ඉල්මහේ පියෙක් වූ අඹයහළුවා

සුදත් දේවප්‍රිය
දෙසැම්බර් 13, 2018

 අඹ යහළුවෝ, මඩොල් දූව, නාමල්ගොන්න, සංගිලි පාලම, චන්ද්‍රග්‍රහණය, දියමංකඩ, හඳයා ආදි ටෙලි නාට්‍ය මෙන්ම උඩුගංයාමය හා තරණය වැනි චිත්‍රපට අපට තිළිණ කළ සුදත් දේවප්‍රිය ප්‍රවීණ අධ්‍යක්ෂවරයාට පසුගියදා ඔස්ට්‍රේලියාවෙන් උපහාර සම්මානයක් හිමි විය. ඒ අතරම ඔහුගේ ඉල්මහේ පියෙක් කවි පොත ද මෑතදී එළි දැක්විණ. මේ සියල්ල පිළිබඳ විමසීමට අපි ඔහු හමුවීමු.

 

අපි මුලින්ම සම්මානයට සුබ පතනවා...

ස්තුතියි. ඕස්ට්‍රේලියාවේ මිහිඳු ළමා පදනම කියන්නේ ඒ රටේ පදිංචි ශ්‍රී ලාංකික දරුවන්ට අපේ සංස්කෘතිය, කලාව හඳුන්වා දීමට පිහිටුවා තිබෙන එකම රංග පීඨය ලෙස හඳුන්වන්න පුළුවන්. එය වාර්ෂිකව ශ්‍රී ලාංකික කලාකරුවකුට හරසර උලෙළක් පවත්වනවා. එමඟින් කලාසූරී සතිශ්චන්ද්‍ර එදිරිසිංහ වැනි කලාකරුවන්ට මීට පෙර හරසර සම්මානය පුද කර තිබෙනවා. 2018 වසර සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ මාවයි.

 

මීට පෙරත් ඔබට විදේශ සම්මානයක් ලැබුණා?

ඔව්. අඹයහළුවෝ වෙනුවෙන්. ජර්මනියේ ප්‍රිජූනිස් ළමා හා යොවුන් සම්මාන උලෙළේදි ජූරියේ සම්මානය ලැබුණා.

 

මිහිඳු පදනමේ ස්වර්ණ හරසර ප්‍රණාමය ඔබට ලැබෙන බව කලින් දැන සිටියේ නැහැ. එනිසා මෙය කෙබඳු හැඟීමක්ද ජනිත කළේ?

ක්ෂණයකින් නොසිතූ මෙහොතක සම්මානයක් ලැබීම දරාගන්න බැරි බරක්. ඒ ඇයි කියන්න නම් මම දන්නේ නැහැ.

 

මේ පදනම පිළිබඳ තව ටිකක් තොරතුරු කියමු?

මම ඕස්ට්‍රේලියාවට යන්න හේතු වුණේ ඒ රටේ රජයේ පාසලක ගුරුවරියක් වන මිහිඳු පදනමේ අධ්‍යක්ෂිකා විනීතා විජේරත්න සහ සරත් විජේරත්න මහතාගේ ආරාධනාව මත ඒ ළමයින් සඳහා වැඩමුළුවක් කරන්න. පදනමේ දෙමාපියන් රංචුවක් ඉන්නවා බොහෝ කැපවීමක් සහිත. ඕස්ට්‍රේලියාව බහු සමාජීය රටක් නිසා ඉදිරි විභාග අරමුණුවලදී රජය ජනකලා ලීලාවන්ට උනන්දුවක් දක්වන බව පේනවා. විශේෂයෙන් සෞන්දර්ය විෂයයන් සඳහා විශාල පිළිගැනීමක් තිබෙනවා. ඒත් මේ දරුවන්ට තිබෙන ලොකුම අභියෝගය භාෂාව. අපි ඔවුන් සහභාගී කරගෙන කළ ‘යහළුවෝ’ වැනි ළමා ටෙලි චිත්‍රපටවලදීත් ඔය ප්‍රශ්නය මතු වුණා. ඒත් ටික දවසක් යද්දි ඒ දරුවන් ගමේ නිදිකුම්බා ගාල් උඩ සෙරෙප්පු නැතිව දුවනවා, කොට්ටම්බා තලනවා, මොනරාගල කුකුලාගම්පළ ඉස්කෝලේ ඉන්න කොළඹවත් නොදැක්ක දරුවන් එක්ක එකතු වෙලා. මගේ ඒ චිත්‍රපටයත් ප්‍රදර්ශනය කරමින් තමයි වැඩමුළුවක් කරන්න ආරාධනා ලැබුණේ.

 

ඔබ දරුවන් සමඟ නිර්මාණ කිරීමට සමත් කෙනෙක් බවට ප්‍රසිද්ධයි?

බොහෝ අය කියනවා දරුවන් සමඟ වැඩ කිරීම ලේසි නැහැ කියලා. එය හරියට බාගෙට ඇරුණු දොරක් වගේ. කෙනෙකුට බාගෙට වැහිලා කියලා කියන්නත් පුළුවන්. අසීරු හා විනෝදජනක වුණත් වාසි අවාසි දෙකම තිබෙනවා. ඉන්දියාවේ ‍සිටි ශ්‍රේෂ්ඨතම සිනමාකරු සත්‍යජිත් රායි පවා කියා තිබෙනවා සතුන් සහ ළමයින් නිර්මාණවලට භාවිත කරන්න එපා, අමාරුයි කියලා. ඒ, ඔවුන්ගේ දඟකාරකම සහ කැපවීමේ ස්වභාවය නිසා. හැබැයි වැඩිහිටි රංගන ශිල්පියකුට වඩා ලේසියෙන් දරුවකුට 'පුතේ මෙහෙම කරන්න' කීවාම කරනවා. අඬන්න කීවාම අඬනවා. දුකෙන් දෙබස කියන්න කීවාම අර්ථය නොදැන වුණත් කියනවා. එනිසා අධ්‍යක්ෂවරයාට දරුවාව රිසි ලෙස මෙහෙයවාගන්න පුළුවන් වීම පහසුවක්. ඔවුන් හරි අව්‍යාජයි. හැබැයි ඔවුන් කල්පනා කරන්නේ නැහැ මෙය තව හොඳීන් කරන්න මොනවාද එකතු කළ යුත්තේ කියලා. උදාහරණයක් හැටියට උඩුගංයාමයේ තිසුරි යුවනිකාටයි, මෞලි ෆර්ඩිනැන්ඩුටයි මම කීවාම කළා. සරසවි සම්මානත් ලැබුණා. කැමරාව ගමන් කරද්දිත් ඔවුන්ට උපදෙස් දෙමින් හසුරවන්න පුළුවන්. ඒත් එය වැඩිහිටි ශිල්පියකු සමඟ කරන්න බැහැ. ඉතින් අධ්‍යක්ෂවරයාගේ ඔළුවේ තියෙන දේම කරන්න ළමයින් එක්ක ලේසියි, ප්‍රායෝගිකව අමාරු කාර්යයක් වුණාට. හැබැයි අප අමතක නොකළ යුතුම කාරණයක් තිබෙනවා. ලෝකේ තිබෙන හොඳම ඉදිරිපත් කිරීම් 10ම හැදිලා තිබෙන්නේ අධ්‍යක්ෂගෙයි, නළුවාගෙයි ඒකමිතියෙන්.

 

අධ්‍යක්ෂවරයකු ලෙස ඔබ ළමයින්ටම කොටුවෙලා වගේ මට හැඟෙනවා?

අඹ යාළුවන්ගෙන් පස්සේ ඒ රාමුවටම තමයි මාව ඇදලා දැම්මේ. මම අඹයාළුවන්ට ප්‍රේම කළා, අදත් කරනවා ඒක වෙනස්. ඒත් දිගින් දිගටම ඒ වගේ දේවල්ම තමයි කරන්න ලැබුණේ. ඒත් මගේ හිත යට ඉන්න සත්ත්වයා ඊට වඩා වෙනස්. ඒ කියන්නේ මගේ අධ්‍යාත්මයේ හැංගිලා තිබෙන බොහෝ දේවල් ස්පර්ශ කරන්න මට ඉඩක්, වාසනාවක් ලැබුණේ නැති තරම්. ඒත් 2019 මම නිර්මාණය කරන්න තිරනාටකය ගොනු කරමින් සිටින කෘතියත් සමඟ එය එළියට එයි.

 

ඔබේ පළමුවන චිත්‍රපටයට මොකද වුණේ?

තාමත් ඇඳ යට තිබෙනවා. එළිවෙන දවස එළි වුණේ නැහැ. 1991 වසරේ කළේ. ඒ කාලේ අවශ්‍ය මුදල් හොයාගන්න බැරි වුණා.

 

'ඉල්මහේ පියෙක්' කවි පොත ගැනත් කියමු. ඇයි කවි පොතක්ම වුණෙත් කියමු?

එක්තරා කාලෙක මම කලාවෙන් ඈත් වුණා. ඒකට හේතු තිබුණා. සිනමාව හා ටෙලිවිෂනය එපා වුණු ගන්ධබ්බ යුගයක් තිබුණා. ඒ කාලේදි ජීවිතේ හුස්මගන්න යොදාගත්ත මාධ්‍ය කවිය. ඒ කාලේ ආත්මය පුපුරලා ගිය දේවල් තමයි කවියට ආවේ. ඒත් වැඩිපුර තිබෙන්නේ රොමැන්ටික් කවි.

 

අඹ යාළුවෝ තිර රචනයත් යළි එනවා?

ඔව්. තව මාස තුනක් විතර යද්දි එළි දකීවි.

 

මොනවද ඔබේ ඉදිරි කටයුතු?

මේ දවස්වල ආචාර්ය ලක්ෂ්මි දමයන්ති සමඟ කොටස් පනහක ටෙලි නාට්‍යයක් කළා. 'සුළඟ මහමෙරක'.

 

වර්තමාන ටෙලි නාට්‍ය සහ සිනමාව ගැන ඔබේ අදහස?

කර්මාන්තයක් ලෙස මෙගා ටෙලි නාට්‍ය තිබුණත් ඒ සමඟ මගේ එකඟත්වයක් නැහැ. අපි බලාපොරොත්තු වන විදිහට ටෙලි නාට්‍ය කලාවක් බිහිවෙයි කියලා හිතන්න බැහැ. මේ කලාවේ පුංචි හරි දෙයක් කළ කෙනකු ලෙස මට තෘප්තියක් නැහැ. ඒ අතර වුණත් හොඳ නාට්‍ය නැතුව නෙවෙයි. අවර ගණයේ නාට්‍ය වැඩියි. මේ වෙද්දි මේ රටේ ටෙලි නාට්‍ය ගැන තීරණ ගන්නේ ගුණදාස අමරසේකර මහත්මයා කීවා වගේම වසල වෙළෙඳ කුලේ සහ වෙළෙඳ නාළිකා.

සිනමාවෙත් ඒ ප්‍රශ්නෙම තියෙනවා. පළමුවෙනිම දේ තමයි හොඳ තිරනාටකයක් කරන්න නිෂ්පාදකයෝ කෝ? මගේ තිර නාටකය සමඟ අවුරුදු ගාණක් දඟලලාත් මට නිෂ්පාදකයකු හොයාගන්න බැරි වුණා. ඒත් මම ලබන වසරේ කොහොම හරි එය ගේනවා. අද විවිධ තාක්ෂණ ක්‍රම යොදාගෙන චිත්‍රපට නිපදවනවා. වඩා වැදගත් වන්නේ, මොන මාධ්‍යයෙන්ද කළේ කියන එක නෙවෙයි. අපි ආකෘතික වශයෙන්, තාක්ෂණික වශයෙන් හෝ මොන දෙයින් මොන හරඹ කළත් ආදරය, කරුණාව, දයාව, සෙසෙහස දැනෙන මිනිසුන් බිහිවන්න සිනමාවෙන් තල්ලුවක් අවශ්‍යයි. මනුෂ්‍යයන් සංවේදි කරන්න පුළුවන් සිනමාවක් නැති කමේ හිඩැස තාමත් අපේ රටේ තිබෙනවා.

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.