ඔබ මගේ වෙලා - මම ඔබේ වෙලා

අනූෂා දමයන්ති, සුගත් ජානක සමඟ බෝට්ටුවක...
නොවැම්බර් 12, 2018
දිගු කලක පටන් රංගන ශිල්පී සුගත් ජානකගේ සිතෙහි තිබුණු සිහිනයකි. ඒ තමන්ගේම කියා ගීතයක් ගැයීමය. රංගනයට අමතරව බොහෝ නළු නිළියෝ ගී ගැයීමේද නියැලෙති. සුගත් ජානක ද සිටින්නේ ඒ ගොන්නෙහිය. ප්‍රසංග වේදිකාවේ අනුන්ගේ ගී ගැයුව ද සුගත් ස්වතන්ත්‍ර ගීත ගයා තිබුණේ නැත.
 
ඊයේ පෙරේදා පටන් සුගත් ගැයූ තම කුලුඳුල් ගීතය ප්‍රචාරය වන්නට පටන්ගෙන තිබිණි. ඔබ මගේ වෙලා යනුවෙන් නම් කොට ඇති එය විරහව ගැබ්වුණු ආදර ගීයක් වන්නේය. එයට සුගත්ගේ සංකල්පය යටතේ මියුසික් වීඩියෝවක් ද නිම විය.
 
සුගත් පළමු ගීතය ලිව්වෙත් ඔබමයි නේද?
 
ඔව්. ඒ විතරක් නෙවෙයි, ගීතයේ තනුව, වීඩියෝ රංගනය, වීඩියෝවේ පිටපත වගේම එහි අධ්‍යක්ෂණයත් මගේ.
 
ඔබ ගායනයට පිවිසිලා ටිකක් කල් ගත වුණා. තමාගේම ගීතයක් නිර්මාණය කරන්නට ප්‍රමාද වුණේ ඇයි?
 
මං කාලයක් මේ ක්ෂේත්‍රය දිහා බලාගෙන හිටියා සුදුසු කාලය එනකම්. ඒ සඳහා මේ සුදුසු කාලය කියලා හිතුණේ දැන් ඇහෙන ගීත ඇහුණාමයි. ඒ සියලුම ගීත හරිම ඒකාකාරියි. වෙනසක් කළොත් සංගීත ලෝලීන් ප්‍රිය වේවි කියලා හිතුණා.
 
ගීතයේ අන්තර්ගතය ගැන කතා කළොත්?
 
සල්ලි තියෙන ගැහැනු     ළමයකු ඉන්නවා. ඇයට ආදරය නැහැ. කොල්ලෙක් ඉන්නවා. ඔහුගේ ජීවිතයට සල්ලි නැහැ. නමුත් ඔහු ආදරය කරන්නේ හදවතින්මයි. මේ දෙදෙනා අතර ඇතිවන ගැටුමක් ඔස්සේයි වීඩියෝව ගලා යන්නේ.
මෙහි රඟපානවා අනූෂා දමයන්ති.
ඇයව වීඩියෝවට එක්කාසු කර ගැනීමට විශේෂ හේතුවක් තියෙනවාද?
 
අපි මිත්‍රයෝ. අනූෂා කාලෙකින් විෂුවල් එකක්  කළේත් නැහැනෙ. ඇය රංගනයේදී හොඳ සහායක් ලබා දෙනවා. ඒ වගේම චරිතයටත් ගැළපෙනවා. මගේ වීඩියෝවට උපරිම සහායක් ඇය ලබාදේවි කියන විශ්වාසයට මං අනූෂාව ගත්තා.
 
එය එහෙම වුණාද?
 
ඔව්. හිතුවටත් වැඩිය මට සපෝර්ට් කළා. අඩුම තරමේ මුදල්වත් ගත්තේ නැහැ.
 
වීඩියෝව රූපගත කරන්න ගිහින් වෙච්ච අමතකම නොවන සිදුවීමක් තියෙනවා?
 
ඒක ගැන මං කියන්නමයි හිටියේ. එක දර්ශනයක් තිබුණා බෝට්ටුවේ රූපගත කළ යුතු. මට සාමාන්‍යයෙන් බෝට්ටුවක නැගලා යන්න අපහසුයි. විෂුවල් ලස්සන නිසා මං ඒකට කැමැති වුණා. බෝට්ටුවේ නැගලා බොහොම අපහසුවෙන්, ඒත් ඒ බව හඟවන්නේ නැතුව පැය කිහිපයක් රූපගත කළ අන්දම මතක් වෙද්දී අදටත් හිරිගඩු පිපෙනවා. 
 
වීඩියෝවට දායක වූ පිරිස ගැන මතක් කරමු?
 
කැමරාකරණයෙන් සුජිත් නිශාන්ත දායක වුණා. සුගත් විජේසේකර, වගීෂා නිශා, සෝමෙ ඇතුළු පිරිස රඟපෑවා. 
 
සුගත්ගේ ගීතයේ සම්පූර්ණ පදමාලාව:
 
රිදුණු නෙත් සර අවදි කෙරුවා
හසකැළුම් පාලා
ආදරේ හිත දෝරෙ ගැලුවා
නෙතු දැහැන් බිඳිලා
රස රහස් මුව අගින් කොඳුරා
පපු තුරෙ රැඳිලා
දිවිය ඇති තෙක් එක්ව ඉන්නට
පෙම් පැතුම් පුරලා
 
ඔබ මගේ වෙලා මම ඔබේ වෙලා අපි අපේ වෙලා
 
පෙමට පෙම් කොට රිදුණු හදවත
දෝරෙ ගැලුවා කඳුළු වැල්
සුරලියකි ඔබ ළංව හිදි මට
පිස දැමුවා සුසම් වැල්
 
ඔබ මගේ වෙලා මම ඔබේ වෙලා අපි අපේ වෙලා
 
නෙතු අඟින් කී කථා නිම් නැත
මුවඟ පුරවා සිනහ වැල්
ඔබයි මගේ සදා හදෙහි සඳවත
හිඳුණු මැන ළඟ සදාකල්
 
රිදුණු නෙත් සර අවදි කෙරුවා 
ඔබ මගේ වෙලා මම ඔබේ වෙලා අපි අපේ වෙලා

Add new comment