උදුම්බරා සිනමා සිත්තමට ක්‍රීඩාවේ ජවය දෙන සැබෑ ක්‍රීඩිකාව

නදීශානි හෙන්ඩර්සන්
නොවැම්බර් 6, 2018

උදුම්බරා... උදුම්බරා... ළඟකදී සිට මඟ තොටේ දී ඇසෙන මේ ඇමතුමට නදීශානි හිස ඔසවා බලන්නීය.

"ඔව් එයා 'උදුම්බරා' තමයි...."

අනුමානය තිරකරගත් රසික හඬට සතුටක් ද මුසුවී තිබේ. එසැනින් ඇගේ මුව මඬලේ ඇදෙන ප්‍රියංකර සිනහව රසික ප්‍රතිචාර පිළිගන්නටය.

නදීශානි හෙන්ඩර්සන්

මේ දිනවල රිදී තිරයට නැංවෙන උදුම්බරා සිනමා සිත්තමේ යොවුන් උදුම්බරාවට පණ දෙන රංගන ශිල්පිනියයි.

උදුම්බරා සිනමා සිත්තම තුළදී ඇගේ රංගන වෙහෙස සැබැවින්ම මවු බිමට අභිමානයක් ගෙනා උදුම්බරා නම් ක්‍රීඩිකාවකගේ චරිතයක් රසික සිත් තුළ ජීවමාන කරන්නටය. අහම්බයකින් රංගන ශිල්පිනියක් වූ නදීශානි අහම්බයකින්ම ක්‍රීඩිකාවක වී ජාත්‍යන්තරයක් දිනූ යෞවනියකි. මේ නදීශානි ඔබට කියන ඇගේ සැබෑ කතාවයි.

අපේ අම්මාටයි තාත්තාටයි දෙදෙනාටම පාපැදි ශූරීන් ලෙස ක්‍රීඩා අතීතයක් තියනවා. ඒත් ඒ දෙදෙනා දරු සුරතල් බැලුවේ නම් දරුවන්ව ක්‍රීඩාවට යවන ප්‍රාර්ථනයෙන් නොවෙයිලු. ඒ නිසා මටයි නංගිටයි බොහොම නිදහසේ වැඩෙන්න ඉඩ දුන්නා.

ඒත් ක්‍රිඩාශීලීකම ජානවලින්ම උරුම වෙන්න ඇති. බාලකාලයේ දී මං හරිම දඟයි. ගස්වල නඟින, ගේ පුරා දුවන මගේ දාංගලේ මට්ටු කරන්න අම්මාටත් අසීරුවුණා.

මං පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් වුණේ දූනගහ රාජසිංහ විද්‍යාලයටයි. ඉන් පසුව හිතුවේ පතපොතේ අධ්‍යාපනය ගැන විතරයි. ඒත් මං හතේ පන්තියේ ඉඳිද්දී මගේ දෛවය තවදුරටත් ක්‍රීඩාශීලී බවට නිහඬ වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා සමයයි. හැම පන්තියකම ළමයි තම තමන්ගේ නිවාසවල ක්‍රීඩා සඳහා තේරීම් තරගවලට සහභාගි වෙනවා. ඒත් ඒ ගැන උනන්දුවක් නැති මං පන්තියට වෙලා හිටියා.

"ක්‍රීඩාවලට සහභාගි වෙන්න කැමැති නම් ක්‍රීඩා පිටියේ තේරීම් තරගවලට යන්න."

ශිෂ්‍ය නායිකාවක් එහෙම කිව්වා. ඒ වෙලාවේ මං ක්‍රීඩා පිටියට ගියේ පන්තියේ ඉන්න කම්මැළිකමක් දැනුණු නිසායි.

ඇත්තටම ඒ වෙද්දී මං මට දුවන්න පුළුවන් බවක් දැනගෙන හිටියේත් නැහැ. මට මං ගැන හරිම පුදුමයි. නිකමට වගේ දිව්වාට මාව නිවාසාන්තර තරගවලට තේරුණා. එදා ගෙදර ගිහින් මං මේ ආරංචිය අම්මාට කිව්වා.

"එහෙමනම් දුවන්න පුරුදු වෙලාම තරගයට සහභාගි වෙන්න."

අම්මා මාව ගේ ළඟ තිබූ ක්‍රීඩා පිටියට එක්ක ගිහින් දුවන්න පුරුදු කළා. අම්මා මගේ පළමුවැනි පුහුණුකාරිය වුණේ එහෙමයි. ඒ පුහුණුවෙන් පස්සේ මම නිවසාන්තර තරගවලදී 11 න් පහළ මීටර් 100 සහ 75 තරග ඉසව් දෙකෙන්ම පළමු තැනට ආවා. ඉන් පස්සේ කලාප තරග දිනුවා. පළාත් තරග දක්වාම ඒ ගමන එන්න හැකි වුණා.

පළාත් තරගවලට ආ නිසා මට මීගමුවේ ආවේ මරියා කන්‍යාරාමයට ඇතුළත්වීමේ විශේෂ පරීක්ෂණයකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අනුව මාව මීගමුව ආවේ මරියා කන්‍යාරාමයට ඇතුළත් කර ගත්තා.

අලුත් පාසලේදී පිලිප් පෙරේරා සර් යටතේ හොඳ ක්‍රීඩා පුහුණුවක් ලැබුණා. ඒ අනුව මට අවුරුදු 17 න් පහළ බස්නාහිර පළාත් මීටර් 400 ධාවන තරගයේදී වාර්තාවක් තියන්නත් හැකි වුණා. ඒ වසරේ බස්නාහිර පළාතේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ මමයි.

මේ ජයග්‍රහණ නිසා මට ගේට් වේ කොලේජ් එකට ඇතුළත් වීමට ශිෂ්‍යත්වයක් ලැබුණා. එහිදී සුනිල් ගුණවර්ධන සර් සහ භද්‍රා ගුණවර්ධන මිස් යටතේ මට පුහුණුවීම් කරන්න හැකි වුණා. මං 2011 වසරේදී සමස්ත ලංකා මීටර් 400, 19 න් පහළ ධාවන තරගයෙන් වාර්තාවක් සමඟ පළමු තැනට ආවා. එදා මං ඩෙංගු උණත් එක්ක හිතේ හයියටමයි දිව්වේ. හැබැයි මේ ජයග්‍රහණයෙන් පසු ඩෙංගු උණේ වේදනාවත් - අසීරුතාවත් හොඳ හැටි විඳෙව්වා.

කොහොම නමුත් ඉන්පස්සේ මට ජාත්‍යන්තර තරගවලට සහභාගි වීමට අවස්ථාව ලැබුණා. ආසියානු යොවුන් මලල ක්‍රීඩ උළෙලේ 200ය4 ලෝකඩ පදක්කම ලැබුවා. මීටර් 400 ධාවන තරග ඉසව්වේදී රටවල් 42 ක් අතරින් හොඳම ක්‍රීඩිකාවන් අට දෙනා අතරට තේරුණා.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 ඉසව්වෙන් රිදී පදක්කමක් ලැබුවා.

මේ වෙද්දී මගේ අම්මාටයි තාත්තාටයි ක්‍රීඩා මාවතකට යොමු වූ මා වෙනුවෙන් ජීවිතය වෙනස් කරගන්න සිද්ධ වුණා. අපේ මීරිගම පදිංචිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනය අසල නිවෙසකට මාරු කළේ ඒ නිසායි. 'දුවන්නත් ඕනෑ - ඉගෙන ගන්නත් ඕනෑ' අම්මායි තාත්තායි නංගිටයි මටයි මේ අවවාදය දුන්නේ ඒ සඳහා පසුබිම සකසා දෙමිනුයි. අද මගේ නංගී ධාවන ශූරි සදීපා හෙන්ඩර්සන් ලංකාවේ 16 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාවයි. ඇත්තටම ක්‍රීඩාශීලී දූවරුන් වෙනුවෙන් අපේ අම්මා ගෙදර උයන කෑම වේල ගැන පවා බොහොම සැලකිලිමත් වුණා. ඒ නිසා දවසේ කෑම වේලට කොළ මැල්ලුම් හරි හරියට එකතු වෙනවා.

සමහර වෙලාවට අම්මා පලා වර්ග අමුවෙන්ම කොටලා අපට පොවනවා.

දුවන අතරේම ඉගෙන ගන්න නිසා මට කාලයේ වේගය හරියට දැනෙනවා. මේ වෙද්දී මං ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා කළමනාකරන උපාධියක් හදාරනවා. ඒ අතරේම ධ්ර්‍ථර් ආයතනයෙන් මානව සම්පත් කළමනාකරණ උසස් ඩිප්ලෝමාවත් සම්පූර්ණ කළා. මේ දේවල් එක්ක ක්‍රීඩා පුහුණුවීම්වලත් නිරත වෙනවා. ඇත්තටම කාලය පිරිමහගන්න අමාරු අවස්ථාවලදී නිදා ගන්න පැය ගණනින් කොටසක් වැඩට හිලව් කර ගන්නවා.

ඇත්තටම නිළියක් වුණේත් ක්‍රීඩිකාවක්වීම වගේ අහඹුවකින්මයි. ඒ වෙද්දී චමන්තන් රාජ් නම් ඉන්දියානු සිනමා අධ්‍යක්ෂවරයා ක්‍රීඩිකාවක් පිළිබඳව හැදෙන චිත්‍රපටයකට නිළියක් සොයමින් සිටියාලු. ඒ සඳහා සැබෑම ක්‍රීඩිකාවක් තෝරා ගන්න ඔහු පුහුණුවීම් කරන තැන්වලට ඇවිත් බලලා තිබුණා. ඒත් සුදුසු කෙනෙක් සොයා ගැනීමට හැකි වී නැහැ. පුහුණුවීම්වල යෙදී සිටින විටෙක සුසන්තිකා ජයසිංහ මිස් මගෙන් මේ චිත්‍රපටයේ රඟපාන්න කැමැති ද ඇහුවා. අම්මාගෙනුයි තාත්තාගෙනුයි අවසරය ලැබුණු නිසා මමත් චිත්‍රපටයේ රඟපෑමට කැමැත්ත ප්‍රකාශ කළා.

ඉන්පස්සේ චමන්තන් රාජ් සර් මාව මුණගැහෙන්න ආවා. ඔහු මාත් සමඟ කථා කළා. ඉජපඥඥද ඊඥඵබඑකකට කැඳෙව්වා. චිත්‍රපටයට මාව තෝරා ගත්තා. මේ හැමදෙයක්ම ඉක්මනට සිද්ධ වුණාට මං රංගනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මාව අනෝජා වීරසිංහ මහත්මියගේ අභින පුහුණු වැඩසටහන්වලට සහ ප්‍රසන්නජිත් සර්ගේ රංගන පුුහුණුවීම්වලට යොමු කෙරෙව්වා.

ඇත්තටම රංගනය මට අලුත් අත්දැකීමක් වුණා. ඒත් සමහර අවස්ථාවලදී ධාවනයේත් රංගනයේත් වෙහෙසක් දැනුණේ නැහැ. ඒ රංගනය වෙනුවෙන් ඇත්තටම දුවන්න සිදුවූ නිසායි. තරගයකදී නම් එකවරයි දුවන්නේ.

රංගනයේදී එක ජවනිකාවක් වෙනුවෙන් ගිනි අව්වේ දුවන්න සිදුවූ වාර ගණන කියන්න බැහැ. එහිදී රංගන වෙහෙස ක්‍රීඩා කරද්දී දැනෙන වෙහෙසට වඩා වැඩියි හිතුණා.

උදුම්බරා චිත්‍රපටයේ එක් ජවනිකාවක් සඳහා කොළඹ කොටුවේ ඔරලෝසු කනුව ඉදිරියේදීත් දුවන්න සිද්ධ වුණා. එහිදී බස්වල නළා හඬ මැද්දෙන් මිනිස්සුන්ගෙන් බැණුම් අහමින් කළ ඒ දිවීමත් මට අමතක වෙන්නේ නැහැ.

කොහොම නමුත් උදුම්බරා චිත්‍රපටය නරඹද්දී මගේ ඇස්වලින් කඳුළු වැටුණා. ඒ මගේ රංගන ගැන දැනුණු සතුට නිසා නොවෙයි.

ඒ බොහෝ දුෂ්කරතා විඳිමින් රට වෙනුවෙන් අභිමානයක් ගෙනෙන්න දුවන අපේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් යමක් කළා කියන හැඟීම නිසායි. ඇත්තටම මෙය ක්‍රීඩිකාවකට ලැබෙන බොහොම දුලබ අවස්ථාවක් කියලයි මං හිතන්නේ.

ක්‍රීඩිකාවක්, විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලෙස වගේම රංගන ශිල්පිනියක් ලෙසත් ජීවිතයට අත්දැකීම් එකතු කර ගන්න මං වාසනාවන්ත වුණා. ඇත්තටම මේ මොන දේ කළත් මගේ අනාගත බලාපොරොත්තුව මගේම ව්‍යාපාරයකින් ජීවන වෘත්තිය සකසා ගන්නයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.