මගේ ජීවිතය වෙනස් කළේ රට කජු ගොට්ටක්

Jayanath Bodhahandhi
නොවැම්බර් 9, 2018

සඳරැස් එදිරිසිංහ ගඩාගම දේවස්ථානයට යන්නේ තම ග්‍රාම සගයා වන අන්තෝනිගේ යක්ෂාරූඨය සුවපත් කරගන්නටයි. යක්ෂාරූඩයෙන් පීඩා විඳින අන්තෝනි නිසාම සඳරැස්ට තම යොවුන් ආදරය හමු වෙයි. ඒත් අන්තෝනි ලෙස රඟන ජයනාත් බෝධාහන්දිට අන්තෝනිගේ චරිතය රඟපාන්නට වාසනාව ලැබෙන්නේ තරමක් වෙනස් කතාවක් නිසයි. ඒ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ඝරසරප චිත්‍රපටයට නාම පුවරුව සකසා ගැනීමට ගිය අතරවාරේයි. එය ද ඔබ කියවිය යුතු කතාවකි. බෝධාහන්දි අන්තෝනි වුණු හැටි ඔහු අප සමඟ පැවසූ කතාවයි මේ.

ඔබේ කලාවේ ඇරැඹුම ගැන මුලින්ම කතා කරමු?

මම වසර 40 ගානක්ම කලාවට සම්බන්ධ රැකියාවල් තමයි කළේ. වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්. දැන්වීම් කලාවෙන් හිනි පෙත්තටම ආවා. චිත්‍ර සහ දැන්වීම් යන දෙඅංශයම එකට සමගාමීව ගියා. ඒ අතුරතුර දැන්වීම් කලාවේ එක අංශයක් තමයි රූපවාහිනී දැන්වීම් කලාව. එතැනදී දැන්වීම් නිර්මාණයේදී මමත් ඒවා රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ රඟපෑමෙන් නෙවෙයි. මම හුඟක් වෙලාවට කැමරාව පිටුපස තමයි හිටියේ. අහම්බෙන් දැන්වීමක් රූගත කිරීමකට ගිය වෙලාවක මට ලලිත් රත්නායක අධ්‍යක්ෂවරයාව හමු වෙනවා. ඒ ඒ තැන්වලදී මගේ හැසිරීම් රටාවන් අධ්‍යයනය කරමින් ලලිත් ඉඳලා තිබෙනවා. ඉන් පසුව ඔහු මට කතා කළා ඔහුගේ ටෙලි නාට්‍යයක රංගනයට එකතු වෙන්න පුළුවන් ද කියලා අහලා.

ඉන් පසුව මොකද වෙන්නේ?

ඔහුගේ 'ර්‍ණදඥ එචර' ටෙලි නාට්‍යයේ චිත්‍ර ශිල්පියකුගේ චරිතයකට මාව ගත්තා. එහි පුබුදු චතුරංග, ලක්ෂ්මන් මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි වැනි ප්‍රවීණයන් සමඟ රඟපාන්න මට හැකි වුණා. ඒ තමයි රංගනයේ මගේ පළමු අතදැකීම. ඉන් පසුව තරමක් රංගනයෙන් දුරස් වුණේ මගේම කියලා ප්‍රචාරක ආයතනයක් මම කරගෙන යන නිසයි. ඒ හින්දා වැඩිපුර ටෙලි නාට්‍ය පසුපස හඹා ගියේ නැහැ.

ජයන්ත චන්ද්‍රසිරි ඔබේ කලා ජිවිතය වෙනස් කරනවා?

දවසක්, මාධ්‍ය මගෙත් එක්ක සමීප නිසාම මට ජයන්ත චන්ද්‍රසිරිව දිවයින පුවත්පතේදී හමු වුණා. ඔහුගේ ඇසුර දැනහැදුනුම්කම දිගටම තිබුණා. චන්ද්‍රසිරි මහත්මයා ඒ කාලෙත් නිර්මාණ කළා. නමුත් මට ඒ නිර්මාණවලට ආරාධනා කළේ නැහැ. ඔහු සමඟ සුහද මිතුදමක් තිබුණා. ඔහු මගේ දක්ෂතා ගැන දැනුවත්ව හිටියා.

ඔබට ඝරසරප චිත්‍රපටයට දොරගුළු විවර වෙන්නේ?

දැන් වසරකට විතර පෙර හම්බන්තොට මම වැඩකට ගිහිල්ලා ඉන්දැද්දී මගේ මිතුරෙක් වුණු නිමල් ෆ්‍රැන්සිස් මට කතා කළා. බෝධි, උඹට ජයන්තට කතා කරන්න ඕන කියනවා කියලා. ඉතින් ජයන්ත මට කතා කළා. මචං මට පොඩි උදව්වක් කරපන්. මගේ අලුත් චිත්‍රපටයේ නම ඩිසයින් කරල දෙන්න පුළුවන් ද කියලා ඇහුවා. එයට මම හුඟක් සතුටු වුණා. මට එය අභිමානයක් වුණා. මම එය පහුවදා ඉටු කළා. ඒ අනුව මම බොරැල්ලට ගියා ඔහුව හමුවෙන්න. එය මගේ ජීවිතේ වෙනස්ම මාවතකට ගෙන ගිය ගමනක් වුණා. මම රට කජු ගොට්ටක් අරගෙන රටකජු ටිකක් කකා ඔහු එන මඟ බලා හිටියා. ජයන්තගේ වාහනය මා ඉදිරිපස නතර වුණා. මම ඔහුගේ වාහනයේ දෙර ඇරලා, අයියේ කාපං රට කජු ටිකක් කියලා දුන්නා. ජයන්ත මගේ පෙනුම දුටුවා. රටකජු මුහුණ පුරා තිබෙන මගේ විලාශය දැකලා බෝධි පොඩ්ඩක් ඉඳපන්, මගේ චිත්‍රපටයේ කැරැක්ටර් එකක් තියනෙවා උඹට. උඹ කැමැතිද ඒක රඟපාන්න කියලා ඇහුවා. මම බොහොම සතුටින් කැමැති වුණා. මම ඒ විදිහට ඝරසරප චිත්‍රපටයට සම්බන්ධ වුණා.. ඒ අන්තෝනිගේ චරිතය වෙනුවෙන්. දින 15 ක් පුරා ෂූටින් තිබුණා. ජයන්ත අයියා කිව්වේ උඹ බයවෙන්න එපා, විශ්වාස කරපන් බයනැතුව හිටපන් රඟපාන්න දෙනවා කියලයි.

ඔබ දැන් මුළු රටම හඳුනන රංගන ශිල්පියෙක්?

ඔව්. මම ලංකාවේ වසර 41 ක් පුරාවට කලාවේ නිරත වෙලා හිටියා. ඒ දැන්වීම් කලාවේ සහ චිත්‍ර ශිල්පියෙක් විදියට. මට ගණන් හදා ගන්න බැරි තරමට මම හම්බ කරලා ඇති. එත් ඒ වසර ගණනත් හරි මේ ඝරසරප චිත්‍රපටය තිරගත වුණු මාස කිහිපයත් හරි. මට විශාල ප්‍රතිචාරයක් අර අවුරුදු 41 පරදා ලැබුණා. මාධ්‍ය දර්ශනය දවසේ වගේම මංගල දර්ශනය පැවැත් වූ දාත් මට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. මට ලැබෙන ප්‍රතිචාර අනුව මට හිතෙනවා මට ජයන්ත අයියා සාධාරණය ඉටු කළා කියලා. ඒ වගේම මමත් ජයන්ත අයියට සාධාරණය ඉටු කළා කියලා.

මොනවද ඔබේ ඉදිරි වැඩ කටයුතු?

මෙගා නාට්‍යවලට නම් නිතර කතා කරනවා. ඒත් තෝරා බේරගෙන හොඳ චරිත රගපාන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හොඳ සෞන්දර්යවාදියෙක් ලෙස ජිවත් වෙන්නට මම කැමැතියි. ඒ වගේම මට මේ චිත්‍රපටයට අවස්ථාව දුන් ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයාට වගේම නිෂ්පාදක අර්ජුන් කමලනාත්ට මම ස්තුතිවන්ත වෙනවා.

ඡායාරූප -නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.