උසස් රසවින්දනයක් ලබාදීම ප්‍රසංගයේ අරමුණයි

හර්ෂණ දිසානායක
නොවැම්බර් 6, 2018

ඉරෙන් හඳෙන් එළිය අරන් ආ ළමා ගායන ශිල්පී හර්ෂණ දිසානායක අද වන විට තාරුණ්‍යයේ හද බැඳගත් තරුණ,ජනප්‍රිය සේම සම්මානනීය ගායන ශිල්පියෙකි. “ඉරෙන් හඳෙන්” සංගීත ප්‍රසංගයේ වැඩකටයුතු සමඟින් සිටින මොහොතක, ඔහු අප හා එක්වූයේ මෙසේ ය.

l මේ දිනවල “ඉරෙන් හඳෙන්” ප්‍රසංගයට සූදානම් වෙනවා කියලා දැනගන්න ලැබුණා?

නොවැම්බර් 10 වන සෙනසුරාදා හවස 6.30ට කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී මගේ සංගීත ප්‍රසංගය පවත්වන්න මේ වන විට සියලු කටයුතු සූදානම් කරගෙන යනවා. මගේ පරණ ගීත, අලුත් ගීත වගේම හින්දි ගීතත් එදාට ගායනා කරනවා. හැමෝටම ආරාධනා කරනවා අලුත් අත්දැකීමක් විඳින්න එන්න කියලා. මේ ප්‍රසංගය කරන්නේ බොහොම ආර්ථික අපහසුතා මැද. මේ වගේ ප්‍රසංගයකට අනුග්‍රාහක දායකත්වය දෙන්න ඉදිරිපත් වෙන අයත් දැන් අඩුයි. නමුත් මේක මම කොහොම හරි කරනවා.

l මෙවර ප්‍රසංගයේ විශේෂත්වය ගැන කතා කළොත්?

මේක තරමක් වෙනස් ආරයක ප්‍රසංගයක්. මේකෙන් මම ගොඩක් දුරට උත්සාහ කරන්නේ අපේ තරුණ පරම්පරාවට ආමන්ත්‍රණය කරන්න. මම මේ ක්ෂේත්‍රයට ආවේ ළමා ගායකයෙක් විදිහට. එදා මාත් එක්ක හිටපු ළමා පරපුර අද වෙනකොට මං වගේම තරුණ වයසට ඇවිත් ඉන්නවා. මට ඕන වුණා ඒ අයට නැවත ආමන්ත්‍රණය කරන්න සහ ඒ සතුට, ආදරය මේ ප්‍රසංගයේ දී බෙදාගන්න. ලෝකයේම ගත්තොත් සංගීත ක්ෂේත්‍රයේ සිදුවෙන නවතම වෙනස්වීම් සහ අලුත්වීම් ගැන අද අපේ තරුණ පරම්පරාව අවබෝධයෙන් ඉන්නවා. මට ඕනෙ සංගීතයේ නව මානයන්ට යොමු වෙමින්, ඒ හැම දෙනෙක්ම බලාපොරොත්තු වන රසය දෙන්න පුළුවන් විදිහේ ප්‍රසංගයක් පවත්වන්නයි. පුංචි කාලයේදී ම මට වාසනාව ලැබුණා, අපේ රටේ ප්‍රවීණ ම ගේය පද රචකයින්, සංගීත අධ්‍යක්ෂකවරුන් සහ ගායන ශිල්පීන් සමඟ නිර්මාණවලට දායක වෙන්න. ඒක මං ලබපු විශාල භාග්‍යයක්. මෙවර ප්‍රසංගයේදී ඒ සියලු දෙනාගේ වගේම නව පරපුරේ විශිෂ්ට නිර්මාණකරුවන්ගේ ගීත ගායනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනා මේ ප්‍රසංගයේ දී මා එක්ක ඉන්න එක මට ලොකු ශක්තියක්.

l මෑතකදි ඔබේ රසිකයන් වෙනුවෙන් අලුත් ගීත කිහිපයක්ම ගායනා කළා නේද?

ඔව්. එකිනෙකට වෙනස් ගීත කිහිපයක් මේ වන කරළියට ඇවිත් තියෙනවා “එදා පෙම් ලොව”, “ශාරදා”, “දෙරණේ සිහල” ඒ ගීත අතරින් කිහිපයක්. ඒ ගීතවලට මේ වෙද්දි හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං ඉදිරියට ගායනා කරන්න බලාපොරොත්තු වෙන මගේ අලුත්ම ගීතය “සිහින පියාපත්” අසන්නන්ට අලුත්ම අත්දැකීමක් වෙයි.

l කලාවේ වෙනත් මානයන්ට යොමු වෙන්න අදහසක් නැද්ද?

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දී මගේ අධ්‍යයන විෂය වුණේ ව්‍යවහාරික සංගීතය සහ ජනසන්නිවේදනය. මං සිනමාකරණයත් අධ්‍යයනය කළා. ව්‍යාවහාරික සංගීතය පුංචි කාලෙ ඉඳලා කරගෙන එන නිසා ඒ පිළිබඳ අත්දැකීම් සහ අවබෝධය ලැබුණා. ඉදිරියට සිනමාකරණය පැත්තෙන් මට බලාපොරොත්තු තියෙනවා. දවසක චිත්‍රපටි අධ්‍යක්ෂණය සහ සංගීත අධ්‍යක්ෂණය කියන කාර්යයන් දෙකම කරන්නයි ආසාවෙන් ඉන්නෙ. ඊට අමතරව නිවේදන කටයුතු කරනවා. ජාතික රූපවාහිනියේ මේ දිනවල විකාශය වන “නොලේජ් ෆස්ට්” වැඩසටහන මෙහෙයවනවා. පුරුදු විදිහට සංගීත අධ්‍යක්ෂණ කටයුතුත් කරගෙන යනවා. “HarshanaD” නමින් මගේම නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යනවා. මම ගීතවලට රූප රචනා කරන්න හරිම අකමැතියි. මොකද ගීතයකට රූප රචනයක් අවශ්‍යම නෑ, ඒක හොඳ ගීතයක් නම්. ඉස්සර අපි සිංදුවක් රසවින්දේ තමන්ගේ හිත තුළ ගොඩනැඟෙන රූපරචනයෙන්. ඒක එක එක්කෙනාගේ අත්දැකීම් අනුව සාපේක්ෂයි. දැන් තියෙන රූප රචනා ගත්තම හැමෝටම විඳින්න වෙන්නේ එක්කෙනෙකුගේ අත්දැකීමක්. රූප රචනයට හානි නොවන සහ ගීතයට හානි නොවන විදිහේ රූප රචනාම පමණයි මම නිෂ්පාදනය කරන්නේ.

l ළමා ගායන ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පය තැබූ ඔබ, අද වෙද්දි සාර්ථක ගමනක් ඇවිත්. මේ ගමනේදි ඔබට අමතක නොවන මතක සටහන් මොනවාද?

ඒ ආපු ගමන ම මට අමතක නොවෙන මතකයක්. පුංචිම කාලේ මම මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට ආවේ “සූරිය අරණ” චිත්‍රපටියෙන්. ඒ චිත්‍රපටියට දායක වුණේ ආචාර්ය රෝහණ වීරසිංහ සර්. මගේ ලොකු තාත්තා, ආචාර්ය සෝමරත්න දිසානායක වැනි ප්‍රවීණයන්. කුඩා දරුවන් සහ වැඩිහිටියන් අතර අතිශයින්ම ජනප්‍රිය වුණු ඒ චිත්‍රපටියෙන් ම මට මගේ ගමන පටන් ගන්න ලැබීම විශාල වාසනාවක්. පණ්ඩිත් අමරදේව සර්ගේ හමුවීමත් මට අමතක වෙන්නෙ නෑ. පුංචි කාලෙ ඉඳන් මට එතුමන්ගෙන් ලැබුණු ආශිර්වාදය කෙනෙක්ට ලැබෙන්නේ බොහොම කලාතුරකින්. අමරදේව සර්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් මම ගීත ගායනා කරලා තියෙනවා. ඒ වගේම ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය නන්දා මාලිනි, එඩ්වඩ් ජයකොඩි, ලක්ෂ්මන් විජයසේකර වගේ මේ රටේ ප්‍රවීණ ගායක ගායිකාවන් සහ සංගීත අධ්‍යක්ෂකවරුන් සමඟින් නිර්මාණවලට දායක වෙලා තියෙනවා. මේ ගමන දිහා ආපහු හැරිලා බලද්දි බොහොම නිහතමානී සතුටක්, ආඩම්බරයක් දැනෙනවා. සුනිල් දයානන්ද කෝනාර තමයි මගේ සංගීත ගුරුවරයා. ඔහු තමයි මගේ පවුලෙ ඉන්න පස්දෙනාට පස්සේ මට කිට්ටුවෙන්ම හිටිය චරිතය. මගේ ජීවිතේ හරි පාර පෙන්නපු සහ මාව ශක්තිමත් කරපු, මට සංගීතයේ මුලකුරු කියලා දීපු ගරුවරයා. ඔහු අද ජීවතුන් අතර නෑ. නොවැම්බර් 24 වෙනිදා ගුරුතුමා වෙනුවෙන් උපහාර උත්සවයක් පවත්වනවා. මුළු රටේම ඉන්න ගුරුතුමාගේ ගෝලයින් එදාට එකතු වෙනවා, ගුරුතුමා වෙනුවෙන්. ඒ ගැනත් බොහොම ගෞරවයෙන් මතක් කරන්න ඕනෙ. ඔහු අපිට ඉරක් වගේ එළිය දුන්නු කෙනෙක්.

l කිහිප වතාවක්ම සම්මානයටත් පාත්‍ර වුණා නේද?

මුලින්ම මට ලැබෙන්නේ ජනාධිපති සම්මානයක්. ඒ, “සූරිය අරණ” චිත්‍රපටය වෙනුවෙන් හොඳම පසුබිම් ගායනයට. එතකොට මට වයස අවුරුදු 10යි. ඒ වයසට එහෙම සම්මානයක් ලැබෙනවා කියන්නේ විශාල ශක්තියක්. ඊට වසරකට පස්සේ ඒ ගීතයට ම ජනප්‍රියම ගීතය හැටියට ජනබල සම්මානය ලැබෙනවා. 2009 දී “සිරි රජසිරි” චිත්‍රපටියේ “සරා සිත් සයුරු” ගීතය වෙනුවෙන් නිර්මාණශීලිම ගායනයට හිමි සම්මානය ලබාගන්නවා. 2015දි ප්‍රශස්තම ගායනය වෙනුවෙන් රාජ්‍ය සම්මානය ලැබෙනවා, “නිල් වළාකුළු හාදු තවරන” ගීතයට.ඒ ගීතය ලිව්වේ අසංක රුවන් සාගර. සංගීත අධ්‍යක්ෂණය කළේ දර්ශන වික්‍රමතුංග. 2016 දිත් ප්‍රශස්තම ගායකයාට හිමි සම්මානය මට ලැබෙනවා, සරස්වතී අභිනන්දන ගීතයක් වෙනුවෙන්. ඒ ගීතය රචනා කළේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවො. දර්ශන වික්‍රමතුංග තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ.තවත් සම්මාන බොහොමයක් දිනාගෙන තියෙනවා. මම යන්නේ හිමින් ගමනක්. මං විශ්වාස කරනවා නිර්මාණකරුවෙක් විදිහට ප්‍රතිලාබ ලැබීමට එහා ගිහින් යම්කිසි සමාජ මෙහෙවරක් කරන්න නම්, හිමින් ගමනක් තමයි යන්න ඕනෙ. හිමින් යනකොට ගොඩක් දේවල් දැකබලාගන්න පුළුවන් වගේම බොහොම පරිස්සමෙන් ඒ ගමන යන්න පුළුවන්. අපි නිර්මාණ බිහි කරන්නේ අපිට නෙවෙයි, රටට. නිර්මාණයක් කරනකොට අපි දැනගන්න ඕනෙ ඒ නිර්මාණ අහන්නෙ බලන්නෙ මුළු සමාජයක්මයි කියන දේ. බිහි කරන නිර්මාණ, හැම කෙනෙකුටම රසවිඳින්න පුළුවන් නිර්මාණ වෙන්න ඕනෙ. ඕක අද අපේ සමහර තරුණ නිර්මාණකරුවන්ට අමතක වෙලා. ඒ හැරුණම ජනප්‍රිය සංගීතයේ හරවත් නිර්මාණ බිහිකරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ හැමෝම එකතු වෙලා යන්න ඕනෙ ගමනක් මේක.

l ගෙදරදොර විස්තර ටිකක් කිව්වොත්?

ගෙදර ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි, මායි. අයියා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රැකියාව කරනවා, කුරුණෑගල දිස්ත්‍රික්කය භාරව. ඔහු සංගීත විශාරද වරයෙක්. නමුත් වෘත්තිය තෝරාගත්තේ වෙනත් අංශයකින්. අක්කා නර්තන ගුරුවරියක්. අපේ පරම්පරාවම කලා පරම්පරාවක්. මේ දවස්වල ගෙදර අය විශාල පිං කටයුත්තකට සූදානම් වෙනවා. අපේ අම්මට මේ වතාවේ කඨින පිංකම භාර අරන් කරන්න ඕන වුණා. ඒ වෙනුවෙන් මේ දවස්වල ගෙදර හැමෝම බරටම වැඩ. මට පොඩි දුකක් තියෙනවා, මේ පිංකම යෙදිලා තියෙන්නේ හරියටම මගේ ප්‍රසංගය දවසේ පාන්දරට. මට ඒ පිංකමට සහභාගි වෙන්න බැරි වෙන එක හරිම පාඩුවක්. දුකක්. ඒත් ඒ ආශිර්වාදය මටත් මගේ ප්‍රසංගයටත් ලැබෙයි කියලා හිතෙනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.