහ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලෙන් ඉගෙන ගත්තා.

උදවු කළ අයට තුති පුදන වෙලාව?

උදුම්බරා අධ්‍යක්ෂ චමත්රාජ් මහත්මයා ඇතුළු පිරිසට සහ මගේ පුහුණුකරුවන් දෙපොළ සුනිල් ගුණවර්ධන සහ භද්‍රා ගුණවර්ධන, ප්‍රසන්නජිත් අබේසූරිය, ලොකු තාත්තා ජී. එච්. හෙන්ඩසන් යන අයට මං ලොකු ස්තූතියක් පුද කරනවා.

 

 
 
 
 
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.