ගැයුමෙන් රටම වසඟ කළ පුංචි පැංචියෝ

දෙරණ ලිට්ල් ස්ටාර්ස් අවුරුදු 8 න් පහළ ගී තරුකැල
නොවැම්බර් 8, 2018

සමනළ පැටවුන් රෑනක් අතර මොහොතකට මා තනි වී ඇති බව හැඟේ. සමනලයෙක් සේ හෙමි හෙමින් මමත් ඔවුන්ගේ ඒ සොඳුරු ලොවට පියාඹමි. ඒ තනිව නොවේ පාඨක ඔබව ද රැගෙනය. නේක වර්ණ ඇඳුමින් සැරැසී අපූරු රැඟුම් පාමින් වේදිකාව මත හිඳ තාලයට ඔවුන් ගීතවත් වෙයි. මල්වන් පිවිතුරු ඒ මුහුණු මත ඇඳුණු සිනා හඬ ඔවුන්ගේ ළමා වියේ සුන්දරත්වය සේම ඔවුන් වට කොට ගොඩ නැඟුණු දක්ෂතාවය ද මොනවට කියා පාන්නේය. මේ දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවයි. වයස අවුරුදු 8 න් පහළ මේ පුංචි පැංචියන්ගේ හැකියාවන් ගැන මේ වන විට මුළු රටම නොව ලොවම කතාබහ කරන්නට පටන් ගෙන හමාරය. මම මේ පුංචි හපනුන්ගෙන් ඔවුන් ගැන විමසමි.

පුංචි මනීෂ සත්සර මෙවර දෙරණ ලිට්ල් ස්ටාර්ස් හැඩ කරන්නට එක්කාසු වෙන අපූරු තරුවක්. මා ළඟින්ම හිඳ හිනැහෙමින් ඔහු මා නඟන පැනයනට පිළිතුරු දෙයි.

'මම පිළිමතලාව කිරිබත්කුඹුර ගමේ ඉඳල තමයි මේ වැඩසටහනට ආවේ. මගේ අම්මා අනෝමා. ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක්. තාත්තා සුදත් ඉන්ද්‍රසිරි. මම ඉගෙන ගන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව ආදර්ශ ප්‍රථමික විදුහලේයි.' හරිම සිරියාවන්ත පාටින් පුංචි පුතු මා අසන පැනවලට පිළිතුරු දෙයි.

'පුංචි පුතා ඉගෙන ගන්නේ කීවෙනි පන්තියෙද?' මම අසමි.

මම දෙක ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. දැන් මට අවුරුදු 7 යි. තරඟාවලියේ තුන්වන ස්ථානය දක්වාම මම ආවා. හුඟක් සතුටුයි.' දෑත් පටලවා ගෙන පුංචි මනීෂ පවසන්නේ මුහුණ පුරා හසරැල්ලක් ද ඇඳ ගනිමිනි.

'පුංචි පුතාගේ යාළුවො මොකද කියන්නේ?' මම අසමි.

'හොඳට සින්දු කියලා දිනන්න කියලා තමයි. ඒගොල්ලෝ හැමෝම මට ඉර්ඉ කරන්නම් කියලත් කියනවා. මගේ පන්තිය් ගුරුතුමිය තමයි හිමාලි රත්නායක ටීචර්. ටීචරුත් මට හුඟක් ආදරෙයි. ඉස්කෝලෙදිත් මම සින්දු කියනවා. රැස්වීමක් තියෙන කොට මට සින්දු කියන්න කියනවා. මගේ හොඳම යාළුවා මලිත් අංජන සතුරුසිංහ මට එක අයියා කෙනෙක් විතරයි ඉන්නේ. එයා දේවින්ද සහන් ඉන්ද්‍රසිරි. මම මනීෂගේ කතාවට බාධා කරමි. 'ඔයා පුතේ ලොකු වෙලා කවුරු වෙන්න ද කැමැති?' 'ලොකු ගායකයෙක් වෙන්න' ගත් කටටම පිළිතුරු දෙන පුංචි මනීෂ හරිම හුරතලෙකි.

පුතාගේ විනෝදාංශ මොනවද?

මම බයිසිකල් පදිනවා. ඒකට තමයි මම වඩාත් කැමැති' මනීෂ පවසයි.

මනීෂගේ මව අනෝමා ද තම පුංචි පුතුගේ දක්ෂතාවය ගැන මා සමඟ කතාබහ කළා.

'පුතාට පුංචි කාලේ ඒ කියන්නේ අවුරුදු 03 දී විතර ලස්සනට ගීත ගයන්න පුළුවන්කම තිබුණා. ඉතින් මේ ලිට්ල් ස්ටාර්ස් වැඩසටහන පුංචි දරුවන්ගේ දක්ෂතා දියුණු කරන්න අත්වැලක් සපයන නිසා අපි හිතුවා මේ තරඟාවලියට පුතාවත් ඉදිරිපත් කර බලන්නට ඕනෑ කියලා. එහෙම දරුවා යොමු කරපු නිසා අවසන් පස්දෙනා අතරට ඔහු ආවා. තුන්වෙනි ස්ථානය ලැබුවා. සතුටක් දැනෙනවා. ජනප්‍රියම තරුව විදිහට අභිෂේක ලබන්නට ඔහුට හැකි වේවා කියලා මම පතනවා' අමෝමා තම කුඩා පුතුගේ දක්ෂතාවය ගැන එලෙස පවසමින් ඔහුට සුබපතන අතරතුර මම තවත් සමනල පැටියෙක් මා ළඟට ඇද ගතිමි.

'මගේ නම දෙහාන් අක්නුල. මට අවුරුදු 8 යි. අම්බලන්ගොඩ තමයි මගේ ගම. අම්බලන්ගොඩ ගා/ධර්මාශෝක විද්‍යාලයට තමයි මම පාසල් යන්නේ' මම පුංචි පුතුගෙන් විමසන්නට පෙර ඔහු තමාගේ තොරතුරු මා සමඟ බෙදා හදා ගත්තා.

පුංචි දරුවන් කොතරම් අව්‍යාජද? ඔවුන්ගේ සිත් තුළ වසන් කරන්නට කිසිවක් නැත.

'මගේ අම්මා අචිනි නෙලුම්කා. අම්මා සංගීත ගුරුවරියක්. තාත්තා ප්‍රභාත් තරංග. තාක්ෂණ නිලධාරීවරයෙක්' අම්මා තාත්තා ගැන අහද්දී පුංචි අක්නුල එහෙම කිව්වා.

'පුතා ලොකු වෙලා කවුරුන් වෙන්නද ආස?'

'සංගීතඥයෙක් වෙන්න තමයි කැමැති.

මේ සමනල පැටවාගේ බලාපොරොත්තුව එයයි. 'මගේ හොඳම යාළුවා තිනිති නුලාරා. ක්‍රිකට් ගහන්න බයිසිකල් පදින්න තමයි මම වැඩිපුරම කැමැති. ඒ වගේම පාඩම් වැඩත් මම අතපසු කරන්නේ නැහැ. බුද්ධ ධර්මයට තමයි හුඟක්ම කැමැති. ගෙදර ඉද්දී සින්දු කියනවා වගේම සින්දු අහනවා' අක්නුලගේ හුරතල් හඬින් තෙපලන වදන් අසමින්ම මම ඔහුගේ ආදරණීය මව දෙසට හැරුණා.

'මේ තරඟාවලියට අයදුම්පත් දැම්මේ පුතාගේ උවමනාව නිසයි. අපි සංගීත ගුරුවරුන් විදියට මේ වැඩසටහනට මීට පෙර අපි අපේ පාසල් දරුවන් පුහුණු කළා. පුතාත් ඒවා නිතර බලා හිටියා. ඉතින් එයාගේ ඉල්ලීමට තමයි මෙයට යොමු වුණේ. අවසන් පස් දෙනා අතරට ආවා. එය හුඟක් සතුටට කරුණක්' අක්නුලගේ මව අචිනි පවසයි.

පොළොන්නරුවේ සිට පැමිණි සිත්මිණි සුලක්ඛනා පුංචි දියණිය ද දෙරණ ලිට්ල් ස්ටාර්ස් 8 න් පහළ තරු පොකුර හැඩ කරන පුංචි සමනල පැටික්කියකි. පොළොන්නරුව සේවා මුක්ත කඳවුර මහා විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය ද අවසන් පස් දෙනා අතරට පැමිණෙන්නට වාසනව ලද්දීය. ඇය තමා ගැන තොරතුරු මා සමඟ පැවසුවේ මෙලෙසිනි.

'මගේ අම්මා ඉන්ද්‍රාණි මුල්ලේගම. ඇය සංගීත ගුරුවරියක්. තාත්තා නයනවංශ. මගේ පන්ති භාර ගුරුතුමිය අපොන්සු ටීචර්. මට යාළුවො හුඟක් ඉන්නවා. දෙරණ ලිට්ල් ස්ටාර්ස් තරගාවලියේ ගීත ගයන කොට මගේ යාළුවෝ මට සුබපතනවා. ලස්සනට සින්දු කියන්න කියලා මාව දිරිමත් කරනවා. හුඟක් ඉර්ඉ එවන්නම් කිව්වා'. සිත්මිණි සිනාවෙන මුවඟ පුරවාගෙන මා සමඟ පවසයි. හෙට දින එළිය කරන්නට සැරසෙන මේ පුංචි මල් කැකුළු දසතම සුවඳවත් කරන්නේ සමාජයටම තම දක්ෂතාවයන් මොනවට විදහාපාමිනි. ඔවුනට අත දෙන්නට දෙරණ ලිට්ල් ස්ටාර්ස් වසර ගණනක පුරා පෙරමඟ ගෙන සිටින්නේ ජාතික කර්තව්‍යයක් තම උරමත පටවා ගනිමිනි.

දුවගේ විනෝදාංශ මොනවද? මම විමසීමි.

'මම බයිසිකල් පදින්න තමයි හුඟක්ම කැමැති. ඒ වගේම මට සංගීත භාණ්ඩ වාදනයටත් දක්ෂතාවයක් තියෙනවා. සර්පිනාව වාදනය කරන්න පුළුවන්. වයලීන්, තබ්ලාව, එක්ට්‍රාජ් එක පවා වාදනය කරන්න පුළුවන්' ඇය පවසන්නේ සතුටු සිතිනි.

සිත්මිණි ගැන ඇගේ මව ඉන්දාණි පවසන්නේ මෙලෙසයි.

'පරම්පරාවෙන්ම ගායනය වාදනය කරන්න හැකියාවක් දුවට ලැබිලා තිබෙනවා. දුවගේ කැමැත්ත අනුව තමයි මේ තරඟාවලියට අයදුම්පත් යොමු කළේ. අද ඇය අවසන් පස් දෙනා අතරට පැමිණ තිබෙනවා. ලොකු සතුටක් දැනෙනවා. දුවට එක් සහෝදරියක් ඉන්නවා. ඇය සිතුමිණි නෙරංජලා. නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. පාසලේදීත් ඉගෙනීමට වගේම සංගීත අංශයේ හැම දෙයකටම ඇය ඉදිරිපත් වෙනවා. දුවගේ බලාපොරොත්තුව විදිහට හැමවිටම කියන්නෙත් සංගීත අංශයෙන් ඉදිරියට ගිහින් දක්ෂ ගායිකාවක් වෙනවා කියලයි. ඒ හින්දම ද මන්දා ඉස්කෝලේ දුවගේ ටීචර් වගේම පාසල ඇරලා ඇවිත් ඒ විදිහටම සාරියක් ඇඳගෙන කෝටුවක් අරගෙන ළමයින්ට උගන්වනවා. ඇරපු අතක් නෑර පන්තියේ ගුරුතුමිය වගේම ළමයින්ට කතා කරමින් උගන්වනවා. සමහර වෙලාවට මට හිනහත් යනවා' එලෙස තම දියණියගෙන් ලබන්නා වූ අපිරිමිත වූ සතුට වදන්වලට පෙරළුවේ සිත්මිණිගේ ආදරණීය මවයි.

දෙරණ ලිට්ල් ස්ටාර්ස් 9 වන අදියර අවසන් දෙදෙනා අතරට එක් වන්නට වාසනාව ලද්දියන් අතර ඉරේෂා රාජිනී ආරියරත්න දියණිය ද ඉදිරියෙන්ම සිටියි. පුංචි ඉරේෂා දියණිය ඇය ගැන මේ විදිහට තොරතුරු කතාබහ කළා.

මම මහනුවර උඩුනුුවර දවුලගල ඉඳලා තමයි මේ වැඩ සටහනට පැමිණියේ. මහනුවර දෙනු/හන්දෙස්ස මහා විද්‍යාලයේ තුන්වන වසරේ තමයි මම ඉගෙන ගන්නේ. මට එක් සහෝදරයකුයි සහෝදරියකුයි ඉන්නවා. මගේ අම්මා ගුණරත් මැණිකේ. තාත්තා එච්. ජී. ආරියරත්න. ඩුබායිවල තමයි සේවය කරන්නේ. අම්මා තමයි අපි තුන් දෙනාගෙම වැඩ කටයුතු සොයා බලා කරන්නේ.' හුරතල් පැහැදිලි හඬින් ඉරේෂා දියණිය මා සමඟ පවසයි.

මොනවද චූටි දුවගේ අනාගත බලාපොරොත්තු?

'මම කැමැති සංගීතයෙන් ඉදිරියටම යන්නයි' ඇයත් තම යහළුවන් සේම පවසයි.

'මගේ යාළුවෝ හැම දෙනාම මේ තරඟය නරඹනවා. මට හුඟක් හොඳයි කියනවා. ඉතින් මාව වට කරගෙන හොඳ ප්‍රතිචාර දක්වනවා' ඉරේෂා පවසන්නේ හුරතල් හඩිනි.

'දුවගේ කුඩා කාලයේ ඉඳන්ම ගායනයට දක්ෂතාවයක් තිබුණා. පාසල් මට්ටමින් වගේම ගම් මට්ටමිනුත් දරුවා සමස්ත ලංකා ගායන, පද්‍ය තරඟවලින් ජයග්‍රහණය කළා. සරල ගීතවලින් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය පවා හිමිකර ගත්තා. ගෙදරදිත් ගීත ගයනවා. නටනවා. ඉගෙනීමටත් හුඟක් දක්ෂයි. හැම විෂයකටම වගේ ලකුණු සීයෙන් සීය තිබෙනවා. පාසලේ විදුහල්පති පවා සතුටු වුණා. මෙයාගේ අයියයි අක්කයි වුණත් සංගීතයට ආසයි. එනිසා නංගී ඉන්න තැන ගැන ඔවුන් හුඟක් සතුටු වෙනවා. මම වුණත් දුව මේ තරම් දුරක් මේ වැඩසටහනේ ආ එක ගැන හදවතින්ම සතුටු වෙනවා. දැන් ඇය අවසන් වටයට සුදුසුකම් ලබලා ඉන්නේ. ඇයට සුබපතනවා වගේම දරුවන් වෙනුවෙන් මේ විදියට දෙරණ සිදු කරන මෙහෙය ගැන දෙරණට ස්තුතිවන්ත වෙනවා' ගුණරත් මැණිකේ පවසන්නේ සැබෑ සතුටකිනි.

දෙරණ ලිට්ල් ස්ටාර්ස් වේදිකවේ කාගේත් නෙත් සිත් එක හෙලා පැහැර ගන්නට සමත් වූ පොඩිත්තියක් තමයි ආක්ෂා චමුදි. ඇය දෙරණ ලිට්ල් ස්ටාර්ස් වේදිකාවේ ප්‍රාසංගික වන අන්දම ඉතාම සිත්ගන්නා සුලුයි. පුංචි ආක්ෂා පුහුණුවීම්වල යෙදෙන අතරතුර මා සමීපයට පැමිණියේ ඇගේ තොරතුරු මා සමඟ පවසන්නයි.

මම හම්බන්තොට, කටුවන ඉඳල තමයි මේ වැඩසටහනට ආවේ. මගේ අම්මා චන්ද්‍රා යාපා. තාත්තා අජිත් කුමාර නිශාන්ත. මට අයියයි අක්කයි ඉන්නේ' ආක්ෂා හුරතල් වදනින් පවසයි. පුංචි දූගේ වයස කීයද මම අසමි.

මට දැන් අවුරුදු 7 යි. දෙක වසරේ තමයි ඉගෙන ගන්නේ. මම ඉගෙන ගන්නේ හ/හොරවින්න පාසලේ. සමරවීර ටීචර් තමයි මගේ පන්ති භාර ගුරුතුමිය. ටීචර් මට හුඟක් ආදරෙයි. මගේ යාළුවොත් මට හුඟක් ආදරෙයි. හැමෝම මම සින්දු කියන හැටි බලනවා. හුඟක් හොඳට කියනවා කියලා කියනවා. තවත් ඉස්සරහට යන්න කියලා තමයි ඒ අය කියන්නේ. මම ලොකු වෙලා සංගීත කථිකාචාර්යවරියක් වෙන්නයි කැමැති ආක්ෂා පවසන්නේ හැඩකාර ලෙසයි.

චූටි දුව කාගෙ සින්දු ද වැඩිපුරම කියන්නේ?

ජෝතිපාල මාමගෙයි ඇන්ජලින් නැන්දගෙයි, සුජාතා නැන්දගෙයි ගීතවලට මම කැමැතියි. ඒ වගේම චොකලට් කන්නත් මම හුඟක් කැමැතියි. ආක්ෂා පවසයි.

රබන් වයන්න, තබ්ලාව වාදනය කරන්න ආක්ෂාට පුළුවන්. ඒ වගේම හැම තිස්සෙම මයික් එකක් අරගෙන ටී වී එක බලමින් ඒ වගේ නිවේදනය කරමින් ගීත ගයන්න දක්ෂ බවයි ආක්ෂා ගැන ඇගේ මව්පියන් පවසන්නේ. ආක්ෂාගේ පියා එදිනෙදා වෙළදාමේ නියැළනෙ එළවළු වෙළෙදාමේ නියැලෙන්නෙකි. ඔහු තම දියණියගේ හැකියාවන් ගැන පවසන්නේ මෙලෙසයි.

ආක්ෂා දුවට ගීත ගයන්න විරිදු ගයන්න උපතින්ම හැකියාව තිබෙනවා. මටත් ඒ හැකියාව තිබෙනවා. දුවම තමයි මේ වැඩ සටහනට අයදුම්පතක් දාන්න කියලා පුංචිකමට අපිට කිව්වේ. ඉතින් එයාගේ ඉල්ලීමත් හැකියාවත් හින්දම අපි ඒ දේ කළා. අද දුව අවසන් දෙදෙනා අතරට පැමිණ තිබෙනවා. මේ 24 වෙනිදා අවසන් තරඟාවලිය පැවැත්වෙනවා. දුව මෙතරම් දුරක් ආ ගමන ගැන ලොකු සතුටක් දැනෙනවා. දෙරණ නාළිකාවට අපි හුඟක් ස්තූතිවන්ත වෙනවා දරුවන් වෙනුවෙන් මේ විදිහට වැඩ සටහනක් පවත්වා ගමේ ඉන්න දරුවන්ට ජාතික, ජාත්‍යන්තර තලයට එන්නට ඉඩ ලබා දීම ගැන.' අජිත් කුමාර මහතා පවසන්නේ දෙනෙතේ නැඟි සතුටු කඳුළු මැදිනි.

රටේ සුවහසක් දූ දරුවනට තම දක්ෂතා ඔප් නංවා ගන්නට වේදිකාවක් වන දෙරණ ලිට්ල් ස්ටාර් වැඩ සටහනේ විධායක නිෂ්පාදිකාව වන්නේ දිලිති පෙරේරායි. ඇය මේ පිළිබඳ පවසන්නේ මෙවැන්නක්.

'මේ වැඩසටහන අපි පටන් ගත්තේ 2007 වසරේදියි. මේ යන්නේ 9 වන වැඩසටහනයි.

අපි මේ වැඩසටහන පටන් ගන්න කොට ලංකාවේ කවුරුවත්ම දරුවන් වෙනුවෙන් රියැලිටි තරඟ කරලා තිබුණේ නැහැ. ලංකාවේ ගම්බද, නගරබද දක්ෂතාවලින් පිරුණු දරුවන්ට මේ වැඩසටහන ලොකු අත්වැලක් වෙලා තිබෙනවා. දරුවන්ට අත්වැලක් වෙන ගමන් සමාජයට අලුත් දෙයක් දෙන්න ඕනෑ කියන අරමුණෙන් පටන් ගත් මෙය අද ගල් සහ මල් මැද ලොකු ගමනක් ඇවිත් තිබෙනවා. ඒ ගැන හුඟක් සතුටු වෙනවා. මොකද මෙතනින් ජීවිතය ජය ගත් දරුවන් අද සම්මාන ලබනවා. කලා ලොවේ ඉදිරියටම ඇවිත් ඉන්නවා. විදූෂා නේත්‍රාංජලී, මනිෂා චංචලා, හිමාෂ මනුප්‍රිය, තරුෂි, ඉරෝෂන් වගේ දරුවන් අද ලබන ජයග්‍රහණවලට දෙරණ ලිට්ල් ස්ටාර්ස් ඔවුනට අත්වැලක් වුණා කියලා කියන්න පුළුවන්. මේ වැඩ සටහන නිර්මාණය කළ අය විශේෂයෙන් මතක් කළ යුතුයි. ඒ අතර දෙරණ සාමාන්‍යාධිකාරී චතුරානි අබේවර්ධන, මාධව මඩවල මතක් කළ යුතුමයි. හැමදාමත් වගේ දෙරණ ලිට්ල් ස්ටාර්ස් වැඩ සටහනේ තිර පිටපත රචනා කරන්නේ ධම්මික විජේවික්‍රම. මේ 24 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.00 ට දෙරණ ලිට්ල් ස්ටාර්ස් සීසන් 9 අවසන් මහා තරගාවලිය පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් වෙනස්ම තේමාවකින් යුතුව මෙහි තිර පිටපත රචනා කරන්නේ ධම්මික විජේවික්‍රමයි. ඒ වාගේම මේ වැඩ සටහනට බිහානි නිසංසලා, චන්දන කළුආරච්චි, බුද්ධික දිසානායක, ඉසුරි වීරසිංහ ද දායක වෙනවා. ඒ වගේම දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාගෙන් ලැබෙන සහයෝගය හා ආශිර්වාදයත් මතක් කළ යුතුම වෙනවා.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.