ගීත­ය­ටත් ප්‍රමිතියක් ඕනෑ

වර­දත්ත අර­වින්ද (dinamina)
නොවැම්බර් 6, 2018

අනූව දශකයේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන වරදත්ත අරවින්ද, 'මට ආරාධනාවක් කළාදෝ' ගීතයෙන් ජනප්‍රියත්වයට පත් විය. ගායකයකු ලෙස ප්‍රසිද්ධියක් ලබාගෙන සිටියත්, ඔහු, වෘත්තීය ගායකයකු වූයේ නැත.

 පසුගිය කාලෙ ඔබ නිහඬවෙලා හිටියා. ඒ ඇයි?

අවුරුදු දහයකින් විතර මම සංගීත ක්ෂේත්‍රයේ වැඩක් හරියට කළේ නැහැ. ඒකට හේතුව , මේ ක්ෂේත්‍රයට යොමු වෙලා වැඩ කරන්න තියෙන අපහසුතාවයි. මම ක්ෂේත්‍රයට එන කාලෙ, ඉතා හොඳ නිර්මාණ කරපු හැමෝම වගේ, අද පැත්තකට වෙලා ඉන්නවා. අද නිර්මාණයක් කරලා මිනිසුන් අතරට යවන්න විදිහක් නැහැ . මිනිසුන් අතරට නිර්මාණ යවන්න තියෙන හැම මාර්ගයක්ම ඇහිරිලා. මාධ්‍ය කොපමණ දියුණු වුණත්, විද්‍යුත් නාලිකා මොනවා කිව්වත්, ජනප්‍රිය වුණ ගීත ටිකක් විතරයි ඒවායෙ ප්‍රචාරය වෙන්නෙ. මොන තරම් අලුත් ගීත තියෙනවද? ඒත්, ඒවට ඉඩක් දෙන්නෙ නැහැ. මේ දේ, මාධ්‍ය මගින් කරන ලොකු වැරැද්දක්. මේ කාරණය නිසා, බොහෝ ශිල්පීන් උදාසීන වෙලා.

විද්‍යුත් නාලිකා එසේ වුණත්, අලුත් නිර්මාණ මිනිසුන් අතරට ගෙනියන්න, අද වෙද්දි අන්තර්ජාලය ප්‍රභල දායකත්වයක් දෙනවා නේද?

අද මාධ්‍ය වැඩියි. ඒත් ඒ වැඩිවිමට දරාගන්න බැරි තරම් ගිත ප්‍රමාණයකුත් දිනපතා බිහිවෙනවා. මේවායේ තරගකාරි මට්ටමක් නැහැ. උසස් නිර්මාණ වගේම, ඉතා අවර ගණයේ ගීතත් මේ අතර බහුලයි. නිස්කාන්සුවේ නිර්මාණ විඳින මිනිස්සුන්ට, නිර්මාණ අධික බව ගැටලුවක්. මේ වෙද්දි මිනිස්සු අතරමං වෙලා ඉන්නෙ, රස විඳින්න තෝර ගන්නෙ මොකක්ද කියලයි.

ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන කාලය හා අද නිර්මාණ අතර තියෙන වෙනස කොයි වගේද?

ඒ දවස්වල අපි ගීත කළේ වානිජ පරමාර්ථයක් හිතේ අහලකවත් තියොගෙන නෙමෙයි. අපි නිර්මාණයක් කරලා, අපි ඒක රසවිඳලා, ජනතාව අතරට පත් කරනවා. දැන් සිංදු කරන්නෙම සල්ලි හොයන පරමාර්ථයෙන්.

ඔබේ දිගු නිහැඬියාව බිඳ දැමීමට මුලික වූ කාරණාව මොකක්ද?

මම නිහඬව ඉන්න කාලයේ, පුණ්‍යා ඒකනායක කියලා මගේ රසිකාවියක් මා වෙනුවෙන් ගීතයක් ලියලා, එය මා අතට පත් කරලා මෙහෙම කියනව. " ඔබ මෙහෙම නිහඬව ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. ඔබගේ හඬට ආදරය කරන රසිකයන් තවමත් ඔබගේ නිර්මාණ රස විඳින්න කැමැත්තෙන් සිටිනවා. මම ඔබ වෙනුවෙන් ගීතයක් ලිව්වා. මෙය ඔබට සුදුසුද කියලා මට දන්වන්න" කියලා.

මම මේ නිර්මාණයේ අපූර්වත්වයක් දකිනව. මම ඇයට මම මේ ගීතය ගයන්න කැමැති බව පැවසුවා. එහිදී ඇයට මේ ගීතයට සංගීතය නිර්මාණ කරන්න නව සංගීත නිර්මාපකයෙක් යෝජනා කළා. ඔහු අරුණ කුමාර කියලා නවකයෙක්. මේ රචිකාවියම මේ ගීතයට තනු නිර්මාණය කරවලා, මට දුන්නා. ඒ වෙද්දි සංගීත ක්ෂේත්‍රයේ පවතින අර්බුදයට පිළිතුර අපි නිහඬව සිටීම නෙමෙයි කියලා මම තේරුම් අරන් හිටියේ. මේ පසුබිම තුළ මම අවුරුදු දහයකට පස්සෙ පුණ්‍යා ලියා එවූ ගීතය ගයනවා.ඒත් සමඟම, මම මගේ කලා දිවිය ගැන අලුත් තීරණයකුත් ගන්නවා.

නව ගීතය රසිකයන් අතරට පැමිණීමත් සමඟ, ඔබට දැනුණු හැඟීම කොයි වගේද?

රසිකයො ගායකයකුට කොච්චර ආදරෙයිද කියලා දැනුණා. ගතවුණු දස වසර තුළ මොන තරම් රැලි ආවත්, මිනිස්සු තවමත් අපේ හඬට, අපේ නිර්මාණවලට ප්‍රිය කරන බව හැඟුණා. නැවත්ත රසිකයන් අතරට මම මේ ගීතයත් එක්ක ගමන් කළා. එතැනදි ඔවුන් අදටත් මට කියන්නෙ, මගේ පළමු ගීතය වන "මට ආරාධනවක් කළාදෝ" ගීතය අහන්න ඔවුන් ප්‍රිය කරන බවයි.

ඔබ නිරතව සිටියෙ, ගායනයට හාත්පසින් වෙනස් වෘත්තියක නේද?

මම වෘත්තියෙන් රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදිහට සේවය කළා. මේ රැකියාව කළ කාලෙ මට සංගිත කටයුතු වලට වේලාවක් නැතිකම මගේ සංගිත දිවිය අඩපණ වීමට එක හේතුවක්. නිර්මාණයක් කරන්න විවේකි මනසක් තියෙන්න ඕනනෙ. අද දවස වෙද්දි මම ඒ වෘත්තියෙන් අයින් වෙලා, නිදහසේ වැඩ කරන්න පටන් අරන් තියෙනවා. ඉදිරියේදි තවත් හොඳ නිර්මාණ කරන්න, ප්‍රසංගවලට සහභාගි වෙන්න මම බලාපොරොත්තු වෙනවා. එපමණක් නෙමෙයි, ගායකයෙක් විතරක් නෙමෙයි, මම වාදකයෙක්. මගේ වාදන කටයුතු ඉදිරියට කරගෙන යන්නයි අදහස් කරගෙන ඉන්නෙ.

සංගිත ක්ෂේත්‍රයට පැමිණෙන්න ඔබට මං තැනේන්නෙ කොහොමද?

මට සංගීතය අහම්බයක් වුණේ නැහැ. මගේ සීයා වින්සන්ට් සෝමපාල කියන පැරැණි විශිෂ්ට සංගීතඥයායි. මගේ තාත්තා ජයන්ත අරවින්ද. ඔහු අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු සෞන්දර්ය අධ්‍යක්ෂ .මගේ මහප්පා ප්‍රවීණ සංගීතඥයකු වන රෝහණ බැද්දගේ. මගේ තාත්තා තමයි එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ සිංහබාහු, මනමේ, පේමතෝ ජායති සෝකෝ වැනි නාට්‍යවල සංගීතය නිර්මාණය කරලා තියෙන්නෙ. මම පුංචි කාලෙ, තාත්තා මා වඩාගෙන ගිහින්, මේ නාට්‍ය බලන්න වේදිකාව ඉදිරියෙන් ඉන්දවනවා මට මතකයි . ඒ කාලෙ ඉඳන්ම මට හොඳ සංගීත නිර්මාණ විඳින්න නිවැරැදි මඟ පෙන්වීමක් ලැබුණා. මේ පසුබිම අතරින් මම සංගීත ක්ෂේත්‍රයට යොමු වෙන්නේ, මගේ අයියා හා ඥාති සොහොයුරා සමඟිනුයි. මගේ අයියා හොඳ ගිටාර් වාදකයෙක්. මගේ මහප්පාගෙ පුතා තාරක බැද්දගේ, හොඳ කීබෝඩ් වාදකයෙක්. මට තාල වාද්‍ය භාණ්ඩ වාදනය කිරිමේ හැකියාව තියෙනවා. ඒ කාලෙ අපි එකතුවෙලා සංගීත කණ්ඩායමක් පවත්වගෙන ගියා. මම එහි ඩ්‍රම්ස් වාදකයා විදිහට කටයුතු කළා.

පසුව කාලයකදි මගේ අයියා ගුරු වෘත්තියටත්, මගේ ඥාති සොහොයුරා රූපවාහිනී වැඩසටන් නිෂ්පාදනයත් රැකියාව විදිහට තෝර ගත්තා. ඔවුන් වෙන වෙන වෘත්තින්ට යොමු වීමත් එක්ක, අපේ සංගීත කණ්ඩායම විසිරිලා ගියා. එතැනදි, මගේආත්ම තෘප්තියට ගීතයක් කරන්න ඕනැ කියලා මට හිතුණා. ඔය ගීතය කරද්දි, මට ගායකයෙක් වෙනවා කියලා අදහසක් තිබුණෙම නැහැ. මම 94 අවුරුද්දෙ "මට ආරාධනාවක් කළාදෝ" ගීතය නිර්මාණය කරලා, ගුවන්විදුලි සංස්ථාවට ලබා දුන්නා.

ඉන් පසුව, ඔබ වෙනත් වෘත්තියක් ගැන හිතුවද?

ඔව්. මම නිස්කෝ වීඩියෝ ආයතනයේ රූපවාහිනී වැඩසටහන් නිර්මාණය ගැන පාඨමාලාවක් හදාරලා, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක රැකියාවක් කළා. ඒ රැකියාව කරගෙන යන අතරේ, මම නොහිතූ විදිහට," මට ආරාධනාවක් කළාදෝ" ගීතය ජනප්‍රිය වෙන්න පටන් ගත්තා . මේ දේ මම කිසිසේත් නොහිතපු දෙයක්. මේ විදිහට ගීතයට ලැබුණු ප්‍රතිචාර එක්ක, ගායකයකුට මිනිස්සු කොච්චර ආදරෙයිද කියලා හිතුණා. මේ නිසා මම ගායකයෙක් වෙන්න ඕනැ කියලා හිතුවා. ඒ සිතුවිල්ලත් එක්ක තවත් ගීත කිහිපයක්ම නිර්මාණය කළා. ඒ අතරින් 'ඔබ සමනලියක්' , 'නුඹත් හරි වැඩ කරන්නෙ' ගීත ජනප්‍රිය වුණා. මේ ගීත සියල්ලම ඇතුළත් කරලා මම 'මට ආරාධනාවක් කළාදෝ' කැසට්පටය කළා.

ඔබ පළමු ගීතය නිර්මාණය කරන කාලය හා එය රසිකයන් අතරට යන කාලය අතර විශාල පරතරයක් තියෙනවා නේද?

ඔව්. මට ආරාධනාවක් කළාදෝ ගීතය කළේ 94 වසරෙදි තමයි. 2002 විතර වෙද්දි මේ ගීතය ජනප්‍රිය වෙන්න පටන් ගත්තෙ . 2004 දි තමයි මට කරගන්න බැරි තරම් සංගීත සංදර්ශනවලට ඇරියුම් ගලාගෙන ආවෙ. ගායකයකුට මිනිස්සු කොච්චර ආදරේ කරනවද කියලා මේ සිදුවීමත් එක්කයි මට දැනුණෙ. මම ගායකයෙක් වෙන්න හිතුවෙ ඊට පස්සෙයි.

දස වසරකට පසු සංගීත ක්ෂේත්‍රයේ තියෙන නව ප්‍රවණතා ඉදිරියේ , ඔබගේ ගායන රටාවේ වෙනස්කම් වෙලාද ?

නැහැ. මගේ එදා තිබුණු අනන්‍යතාව ඒ වදිහමයි. ඒ අනන්‍යතාව නිසයි මට රසිකයො ආදරේ කරන්නෙ.

අද කාලෙ රසිකයන් ඉල්ලන දේ හා විඳින දේ වෙනස් වෙලා නේද?

හොඳ නිර්මාණ විඳින රසිකයො එදත් හිටියා. අදත් ඉන්නවා. වෙලා තියෙන්නෙ එයාලට ඒ සිංදු අහන්න තැනක් නැතිකමයි . සංගීත ක්ෂේත්‍රයේ ඇතිව ඇති බිඳ වැටීම , රසිකයන්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි. සමහරු කියනවා , රසිකයන්ගෙ රසඥතාව මොට වෙලා කියලා. ඒත් , මම ඒ කාරණය පිළි ගන්නෙ නැහැ.

අලුත් පරම්පරාව ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න පාවිච්චි කරන ක්‍රමවේද ගැන ගැටලුවක් ඇති බව බොහෝ දෙනා පවසද්දි, ඔබ ඒ කාරණය දිහා බලන්නෙ කොහොමද?

අලුතෙන් එනකොට මුලින්ම අනුන්ගෙ ගීත කියන්න වෙනවා. හැබැයි ඒක දිගටම කරගෙන යන එකේ වැරැද්දක් තියෙනවා. අපේ ප්‍රවීණ කලාකරුවො බොහොම දුක් මහන්සි වෙලානෙ මේ ගීත නිර්මාණය කරලා, ඒවා ජනප්‍රිය කරලා තියෙන්නෙ. ඔවුන්ගේ නිර්මාණ අලුත් පරපුර තමන්ගේ පැවැත්ම වෙනුවෙන් යොදා ගැනීම එතරම් හොඳ දෙයෙක් නෙමෙයි. මෙතැනදි මිනිස්සුන්ගෙත් වැරැද්දක් තියෙනවා. ගීතය ගයපු නියම ගායකයට අඩු මුදලක් ගෙවන්නෙ, ඒ ගීතය ගයන අලුත් ගායකයට හොඳ මුදලක් ගෙවලා ගීතය කියවනවා . ඒකෙන් කලාකරුවො කලකිරෙනවා.

ඔබ පවසන්නෙ, අලුත් පරපුර ප්‍රතිගාමී බවද?

අලුත් පරපුරේ දක්ෂයො ඉන්නවා. ඔවුන්ගෙ නිර්මාණ රස විඳින එක පවා මිනිස්සුන්ට ප්‍රශ්නය වෙලා. ඒකට හේතුව, වර්තමානයේ බිහිවන නිර්මාණවල ප්‍රමිතියක් නැතිකමයි. ගීතය, පොඩි දරුවගේ පටන් එක එක මට්ටම්වල අය අතරට යනවනෙ . එතැනදි ප්‍රමිතියක් තිබිය යුතුයි. නැත්නම් මිනිස්සු, ගීතය ජනප්‍රිය කර ගන්න මොනවම හරි කරනවා. ඇතැම් වෙලාවට ගීතවල රෑප රචනා ඇතුළට අසභ්‍ය දර්ශන ඇතුළක් කරලා ඒක ප්‍රසිද්ධ කරනවා. ඒක බලන්න මිනිස්සු එම ගීතවල රෑප රචනා නරඹනවා. ගීත කලාව තුළ මේවා නොවිය යුතු දේ කියලයි මම හිතන්නෙ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.