ටෙලිනිසට විසි පහයි දැන් ඉතින්...

නීතිඥ ඩග්ලස් සිරිවර්ධන
දෙසැම්බර් 15, 2018

ශ්‍රී ලංකාවේ වසර 25ක් පුරා කලාකරුවන්ගේ එකමුතුවක් සක්‍රියව වේ නම් ඒ ටෙලිනිසයි. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය පිහිටු වූ මොහොතේ ලේකම්ධුරයට ඩග්ලස් සිරිවර්ධනයන් පත් වූයේ නීතිඥවරයකු මෙන්ම ප්‍රවීණ නාට්‍යවේදියකු ලෙස පමණක් නොව, වේදිකාව, ද්වයට මෙන්ම ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍රත්‍රයම තරණයට සමත් වූවකු ලෙසයි. ටවර් හෝල් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් කටයුතු කළ ඔහු අතින් ක්ෂේත්‍රයට බිහි වූ ගෝලබාලයන් ද අපමණය. රිදී ජුබිලිය සමරන ටෙලිනිස හි වත්මන් සභාපතිවරයා ලෙස ටෙලිනිර්මාණවේදීන්ගේ සංසදයෙන් මෙතෙක් සිදු වූ සේවය මෙන්ම, අනාගතයේ සිදු කිරීමට අපේක්ෂිත කටයුතු පිළිබඳ අපි ඔහුගෙන් මෙසේ විමසුවෙමු.

ටෙලිනිස ආරම්භ වූ ආකාරය අපි මදක් සිහිපත් කරමු?

මීට වසර විසි පහකට කලින් ඒ කියන්නේ 1993 වසරේදි එවකට විකාශය වූ ටෙලි නාට්‍යයක් වන දයරත්න රටගෙදරගේ 'අවසඳ' විකාශය හදිසියේ නතර කිරීමත් සෝමරත්න දිසානායකගේ 'මහමෙර පාමුල' ටෙලි නාට්‍යයේ කොටස් හිතුමතයට කපා දැමීමටත් හිටපු ඇමතිවරයා කටයුතු කළ නිසා එයට විරුද්ධ වූ නිර්මාණවේදීන් ප්‍රවීණ අධ්‍යක්ෂ සුදත් රෝහණගේ කැඳවුම අනුව සංවිධානය වෙලා තම නිර්මාණ අයිතිය රැක ගැනීමේ අරමුණින් ඒ වසරේ දෙසැම්ර් 18 මහවැලි කේන්ද්‍රයේදී ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය පිහිටුවා ගත්තා. එහි සභාපති ලෙස පත් වුණේ තිස්ස අබේසේකරයන්. ලේකම්ධුරයට පත් වුණේ මම. භාණ්ඩාගාරික වුණේ බන්දුල වීරක්කොඩි.

අද සභාපති ඔබ?

ඔව්. වසරක් පාසා අපේ සංසදයේ තනතුරු වෙනස් වෙනවා. ඒ අනුව ලේකම්ධුරය වත්මනේ දරන්නේ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස්. භාණ්ඩාගාරික බන්දුලමයි.

ටෙලිනිස පිහිටුවීමෙන් පසු ඒ තිබුණු තත්ත්වය වෙනස් වුණාද?

අපේ රටට ටෙලි කලාව එන්නේ ස්වාධීන රූපවාහිනියෙන් 1979 සිංහල අවුරුදු තෑග්ගක් විදිහට. එය කොළඹට පමණක් සීමා වුණා. ඒත් 1982 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටුවීමත් සමඟ විකාශය ජාතික තලයට විහිදුණා පමණක් නොවේ එයින් ඇති වූ සංස්කෘතික හා සමාජ බලපැම වෙන කිසිදාක නොවූ තරම්. ඒ වගේම වේදිකාව වගේ නාඩගම් නූර්තිවලින් ටීටර් ඔස්සේ පැමිණ සරච්චන්ද්‍රයන්ගෙන් නව මාවතක් ගත්තා වගේ හෝ දකුණු ඉන්දියානු ආභාසයෙන් මිදී ලෙස්ටර්, පතිරාජ, නිහාල්සිංහ, තිස්ස අබේසේකර අතින් බිහි වූ සිනමාව වගේ හෝ නොවෙයි ටෙලි නාට්‍ය. එය බිහි වුණේම දක්ෂයන් අතින්. එය අද වෙද්දි අවගමනයට ලක් වීම වෙනම කතාවක්. ඒත් මෙය සිදු වූ මීට දශක දෙකහමාරකට පෙර යුගය වෙද්දී ටෙලි නාට්‍ය නිර්මාණකරුවන් අතින් රූපවාහිනිය හොඳ දිශානතියකට හැරවී තිබුණා. වසර 10ක් පමණ ඒ ගමන් මඟේ යමින් සිටියදී තමයි මේ අත්තනෝමතික ක්‍රියාව සිදු වුණේ. ඒ නිසා බිහි වූ ටෙලිනිස අදටත් සජීවීව, ක්‍රියාකාරීව ටෙලි නාට්‍ය ප්‍රවර්ධනය සඳහා කටයුතු කරනවා. කර්මාන්තයක් ලෙස ටෙලි නාට්‍ය බිහිවන විට මූලික වශයෙන්ම, නිෂ්පාදක අධ්‍යක්ෂවරු, ශිල්පීන්, නිෂ්පාදන ආයතන, නාළිකා වගේම වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් සඳහා වන සංවිධානත් අවශ්‍යයි. ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ හෝ සිනමා ක්ෂේත්‍රයේ මේ දක්වා වෘත්තීය අයිතිවාසිකම් දිනාගන්නා සංවිධානයක් බිහි වෙලා නැහැ. බිහි වුණත් ක්‍රියාත්මක වෙලා නැහැ. අනෙක විවිධ දේශපාලන අරමුණු නිසා ඒවා කඩා වැටුණා. ඒත් ටෙලිනිසේ මතය සැම විටම ක්‍රියාත්මක වුණේ විධායක සභාවේ මතය අනුව. රටේ ආර්ථික සමාජ දේශපාලන සංස්කෘතික ගැටුම් නිසා මෙහි වේගය අඩාල වූ අවස්ථා තිබුණා තමයි. ඒත් අපට ක්ෂේත්‍රය වෙනුවෙන් වගේම සමාජ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන්න අවස්ථාව ලැබුණා.

ටෙලිනිස සුබසාධන සංවිධානයක් නොවේ?

ඇත්ත. ඒත් සුනාමි, ගංවතුර, නියඟය වගේ අවස්ථාවල විපතට පත් වූ අපේ සහෘද රසික ජනතාවට නිවෙස් තනා දීමට, වියළි සලාක, පානීය ජල පහසුකම් සලසා දීමට අපේ නළු නිළියන් වගේම නිෂ්පාදකවරුන් සහ අනෙක් ශිල්පීන් කටයුතු කිරීම සංසදය වෘත්තීය අයිතිවාසිකම් වගේම මේ සමාජීය කටයුතුත් විශාල ප්‍රචාරයක් නැතිව කරගෙන යනවා.

මේ වනවිට සාමාජිකයන් කොපමණ සම්බන්ධවෙලා ඉන්නවාද?

දැනට 700ට වැඩියි. යාවජීව, පූර්ණකාලීන සහ ආශ්‍රිත වශයෙන් සාමාජිකයන් සිටිනවා. ඇතැම් කාර්යබහුල සාමාජික සාමාජිකාවන් ක්‍රියාකාරීව සංවිධානයේ කටයුතුවලට යොමු වුණේ නැතත් සාමාජිකත්වය දරනවා. විශාල පිරිසක් ගරු සාමාජිකත්වයත් දරනවා. අපි සැම මසකම පළමුවෙනි සිකුරාදා රැස්වෙනවා. ඒවගේම වාර්ෂිකව උත්සවාකාරයෙන් සංවත්සරය පවත්වා නිලධාරී මණ්ඩලය පත් කරගන්නවා. ටෙලිනිස නාමාවලිය, ටෙලිනිස පුවත් අපේ ප්‍රකාශනයන්.

ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා සංසදයෙන් ගත් පියවර?

විශේෂයෙන්ම මුල්ම යුගයේ වාරණය ඉවත් කර මුලින් කියූ නාට්‍ය දෙක ප්‍රදර්ශනයට කටයුතු කළා. ඒ වගේම කිසිදු අවස්ථාවක විකාශය වෙමින් පවතින කිසිදු ටෙලි නාට්‍යයක් නැවැත්වීම එපා කියන තැනට අප කටයුතු කළා. මකර විජිතය ටෙලි නාට්‍යය එක්තරා අධ්‍යක්ෂ ජනරාල්වරයකු ඉන්නතුරු විකාශය නොකිරීමට ගත් තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයට ගොස් මූලික අයිතිවාසිකම් පෙත්සම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සකසා දීමට ටෙලිනිස කටයුතු කළා. මෙහි ප්‍රතිඵලය වශයෙන් ටෙලි නාට්‍යයක් තෝරාගැනීමේ පටිපාටිය පිළිබඳ ලියැවිල්ලක් තනා එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර, ටෙලි නාට්‍යයක් විකාශය සඳහා ඉදිරිපත් කළ විට සිදු කළ යුතු ක්‍රමවේදය විනිවිදභාවයකින් සිදුකළ යුතුයි යන්න සම්මත කර ගත්තා. මේ මඟින් කිසිවෙකුට අතරමැදින් කිසිදු දූෂණයක්, වංචාවක්, හොරකමක් කරන්න බැහැ.

මෙගා ටෙලිනාට්‍ය සම්බන්ධව ටෙලිනිස සටනක් ගෙන ගියා?

ඔව්. ලොකු මෙගා රැල්ලක් ඇති වෙන්න පටන්ගත්තා. ඒ බඩවැල් ටෙලි නාට්‍යයට එරෙහිව අපි විශාල අරගලයක් ගෙනගියා. එහි ප්‍රතිඵලය වුණේ රජයේ නාළිකාවල කොටස් සංඛ්‍යාව උපරිම100ටසීමා කිරීමට හැකි වීමයි. පෞද්ගලික අංශය තවමත් එය කරගෙන ගියත් ප්‍රේක්ෂකයන් ඒවා නැරඹීමෙන් ඈත්වෙනවා. පෞද්ගලික නාළිකාවලට වඩා ජාතික නාළිකාවලට ජාතික වගකීමක් තිබෙනවා ලාභය පමණක් නොසලකා කටයුතු කිරීමට.

ඒත් එයින් ජාතික නාළිකා මූල්‍ය අර්බුදයකට ලක් වන්න ඉඩ තිබෙනවා?

ටෙලි නාට්‍යයක් නිර්මාණය කළාම එයට අවශ්‍ය ප්‍රචාරය දීමේ වගකීම තිබෙන්නේත් එය විකාශය කරන නාළිකාවටමයි. මේ මෙගා ටෙලිනාට්‍ය දිගින් දිගටම විකාශය වෙද්දි ප්‍රචාරයට යන වියදම බෙදී යන නිසා නාළිකාවලට එය වාසියක්. ඒ අතින් මූල්‍යමය වශයෙන් මෙගා නතර කිරීම නිසා යම් මුදල් අඩුවක් ‍වෙන්න පුළුවන්. ඒත් අපි මේ දිහා බැලිය යුත්තේ ටෙලි කර්මාන්තයක් හැටියටයි. එවිට එක් අධ්‍යක්ෂවරයෙක් දිගටම එක ටයිම් බෙල්ට් එකක් අරක් ගත්තාම, නාළිකාවට තිබෙන්නේ නාට්‍ය බෙල්ට් 4යි නම් අධ්‍යක්ෂවරුන් හතර දෙනකුගේ නාට්‍යවලට විතරයි අවස්ථාව සැලසෙන්නේ. ඒ නාට්‍යයේ නළු නිළියන් ගැන මුළු රටම දැන ගනී. ඒත් අනෙක් ශිල්පීන්ට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නිෂ්පාදනායතන වැහෙන්න ගියා මේ නිසා.

එතකොට විදේශීය ටෙලි නාට්‍ය දෙබස් කවා ප්‍රචාරය කිරීම ගැන මොකද හිතන්නේ?

පෞද්ගලික නාළිකාවලින් පටන් ගත්ත ඒ වැඩේ රාජ්‍ය නාළිකාවලටත් බෝ වුණා. ඔවුන් හොඳ නාට්‍ය කියන අර්ථ දැක්වීම යටතේ මෙය කරන්න ගත්තා. ඒත් ඒ හැම එකෙන්ම සිදු වුණේ දේශිය ටෙලි කර්මාන්තයේ දක්ෂ අධ්‍යක්ෂවරුන්, තිර රචකයන් ඇතුළු සමස්ත ශිල්පීන්ට අවස්ථාව අහිමි වීම. ඒ නිසා හඬ කවන ටෙලි නාට්‍යවලටත් විරුද්ධව අරගල කරන්න සිදුවුණා. මේ පිළිබඳ නාළිකාවලින් දැඩි බලපැමක් අපට ආවා. හඬ කැවීම් ශිල්පීන්ට මෙයින් වාසියක් වුණත් අපේ හඬ වුණේ මෙය පාලනය කළ යුතු බවටයි. අවසානයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ බව කීවාම නාළිකාවක වැඩසටහන් තහනම් කළ නොහැකි නිසා විශාල බදු පැනවීමක් කළා 2006 අංක 11 දරන මුදල් පනත යටතේ. එමඟින් ඒ රැල්ල සීමා වුණා. මුලින් 90,000ක් වූ මුදල පසුව අපි ලක්ෂ තුනක් දක්වා වැඩි කරන්න කටයුතු යෙදුවා. එය යළිත් ලක්ෂ එකහමාර දක්වා අඩු වී තිබෙනවා. කොහොම වුණත් බදු ලෙස එකතු වුණු විශාල අරමුදලින් තමයි රන්මිහිතැන්න ටෙලිගම්මානය බිහි වුණේ. ඊට පසු එකතු වූ බිලියන ගණනක් මැතකදි භාණ්ඩාගාරයට ලබාගෙන තිබුණා. ඒත් අපේ යෝජනාව වුණේ නම් ඒ මුදල ටෙලි නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට වගේම රංගනය ඉගැන්වීමට අවශ්‍ය අභ්‍යාස පාඨමාලාවක් හා ආයතනයක් පිහිටුවීම සඳහා යොදවන්න කියන එකයි. අඩුම තරමේ එක ටෙලි නාට්‍ය කොටසකට රුපියල් 25000ක් බැගින්වත් දෙන්න කියලා අපි ඉල්ලා සිටියා. හැබැයි මෙහෙම දේකුත් තිබෙනවා. සමහර විදේශ ටෙලිනාට්‍යවල තාක්ෂණික තත්ත්වය හොඳ වුණාම ඒ ප්‍රයෝග අපේ ශිල්පීන්ට ඉගෙන ගන්න අවස්ථාවක් සහ එවැනි ටෙලි නාට්‍ය බිහි වීමේ ප්‍රවණතාවකුත් තිබෙනවා.

ඒත් අපට ඒ නිෂ්පාදන වියදම ඒ රටවල තරමට යොදවන්න පුළුවන්ද?

අපට ඒ වෙළෙඳපොළ නැහැ. ඒ නිසා වැය පියවගන්න බැරි නිසා තමයි අර 'තිබ්බා ගැහුවා' ක්‍රමයේ ටෙලි නාට්‍ය බිහිවන්නේ. අපි නීති රීති පනවද්දිත් මේ සියල්ල සලකා බලලා තමයි කරන්නේ. හැමෝටම උසස්ම මට්ටමේ ටෙලි නාට්‍ය බිහි කිරීමට තරම් ආර්ථික හයියක් නැති නිසා තමයි අපි අර විදේශ ටෙලි නාට්‍යවලින් එන බදු මුදල් ඒවාට ආයෝජනය කරන්න කියන්නේ.

කොහොම වුණත් ප්‍රමිතියකින් තොර ටෙලි නාට්‍ය නිපදවන නිසා ජාතික නාළිකාවේත්, ස්වාධීන රූපවාහිනියේත් දිගු පෝලිම් තිබෙන බව ආරංචියි?

එහෙම දෙයක් අපටත් දැනගන්න ලැබෙනවා. ඒ නිසා තමයි අපි නියාමන මණ්ඩලයක් පත් කරන්න කියලා රජයට යෝජනා කළේ. පසුගියදා ටෙලිනිස අපි, ටෙලිවිෂන් වෘත්තිකයන්ගේ ජාතික සංවිධානය සමඟ එක් වෙලා පනතකට යෝජනා ඉදිරිපත් කළා. ඒත් මේ වෙද්දි එය කුමන ස්ථානයක තිබෙනවාද කියන්න දන්නේ නම් නැහැ. ඒත් අප මේ ලේඛනයට ඉදිරියේදී නීත්‍යානුකූල බවක් ලබාගෙන මේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා යොදවන්න කටයුතු කරනවා. ඒ පිළිබඳ අවධානයෙන් අපි ඉන්නේ.

මේ නියාමනයත් රාජ්‍ය නාළිකා සඳහා පමණද?

නෑ. මේ මණ්ඩලය අනුමත කරන්නා වූ ටෙලි නාට්‍යයක් ඕනෑම නාළිකාවක විකාශයට සුදුසු වබවට සහතිකයක් ලැබෙනවා. ඒ මණ්ඩලය සමන්විත වන්නේ ටෙලිනිර්මාණවේදින්ගෙන්. මෙහිදි සිදුවන්නේ වාරණයක් නොවේ. ප්‍රමිතිය සහ ගමන් මඟ පෙන්වාදීමක් පමණයි. එහෙම නොවුණොත් අපේ ටෙලිනාට්‍ය තවත් අවගමනයට යනවා. කලාව සහ කර්මාන්තය යන දෙකම අවගමනය වුණාම නාළිකාවලට ලේසියි විදේශීය ටෙලි නාට්‍ය පෙන්වා බහුතරය කැමති බව කියන්න. ඒත් අපි කියන්නේ ප්‍රේක්ෂකයා සතුටු කරනවා වගේම මේ හැම කැමරාවක්, සංස්කරණ මේසයක්, වේශ නිරූපන පෙට්ටියක්, ආලෝකකරණ මෙවලමක් ආදී සැම දෙයක් පිටුපසම දරු පවුලක් ඉන්නවා. ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වූ මොවුන් ජීවත් කරවීම සහ අපේ කියන අනන්‍යතාව සහිත ටෙලිනාට්‍ය කලාවක් බිහිකිරීමේ ඇතැම් පාලකයන්ට අමතක වූ ජාතික වගකීම වෙනුවෙනුයි අපි මේ කටයුතු කරන්නේ.

කලින් වගේ පිටපත අනුමත කරන්න අද බැරි ඇයි?

එදා අපට ටෙලි නාට්‍යයක් කිරීමේදී ඉතා අඩු පිරිවැයක් තිබුණේ. මට නිදිකුම්බා මල් ටෙලි නාට්‍යයේ කොටසක පිටපත් රචනයට ලැබුණේ රුපියල් 600යි. ඒත් අද ප්ලේන්ටියක් කීයද? ඒත් අනූව දකයේ එක් එපිසෝඩ් එකකට දුන් 125000/-ම තමයි අදත් කොටසකට දෙන්නේ. ඉතින් එදාවගේ නිවී හැනේ දවස් දෙකතුනකට එක එපිසෝඩ් එකක් රූගත කරනවා වෙනුවට අද කරන්න වෙන්නේ දවසට එපිසෝඩ් තුනක්වත් කරන්න උත්සාහ කරන එක. එතකොට ගුණාත්මකබව, ප්‍රමිතිය තියන්න පුළුවන්ද? අද සියල්ල සිදුවන්නේ මුදල් ගනුදෙනුව මතයි. එදා නළු නිළියන් අද කම්කරුවන් බවට පත්වෙලා. අනෙක අපේ ටෙලි නාට්‍ය කලාවේ සිටි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ, ආචාර්ය ධර්මසේන පතිරාජ, ආචර්ය තිස්ස අබේසේකර සහ ප්‍රවීණ මාධ්‍යවේදී සෝමවීර සේනානායක වගේ දැවැන්තයන් අහිමි වීමත් මේ කලාවේ පසුබැමට හේතු වී තිබෙනවා.

ටෙලි නාට්‍ය මැදින් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම පාලනයට ක්‍රමයක් තිබෙනවාද?

එදා වෙළෙඳ දැන්වීමත් කතන්දරයක් වගේ. ඒත් අද තිරයේ උඩින් එනවා, යටින් එනවා, පැත්තෙන් එනවා, රාමුව පොඩි කරනවා. එක කතාවක් මැද්දෙ යටින් වෙන කතාවක නළුවෙක් මතු වෙනවා. එය ප්‍රේක්ෂකයන්ගේ රස වින්දනයට දැඩි බාධාවක්. ඒ වගේම සදාචාර විරෝධී කටයුත්තක්. එදා ටෙලි නාට්‍යයක දැන්වීම් සඳහා අනුග්‍රාහකයෙක් හිටියා. අද මේ දැන්වීම් ක්‍රමය නිසා පැය භාගයක ටෙලි නාට්‍යයකින් ලක්ෂ තිහකට වඩා නාළිකාවක් හරි හම්බ කරනවා. ඒත් නාට්‍යයට ගෙවන්නේ ලක්ෂ එකහමාරකටත් අඩු මුදලක්. අපි ඉල්ලුවා රේට් එක වැඩිවන නාට්‍යවල නිෂ්පාදකයාට අර මුදලින් සියයට 10ක්වත් දෙන්න කියලා. ඇත්තෙන්ම සියලු රජයන් පාහේ නාළිකාවලට අත තියන්න බයයි.

එලඹෙන වසර සඳහා ටෙලිනිස වැඩපිළිවෙල කුමක්ද?

අපි දිගටම කරගෙන ආ ටෙලිනාට්‍ය රස වින්දන වැඩසටහන දිවයින පුරා පාසල් හා විශ්වවිද්‍යාලවල දරුවන්ගේ රසඥතාව වර්ධනය සඳහා ඉදිරියටත් කරනවා. ටෙලි තරු ගී ප්‍රසංගයේ දෙවැනි අදියර 2019 කිරීමට බලාපොරොත්තු වෙනවා. රංගන පාඨමාලාව ලබන වසරේ සිට අනුග්‍රාහකයකු සමඟ එක්ව නොමිලේ පවත්වන්නත් අපේක්ෂා කරනවා. විශාල ඉල්ලුමක් සහිත කලා ශිල්පීන්ගේ නාමාවලිය අංගසම්පූර්ණව ප්‍රකාශයට පත් කරනවා. භෞතික සම්පත් දියුණුවෙන් පමණක් රටකට ප්‍රමාණවත් නැහැ. දිනෙන් දින පරිහානියට යන මානව සම්පත් සංවර්ධනය කළ යුත්තේ කොහොමද කියා පාලකයන් සිතිය යුතුයි. එදා අපට තිබුණේ දරුවන් රූපවාහිනියෙන් ගලවා ගැනීමේ සටන. අද දෙමව්පියන්ට තිබෙන්නේ දරුවන් තනි තනිව කාමර අස්සට වෙලා ජංගම දුරකථන හා ලැප්ටොප්වල එල්ලී සිටීමෙන් ඉවත් කර රූපවාහිනියට යොමු කර ගන්නේ කොහොමද? පවුල එකට ඉඳන් කතාවක් රසවිඳීන්න අවස්ථාවක් ලබා ගන්නේ කොහොමද කියන අභියෝගය. ඒ සඳහා හොඳ වැඩසටහන් නාළිකාවල විකාශය විය යුතුයි. එයට දේශපාලන පත්වීම් ඉවත් කර, දක්ෂතා සපිරි ශිල්පීන් පමණක් නාළිකාවලට බඳවා ගත යුතුයි. සංහිඳීයාව ගැන කතාකරන අපි සහෝදර ජාතීන්ගේ උත්සව පිළිබඳ ටෙලි නාට්‍ය කීයක් කරනවාද? යාපනේ අපේ ජාතික නාළිකාව බලන කීදෙනෙක් ඉන්නවාද? ඔවුන් බලන්නේ ඉන්දියාවෙන් විකාශය කරන නාළිකා. අපේ බොහෝ නාළිකා දවල්ට පෙන්වන දෙමළ ත්‍රාසජනක කතා. ඒවායේ තිබෙන වේගය, රිද්මය අපේ ඇඟට කා වැදුණාම අපේ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කඩා වැටෙන එක අහන්න දෙයක්ද? මේ තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා ඕනැම රජයකට බලපැමක් කරන්න අපි සූදානම්, යහපත් ටෙලිනාට්‍ය කලාවක් සඳහා කැප වෙන්න කියලා. එහෙම නොවුණොත් ඉදිරි වසර පහකදී මේ සියල්ල සුනුරු තාක්ෂණයට යටවෙලා යයි.

මිලන් කරුණාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.