තනු ත්‍රිත්වයකින් නිර්මාණය වූ ගීතයක්

දෙසැම්බර් 14, 2018

ශිෂ්ටාචාරයේ ගීතයේ පදමාලාව:

 

හිමකුලු මැද හිමාලයේ

දේවදාර තුරු වියන් ගැබේ

හෙමින් ගලා බහින්න යමුනා

හෝපලු හෙවණේ ඇති රාධා

 

සිය දහසක් උල්පත්වල

උනනා කරුණා සීතල

මලය සමීරේ ළඟ නොතියා

මානව පිය සටහන්වල

තවරා යුගයෙන් යුගයට

හෙමින් ගලා බහින්න යමුනා

හෝපළු හෙවණේ ඇති රාධා

 

අඬා දිය බසින මාවිලි

ගඟාමෝ ඉතින් නාඬන්

සමන්ගිර පහන් ටැඹ

සූරිය මල පිපිලා

මහ කරුණා වැහලා

නිල් මල් බිසවු නාන

දිය කෙළෙිනා ගංතෙර

පා සටහන් ඇති පිරිලා

හෙට දවසට මඟ කියලා

පද මාලාවකට තනුවක් සහ සංගීතය එක් වූ පසු එය ගීතයක් බවට පත් වෙයි. සාමාන්‍යයෙන් ගීතයකට ඇත්තේ එක තනුවකි. පද මාලාව නොවෙනස් වෙද්දී ඊට වෙනස් තනු යොදමින් ගායනා වූ අවස්ථා තිබේ. සෙනෙහස දෙවොලකි (සෝමසිරි මැදගෙදර - රූකාන්ත) සඳ එබන්නෙපා (අතුල සමිතා - අසංග ප්‍රියමන්ත පීරිස්) ඊට උදාහරණය. ගුණදාස කපුගේ ගේ නින්ද නැති රැයේ ගීතයට තනු දෙකකින් පටිගත වුව ද ඉන් ජනප්‍රිය වූයේ දෙවැනි තනු නිරමාණයයි. මෙලෙස ප්‍රවේශය ගත්තේ එවන් වූ ගීතයක් පිළිබඳ ඔබ වෙත ගෙන එන්නටයි. රාධා ක්‍රිෂ්ණා ප්‍රේම වෘතාන්තය ඇසුරෙන් රත්න ශ්‍රී විජේසිංහගේ පදමාලාව සැකසූ මෙම ගීතය තනු ත්‍රිත්වයකින් නිර්මාණය වීම විශේෂ කරුණකි. ඒ අන්දමින් එළිදැක් වූ මෙරට පළමු ගීතය ද එය වනවාට කිසිදු සැකයක් නැත. රත්න ශ්‍රී මෙය හඳුන්වා දෙනුයේ ශිෂ්ටාචාරයේ ගීතය යනුවෙනි. ගීතය ආරම්භ වන්නේ හිමකුලු මැද හිමාලයේ වදන් මාලාවෙනි. විශාරද සංජීව ලියනගේ ගීත ත්‍රිත්වය තෙආකාරයකින් තනු සකසා ගායනා කොට තිබේ. ඔහු වඩාත් ප්‍රකට කෆී නමිනි. ඉකුත් දිනවලදී ජනප්‍රිය වූ ශෘංගාරයේ ගීය ගැයුවේ සංජීවය. මේ වන විට ඔහු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු වශයෙන් ඉසුරු වීරසිංහ මුදලිගේ ජීවිතේ චිත්‍රපටයට එකතු වී තිබේ. ශිෂ්ටාචාරයේ ගීතයෙහි තෙවැනි තනුව සඳහා ශෂිකලා සමරසිංහ යුග ගායනයෙන් සංජීව හා එක් වෙති. ගීත ත්‍රිත්වයේම නාද සංකලනය හේමලාල් ගීතදේවගෙනි. මෙහි පළමු ගී තනුව විරහ රසයෙනුත්, දෙවැනි තනුව ආදරය, ශෘංගාරය ඉස්මතු වෙන අන්දමිනුත්, තෙවැනි තනුව ගුප්ත බව, භය ආදී හැඟීම් දනවන අයුරින් ශිෂ්ටාචාරයේ ගීතය නිර්මාණය වී තිබේ.

සංජීව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශිරෝමි අරුණතිලකගේ අදහසකට අනුව ගීයෙහි වීඩියෝව නිර්මාණය වී තිබේ. ගුප්ත රසය ඉස්මතු වන අන්දමින් රාත්‍රි යාමයක රූගත කොට ඇති එය සඳහා කෘත්‍රිම විදුලි ආලෝකය රහිතව ගිනි පන්දම් එළිය පමණක් භාවිත කර තිබීම ද විශේෂත්වයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.