රන්වන් රන් මාල පලඳා මල් ගැවසූ ටීෂා ආපසු ඇවිත්

දෙසැම්බර් 13, 2018

 මේ ගීතයත් සමඟ මම ඔබව අදින් වසර දොළහකට පමණ එපිට අතීතයකට කැඳවාගෙන යමි. එකල දිනකට දහ දොළොස් වතාවක් සෑම ගුවන් විදුලි නාළිකාවක් ඔස්සේ මේ ගීතය ප්‍රචාරය වු වග ඔබ මතකයේ ඇත. අද ද මෙම ගීතය අමතක නොවන ගීත ගොන්නේ ඇතුවාට කිසිදු සැකයක් නැත. රන්වන් රන් මාල පලඳා යනුවෙන් ගැයූ සුරූපිණිය එක රැයකින් රටක් වසඟයට ගත්තීය. ඇගේ නමට තිබුණේ අකුරු දෙකකි.

ටීෂා යන නාමයෙන් ඉතා කෙටි කලකින් ක්ෂේත්‍රය ආක්‍රමණය කළ ඇය යුගයේ කාර්යබහුලම ගායිකාවක විය. ඇයටම අනන්‍ය වූ නර්තන ශෛලියක් ඔස්සේ රසික රසිකාවන් පින වූ ටීෂා ප්‍රසංග වේදිකාවට ද නැතුවම බැරි ගායිකාවක් බවට පත් වුනේය. පියාපත් ඇවිදින්, මාගේ වසන්තේ, දම් පාට හැන්දෑවේ (යුග) ටීෂා ගැයූ තවත් ජනප්‍රිය ගීත කිහිපයක් වන්නේය. එලෙස ඉතාම සාර්ථක ගමනක නියැලුණු ටීෂා හදිසියේම ක්ෂේත්‍රයෙන් අතුරුදන් වන්නේ ගී මතකයන් පමණක් ඉතිරි කරමිනි.

කලක් තමන් පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවන්නට වග බලා ගන්නා ටීෂා විදෙස් ගත වූ බවට පසුව ආරංචි විය. ඉකුත් දශකය ඇතුළත මාධ්‍යන්ට පෙනී නොසිටි ඇය නැවත ලංකාවට පැමිණි බව සරසවියට සැඟවීමට නොහැකි විණ. ඉකුත් සෙනසුරාදාවේ ඇය යළිත් විදෙස්ගත වූ අතර ඊට ප්‍රථම ඇය කතාබහකට එක්කාසු කර ගැනීමට අපට හැකියාව ලැබිණි.

ටීෂා, කොහෙද ඔබ මෙතුවක් කල් හිටියේ කියලයි පළමුව මං අහන්නේ?

මම ඉන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ. එහෙ ජීවිතේ හොඳයි. අවුරුදු දහයක් විතර වෙනවනෙ ඇවිත්. මේ කාලය අතරතුර මං ගිනුම්කරණය හැදෑරුවා ඩිග්රියක් වෙනකම්..

 

එතකොට සංගීතය අත හැරියද?

අනේ නැහැ. සංගීතය මට එහෙම ලෙහෙසියෙන් අත හරින්න හැකි දෙයක් නෙවෙයි. මං එහෙ රෙකෝඩ් ලේබල් එකක් යටතේ ඇල්බම් දෙකක් නිකුත් කළා. ඒවා ගැන මෙහාට ආරංචි වන්නට නැතුව ඇති.

 

ඔබ අපට දැන්වූවෙත් නැහැනෙ?

මට හිතුණා ඒ ඇල්බම් ගැන මෙහෙට වඩා එහෙ මියුසික් ෆෑන්ස්ලට වැදගත් වේවි කියලා. ඇමරිකාව තුළ පබ්ලිසිටි කළා. මෙහෙ මාධ්‍යයන්ට මං කතා කළේ නැත්තේ කතා කරන්න තරම් විශේෂ හේතුවක් නැති නිසයි. මං ටීෂා ඔයාලා මං ගැන මොනව හරි පබ්ලිසිටි කරන්න ඕන කියල කිව්වා නම් හරි විහිළුවක් වෙනවනෙ. එහෙම කරන්න මාධ්‍ය බැඳිලත් නැහැ. මම සින්දුවක් කළා. ඒකත් එක්ක ඉදිරියේදී මාධ්‍ය අමතන්න හිතාගෙන ඉන්නවා.

අලුත් සිංදුව ගැන කියන්න පුළුවන් තරමට විස්තර කියමු?

මට දෙන්න විඳ ගන්න කියලා ඒක ටයිට්ල් කරලා තියෙනවා. පදමාලාව මගේ. සුරේෂ් මාලියැද්ද මියුසික් කළා. සෝං එකේ වීඩියෝ එක කරන්නයි තව වැඩ වගයකටයි ලංකාවට ආවේ.

කවදා විතරද අලුත් ගීතය නිකුත් කරන්නට හිතාගෙන ඉන්නේ?

ලබන අවුරුද්දේ මාර්තුවල වගේ.

 

ඔබේ ජනප්‍රියත්වය තවම එහෙම්මමද? ලංකාවේ ගතකළ කෙටි කාලය තුළදී කොහොමද ඒ ගැන දැනුණේ?

සමහරු මං දිහා බලාගෙන ඉන්නවා. මට තේරෙනවා ඔවුන් මාව දැකලා කන්ෆියුස් වෙලා කියලා. ලංකාවේ මිනිස්සු එහෙම වුණාම කතා කරන්නේ නැහැනෙ. මාව පෙන්න පෙන්න මුමුණනවා. මාවත් සර්ප්‍රයිස් කරලා ඇතැම් අය මගෙ නම කියලාම කතා කරනවා. මං හිතන්නේ මගේ ජනප්‍රියත්වය ගොඩාක්ම අඩු වෙලා නැහැ.

 

ඔබ ලංකාවේ හිටියා නම් අද වන විට ක්ෂේත්‍රයේ වෙනමම තැනක ඉන්න තිබුණා?

මගේ හිතවත්තු දැනටත් කියන දෙයක් තමයි මං විදෙස් ගත වුණ එක ක්ෂේත්‍රයට කළ පාඩුවක් කියන එක. එතකොට හිතෙනවා හිටිය නම් කියලා. ලංකාවෙන් මං ගියා පමණයි. ඈත් වුණේ නැහැ. මගේ මව් බිම අමතක කරන්නේ කොහොමද? ඒකයි ආයෙත් ලංකාවට මේ ආවේ. ලංකාවෙම ෆෑන්ස්ලට නිර්මාණ ගේන්න හදන්නේ.

 

ඔබ ලංකාවෙන් ගියේ හිත් රිදීමක් එක්ක කියලා ඇතැම් අය කියනවා?

හිත් රිදීමක් තිබුණා. නැහැ කියන්නේ නැහැ. කැපිලිත් තිබුණා. පුෂ් කරපු අය ගොඩාක් අඩුවෙන් හිටියේ. එක්තරා ප්‍රවීණ ගායිකාවක් මට සිංදු කියන්න බැහැ කියලා ලයිව් එකක කිව්වා. මං ඒ ප්‍රෝගෑම් එකට කෝල් කළාම ඒ ගායිකාව මට කතා කළේ නැහැ.

රන්වන් රන් ගීතය මුළුමනින්ම මං ලියලා තිබුණේ මුල් පද පේළි හතර විතරයි. මෙලඩියකුත් එක්ක මගේ ඔළුවෙ කාලයක් ඒක තිබුණා. භාතියගේ ස්ටුඩියෝ එකට ගිය වෙලාවක මං ඒක ගයලා පෙන්නුවාම ඔහු තමයි මෝටිවේට් කළේ සම්පූර්ණ සින්දුව කරන්න. සින්දුව කරලා ප්ලේ කරගන්න චැනල්වලට ගයාම සින්දුව ප්ලේ කිරිල්ල පැත්තකින් තියලා මට එක එක දේවල් කිව්වා. මට ජනප්‍රිය වෙන්න පුළුවන් කිව්වා.

මට තේරුණා මේ එන්නේ මාව අන්දවන්නයි කියලා. ඕවා නෙවෙයි මට මේ සින්දුව ප්ලේ කරලා දෙන්න කිව්වාම ඒක කළේ නැහැ. ඔක්කොම එපා වෙලා තියෙද්දි ශ්‍රී එෆ් එම් එකෙන් තමයි ෆර්ස්ට් ටයිම් රන්වන් රන් සෝංග් එක ප්ලේ කළේ.

ඊට පස්සේ හැම චැනල් එකකම සින්දුව හොය හෙයා ප්ලේ කළා. එතැනින් පටන් ගත්තු හිත් රිදීම දිගටම තිබුණා. මට සින්දු ලියන්නත් පුළුවනි. ඒකත් අනෙක් අය මට ඊරිසියා කරන්න හේතුවක් වුණා.

ඔබ නැති කාල වකවානුව පුරා ක්ෂේත්‍රයට නවකයන් රැසක් පැමිණියා. ඔවුන් ගැන මොකද කියන්න තියෙන්නේ?

මට අලුත් අයගේ ගීත අසන්න ලැබුණේ නැහැ. ඒ නිසා ඒ අය ගැන කියන්නට දන්නේ නැහැ.

 

ඔබේ රසික රසිකාවන් ඔබව අමතනවා නම්?

ටීෂා පෙරේරා කියන ෆේස්බුක් එකවුන්ට එකෙන් පුළුවන්. Teesha Perera කියලා ටයිප් කරපුවාම මගේ එෆ්බී එක එන්නේ. ඒක හරහා කතා කරන්න පුළුවන් මගේ රසිකයෝ ඕන කෙනෙකුට.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.