මගේ හැකියාව අපතේ යනවද මන්දා

බිම්සරා ප්‍රේමරත්න
දෙසැම්බර් 6, 2018

බිම්සරා ප්‍රේමරත්න යනු නව පරපුරේ දක්ෂ නිළියකි. එහෙත් ඇය නිතර දෙවේලේ පෙනෙන්නට දකින්නට නැත. රඟපාන්නේ ද තෝරා බේරාගෙනය. රඟපෑ චරිත ද ඉතාම අල්පය. එනමුදු ඒ චරිතයන්හි රංගනය බොහෝ විට කෙළවර වූයේ බිම්සරාගේ අතට සම්මානයක් පත් වෙමිනි. ඉකුත් දා නිමාව දුටු රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේදී ඇය සම්මානයක් හිමිකර ගත්තීය. ඒ ආනන්ද අබේනායකගේ බැද්දේ කුලවමිය නාට්‍යයෙහි කළ රංගනය උදෙසාය. ‘ශෙරීන්’ ඇය පණ පෙවූ චරිතය විය. මෙම වසරේ සිග්නීස් උලෙළේදී ද එම චරිතය ඇගැයනු ලැබිණ. බිම්සරා වඩාත් ජනප්‍රිය වූයේ අප්පච්චි නාට්‍යයේ මේඝනා ලෙස කළ රංගනයෙන් පසුවය. එම චරිතයට ද සම්මාන හිමි විය. බැද්දේ කුලවමිය සඳහා ඇයට ආරාධනා ලැබෙන්නේ ඉන් අනතුරුවය.

බිම්සරා, අප්පච්චි නාට්‍යයෙයන් පසුව දීර්ඝ කාලයක් ඔබ නිහඬව ඉන්නවා, බැද්දෙ කුලවමියට කතා කරන තෙක්?

නිහඬව සිටියා කියන්නත් බැහැ. මොකද මං වේදිකාවේ නිතරම පාහේ ගැවසුණා. විශේෂයෙන්ම ඉංග්‍රීසි වේදිකාවේ. ඉංග්‍රීසි නාට්‍යය නරඹන්න එන්නේ වෙනම කණ්ඩායමක්. ඔවුන් මාව දන්නවා. රාජිත දිසානායක මහත්මයාගේ නැතුව බැරි මිනිහෙක් නාට්‍යයෙත් රඟපෑවා. ජනප්‍රිය ගණයේ නිර්මාණවල නැති නිසා මං නිහඬයි වගේ පේනවා.

මං එතැනට තමයි එන්න හැදුවේ. ඇයි ඔබ ජනප්‍රිය කුලකයේ නිර්මාණවල නැත්තේ?

මට ආරාධනා ගොඩක් ලැබෙන්නේ නැහැ. මං දන්නේ නැහැ මොකක්ද ඒකට හේතුව කියලා. ලැබෙන ආරාධනා ටිකෙන් මට පුළුවන් ඒවට තමයි යන්නේ. පසුගියදා මට කතා කළ නාට්‍යයකට යන්න බැරි වුණා දින ප්‍රශ්නයක් නිසා. වැඩි දෙනෙක් නොදන්නවා කියලා හිතනවා ඇති මේ කාරණය. මං ස්ටැෆඩ් ජාත්‍යන්තර පාසලේ සහ මියුසියස් විදුහලේ නාට්‍ය හා රංග කලාව පුහුණුකාරිණිය විදිහට සේවය කරනවා. දුවා දරුවන් එක්ක ගත කරන කාලය ඇතැම් අවස්ථාවලදී ඔවුනටම වෙන් කරන්න ඕන නිසා මට ලැබෙන අවස්ථා මඟහැර ගන්න වෙනවා.

බැද්දෙ කුලවමිය නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ එහි අධ්‍යක්ෂ ආනන්ද අබේනායක හරහාද?

ඔව්. මං ඔහුගේ නාට්‍යවලට ඉතාම ප්‍රියයි. මේ වතාවෙත් ලැබුණ ආරාධනයේදී පිටපතවත් නොබලාමයි මං එයට කැමැති වුණේ. ‘ඔයාට වැඩිපුර කාර් පදවන්න වෙනවා’ කියලා විශේෂ දෙයක් කිව්වා මිසක මටවත් ඔහුටවත් ගැටලුවක් තිබුණේ නැහැ ශෙරීන්ගෙ චරිතය මට ලබාදීම පිළිබඳ.

ලැබුණ සම්මාන ගැන මොනවද කියන්න තියෙන්නේ? සම්ප්‍රදායික ප්‍රශ්නයක්. නමුත් මට ඔබෙන් එය අහන්න සිද්ධ වෙනවා?

මටත් ලබාදෙන්න පුළුවන් සම්ප්‍රදායික උත්තරයක් තමයි. බොහොම සතුටුයි ලැබුණ සම්මානවලට.

මේ දිනවල ඔබ රඟපෑ චිත්‍රපටයක් තිරගත වෙනවා?

ඔය අහන්නේ මැතිවු ෆිල්ම් එක ගැන වෙන්න ඇති. මං එහි රඟපාන්නේ ෆාදර් මැතිවුගෙ බිරිය වන යුනිස්්ගේ චරිතය. ආනන්ද අබේනායක මහත්මයා තමයි මාව මැතිවු අධ්‍යක්ෂ චන්ද්‍රන්ට හඳුන්වා දුන්නේ. මා හා ඔහු මුණ ගැහුණා. මැතිවු චිත්‍රපටයේ වෙනත් චරිතයක් මට ලැබුණා. පස්සේ කෝල් කරලා කිව්වා ඒක නෙවෙයි යුනිස් නමැති චරිතයකට මාව තෝරා ගත්තා කියලා. වයස අවුරුදු හැටක තැනැත්තියක් ලෙසට වෙස් ගන්වන්න වේවි කියලත් කිව්වා. මට අකැමැති වන්නට කිසිම හේතුවක් තිබුණේ නැහැ.

ඔබේ මේ තරුණ ජීවිතේ නිස්කාරණේ ගෙවී යනවා කියලා හිතෙන්නේ නැතිද? මං ඇහැව්වේ හැකියාවෙන් තවත් ප්‍රයෝජන ගන්න තිබුණා නේද කියලා කාලය අපතේ යවන්නේ නැතුව?

කාලය කෙසේ වෙතත් හැකියාව නම් අපතේ යන බවක් මට දැනෙනවා. මං මේ තත්ත්වය ඇතැම් ප්‍රවීණයන්ට පවසද්දී ඔවුන් කියන්නේ ‘බිම්සරා ඉන්න, ටිකක් ඉවසන්න, හදිස්සි වෙන්න එපා’ කියලයි. මං ඔවුන්ගේ අදහස්වලට ගරු කරනවා.

එක්තරා කොට්ඨාශයක නිර්ාණකරුවන් පමණක් සමඟ වැඩ කරන නිසා ඔබ දන්න කියන අය මෙගාවලට ඔබට කතා කරන්නේ නැතුව ඇති?

මෙගාවලට මගේ අකැමැත්තක් නැහැ. සමහරු හිතනවා ඇති මං මෙගා ප්‍රතික්ෂේප කරන කෙනෙකු කියලා. ඇත්තෙන්ම මෙතන වෙලා තියෙන්නේ ක්ෂේත්‍රයේ අයවත් හරිහැටි මාව තේරුම් නොගැනීම. මා ක්ෂේත්‍රයේ අය හඳුනා ගන්න කල් ගියා වැඩි ද කියලත් හිතෙනවා.

ජනප්‍රියත්වය ඔබ ප්‍රතික්ෂේප කරනවාද?

මට ජනප්‍රියත්වය අවශ්‍ය නැහැ. රඟපානවා කියලා තැනකට ගියාම මිනිස්සු මාව වට කර ගනියි කියන තැන මං නැහැ. ජනප්‍රියත්වය ඔස්සේ කෙනෙකු හිරවීම ඔහුට හෝ ඇයට පාඩුවක්. බලන්න තුමිදු අයියට වෙච්ච දේ. ඔහු කූඹියෝ නාට්‍යයේ ජෙහාන් ලෙස අති විශිෂ්ට රංගනයක යෙදුණා. මිනිස්සුන්ට දැන් තුමිදුව මතක නැහැ. ජෙහාන්ව විතරයි මතක. තුමිදු අයියා දැන් මොන චරිතය රඟපෑවත් මිනිස්සු මනින්නේ ජෙහාන්ගේ තැනට ඔහුව කොටු කරලා.

නිර්මාණකාරිණියක් වන්නට හිතක් නැතිද?

ලබන වසරේ නිර්මාණයක් එළි දක්වනවා නොවැරදීම. ඒක වේදිකා නාට්‍යයක් වේවි.

බිම්සරා තවම තනිකඩයි?

ඔව්. විවාහ වෙලත් නැහැ. පෙම්වතියකුත් නෙවෙයි. තවම තනිකඩයි.

ඡායා - නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.