කීර්තිගේ හිත කොහේද ගිහින්

නොවැම්බර් 30, 2018

කීර්ති පැස්කුවල් මෙරට ගායන ක්ෂේත්‍රයේ පුරා දශක ගණනාවක් හෙමින් ගමනක නිරත වෙමින් යහපත් නිර්මාණ රැසක් සංගීත ක්ෂේත්‍රයට දායාදා කළ අයෙකි. ගීත ලෝකයට පැමිණි දා පටන්ම රැළි පිට රැළි පෙරළී විත් සංගීත ක්ෂේත්‍රය උඩු යටිකුරු වුව ද ඔහුගේ ගමන් මඟ සැමදා එකසේ ස්ථාවර විය. ඔහුගේ නිර්මාණ දිවිය ද කිසි විටෙක එකී රැළි පසුපස හඹා ගියේ නැත. එබැවින් ඔහු එදා ගොඩනඟා ගත් ස්ථිරසාර ප්‍රතිපත්තියේම පිහිටා කලාකරුවකු, නිර්මාණකරුවකු ලෙසින් තමන් අතින් සමාජයට ඉටු විය යුතු වගකීම කවරෙක් ද යන්න හොඳින් වටහා ගනිමින් ඒ අනුව තම නිර්මාණ දිවිය සැලසුම් කරන්නට කල්පනාකාරී වූවෙකු විය.

මෙවර ඔහු පිළිබඳ අපගේ සුවිශේෂී අවධානය යොමු වූයේ පසුගියදා එළි දුටු ඔහුගේ නවතම මියුසික් වීඩියෝව නිසාය. වර්තමාන සංගීත ක්ෂේත්‍රය තුළ දහසකුත් එකක් මියුසික් වීඩියෝ බිහිවෙන මෙවන් යුගයක ඔහුගේ මියුසික් වීඩියෝව එතරම් සුවිශේෂී වන්නේ කෙලෙසකදැයි කෙනකුට සිතෙන්නට හැකිය. ඉල්ලුුමට අනුව සැපයුම නොදෙන ගායකයකුගෙන් කලකට පසු එවන් වීඩියෝවක් එළි දැකීම සැබවින්ම ගීතලෝලී ප්‍රේක්ෂකයින්ට සුවිශේෂී අවස්ථාවකි.

කලකට පසු අලුත් වීඩියෝවක් කරන්න හිතුණේ ඇයි?

පසුගිය කාල වකවානුව පුරා අපේ සංගීත ක්ෂේත්‍රයට මුදා හැරුණු මියුසික් වීඩියෝ පිළිබඳ මම අවදියෙන් හිටියා. අපේ රටේ පේ‍්‍රක්ෂක ජනතාවටත් ඒ ගැන හොඳින් දැනෙන්න ඇති කියලා හිතෙනවා. ඇත්තටම ඒ මියුසික් වීඩියෝවල අඩංගු වුණු වචනවල පවා තිබුණේ සභ්‍යත්වය ඉක්මවා ගිය බවක්. සමහර දර්ශනවලින් පවා ව්‍යංගයෙන් කියවුණේ යම් යම් අසභ්‍ය අර්ථකථන. සභ්‍ය සමාජයේ බොහෝ පිරිස් අතරින් මේවට දෝෂාරෝපණ එල්ල වුණා මම දැක්කා. අනිත් පැත්තෙන් අපිට නිතර දකින්න ලැබෙන සාමාන්‍ය මියුසික් වීඩියෝවල තිබුණේ ඒකකාරී කතා ප්‍රවෘත්ති රැගත් දර්ශන. බොහෝ විට ඒවා ටෙලි නාට්‍යයන්ට සම වුණා. මට අවශ්‍ය වුණේ මේ දෙපැත්තෙන්ම මිදුණු අපේ සංගීතලෝලී ප්‍රේක්ෂකයින්ව නව මානයකට කැඳවා ගෙන යන අලුත් තාලයේ මියුසික් වීඩියෝ එකක් කරන්න.

කොච්චර කාලෙකට පස්සෙද මේ වීඩියෝ එක නිකුත් කරන්නේ?

මම හිතන්නේ අවුරුදු දෙකකට විතර පස්සේ. අන්තිමට කෙරුණේ යුග ගීත දෙකකට සම්බන්ධ වීම තමයි. ඒ නිසා කරන්නන් වාලේ නොකර හොඳ සැළසුමක් ඇතිව හොඳ දෙයක් කරන්න මට ඕනෑ වුණා.

මේ වීඩියෝ එකේ විශේෂතා මොනවාද?

මේ වීඩියෝ එක කරන්නේ අපි ලොකු වෙහෙසක් දරලා. ඉතාමත්ම අලංකාර දර්ශන තල තමයි අපි මේකට යොදා ගත්තේ. මේ වීඩියෝ එකේ ගීතයේ ගුණාත්මක පැත්ත ඉහළ මට්ටමකින් තියෙනවා වගේම සෞන්දර්යාත්මක පැත්තත් ඉතාම ඉහළ මට්ටමින් තියෙනවා කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්.

මේ ගීතය මියුසික් වීඩියෝ එකක් වෙනුවෙන්ම නිර්මාණය වුණු එකක්ද?

නෑ. මුලින්ම මේ ගීතයේ තනුව සහ සංගීතය මට ලබා දුන්නේ දර්ශන ජයසිංහ විසින්. ගී පද රචනය සමන් දිසානායක. ඒ දෙන්නා තීරණය කරලා ගායනා කරන්න මට දුන්නා. සංගීතය හා තනුව අහන කොටම මේ ගීතයේ විශේෂයක් මට තේරුණා. ගීතයේ ට්‍රැක් එක අහන කොට සංගීතයත් එක්ක විෂුවල් ගොඩාක් මැවුණා. ඒ නිසා මට හිතුණා ඒ ගීතය මියුසික් වීඩියෝවක් කරන්න හොඳට ගැළපෙනවා කියලා. මේ මියුසික් වීඩියෝවට මම ගීතය ගායනා කරන දර්ශනත් අඩංගුයි. විශේෂයෙන්ම මේ ගීතයේ තිබෙන රිද්මය නර්තනාංගයක් ඉල්ලා සිටිනවා කියලා හිතුණා. ඒ අනුව ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධනයන්ගේ ශිෂ්‍යාවක වන ඉවෝන් මේ ගීතයට නර්තන අංග එකතු කරනවා. ගීතයේ සම්පූර්ණ රංග වින්‍යාසය චන්න විජේවර්ධනයන්ගේ. චන්නට මේ ගීතය මම අහන්න දුන්නම ඔහුත් ඒ සඳහා නර්තන වින්‍යාසයක් නිර්මාණය කරන්න ඉතාම කැමැත්තෙන් බාර ගත්තා. මියුසික් වීඩියෝ එක නිර්මාණය වෙන්නේ ත්‍රී සික්ස්ටි ප්‍රඩක්ෂන් නමින්. සමින්ද සහ බුද්ධික යන දෙදෙනාගේ රූප රචනා අධ්‍යක්ෂණය යටතේ තමයි සිදු වෙන්නේ.

දර්ශන තල විදියට පාවිච්චි කළේ කොහේද?

බදුල්ලෙන් හා පස්සරින් එහා මඩොල්සිම කියන ප්‍රදේශයේ තිබෙනවා 'පුංචි ලෝකාන්තය' කියලා කඳු මුදුනක්. ඒ කඳු මුදුන තමයි දර්ශන තලය විදියට අපි යොදා ගත්තේ. ඒක හරිම දුෂ්කර කාර්යයක් වුණා. එතැනට අපේ රූගත කිරීමට අවශ්‍ය කරන බඩු බාහිරාදිය අරගෙන යන එක අසීරු කාර්යක් වුණා. අපි ඒ වෙනුවෙන් ලොකු දුකක් වින්ඳා. නමුත් අපේ ප්‍රතිඵලය ඉතාම ලස්සන එකක් වුණා. තාක්ෂණය අතිනුත් මේ වීඩියෝ එක උපරිම මට්ටමකින් තිබෙනවා. ලංකාවේ නිකුත් කරන ලද පළමුවැනි ත්‍රිමාන සංගීත රූප රචනය මේ මියුසික් වීඩියෝව. ඒ එක්කම මේකට අපි භාවිතා කරලා තිියෙන්නේ 8 ච් ර්‍ණභඤඪධ ක්‍රමය. හෙඩ් ෆෝන් එකක් දාලා මේක අහනකොට අට තැනකට මේ ශබ්ද මාරු වෙනවා. තල අටක ශ්‍රවණ භාවිතාවක් ඇතිව මෙවැනි දෙයක් ලංකාවේ කළේ පළමුවැනි වතාවටයි. ඒ වගේම මෙහි රූප දර්ශන බලන් ඉන්නකොට දැනෙන්නේ චිත්‍රපට රූප රාමු හා සමානවමයි.

මට ඇත්තටම අවශ්‍ය කළේ ක්ෂේත්‍රයේ කාලාන්තරයක් තිස්සේ රැඳුණු ජ්‍යෙෂ්ඨයෙක් විදියට රසවත්, ගුණවත් නිර්මාණයක් ඉදිරිපත් කරල ආදර්ශයක් දෙන්නයි.

ඔබ වරක් 'කඳුළ ඉතින්' ගීතයත් රැගෙන ඔබේ ගායන දිවියේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කළා. 'හිත කොහේද ගිහින්' මියුසික් වීඩියෝ එකත් තවත් එවැනි සන්ධිස්ථානයක් වේවිද?

අනිවාර්යයෙන්ම එහෙම වේවි කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ මෙතෙක් පැවති වීඩියෝ රැල්ලෙන් මිදිලා අලුත් දෙයක් කරන්න මම උත්සාහ කළා. ඒ ඒකාකාරිත්වයෙන් මිදෙන්න මට හැකි වුණා. ක්ෂේත්‍රයේ වැඩිහිටියෙක්, ප්‍රවීණයෙක් විදියට මට වගකීමක් තියෙනවා නව පරපුරට ආදර්ශයක් වන විදියට හැසිරෙන්න සහ නිර්මාණකරණයේ යෙදෙන්න. මට හිතෙනවා ඒක මම කළා කියලා. ඒ ගැන නිහතමානී සතුටක් මට තියෙනවා.

ඔබේ පෞද්ගලික සංගීත දිවියෙන් මිදුණාම ගායක ගායිකා සංගමයේ සභාපති වශයෙනුත් ඔබට මේ රටේ ගායක ගායිකාවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් පෙනී සිටින්න වගකීමක් තියෙනවා. අපි ඒ ගැන කතා කළොත්?

ගායක ගායිකා සංගමයේ සභාපති වශයෙන් තුන්වැනි වරටත් මාව පත් වෙලා තියෙනවා. මේ ගෙවෙන්නේ මගේ සභාපතිත්වය යටතේ 4 වැනි වසර. මේ කාල සීමාව ඇතුළත ගායක ගායිකාවන්ගේ සුබ සාධනය වෙනුවෙන් අති විශාල වැඩ කටයුතු ටිකක් අපි කරලා තිබෙනවා. අවුරුදු 65 ට වැඩි 40 දෙනෙක් සඳහා විශ්‍රාම දීමනාව ලබා දෙන්න දැනට අපි කටයුත කරලා තිබෙනවා. ඉදිරියේදී තවත් සුබසාධන කටයුතු රැසක් සිදු කරන්නට සංවිධානය කරමින් පවතිනවා.

ඉදිරි සංගීත කටයුතු සැලසුම් කරන්නේ කොහොමද?

ලබන අවුරුද්දේ මගේ ඒක පුද්ගල ප්‍රසංගය පටන් ගන්න සැලසුම් කරමින් පවතිනවා. ඒත් එක්කම විදේශ ප්‍රසංග සමඟම දෙරණ ආයතනයේ ගී තරු විනිශ්චයට 8 වැනි වතාවටත් සම්බන්ධ වුණා. මගේ ජීවිතේ ගෙවෙන්නේ සංගීත කටයුතුත් එක්ක තමයි. කාලයක් මම සංගීතයෙන් බැහැර වෙලා හිටියත් මට ගැලපෙන්නේ සංගීත කටයුතු කියන එක මම අවබෝධ කර ගත්තා. එතැන් සිට දිගටම මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා. ඉදිරියේදී වෛද්‍ය කණ්ඩායමක් සමඟ එකතු වෙලා පිළිකා රෝගීන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය වෛද්‍ය සහායක ක්‍රමයක් ඇති කරන්න මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. ජනවාරි මාසයේ ඒ සඳහා මූලික අදියර අරඹන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ එදා ක්ෂේත්‍රයට පැමිණි දා සිටම මේ දක්වාම ඔබේ ජනප්‍රියතාව, ආදරය, ආකර්ෂණය නොඅඩුව පවත්වාගෙන ගිය කෙනෙක්. ඇත්තටම ඒකට හේතුව මොකක්ද?

ඇත්තටම කිව්වොත් දැන් ක්ෂේත්‍රයට ඇවිත් දශක 04 ක් වෙනවා. අවුරුදු 40 ක් කියන්නේ නිර්මාණකරුවෙකුගේ ජීවිතයට අති විශාල කාලපරාසයක්. ආපසු හැරිලා බැලුවාම මේ කාලයෙන් වැඩිම කාලයක් මම වැය කරලා තියෙන්නේ මේ රටේ රසික ජනතාව පිනවන්න. මේ කාලය තුළ මම ගමන් කළේ කිසි හදිස්සියකින් නොවේ. නිර්මාණ කළේ හොඳට හිතලා බලලා සමාජ යහපත පිණිසම හේතුවෙන විදියටයි. අපි හැම මොහොතකම හැසිරෙන්න ඕන තරුණ පරපුරට, නව පරපුරට ආදර්ශයක් දෙන විදියටයි. එහෙම යහපත් චේතනාවෙන් ගමනක් යනකොට කෙනෙකුට වරදින්න විදියක් නෑ.මගේ ජීවිතේ ගෙවුණු කාලය සංගීතය වෙනුවෙන් වැය කළා වගේම ඉදිරියත් එහෙම වේවි. මට සින්දු කියන්න බැරිය කියලා දැනෙන කොට, මගේ ස්වසන පද්ධතිය දුර්වල වෙනකොට, ශ්‍රැතියට කියන්න බැරි කාලය එනතෙක් මම සංගීතයේ ඉන්නවා. බැරි අවස්ථාව එළඹෙන කොට මම හැමෝටම කියලා සංගීත දිවියෙන් සමුගන්නවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.