නියම කලාකරුවකුට දේශපාලනඥයකු වන්නට බැහැ

රණතිසර සම්මානලාභී සුවිනීතා වීරසිංහ
දෙසැම්බර් 13, 2018

සරසවිය සිනමා සම්මාන උලෙළකදී කිරරෙන් දියර වෙන් කර ගන්නා හංසයා මෙන් බොහෝ කලාකරුවන් අතරින් තෝරා ගන්නා අතළොස්සකට පමණක් පිදෙන සම්මානයකි රණ තිසර සම්මානය. එය හිමි වන්නේ ජීවිතයේ එක් වරක් පමණි. 2018 වසරේ ඒ සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ රංගවේදිනියක වූයේ සුවිනීතා වීරසිංහයි. අැයගේ රංගන ජීවිතය පිළිබඳ බොහෝ තොරතුරු ඔබ දනී. එහෙත් වෛද්‍යවරියක වීම අතහැර රංගන ශිල්පිනියක වූ අැය අඩසියවසක රංගන අත්දැකීම් සමඟ අද දවසේ සිනමාව හා කලා ශිල්පීන් පිළිබඳ දක්වන ආකල්ප පිළිබඳ කළ කතා බහකින් බිඳක් මෙසේ සටහන් කරමු.

*සරසවිය රණ තිසර සම්මානය පිළිබඳ ඔබට දැනෙන්නේ කොහොමද?

එය මට ඉතාම සතුටට කාරණයක්. ජීවිත කාලය පුරාම කළ කැපවීම්වලට සරසවියෙන් සාධාරණයක් ඉටු වුණා කියා හිතෙනවා. හැබැයි සම්මානයක් කියන්නේ ද්‍රව්‍යමය දෙයක්නේ. ඒ සමඟම ලැබුණු ජනතා සම්මානය මගේ මනසට ගෙනා සතුට අමතක කරන්න බැහැ. මොකද අපි හැමදේම කරන්නේ මානසික සුවය සඳහානේ. අපේ පමණක් නෙවේ. කලාව අන් අයගේත් සිතසුව පිණිස කරන්නක්. අපට මේ මනුෂ්‍ය අත්භවයේ එකිනෙකාට නිරත විය හැකි කලාවන් තිබෙනවා. විශ්වයෙන් අපට දුන් වගකීමක් තිබෙනවා. අනෙක හැම වෘත්තියක්ම මම දකින්නේ කලාවක් හැටියට. තමතමන්ට උරුම කලාව තෝරා ගැනීම තමන් විසින් මුලින්ම අධ්‍යයනය කළ යුතුයි. මම වෛද්‍ය වෘත්තිය හැදැරීම අතහැරලා රංගනය තෝරා ගත්තේ මට ආත්ම තෘප්තියක් ලැබෙන්නේ කුමන විෂයයකින්ද කියන දේ තේරුම් ගත් නිසා. ඉතින් මේ ලබා ගත් ජයග්‍රහණය මට වගේම මගේ රංගනය රසවිඳි, අගය කළ ප්‍රේක්ෂකයන්ටත් සතුටක් ගෙනාවා. දශක පහක් ගිය පසු හෝ ඒ දෙය හඳුනා ගැනීම පිළිබඳව සරසවියට සහ ලේක්හවුස් ආයතනයට මගේ ගෞරවය හිමිවෙනවා.

*මීට පෙර ඔබට සරසවිය සම්මානයක් ලැබී නැහැ?

ඔව්. මට කවාදාවත් සරසවිය සම්මානයක් ලැබුණේ නැහැ. හැබැයි ඉතින් එයින් මම කනස්සල්ලට පත් වුණෙත් නැහැ. ලැබුණ අය කෙරෙහි ද්වේශයක් හට ගත්තෙත් නැහැ. මට ලොකු අසාධාරණයක් වුණා කියලා හිතුණෙත් නැහැ. මොකද අපට මේ භවයේ ලැබෙන දේවල් තිබෙනවා. මේ භව තරණය කරන්න ප්‍රසිද්ධියවත්, ධනයවත්, බලයවත් වැදගත් වන්නේ නැහැ. මිනිස්කම සහ පරාර්ථකාමීත්වය තමයි නියම කලාකරුවකුට මූලිකවම තිබිය යුත්තේ. අනෙක භවය තරණය කරන්න ආප්ප පුච්චනවා වගේ හදිසියේ බැහැ. මම අද ඉන්න තැනට එන්න බොහෝ කැපවීම් කළා. හැබැයි මම කියන්නේ කිසිම ශිල්පියෙක් සම්මාන බලාගෙන කටයුතු කරන්න හොඳ නැහැ. මොකද එවිට තමයි වඩාත් ගුණාත්මකව තමන්ගේ දේ එළිදක්වන්න පුළුවන් වන්නේ. සම්මානයක දෙන්නේ කෙනකු ධෛර්යමත් කිරීමට කියලයි මම හිතන්නේ. ඒත් අද සම්මාන ගන්න අය ඔළුව උදුම්මාගන්නවා. එයින් පසු ඔවුන්ගේ ගමන අපහසුයි.

*ඔබ වෛද්‍යවරියක් වුණානම් මීට වඩා මිනිසුන් සුවපත් කරන්න තිබුණාද?

නියම වෛද්‍යවරයකු කියන්නේ සියලුම සත්ත්වයන් කෙරෙහි දයාව, කරුණාව සහිතව රෝගීන් සුවපත් කිරීම. ලෙඩට බෙහෙත් කිරීමට හදාරන්න ඕනා. ඒ වගේම නියම රංගන ශිල්පියා ඒ ඒ චරිතයට දිය යුතු රංගනය කළ යුත්තේ හැදෑරීමක් සහිතවයි. ඒකට ප්‍රඥාවක්, දර්ශනයක් අවශ්‍යයි. මේ දෙගොල්ලන්ම කරන්නේ මනස සුවපත් කිරීම. ඒ නිසා වෛද්‍ය වෘත්තිය අතහැරියා කියලා කිසිම දුකක් නැහැ. මොකද ඒක පට්ටමත් එක්ක එන වාණිජ පැත්තත් සහිත ආත්ම අභිමානයෙන් ඉන්න වැඩක්.

*ඉතින් නිළි පට්ටමත් ඒ වගේනේ?

අපෝ මම ඒ ගණයට වැටෙන නිළියක්වත්, වෛද්‍යවරියක්වත් වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. මම මහාලොකු තනතුරු දේවලට කැමති කෙනෙක් නෙවෙයි. වෛද්‍ය වෘත්තියේ මට ලොකු සෞන්දර්යාත්මක පැත්තක් පෙනුණේ නැහැ. රංගනයෙත් ශාස්ත්‍රීය පැත්තක් තිබෙනවා. එය හඳුනාගත යුතුයි. පුංචි කාලේ මම සෞන්දර්ය පැත්ත කියලා කළේ ඔය සින්දු කීවා, ඩාන්ස් කළා, ක්‍රීඩා කළා, රඟපැමත් කළා. ඒත් වෛද්‍යවරියක වන්නට යන මාර්ගයේදී තමන්ගේ බුද්ධිය වර්ධනයවනවාත් එක්කම තමන් යා යුතු මාර්ගය තෝරා ගැනීමේ හැකියාව වෙනවා. මේ සියල්ලටම මුලින්ම තමන් තමන්ම හඳුනාගත යුතුයි. එවිට තමයි අන් අයවත් හඳුනාගන්න පුළුවන්. මොකද මනුෂ්‍යත්වය නැති තැන සියල්ල හිස්.

*ඔබ අධ්‍යාත්මික පැත්තට බොහෝ බර වෙලා වගේ පේනවා?

බොහෝ අය කියනවා වයසට ගියාම දාර්ශනික වෙනවා, පින් කරනවා කියලා. ඒත් අධ්‍යාත්මික ගුණවගාව හෝ දාර්ශනික චින්තනය බොත්තමක් ඔබලා ස්ටර්ට් කරන්න පුළුවන් එකක් නොවෙයි. එය සසර පුරුද්දක් එක්ක එන්නේ. එය බුද්ධියේ පරිනතභාවයත් එක්ක ඕනැම වෘත්තියක නියලෙන සියලුම දෙනා සියල්ලේ යථාර්ථය අවබෝධ කරගත යුතුයි කියන තැනට කොයි මොහොතක හෝ එනවා.

*අද කලාකරුවනුත් එවැනි අවබෝධයකින්ද සිටින්නේ?

ඒකට ඉතින් බුද්ධියත් එපැයි. පවුල් පසුබිම, හික්මීම, පාසලෙන් ලැබෙන අවබෝධය ආදි සියල්ලත් අවශ්‍යයි. හැබැයි පාසලෙන් පමණක් ඒ අවබෝධය ගන්නත් බැහැ. ජීවිත කාලය තුළ අප්‍රතිහත ධෛර්යයක් යොදා ස්වයං අධ්‍යයනයක යෙදිය යුතුයි.

*ඔබේ යුගයේ කලාකරුවන්ට?

අපේ යුගයේ කලාකරුවන් බොහෝ පොතපත කියෙව්වා. කැපවීමක් කළා. සාමූහිකත්වයක් තිබුණා. දැන් මට කියන්නත් කණගාටුයි. ඒ යුගයේ කලාකරුවන් පවා මේ යුගයට අනුවර්තනය වෙලා ඒ තිබුණු ගුණාංගත් පිරිහෙමින් පවතිනවාද කියලයි මට නම් හිතෙන්නේ. එයට දේශපාලනීකරණයත් බලපානවාද මන්දා. අනෙක මම කිව යුතුයි, අප හිතන්නේ දේශපාලනඥයන් ආදීන් තමයි හොඳ නැත්තේ කියලා. ඒත් මම ජීවත් වූ පළමුවැනි දශක දෙක අතහැරලා, ඉතිරි දශක පහක් පුරා අප කළ ශාස්ත්‍රීය හා ප්‍රායෝගික අධ්‍යයනයන් අනුව දුටු දේ තමයි කලාකරුවන් තරම් කුහක විසම කොටසක් මම දැක්කේ නැහැ.

*ඉතින් ඔබත් කලාකාරිනියක්නේ?

මම කුහක නැහැ. මට ද්වේශයක් නැහැ. කවුරුන් හෝ මට වඩා යම් දෙයකින් ඉහළට යනවාට මට අකමැත්තක් නැහැ. විවිධ කලාකරුවන්ට විවිධ හැකියාවන් තිබෙනවා. ඒත් අපේ රට කුඩා නිසාදෝ අපේ අති දක්ෂ කලාකරුවන්ගේ පවා විශ්වීය හැකියාවන් දකින්න නැහැ. අනෙක තරගකාරීත්වය සහ දේශපාලනීකරණ නිසා, කලාකරුවන් දේශපාලකයන්ගේ අතකොලු වීම නිසා දෝ අද කලාකරුවන් කල්ලි ගැහිලා. අපේ කාලේ ඔහොම තිබුණේ නැහැ. දැන් අවුරුදු 20ක් 25ක් තිස්සේ තමයි මේ දේ පේන්නේ. මේකට මූලික හේතුව තමන්ගේ ස්වාධීනත්වය පාවාදීම, පෞරුෂය සල්ලිවලට පාවා දී හැල්ලුවීම කියලයි මට හිතෙන්නේ.

*කලාකරුවොත් දේශපාලනය කර පාර්ලිමේන්තු පවා යනවානේ?

තමන්ගේ දැනුම, හැකියාව මත නොවේ ඔය දේ කරන්නේ. දේශපාලනේ අයන්න ආයන්නවත් දන්නේ නැති කලාකරුවන් දේශපාලනේ කරනවා. එය ගැඹුරු විෂයක්. ඒත් මේ අය යන්නේ බලයට කැදරකමින් කියලයි මට හිතෙන්නේ. ඕන කෙනකුට දේශපාලනය කිරීමේ අයිතිය තිබෙනවා. මතවාදයේ හිටියට කමක් නැහැ. ඒත් තමන්ගේ හෘදය සාක්ෂියත් එක්ක බලන්න තමන් තමන්ටත් අනුන්ටත් කොයිතරම් වැඩ කරනවාද කියලා ඒ දේශපාලනයෙන්. ඒ නිසා මම නම් කලාකරුවන් දේශපාලනය කිරීමට විරුද්ධයි. තමන්ට අැගයීමත් තිබෙන වෘත්තිය ඔස්සේ ගිහින් විමුක්තිය සොයා නොගන්නේ අැයි මේ අය? නියම කලාකරුවකුට දේශපාලනඥයකු වන්න බැහැ. අපි මේ ලෝකෙට අැවිත් තිබෙන්නේ යම් කාර්යයක් කරන්න. මගේ මහත්තයාටවත් නීත්‍යානුකූලව මිස මාව අයිති නැහැ. අපි අයිති රටට, රටේ ජනතාවට. හැබැයි කලාකරුවෙක් වුණේ පස්සේ. ඉස්සල්ලා වුණේ මනුස්සයෙක්. ඒ නිසා මනුස්සකමයි වැදගත්.

*ඔබ එය වඩවා ගන්නේ කොහොමද?

එය පුංචිකාලේ ඉඳන් මම වඩාගත් දෙයක්. එයට පසුබිමක්, බුද්ධියක් හා චින්තනයක් තියෙන්න ඕනා. කොටසක් අපි උපතින් ගේනවා. කොටසක් වඩවා ගන්න ඕනා. මම විශේෂයෙන් කියන්න ඕනා මම මගේ රටට හරිම ආදරෙයි. ආගමට ආදරෙයි. මම හොඳ බෞද්ධයෙක්. අපේ සංස්කෘතියට ආදරෙයි. ඒත් දැන් සංස්කෘතිය විකෘතියක් වෙලා. එයට බොහෝ දෙනෙක් වගකියන්න ඕනා. ඒ කොහොම වුණත් අපි බටහිර හෝ ආසියාතික සිනමාවේ කලාකරුවන් දෙස හොඳින් නිරීක්ෂණය කළොත් පෙනෙයි, ඔවුන් අවුරුදු ගණනාවක් තිස්සේ උපයාගෙන ආ සම්පත්වලින් දැන් සමාජයට යුතුකම් ඉටු කරනවා. මොකද අප මේවා ලබන්නේ සමාජයෙන්. ඒවායින් වැඩි කොටසක් අපි ආපසු සමාජයට දිය යුතුයි නේද? මොකද හර්ස් එකේ යද්දි පර්ස් එක ගෙනියන්නේ නැනේ. ඒ නිසා අපෙන් සමාජයට විය යුතුදේ ඉටු කිරීමයි නියම මනුස්සකම කියන්නේ. මා ගැන වර්ණාවක් කරනවා නෙවෙයි. ඒත් මම ඒ දේ මට පුළුවන් තරමින් කරගෙන යනවා. මගේ ඉඩමක් පවා මම පරිත්‍යාග කළා. හැබැයි මගේ ක්ෂේත්‍රයේ අය මම කවුද කියලා තාම හඳුනාගෙන නැහැ.

*ඒ කියන්නේ ඔබ ඉන්නේ සතුටින්?

කලා ක්ෂේත්‍රයේදී, සතුට වගේම අන්ත අප්‍රසන්න දේවලටත් මුහුණ දෙන්න වෙලා තිබෙනවා. ළඟදි වුණු දෙයක් කියන්නම්. අනුන්ගේ පිහිටෙන් අධ්‍යක්ෂණයට රිංගාගන්න හදන පොඩි එක්කෙනෙක්ගේ නොතේරුම්කමට කරන සුළු වරදක් නිවැරදි කරන්න ගිහින් නිහාල්සිංහ මහත්මයාට පවා අපහාස කරන හැටි අහන් ඉන්න මට සිදු වුණා. ඒ වගේ මුග්ධයන් සමඟ වාදයක් නැති නිසා මම නිහඬව සිටියා. සිනමාව ඉගෙන ගත් කෙනකුට ටෙලි කලාව ඉගෙනීම හරිම පහසුයි. හැබැයි සමහරු ඉන්නවා වැඩ බැරි වුණත් අමුතු අභිමානෙකින් පුම්බාගෙන. ඒ වගේම දක්ෂ පිරිසකුත් ඉන්නවා. මම නම් ඒ දක්ෂයින් දුටුවාම වහාම ඔවුන්ට කතා කරලා අගය කරනවා.

*අපි රංගනය ගැනත් කතා කරමු?

රංගනය කියන්නේ කාටවත් උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම කියන්නේ අපේ රට ගැන. පිටරටවල නම් ආයතන තිබෙනවා. ඒ අයගේ දැනුම සමඟ අපට හැරෙන්නවත් බැහැ. ඒත් අපට එහෙම නැති නිසා බොහෝ දේ පරිශීලනය කළ යුතුව තිබෙනවා. අනෙක රංගන ශිල්පියා කියන්නේ අධ්‍යක්ෂවරයාගේ රූකඩයක් නෙවෙයි. නළුවකු සාර්ථකව හසුරුවා ගන්න ශාස්ත්‍රීය දැනුම හා නිර්මාණශීලීත්වය අධ්‍යක්ෂවරයාට තිබිය යුතුයි. අධ්‍යක්ෂවරයා හා රංගන ශිල්පියාගේ අදහස් සුසර වන්න අපිත් චරිතය පිළිබඳ හොඳින් හදාරන්න ඕනා. අධ්‍යක්ෂවරයාට අවශ්‍ය දේ කීවත් නර්ථනයකදි වගේ අඟපසඟ මෙහෙයවන්න අධ්‍යක්ෂට බැහැ. එය ශිල්පියා තුළින්ම ආ යුතු දෙයක්. නර්ථන ශිල්පියකුගේ වුණත් එකිනෙකාට වෙනස් ලාලිත්‍යයක් තිබෙනවානේ. ඒ වගේ අපි බොහොම සියුම්. ඒ නිසා අධ්‍යක්ෂවරයා හොඳින් නළුවාගේ මානසිකත්වය තේරුම්ගත යුතුයි. ඒකත් හරියට ලෙඩයි දොස්තරයි වගේ අන්‍යොන්‍ය අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම මම තව බොහෝ දේ ඉගෙන ගතයුතුයි කියා මම සිතනවා. අපි දන්නේ මේ ශිල්පයේ හරි පොඩ්ඩයි. අපි බටහිර සිනමාවෙන් ඉගෙන ගත යුතු දේවල් ගෙන ඒවා අපේ චරිතවලට අනුවර්තනය කරන්නේ කොහොමද යන්නයි දක්ෂතාවය. මගේ නියම රංගන ශිල්පය හරියටම අල්ලගත්, හඳුනාගත් අවස්ථාව තමයි 'දෙලොවක් අතර' චිත්‍රපටය.

*ඉන් පසු ඔබ කෘති බාර ගැනීම සීමා කළාද?

සමහර අවස්ථාවල මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න සිදු වුණා සහෝදර කලාකරුවන්ගේ ඉල්ලීම් මත. මම කලාකරුවන්ට බොහොම සහාය දෙන කෙනෙක්. හැබැයි ඕනැම ශිල්පියකු වඩවා ගතයුතු කරුණු කීපයක් තිබෙනවා. පළමුවැන්න විනය. එය අද දකිනවා හරි අඩුයි. දෙවැන්න තමන්ගේ ඉරියව් හා රිද්මය. චරිතයට ගැළපෙන රංගනය එන්නේ එයින්. ඊළඟට දෙබස් උච්ඡාරණය. අද ඉතාම අඩුවෙන් දකින දෙයක්. ඊළඟට භාව ප්‍රකාශනය. තමන්ගේ බොඩි ලැංවේජ් එක එන්නේ එයින්.

*ඒ කියන්නේ ඉදිරියටත් ඔබේ රසිකයන් හට තවත් සමීප වෙනවා?

මෙහෙමයි කලාව කියන දේ අපට හැමදාම එක විදිහට කරගෙන යන්න බැහැ. අපට ඉස්සර තිබුණු රූපකාය තිබෙනවාද? නැනේ. ජීවිතයේ විවිධ අදියරවලට මුහුණ දෙද්දි සිනමාවට කළ හැකි දායකත්වය වෙනස් වෙනවා. අපේ පෙනුම වෙනස් වෙනවා. යථාර්ථයට අප මුහුණ දිය යුතුයි. ගංගාවක ආරම්භය වගේ නෙවෙයි අවසානය. ඒත් මොන ගංගාවක් මුහුදට වැටුණත් මුහුදේ වතුර ලුණු රහයිනේ. ඒ වගේ තමයි මනුස්සකම. මොන දේ ආවත් වෙනස් නොවිය යුතුයි. මුහුදේ ගැඹුරට යද්දි වටින දේවල් හමුවෙනවා වගේ අපෙත් ජීවිතයේ පරිනත වෙද්දි තමයි මේ සියලු ගුණාංග එකතු වන්නේ.

*ඔබ රූපකායත් මනාව පවත්වාගෙන යනවා?

(සිනාසී) පවත්වාගෙන යනවා නොවේ පැවතිලා තියෙනවා. ඒක මම හිතන්නේ තිබුණු සුන්දරත්වයට වඩා වෙනස්. අද අපේ රූපකාය පවතින්නේ බාහිරයේ නොවේ අභ්‍යන්තරයේ ස්වභාවය මත. අපේ පෙනුමේ අද තිබෙන්නේ තාරුණ්‍යයේ ලස්සන නොවේ ප්‍රසන්න බවක්. එය අැති වන්නේ හදවතේ පිරිසුදු, ප්‍රසන්න බව සමඟයි.

*අඩසියවසක පමණ ඔබේ අත්දැකීමට අනුව වර්තමාන සිනමාවේ ගමන් මඟ පෙනෙන්නේ කොහොමද?

අද සිනමාකරුවන් හරියට ඉන්නවා. ඒත් කීපදෙනකුගේ පමණයි නිර්මාණශීලීත්වය තිබෙන්නේ. එහිත් අඩුවක් ‍ලෙස දකින්නේ තිර පිටපතේ සහ චරිත සඳහා තෝරා ගැනීමට ශිල්පීන් හිඟකම. අපේ කාලේ යම් චරිතයකට හරිම කෙනා තෝරා ගත්තා. අපේ සිටින අතිදක්ෂ ශිල්පිනියක් වන මාලිනී ෆොන්සේකා සහ මම සමකාලීනයන්. මට අැය වන්නත් බැහැ. අැයට මා වන්නත් බැහැ. ස්වර්ණාත් ඒ වගේ දක්ෂයි. ඒත් චරිත සඳහා තෝරා ගන්නේ වඩාත් උචිත කෙනාව. අද සමහරු හිතනවා අහවල් ශිල්පියා හෝ ශිල්පිනිය ගත්තොත් මට වාසියි කියලා. ඒ පෞද්ගලික හේතු වාසි මිස චරිතයට සුදුසුම කෙනා නෙවෙයි. එහෙම වුණාම ශිල්පීන්ටත් සිදුවන්නේ අසාධාරණයක්. යමෙකුගේ දක්ෂතා අපි අධිතක්සේරු කළ යුතු නැහැ. ඒ වගේම දේශපාලනීකරණය හා කල්ලිවාදය නිසා සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ. අනෙක අපේ රටේ දක්ෂයන් ඉද්දි ඉන්දියාවෙන් නළු නිළියන් ගෙන්වාගෙන කරන මේ දේ මොකක්ද? ඔවුන්ට අවස්ථාව දෙද්දි අපේ අයට යන කල? මම බොහොම විරුද්ධයි ඒ වැඩේටත්. අනෙක මම නිර්භයව කියනවා ඉන්දියාවේ සකස් කරපු රූපවලට වඩා අපේ කෙල්ලො කොල්ලොන්ගේ මූණ කට අැත්තෙන්ම ලස්සනයි. වයසට ගියත් ලස්සනයි.

*සමහරු කියනවා ඉන්දියාවෙන් ගෙන්වන්නේ අපේ අයගේ මිල ගණන් ආදිය වගේම අගේ කිරීම වැඩි හින්දා කියලා?

ඒක තමයි කලාව ව්‍යාපාරයක් වෙලා කියන්නේ. ජීවත්වෙන්න මුදල් අවශ්‍යයි තමයි. ඒත් අපේ පුංචි රටේ ඉන්දියාවේ වගේ ලොකු ප්‍රේක්ෂකාගාරයක් නැහැ. ඉතින් නිෂ්පාදකවරුන්ගෙන් ලොකූ ඉල්ලීම් කිරීමත් වැරදියි. ඒ වගේම ඒ කරුණ නිදහසට කාරණයක් කරගෙන පිටරටින් නළු නිළියන් ගෙන ඒම සාධාරණයි කියන්න මම ලැස්ති නැහැ. අනෙක අැයි එකම නළුවාට නිළියට කොටු වෙන්නේ. වෙනත් කෙනෙක් දාලා ඒ අය සුපිරි කරවන්න පුළුවන්. මම නම් කොයි තරම් හොඳ චිත්‍රපටවල රඟපැවත් කවදාවත් සීමාව ඉක්මවා මුදල් ඉල්ලන්නේ නැහැ. තමන් කොහොමද තමන්ගේ වටිනාකම තක්සේරු කරන්නේ. තමන්ට තමන් වටිනවා වුණාට රටේ මිනිස්සුන්ටත් එය එහෙමම විය යුතුද?. කලාව කලාව වෙනුවෙන් මිස තමන්ගේ බඩ වඩා ගැනීම වෙනුවෙන්ම කරන්න ගියාමයි මෙය වරදින්නේ. අපි අපේ රටේ සිනමාව තේරුම් ගත යුතුයි. අදටත් කතා කරන නිධානය, රන්සළු, දෙලොවක් අතර, පරසතුමල් වගේ ඒවා ඔය විදිහට වියදම් කරලා හැදුවේ නැහැ. අනවශ්‍ය අගය කිරීමෙන් වැඩක් නැහැ. අපි රටට ආදරේ කලාකරුවන් නම් අපි කණගාටු වෙන්න ඕනා මේ සිදුවන දේවල් ගැන. ඔය ඉන්දියානුවන්ට වියදම් කරන මුදල්වලින් අපේ රටට වැඩක් කරන්නකෝ.

*මේ විදිහට ගියොත් සිංහල සිනමාවට කුමක් වෙයිද?

අද බොහෝ දෙනා 50, 60, 70 දශකවල අපේ සිනමාව දැකලත් නැහැ. ඒවා අගය කරන්නෙත් අතළොස්සයි. අපේ නළු නිළියන් හඳුනන්නෙත් නැහැ සමහරු. ඊළඟ පරම්පරාව මීටත් වඩා දුර්වල වෙයිද කියන සැකයකුත් තිබෙනවා. අලුතෙන් මෙයට ප්‍රවිෂ්ට වන අය වින්දනයට පමණක් යොදා ගෙන තමන්ගේ යුතුකම වගකීම ඉටු නොකරන බවක් පේනවා. එය කලාවේ පරිහානියට හේතුවක් ලෙස අපි දකිනවා. ඒ නිසා සිංහල සිනමාවේ ආයුෂ කොටයි වගේ තමයි දැනෙන්නේ. හදිසි විස්මයක් සිදු නොවුණොත් මිසක.

*ඔබ අද ඔබ ගැන හිතන්නේ කොහොමද?

සමහරු හිතනවා අැති මම උඩින් යනවා කියලා. නැහැ. මම පොළොවේ පය ගහලා මම මගේ දෙපයින් හිටගන්න කෙනෙක්. මම කලාව නවත්වලා නැහැ. ඒත් මට දැන් හිතනවා පවතින තත්ත්වයන් අනුව කලාව කළා අැති කියලා. හැබැයි හොඳ පිරිසුදු වතුරක් වගේ නිර්මාණයකට බහින්න කැමතියි.

*ඒ කියන්නේ අනෙක් අය වගේ අධ්‍යක්ෂණයටද?

අප්පච්චියේ. මම එක්තරා ස්වරූපයක කලාකාරිනියක්නේ. සල්ලි ගොඩක් දෙනවා කියලා මල් ගස් වටේ නටන්න කීවොත් පුළුවන්ද? පුළුවන් ඒත් ගැළපෙනවාද? නොදන්න කාලේ නම් මම 'සුදු සඳේ කළු වලා' මගේ මුල්ම චිත්‍රපටයේ සින්දුත් කීවා. ඒත් එක් අවස්ථාවක තමන්ට අවබෝධ වෙනවානේ. ඉතින් දන්නේ නැති කෙහෙල්මල්වලට අතදාන්න බැහැ මට. ඔය පට්ටමට කරන වැඩ මට කරන්න බැහැ. එහෙම තමන් නොදන්න වැඩ කරන අය ගැන කියන්න තියෙන්නේ නොදැන කරන වරදට සමාව දෙන්න කියලයි. මම කලාවට ආදරෙයි. ඒනිසා මම නිහඬව අධ්‍යාත්මික වශයෙන් මගේ ජීවිතය කැප කරලා නිහඬ සේවයක් කරනවා, කලාව වෙනුවෙන්, මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. ඒ තමයි සුවිනීතා වීරසිංහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.