සිනමාවට අලුත් දුෂ්ටයෙක්

අරුණ රූපසිංහ
දෙසැම්බර් 14, 2018

 එදා මං බේරුණේ අනූ නවයෙන්

මං නුවර කොල්ලෙක්

අරුණ රූපසිංහ නමැති මේ කතාවේ නායකයා එහෙම ප්‍රවේශය ගත්තේ ටිකක් ආඩම්බර ලීලාවෙන්.

හැබැයි නුවර හින්දම මට රංගනයට ලැබුණු අවස්ථා ගොඩක් මඟහැරුණා. ඒත් මං නුවරින් කොළඹට ආවේ නැහැ පදිංචියට.

ඔහු තවදුරටත් එලෙස පවසයි. නුවර සිටින අධ්‍යක්ෂවරයෙකි. ඔහු මොහාන් නියාස්ය. ඔහු සහ අරුණ එකම පාසලේ ඉගෙන ගත්තෝ වෙති. නියාස් අරුණට ඉහළ පංතියේය.

එහෙත් තමන්ට බාල වූ මේ කොලුගැටයා රංගනයට බෙහෙවින් ප්‍රිය කරන බව නියාස් දැනගත්තේ ඉවෙන් මෙනි. පසුකාලීනව ඔහු අරුණව අත හැරියේ නැත. හඳුනා ගත් දින සිට නියාස් තැනූ සෑම නිර්මාණයකම පාහේ අරුණට රංගන වරම් ලැබිණ.

නියාස් අයියා තමයි මාව ගොඩ දැම්මේ. එයාගේ අලුත් චිත්‍රපටයේ මං හොඳ රෝල් එකක් කළා. ශ්‍රී වික්‍රම තමයි ඒ චිත්‍රපටය. මං රඟපාන්නේ එක්නැලිගොඩගෙ චරිතය. ශ්‍රී වික්‍රම චිත්‍රපටයේ සම්බන්ධිකරණය මගේ. ඒ වගේම සටන් අධ්‍යක්ෂණයත් සිදු කළා.

 

කොහොමද ඒ අත්දැකීම?

එක්තරා ආකාරයකින් මට මේ නියාස් අයියා බාර දුන්නේ අභියෝගයක්. මං ආවට ගියාට දෙයක් කරන්නේ නැහැ කියලා ඔහු දන්නවා. ග්‍රන්ථ සියයක් විතර කියවලා අධ්‍යනය කරලයි මෙහි රඟපෑවේ සහ සටන් අධ්‍යක්ෂණය කළේ.

 

එක්නැලිගොඩ චරිත රංගනය නිසා සැබවින්ම ඔබ මරණය අත්වින්දලු?

වාසනාවට අදටත් මම ජීවත් වෙනවා. එදා හැමෝම හිතුවේ මං මැරුණා හෝ බරපතල විදිහට තුවාල වුණා කියලා. මේකයි සිදු වුණේ.

මට දර්ශනයක් තිබුණා අස්සයගෙ පිටේ නැගලා යන. මොකක්දෝ හේතුවකට අස්සයා එවලේ කේන්තියෙන් ඉඳලා තියෙන්නේ. ඇක්ෂන් කෝල් එකෙන් පසුව අස්සයාට ඉදිරියට යන්න මං සංඥාව දුන්නා.

මේකා දිව්වෙ නැතෑ ගාල කඩා ගත්තු මොකෙක්ද එකෙක් වගේ. දූවිලි අවුස්සගෙන ඌ දුවනවා. ඒ හරියේ පල්ලම් එහෙමත් තිබුණා. හොඳ තැනක් බලා මං පැන්නා. දූවිල අස්සෙන් කට්ටිය තුෂ්නිම්භූත වෙලා වගේ බලාගෙන ඉන්නවා මට පේනවා. දූවිලි ගසලා දාල මං නැගිට්ටා. එතකොට තමයි නියාස් අයියගෙත් ඇඟට ලේ ටිකක් උනලා තියෙන්නේ.

 

ඔබ රඟපෑ තවත් සිනමාපටයක් තිරගත වෙන්නට තිබෙනවා නේද?

ඔව්. ඒකේ නම බඹර වසන්තය. එකත් නියාස් ලොක්කගේ අධ්‍යක්ෂණයක්.

 

ඔබ රංගනයට පිවිසි ආකරය මට අසන්නට බැරි වුණා?

මං ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ රසිකයෙක්. රසිකයකු කියනවට වඩා පිස්සෙක් කියන වචනය තමයි ගැලපෙන්නේ. පිස්සුවෙන් වගේ ඔහුගේ චිත්‍රපට මං නරැඹුවා. ඉස්කෝලේ ගියාට වැඩිය මං චිත්‍රපට ශාලාවල ඉඳලා තියෙනවා. පැරැණි චිත්‍රපටවල දෙවැනි ප්‍රදර්ශනය සිදු වුණාම මං අනිවාර්යයෙන්ම ඒවා බැලුවා. රඟපාන්න උණ ආවායින් පස්සේ අවස්ථා හොයාගෙන රස්තියාදුවක යෙදුණා.

ඔය අතරේ තමයි මට රන්ජන් රාමනායකව මුණ ගැහෙන්නේ. ඒ හිතවත්කම මත මට අවරගිර චිත්‍රපටයට අවශ්‍ය යම් යම් කලා බඩු භාණ්ඩ දුන්නා. ආ . . . ඊට කලින් මෙහෙම වැඩක් වුණා. මං ගියානෙ ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ නළු නිළියන් තෝරන ඉන්ටර්විව් එකකට. මං එතකොට පොඩියි.

පොඩි වැඩිකම නිසාම පළමු වටයෙන්ම ප්‍රතික්ෂේප වුණා. මං කියාගෙන ආවේ අවරගිරට සම්බන්ධ වූ ආකාරය ගැනනෙ. ඔහොම කැරකි කැරකි ඉඳලා අහුවන වැඩක් කරලා දීලා උදව්වක් පදව්වක් කරගෙන කාලය ගත කළා. ටික කාලයකට පසුව මට ටැක්සි ඩ්‍රයිවර් නමැති චිත්‍රපටයට එකතු වෙන්නට ලැබුණා. ඒක තමයි මගේ පළමු චිත්‍රපටය.

 

රඟ පෑ නිර්මාණ පෙළ ගැනයි ඊළඟට මං අහන්නේ?

ටෙලි නාට්‍යවලට තමයි ගොඩක් කතා කළේ. දාමිණි. ලොක්කයියා, දිය සෙවනැලි, සති පූජා, බැද්දෙ සෙනෙහස, දුවිලි සුවඳ, බෝගල සවුන්දිරිස් රඟපෑව නාට්‍යවලින් කිහිපයක්. රාස්ස කැලේ ආදි චිත්‍රපට කිහිපයකම සටන් අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

 

කොළඹ ආවා නම් රංගනයට තවත් ඇරැයුම් ලැබෙයි?

ඒක හරි, නුවර මට හොඳයි. නියාස් අයියලත් ඉන්නවනෙ. මං මෙහෙ පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා. කලාවෙන් විතරක් ජීවත් වෙන්න අමාරු ගතියක් තියෙනවා. එකම බලාපොරොත්තුව හොඳ නළුවෙක් වෙන එක. මිනිස්සු මගේ නිර්මාණයක් නරඹලා මේ ඉන්නේ අහවලානෙ කියලා අහගන්න ලැබීම තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒක පොඩි අහිංසක හීනයක්.

 

 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.