හදාරා නිම කළ නොහැකිය රංගනය

රවීන්ද්‍ර රන්දෙණිය
දෙසැම්බර් 8, 2018

නව පරපුර බැරි කණ්ඩායමක් කියන්නේ නැහැ මම. සැහීමකට පත් විය හැකි අය ඉන්නවා. අද නිර්මාණ කලාව මුදල් හා වෙළෙඳ දැන්වීම් විසින් හසුරුවන එකයි

රවීන්ද්‍ර රන්දෙණිය කියූ පමණින් ඔබ හඳුනන ඔහු ගැන මා තව කුමන හැඳීන්වීම් දෙන්නද? සුළු මතක් කිරීමක් පමණක් කරමි. ඔහු සිනමා කෘතියකට මුලින්ම අස්සන් කළේ 1971 වසෙර්ය. ඔහුගේ සිනමා පටයක් රිදී තිරයෙන් පළමුව ඔබට දකින්නට ලැබෙන්නේ 1974 දීය. එ අනුව රවීන්ද්‍ර රන්දෙණිය නම් සිනමා නළුවාගේ සිනමාගමනයට වසර 44ක් සම්පූර්ණ වී තිබේ. ප්‍රසන්න විතානගේ නම් ප්‍රවීණ අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය කරන 'ගාඩි' සිනමා කෘතියේ ඇහැලේපොළ නිලමේ ඔහු රංගනයෙන් දායක වන අලුත්ම චරිතයයි. අපි ගාඩි පිළිබඳ මෙන්ම රවීන්ද්‍ර රන්දෙණිය නම් ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ රංගධරයාගේ විවිධ ජීවන ඉසව් පිළිබඳවත් මෙසේ විමසුවෙමු.

අපි මුලින්ම 'ගාඩි' ගැන කතා කරමු?

එය ඇත්තෙන්ම ගාඩි කුලයේ මිනිසුන් පිළිබඳ කතා ප්‍රවෘත්තියක්. උඩරට සමයේ ඉංග්‍රීසීන් රැවටිල්ලකින් රාජධානිය අල්ලාගත් හැටි, ඒ ක්‍රියාවලියේදී ඇහැලේපොළ නිලමේ ඉංග්‍රීසීන්ගේ උගුලට අසු වූ ආකාරය, වඩුග රජුගෙන් සිංහලයට රාජධානිය ගන්න කළ උත්සාහය, ඒ් පරමාර්ථය නිසා ඉංග්‍රීසීන් මේ කරන්නේ අව්‍යාජ සහාය දීමක්ද නැද්ද නොදැන උභතෝකෝටික තත්ත්වයකට පත්වීම යන අවස්ථා ඉතා සියුම්ව ඉදිරිපත් කරන්න ලැබුණු අවස්ථාවක්. මේ චරිතය චිත්‍රපටයේ ධාවන කාලයට සාපේක්ෂව ඉතා කෙටි මෙන්ම ආරම්භයේ සහ අවසානයේ දක්නට ලැබෙන්නක් වුවත් මට මෑතදි ලැබුණු අභියෝගාත්මක චරිතයක්.

මේ ප්‍රසන්න විතානගේ සමඟ සම්බන්ධ වන දෙවැනි අවස්ථාව?

ඔව්. ඉඩෝරෙකට පස්සේ වහින වැස්සක් වගේ තමයි ප්‍රසන්න සමඟ වැඩ කිරීම. ඔහු සිනමාකරණයේ පරිපාකයට පැමිණ තිබෙන නිසාත්, අපටත් කාලයක් තිස්සේ ලද අත්දැකීම් සමඟ යම් පරිනත බවක් තිබෙන නිසාත්, ඒ සුසංයෝගය රංගනයේ නව මානයක් බවට පත් වෙනවා. තිරකතා පිටපත තිබුණත් අධ්‍යක්ෂවරයා සමඟ කරන ගනුදෙනුව තුළ පැතිකඩ රාශියක් හඳුනාගන්න පුළුවන්. එය අධ්‍යක්ෂවරයකු විසින් ලබාගත යුතු දෙයක්.

අනන්ත රාත්‍රිය දිත් ඒ ගනුදෙනුව එලෙසින් සිදු වුණාද?

මම උදාහරණයකින් කියන්නම්. හෙට රූපගත කිරීම් තිබෙන විට අද ඔහු මා සමඟ දීර්ඝ සංවාදයක යෙදෙනවා. ඒ චරිතය ගැන නොවේ. සිනමා කර්මාන්තය, ලෝකයේ විවිධ ප්‍රවණතා, ඒ අතර අපේ චිත්‍රපටයට අදාළ දේත් තිබෙනවා. පසු දා දර්ශනතලයේදී තමයි සිතෙන්නේ ඒ මුළු කතාබහම මගේ මානසිකත්වය සැකසීම වෙනුවෙන් කළ දෙයක් කියලා. රංගන ශිල්පියකු තුළට බැහැලා, ඒ චිත්ත සන්තානය හැඩ ගස්වන්න කරන දෙයක් එය. වටිනා අත්දැකීමක්. චරිත නිරූපණයේදී අපට භාවමය වශයෙන් විය යුතු වෙනස්කම තේරුම් ගැනීමට හොඳ වරප්‍රසාදයක්.

එසේ කියද්දි ඔබ තවමත් රංගනය හදාරමින් සිටින බවයි හැඟෙන්නේ?

ඇත්ත. රංගනය කියන්නේ හදාරා සම්පූර්ණ කළ හැකි දෙයක් නොවේ. අපට ලැබෙන චරිත එකින් එකට වෙනස්. ඒ නිසා මේ ගමනෙදි හරියට සුසර කරන ලද වාද්‍ය භාණ්ඩයක් වගේ වෙන්න ඕනා. තමන් හා අවට ප්‍රවණතාවන් පිළිබඳ හැදැරීමකින් ඉන්න ඕනා. දඩයමේ මගේ රංගනය උපරිමයි කියලා එතනින් එහාට ඉගෙන ගන්න දෙයක් නැහැ කියන්න බැහැ. ආරාධනාවලින් මගේ ප්‍රේමවන්ත රංගනය නිම කරන්න බැහැ. රංගන ශිල්පියකු කළයුත්තේ තමා මතු නොවී චරිතය මතු කිරීමයි. රංගනය කියන්නේ යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීමක් නොවේ, යථාර්ථය, යථාර්ථය ලෙස නිරූපණය වීමට රංගන ශිල්පියා ඒ තුළට ප්‍රවිෂ්ඨ වීමයි විය යුත්තේ.

දඩයම ගැන කියූ නිස අහන්නේ, ඔබ සා කළු චරිතවලට යොමු වන්න බිය වුණේ නැද්ද?

මම මුල ඉඳලාම බය නැතුව ඒ චරිතවලට යොමු වුණා. එයට මට පාදක වුණේ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවෙන් ලංකාවේ ලැබිය නොහැකි තරමේ පුහුණුවක් ලැබීම. රංගනයට ප්‍රවේශ වන විට, මානසික සහ ශාරීරික වශයෙන් තිබිය යුතු එකඟතාව එහිදී අප හැදැරුවා. අවසන් ඩිප්ලෝමාව ලැබුවේ මමත්, ලෙස්ලි රාමනායකත්, සුමින්ද සිරිසේනත්, සුනේත්‍රා සරච්චන්ද්‍රත් පමණයි. එහිදී මට දැනුණු දේ තමයි අප කළ යුත්තේ තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නැංවීම වෙනුවට චරිතය සාර්ථකව නිරූපණය කිරීමයි. එවිට චරිතයේ ස්වභාවය වැදගත් නැහැ. අමුද්‍රව්‍ය හා ස්ථානය මගින් නාට්‍යමය අවස්ථාවක් ලබා දෙනවාද යන්න විතරයි වැදගත්. අනෙක කොහොමත් මම තරු සංකල්පයට ගොඩනැඟෙන්න හිතුවේ නැහැ.

මට හිතෙනවා ඔබ පෙම්වතාට වඩා, දුෂ්ඨ පෙම්වතාගේ චරිතවලට ආදරය කළාද කියලා?

දුෂ්ඨ පෙම්වතා පමණක් නොවේ දුෂ්ඨයා, ප්‍රතිවීරයා බවට පත් වූ අවස්ථා එමටයි. ඇත්තෙන්ම දුෂ්ඨ චරිතයකින් පටන් ගත්තාම එයින් හංවඩු ගැහෙනවාද කියලාවත් මට හිතුණේ නැහැ. දෑස නිසා චිත්‍රපටයේ මම සිල්බිඳගත් තවුසෙක්. ඒත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැන්නකු යටතේ චරිතය නිරූපණයට ලැබීම නළුවකුට මිල කළ නොහැකි දෙයක්. දඩයම තමන්ට දාව දෙවැනි දරුවා කුස දරන කෙනාව වාහනයෙන් යට කරලා මරා දාන්න තරම් තිත්ත කළු චරිතයක් වගේම මායා, ජනේලය වැනි චිත්‍රපටවලත් ඒ ඇරුණාම එක්තරා දුරකට බවදුක පවා තම නිලබලය අයුතු ලෙස භාවිත කරන කෙනෙක් හැටියට ප්‍රතිවීර චරිතයක්. ඒවා ජනතා ආකර්ශනය සුනු විසුණු වන චරිත. විජයත් මමත් එක වයසේ වුණාට, විජය මාලිනී සහ මම රංගනයේදී මාලිනීගේ ආදරය පතා එන මැදිවියේ චරිතයට පණ දෙද්දි ප්‍රධාන හා වීර චරිතය සොයාගෙන ගියේ නැහැ.

මම වීරයාද පෙම්වතාද කියනවාට වඩා හොඳ චරිත නිරූපණයකට අවස්ථාවක් තිබෙනවාද කියලයි බැලුවේ. ඒ නිසා මට පුළුවන් වුණා විවිධ චරිත අත්හදා බලන්න. ඇත්තෙන්ම චරිතාංග නළුවෙක් වන එක ලේසි නැහැ.

ඒ චරිතවලට ප්‍රේක්ෂකයන් ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?

දවසක් එක කාන්තාවක් මගේ මූණටම කීවා 'දඩයමේ ජයනාත් එක්ක එන වෛරය නම් කියලා වැඩක් නැහැ. ඒත් ඒ රවීන්ද්‍ර රන්දෙණිය නෙවෙයිනේ.' කියලා. ඒකයි මම කියන්නේ චරිතය තුළ බොහෝ විට ප්‍රේක්ෂකයන් මා දකින්නේ නැහැ.

ඒ ඒ චරිතයට ප්‍රවිෂ්ඨ වීමේදී එහි ආත්මය බවට පත්වීම කියන කලාව වචනයට පමණක් සීමා වෙනවානම් වැඩක් නැ. සාර්ථක නැ.

ඒ කියන්නේ ඔබ හිතාමතාම චරිත තෝරා ගැනීමට වෙහෙසෙනවා?

සත්වෙනිදවස චිත්‍රපටයේ මට යෝජනා කර තිබුණේ සින්දු කඩේ මහත්තයාගේ චරිතය. ඒත් මට තේරුණා අබ්බඩා ඊට වඩා හොඳයි මම ඒක කරන්නම් කියලා. ඔවුන් කීවා ඒක දුෂ්ඨ චරිතයක් කියලා. ඒත් මම කීවා ඒ චරිතය දෙනවා නම් පමණයි මම චිත්‍රපටයට එන්නේ කියලා. ඒ කියන්නේ අර දුෂ්ඨ චරිතය තුළ මම දැක්කා සිදුවන සමාජ පෙරළියත් සමඟ තමන්ගේ රැහේ වෙනස් වීම්වලට එරෙහිව දිනන්න බැරි බව දැන දැනත් සටනක යෙදෙන නායකයකු අබ්බඩා තුළින්. එය බොහෝ සානුකම්පිත චරිතයක්. ඉතින් චරිතවල මතුපිට ස්වරූපයට වඩා රංගනයට දායක වන ආකාරය අනුව නිරූපණය මඟින් චරිතය වෙනම දෘෂ්ටිකෝණයකින් මතු කරන්න පුළුවන්.

රංගන ශිල්පියකුට අධ්‍යක්ෂවරයා අබිබවා යා හැකිද?

අධ්‍යක්ෂවරයා සහ සෙසු සියල්ලන් සියලු දේ කර තිබෙන දර්ශන තලයක නළු නිළියන්ට කරන්න තිබෙන්නේ මොනවාද කියා යමෙකුට සිතෙන්න පුළුවන්. එවිට අප සිතන්න ඕනා තුංමංහන්දිය, සිරි බෝ අය්යා, බැද්දේගම වගේ චිත්‍රපටවල ජෝ මහත්තයා මොනවද කරන්නේ කියලා. රංගන ශිල්පියා තුළින් අපූර්ව චරිතයක් බිහි වෙනවා. ඒ නිසා අධ්‍යක්ෂවරයා කියූ පමණින් ඒ තනතුර තුළ සියල්ල සිදුවනවා කියන්න බැහැ. ඔහු ප්‍රධානතම මෙහෙයුම් කරුවා ලෙස සිනමාව පිළිබඳ ඔහුගේ අත්දැකීම් ඉතාම වැදගත්. චිත්‍රපටයේ පළමුවන රූප රාමුව රූගත කරන්න කලින් එහි අවසන් රූපරාමුව දකින්න ඔහුට හැකියාව තිබිය යුතුයි. ඒ වගේම නළුවාටත් අධ්‍යක්ෂවරයා හා සමාන්තරව චරිතය අල්ලා ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. නැත්නම් ගැටුමක් ඇති වෙනවා. ඒ නිසා තිර කතාවෙන් තමන්ගේ චරිතය උපකල්පනය කර ගැනීමේ ශක්තිය රංගන ශිල්පියකුටත් අවශ්‍යයි.

උදාහරණයක් කියන්නම්. මම වචනයක්වත් කතා නොකරන ජනේලය චිත්‍රපටයේදී චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂවරයා කීවා කොයිකටත් දුරකථනයෙන් 'හෙලෝ' කියන ෂොට් එකක් අරන් තියමු සංස්කරණයේදී අවශ්‍ය වුණොත් කියලා. මොකද ගොළු අයකු කතා නොකරන එකෙයි. කතා කළ හැකි කෙනකු කතා නොකරන එකෙයි ලොකු වෙනසක් තිබෙනවා. ඒත් ඒ දර්ශනය ඕන වුණේ නැහැ අන්තිමේ. ඒ වගේ තමයි සමහර විට අධ්‍යක්ෂවරයා සමඟ පරස්පරතා නැත්නම් නළුවකු කිසිවක්ම නොකර නොසෙල්වී ඔහේ බලා සිටීමෙන් පවා ඇතිවන නිසලතාවය තුළ විශාල ගැඹුරු අරුතක් නිපදවන්නත් පුළුවන්.

තාත්වික රංගනයකදී සිතාමතා ඉරියව් පාන්න පුළුවන්ද?

ඇත්තම රංගනයකදී සිතා මතා ඉංගිත, ඉරියව් පාන්න බැහැ. සිරුරයි මනසයි ඒකාග්‍ර කර ගැනීමෙන්, අපේ සිරුරෙන් ප්‍රකාශ වෙනවා අභ්‍යන්තර භාවයන්. පුහුණුව සංවේදීතාව සහ ශික්ෂණය වර්ධනය කරන විට සිරුර එයට අවනත වනවා. හොඳම නිදසුන රිදී රැයක් සංකල්පය. එහි ගීත සමඟ නළු නිළියන් නර්තනයට අමතරව තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරනවානේ... චන්න විජේවර්ධනයන් කියනවා එය දුටු පසු ඔහුගේ නර්ථන ශිල්පීන්ට ඒ හැඟීම් ප්‍රකාශනය පුහුණු කරවීම මඟින් ඔහුගේ නර්ථන ශෛලිය වෙනම මානයකට ගෙනයන්න හැකි වුණා කියලා. තවත් එකක්. සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ මම ජෝට වෙඩි තියන්න මානද්දි ඔහු නැඟිටුණා. ඔහුගේ අතේ ඇඟිලි කීපයක් වෙව්ලන්න ගත්තා. මගේ කොට රූපගත කරලා දවල් ආහාර එහෙමත් අරගෙන පැය කීපයකට පස්සේ සවස ජෝගේ කොටස රූපගත කරන්න ගත්තේ. ඒ වෙලාවෙත් ඔහුගේ ඒ අත ඒ විදිහටම වෙවුළුවා. ඒ තමයි සන්ත්‍රාසය. ඔහුට පැය ගාණකට පසුවත් ඒ හැඟීමට ඇතුළු වෙන්න පුළුවන් වුණා. ඒ සිරුරයි මනසයි ඒකාග්‍ර කර ගැනීමෙන් සිරුර මනසට අනුව සියුම් ඉරියව් මතු කරන ආකාරය. කාන්තා ශිල්පිනියන් අතරින් මාලිනී ඒ දක්ෂතාව දක්වනවා. හොඳම උදාහරණය නිධානය.

ඔබ කියන ඔය දක්ෂතා අලුත් පරපුරේ ශිල්පීන්ගේ දක්නට තිබෙනවාද?

නව පරපුර බැරි කණ්ඩායමක් කියන්නේ නැහැ මම. සැහීමකට පත් විය හැකි අය ඉන්නවා. අද නිර්මාණ කලාව මුදල් හා වෙළෙඳ දැන්වීම් විසින් හසුරුවන එකයි ප්‍රශ්නය. ලක්ෂ එකයි විසිපහක්, එකහමාරක් වගේ ගාණක් තුළ පැය භාගයක ටෙලි නිර්මාණයක් කරන්න පුළුවන්ද ප්‍රවාහන, ඉඳුම් හිටුම්, ආහාර සියල්ල සමඟ? ඉතින් දවසට එපිසෝඩ් තුනක්වත් ගහගන්න තමයි අධ්‍යක්ෂවරයාත් උත්සාහ ගන්නේ. එහෙම අවස්ථාවක රංගන ශිල්පියකුට තමන්ගේ චරිතය තේරුම්ගන්නවත් වෙලාවක් තියෙනවාද? මුදල තුළ කොටු වීම නිසා ශිල්පීන්ට අසාධාරණයක් වෙනවා. මම ටෙලි නාට්‍ය අතහැරියේ අපටවත් චරිත තේරුම්ගන්න අපහසු වුණු නිසා.

ඒත් ජනප්‍රියත්වය උදෙසා ඔවුන් එහි රැඳෙනවා?

මුදල් නිසා ප්‍රමිතිය ගැන නොසලකා කර්මාන්ත ශාලාවලින් වගේ නිර්මාණ එළියට දැම්මට වැඩක් නැහැ. එයින් ගැඹුරු හැදැරීමකට යන්න බැහැ. හඳුනා ගැනීමයි ජනප්‍රියත්වයයි තියෙන්නේ වෙනස් තත්ත්ව දෙකක්. ඇත්තම කීවොත් මේ ශිල්පීන්ට තමන්ගේ රංගන කාර්යය තුළ ගැඹුරින් නිරූපණයක් කරන්න අවස්ථාවක් කෝ? මේ කියන්න යන දෙයින් මාව බින්දුවට වැටෙන්න පුළුවන්. ඒත් කිව යුතුයි. මට ලැබුණු චිත්‍රපට ටික නොවෙන්න අද රවීන්ද්‍ර රන්දෙණිය කියන්නේ කවුද?

මෙයට තිරරචනාවල ගුණාත්මකබව බලපාන්නේ නැද්ද?

ලංකාවේ දුර්ලභම දේ තමයි තිර කතා සහ හොඳ අධ්‍යක්ෂවරුන්. කෘතිය දුර්වල නම් ශිල්පීන්ට දක්ෂතා පෙන්වන්න අවස්ථාව නැතිව යනවා. හොඳ නිර්මාණ බිහි නොවීම මේ ක්ෂේත්‍රවල කඩා වැටීමට හේතුවක්.

චිත්‍රපට සංස්ථාවේ නිර්මාණ පෝලිමක් තිබෙනවා?

ඔව් ලොකු අවුලක් තිබෙනවා. චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලීකරණය කිරීම නිසා බෙදා හැරීමේ නිල බලය අයත් වන්නේ පෞද්ගලික අංශයට. ඔවුන් චිත්‍රපට ප්‍රතික්ෂේප කරනවා. මේ ක්‍රමය විධිමත් විය යුතුයි. ඩී.බී. නිහාල්සිංහ මහත්මයාගේ කාලේ 1980 ගණන්වල මෙය හොඳීන් ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ අසූ තුන කලබල, 88/89 ප්‍රශ්න නිසා රටේ තිබූ අවිචාරවත් සමයේ චිත්‍රපට ශාලා ගිනි බත් වුණා, ජීවිත බිය සමඟ මිනිස්සු චිත්‍රපට බලන්න යැම අඩුවුණා. කොහොම වුණත් පෞද්ගලීකරණය නිසා තත්ත්වය තවත් අවුල් වුණා. ඒ පිළිබඳ රජය මැතකදි දැඩි පියවරක් ගත්තා. අධිකරණයේ තිබෙන කරුණක් නිසා එතනින් එහාට කතා කරන්න මට බැහැ. කොහොම වුණත් මෙය ප්‍රතිසංවිධානය විය යුතුයි කියන දේ නම් ඉතාම පැහැදිලියි. අනෙක අපේ වගේ පුංචි රටක සිනමා කර්මාන්තයට රාජ්‍ය මැදිහත්වීමක් යටතේ පරිපාලන ක්‍රමවේදයක් බිහිවිය යුතුයි කියලයි මම හිතන්නේ. 2001 පෞද්ගලීකරණය කිරීමෙන් පස්සේ මිලියන දෙතුන්සියයක ආදායමක් රජය පෞද්ගලික අංශයට පවරා දුන්නා හා සමානයි. ඒ ආදායම අහිමිවීම නිසා සංස්ථාවත් අකර්මණ්‍ය වෙලා මහාභාණ්ඩාගාරෙන් යැපෙන තත්ත්වයට පත් වුණා. ඉතින් පඩි ගෙවන්නෙත් ආණ්ඩුවෙන් නම් සංවර්ධනයක් කරන්නේ කොහොමද? මගේ අදහස් යල් පැනපුවද මන්දා. ඒත් ක්‍රිකට්වලටත් කලින් සිනමාව තමයි ලංකාව ලෝකයට ගෙනිච්චේ. අපේ ජාතිකාභිමානය දියුණු කළ කර්මාන්තයක් මෙය. 1965 තමයි ලෙස්ටර් මහත්තයා රණමයුර සම්මානයෙන් පිදුම් ලැබුවේ. ඉතින් අගය කරනවා නම් ජාතික වටිනාකමක් දෙන්න ඕනා කියා හිතනවා නම් 1971 අංක 41 දරන සංස්ථා පනත අනුව බලතල අයිති සංස්ථාවටයි. පනත වෙනස් නොකර පෞද්ගලික අංශයට පැවරීම නීත්‍යානුකූල නැහැ. ඉතින් හරිනම් මේ ගිය ආදායමත් ආපසු ලබා ගන්න ඕනා.

ඔබ සංස්ථාවෙත් නිලයක් දැරුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් හිටියා?

රටේ ඕනැම වෘත්තිකයකුට වගේම කලාකරුවකුටත් අයිතියක් තිබෙනවා දේශපාලනය කරන්න. එහෙම නැහැයි කීවොත් එය මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් හා සමානයි. හැබැයි වැදගත් වන්නේ දේශපාලනයේ භාවිතාවයි. සිනමා රංගනය කියන්නේ යථාර්ථය සිහිනයකට නැඟීම. එහෙත් දේශපාලනයේ යථාර්ථය යථාර්ථයමයි.

මම ගැන වෙනම කියනවා නම් මට ආණ්ඩු බලය තිබුණා. අවුරුදු දෙහමාරක් පක්ෂයක හිටියා. පාර්ල්මේන්තුවේ හැන්සාඩ් වාර්තා අරගෙන බැලුවොත්, අයවැය විවාද බැලුවොත් සිනමාව වෙනුවෙන් මම කොච්චර කතා කළාද කියලා පෙනෙයි. ඒත් රජය පිළිගන්නේ නැත්නම් මොකද කරන්නේ. අපට ජාතික ප්‍රතිපත්තියක් සිනමාවට අවශ්‍යයි.

ඒකද ඔබ දේශපාලනයෙන් ඉවත් වුණේ?

අපි දේශපාලනඥයෝ ලෙස කාලය ගත කරනවා විතරයි. ඒ කාලය තුළ ප්‍රතිඵලදායක දෙයක යෙදෙන්න ක්‍රමයක් නැහැ. කතා විතරයි ක්‍රියා නැහැ. රස්සාවක් තියා නූල්පටක දෙයක් දෙන්න මන්ත්‍රීවරයකුට බැහැ. කොස් ගස් යට, ගෙවල් අස්සේ රැස්වීම්වලටයි මළගෙවල්වලටයි යනවා විතරයි. 20000ක වැටුපක් තියෙනවා ඒත් මොනම ආකාරයකවත් අක්‍රමිකතාවක් කරලා නැති මට ලක්ෂ තුන හතරක මාසික වියදමක් දරන්න බැහැ. එක චිත්‍රපටයක්වත් බාරගන්න විදිහක් නැහැ මහජන දින පවත්වන්න ඕනා. දින කීපයක් දර්ශනතලවල ගිහින් රැඳෙන්න බැහැ. ඉතින් කාලය ගෙවෙනවා විතරයි. කරපු දෙයක් නැහැ.

අද දේශීය සිනමාව පිළිබඳ ඔබේ විනිශ්චය?

මට දැනෙනවා එක්තරා විදිහක ප්‍රබෝධයක්. ආකර්ශනීය හොඳ චිත්‍රපටත් හැදෙනවා. අකාලයේ වට වැස්සකින් පුංචි පැළයක් ගොඩ ගන්නවා වගේ මේ දේ පරෙස්සම් නොකර සිටියොත්, නිශ්චිත ජාතික ප්‍රතිපත්තියක් ඇති නොවුණොත්, ඉදිරි වසර පහ තුළ සිංහල සිනමාවක් පවතීද කියන්න බැහැ. මම අපේ සිනමාවට ආදරෙයි. සතොසෙන් අල ගේනවා වගේ මේ දේවල් කරන්න බැහැ. අපි හරියට ක්‍රියාත්මක නොවුණොත් අපෙන් හිස් වෙන පිට්ටනියේ අනෙක් අය බඩ පිනුම් ගහයි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.