දැන් මම මී මිත්තණියක් ගී ලොව රැජන ලතා වල්පොල

දෙසැම්බර් 20, 2018

රැජින මමයි අපේ රාජ්ජේ

රැජින මමයි රැජින මමයි රැජින මමයි

අපේ රාජ්ජේ

මගේ සැමියා රජා තමයි

ඔහුගෙ අණට කැලෙත් සැලෙයි

ගසුත් වැලුත් ගලුත් නැමෙයි අපේ රාජ්ජේ

රැජින මමයි අපේ රාජ්ජේ

 

ආලින්දයේ සුව පහසු සෝපාවක සැහැල්ලුවට වාඩි වී සිටින ඈ අපේ සීනු හැඬවීමෙන් හෙමින් හෙමින් එළිපත්ත බසින අයුරු ගේට්ටුව අස්සෙන් අපිට පේනවා. ගේට්ටුව අරින්නේ අපේ රැජිණ. ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ නොනැසෙන රැජිනිය ඈ ලතා වල්පොල. ගී රැජිනකගේ වාසභවනයේ දොරගුළු අප වෙනුවෙන් විවෘත වුණා. ඒ වන විටත් ඈ අප පිළිගන්නට සැදීපැහැදී සූදානම් වී හෝරා දෙකකටත් වැඩි කාලයක් ගත වී තිබුණා. මඟ තොටේ වූ රථවාහන තදබදය නිසා ඇගේ කාලය නිකරුණේ අපට සොරා ගන්නට වීම පිළිබඳ අපේ සමා අයැදුම ඈ සුපුරුදු සිනහවෙන්ම බාර ගත්තා.

ආලින්දයේ සැප පුටුවකට බර වුණු ඈ දිහා මා බලා සිටියේ අපිරිමිත වූ ගෞරවයකින්, ආදරයකින් හා භක්තියකින් යුතුව. ඈ පසුගිය නොවැම්බරයට අසූ පස් වියට එළැඹුණාය. එහෙත් ඇගේ මනමෝහනීය හඬ තවමත් සුපුරුදු ජවයෙන්. ආදරණීය බවින් යුතුව මෙරට ජන හදවත්වලට ආනන්දය එක් කරනවා. හැබෑවටම එය නම් දේව තිළිණයක්ම තමයි. මට හිතුණා.

‘මගේ ජීවිතේ දිහා මමත් පුදුම වෙලා බලන් ඉන්නවා. මටත් හිතාගන්න බෑ කොහොමද මෙච්චර දුරක් මේ විදියට ආවේ කියලා. මම ඉස්සරලම සින්දු කියන්න ආවේ 1947 දිනේ. ඉතින් දැන් සින්දු කියන්න ඇවිල්ලම අවුරුදු 72 ක්නේ. මම කියන්න පටන් ගන්න කොටම ගායනා කළ සින්දු ටිකත් තාම ජනප්‍රියයිනේ. ඒක තමයි ඇත්තටම පුදුමේ කියන්නේ. ඒවා ඉතින් හින්දු තනු නෙවෙයිනේ. ඔක්කොම ඔර්ජිනල් සින්දුනේ. මම හිතනවා ඉතින් ඒකට මට වාසනාවක් තියෙන්න ඇති කියලා.’

ඒ වාසනා ගුණය එසේ මෙසේ වාසනාවක් නම් වෙන්න බෑ. ඒකට ඈය දේව ආශිර්වාදයත් නොඅඩුව ලැබෙන්න ඇති. ඇය දේශීය ගීත ක්ෂේත්‍රයට එක්වන විට තවත් කොතෙකුත් ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් හිටිය බව කවුරුත් දන්න දෙයක්. අපි ඉතිහාසය දෙසට හැරුණොත් ලංකාවේ පළමු වරට සිංහල ග්‍රැමෆෝන් ගී තැටි නිෂ්පාදනය ආරම්භ වෙන්නේ 1906 දී. ග්‍රැමෆෝන් තැටියකට ගී ගැයූ ප්‍රථම ගායිකාව සංගීතඥ බී. එස්. පෙරේරාගේ මව වූ ග්‍රේස් මාග්‍රට් ද සිල්වා වර්ණකුලසූරිය ලෙසයි වාර්තා වන්නේ.

ඒ කාලේම ඇගේ මිතුරු ගායිකාවක් ලෙස රද්දොළුවේ ජේන් පෙරේරා, ඇනී බොතේජු, ලක්ෂ්මී බායි වැන්නවුන් ද සිටියා. ඉන් අනතුරුව රුක්මණී දේවි, කෝකිල දේවි, කේ. කේ. රාජලක්ෂ්මී, කරුණා දේවි, වසන්තා සන්දනායක, චිත්‍ර ලේඛා, මධුරාවතී, ජී. ඇස්. බී. රාණි. චිත්‍රා සෝමපාලගෙන් ද පසුවයි ඈ ගායන ලෝකයට ප්‍රවිෂ්ට වන්නේ. කෙතරම් ‘දේවී’ලා ගී ලොවේ සිටිය ද සරස්වතී දේවිය ගී ලොව රැජින ලෙස අභිසෙස් වන්නට වරම් දුන්නේ ඈයය.

‘මට ඉතින් දැනුම් තේරුම් ඇති දවසේ ඉඳලම මම පල්ලියේ පූජාව කියෙව්වා. ගීතිකා ගැයුවා. ඉතින් මම විශ්වාස කරනවා මට දේව ආශිර්වාදය තියෙනවා කියලා. පුංචි කාලේ ඉඳන්ම මම අම්මත් එක්ක පල්ලි ගියා. පල්ලියේ ගීතිකා අහගෙන හිටියා. ඊට පස්සේ මට කියන්න පුළුවන් වෙනකොටම ගීතිකා කියන්න පටන් ගත්තා’ ගී රැජින අතීතයට යයි.

අද ඈ ලතා වල්පොල වුව ද ගල්කිස්ස ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ ගීතිකා ගැයූ ඇය රීටා ජෙනිවිව්ය. බොහෝ දෙනෙක් එකල ඈ හඳුන්වා ඇත්තේ ජෙනිවිව් කියාය.

ජෙනවිව් ලතා වෙච්ච හැටිත් හරි පුදුමයි නේද?

‘ඔව්, ඒක කළෙත් සුසිල් ප්‍රේමරත්නනේ . . .

ඉතින් ජෙනිවිව් ඒකට කැමති වුණාද?

මට ඉතින් ඒ ගැන ඒ හැටි තේරුමක් තිබුණේ නෑ. සුසිල් ප්‍රේමරත්නයන් මගේ හඬ අහල ඔහුට හිතුණලු ඉන්දියාවේ ලතා මංගේෂ්කාර්ගේ හඬ වගේ කියලා. ඒ හින්ද ඔහු මට ලතා කියලා නම දැම්මා. අනිත් එක ගුවන් විදුලි සංස්ථාවේ වුණත් ගීතයක් ප්‍රචාරය වෙනකොට නම කියනකොට සුසිල් ප්‍රේමරත්න සමඟ රීටා ජෙනිවිව් ප්‍රනාන්දු කිව්වම දිග වැඩියිනේ. ඒ හින්දා ලතා ප්‍රනාන්දු කිව්වා.

ඊට පස්සේ කිසි කෙනෙක් මට වෙන නමක් කියන්නේ නෑ. අපේ ගෙදර අයත් ‘ලතා’ කියන්නම පුරුදු වුණා. එම්. එස්. ප්‍රනාන්දු ජීවත් වෙලා ඉන්නකම්ම මට කතා කළේ ‘ජෙනී’ කියලා. තව මගේ ඥාතියෙක් හිටියා එයා එංගලන්තයේ ඉන්නේ. ෂෝ එකකට ගියත් ජෙනී අක්කේ කියල තමයි කතා කරන්නේ. මට ඉතින් දැන් මගේ උප්පැන්නේ නම මතකම නැති වෙලා ගිහින්.’

රැජනීට වාසනාව ගෙනාපු ‘ලතා’ නමට තවත් වාසනාවක් වුණේ ‘වල්පොල’ නාමය. වල්පොල නාමය ලතාට වගේම මෙරට චිත්‍රපට ගීත කලාවට වාසනාවක් වුණා. රැජිණ කල්පනා කරනවා. අතීතය කෙතරම් මිහිරිද?

‘ධර්මදාස වල්පොල මට හම්බ වෙන්නේ අපි ආදරෙන් බැඳෙන්න හුඟාක් ඉස්සර. මම රූ රැසේ අඳිනා ලෙසේ ගීතය ගායන කරන කොටත් ඔහු තමයි ඒ ගීතයට බටනලාව වාදනය කළේ. මම ඔහුව මුලින්ම හඳුනා ගත්තේ බටනලා වාදකයෙක් ලෙස. ඊට පස්සේ තමයි ‘ප්‍රේම තරගය’ චිත්‍රපටයට අපි දෙන්නා යුග ගීතයක් ගායනා කළේ. ඒකත් සිද්ධ වුණේ අහම්බයකින්. ප්‍රේම තරගය චිත්‍රපටයේ සංගිතඥයා වුණේ ආර්. මුත්තුසාමි. මට ගීත හයක් ගායනා කරන්න තිබුණා.

ඒකෙන් දෙකක් යුග ගීත. යුග ගීත ගායනා කරන්න නියමිතව තිබුණේ අරුණ ශාන්ති සමඟ. අපි දෙන්නා ගීත පුහුණුවීමේ කටයුතුවලත් යෙදුණා. ඒත් අනපේක්ෂිතව ගීත පටිගත කරීමේදී ඔහුගේ හඬ අවදි වුණේ නෑ. අන්තිමේ මුත්තුසාමි මාස්ටර් පටිගත කිරීම් වෙනත් දිනයකට යොදා ගත්තා. ඒකට විකල්පයක් හොයන්න වාද්‍ය වෘන්දයේ සිටි තාල තරංග වාදන ශිල්පියෙක් වූ එම්. ආරියදාසත් මැදිහත් වුණා. ඔහු තමයි ඔහුගේ හිතවතෙක් විදියට ධර්මදාසව අරගෙන ආවේ. මුත්තුසාමි මාස්ටරුත් කැමති වුණා.

‘හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිනුවේ

හිත ඊර්ෂ්‍යමාන ගති නැති නිසාම අපි

ප්‍රේම තරගෙ දිනුවෙ . . .’

මේ ගිතය තමයි ඉස් ඉස්සරලම ධර්මදාසයන් එක්ක මම කිව්වේ.

ප්‍රේම තරගෙ ඉවර වෙනකොට තව ප්‍රේමයක් පටන් ගන්න ඇති නේද? ලතා එක එල්ලේම මා දෙස බලමින් . . .

‘අපෝ නෑ . . . එතකොට මට අවුරුදු 16 - 17 ක් ඇති. ප්‍රේම කිරිල්ලක් ගැන අදහසක් තිබුණේ නෑ. ඒත් ඊට පස්සේ දිගටම අවුරුදු ගණනාවක් චිත්‍රපට තිස් ගණනකට සිංදු කිව්වේ අපි දෙන්නා. ඊට පස්සේ හියුගෝ ප්‍රනාන්දු තමයි ඔය යෝජනාව කළේ. උඹලා දෙන්නා තමයි ගැලපෙන්නේ කියලා. ඊට පස්සේ තමයි අපි ආදරය කරලා 1958 විවාහ වුණේ.’

ප්‍රේමණීය යුගයක මතක සැමරුම අතරින් ලතා අතීතයට යනවා.

‘ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ

පුබුදාවි මල් මාගේ නොඉඳුල් හිතේ

සඳරැල්ල කිරි වැල්ලෙ ඉතිරී ගියා

සැනසෙන්න අප දෙන්න දිනුවා කියා’

ලතා ධර්මදාස යුගය මෙරට රිදී තිරය ඒකාලෝකවත් කළ සුපිරි තරු වුණා. ගී රැජිණත් හුඟක් දුර අතීතයක මිහිරි මතක මැද බව දැනුණේ සිහින් දෙනෙත් අග දිළිසුණු කඳුළක තෙත් බව නිසාය.

‘ධර්මදාසත් එක්ක ජීවත්වෙන එක පහසු දෙයක් නොවෙයි. ඔහු හරිම නීතිගරුක, ආචාරශීලී පුද්ගලයෙක්. තමන්ගේ වෘත්තීයට හරිම අභිමානයකින් ගෞරව කරපු කෙනෙක්. සින්දුවක් කියමු කියන පලියට ආවට ගියාට සින්දු කියපු කෙනෙකුත් නොවෙයි. ඔහු මැරෙන තුරුත් ඒ ප්‍රතිපත්තිවල හිටපු කෙනෙක්.

සැමියෙක් විදියට ඔහු හරිම ගුණගරුක ස්වාමියෙක්. දරුවන්ට හරිම ආදරේ තාත්තා කෙනෙක්. දරුවෝ දාලා යන්න බැරි නිසා පිටරට සංදර්ශන අත් ඇරපු කෙනෙක්. දරුවන්ට ලැජ්ජා වෙයි කියලා පාරේ සින්දු කියන්න ගිය නැති කෙනෙක්. ඔහුගේ වියෝව මගේ ජීවිතේ බරපතළම කඩා වැටීම වුණා.

1983 දීනේ වියෝ වුණේ. පොඩිම පුතා චමින්දත් ඉස්කෝලේ යනවා එතකොට. මට මගේ ජීවිතේ එපා වුණා. මගේ ජීවිතේ හොඳම කාලේ මම ගත කළේ ඔහුත් සමඟ. මටත් හිතුණා සින්දු කියන්නේ නැතුව සදහටම නිහඬ වෙන්න. ඒත් ඉතින් දරුවෝ හතර දෙනෙකුත් එක්ක ජීවත්වීමේ ප්‍රශ්නෙත් තිබුණනේ. ධර්මදාස මිය ගිහින් වසර 35 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ධර්මදාස වල්පොල රසික සමාජය විවිධ වැඩසටහන් කිහිපයක් සංවිධානය කරලා තිබෙනවා.

එළඹෙන ජනවාරි 06 වැනිදා ධර්මදාස උපන් මහනුවර ප්‍රදේශයේ අකුරණ දීගල ග්‍රාමයේ රජ මහා විහාර පරිශ්‍රයේදී අක්ෂි සායනයක්, වකුගඩු, පිළිකා හා බෝ නොවන රෝග පිළිබඳ වෛද්‍ය සායනයක් පැවැත් වෙනවා. ජනවාරි 07 සිට 09 වැනිදා දක්වා කපිල කුමාර කාලිංග විසින් රචිත ‘ධර්මදාස වල්පොල ජීවිතය හා ගීතය’ ග්‍රන්ථය රූපවාහිනි සහ ගුවන් විදුලි ජාලාවන් වෙත නිකුත්වීම සිදු වෙනවා. ජනවාරි 10 වැනිදා කැලණිය රජ මහා විහාර පරිශ්‍රයේදී ප. ව. 6.30 ට අපේ පවුලේ සියළු දෙනාගේ සහභාගිත්වයෙන් බෝධි පූජාවක් පැවැත්වෙනවා.

ජනවාරි 12 වැනිදා කැලණිය වරාගොඩ පාරේ ඔහු මිය යන තුරුම ජීවත් වූ ප්‍රදේශය ‘ධර්මදාස වල්පොල පෙදෙස’ ලෙස නම් කිරීමේ උත්සවය පෙරවරු 10.00 ට අංක 571/2 ස්ථානයේද සිදු කෙරනවා. මේ හැම දෙයක්ම කරන්න මූලිකව මැදිහත් වෙන්නේ මේ රසික සමාජයේ ලේකම් වර්නන් ද සිල්වා මහත්මයා. වල්පොල පවුලේ හැම දෙනාගේම ස්තූතිය ඔහුට මේ මොහොතේ පුද කරන්න ඕන.ලතා ගී ලොව රැජිණ වගේම පෞද්ගලික ජීවිතයේ කිරුළු රැසක් පලඳින රැජිණක්. දැන් මිත්තණියක් නේද?

‘මිත්තණියක් වෙලා කොච්චර කල්ද? දැන් මම මී මිත්තණියක්’

‘ඒ කියන්නේ මගේ දූ ධම්මිගේ ලොකු පුතාගේ පුතාගේ දරුවනුත් දැන් මම බලල ඉන්නේ. කොයි තරම් වාසනාවක්ද? ගී රැජිඬට දරු සම්පත්තිියෙනුත් අඩුවක් තිබුණේ නෑ. ලොකු පුතා සුනෙත් වල්පොල. දෙවැනි පුතා අමිත් වල්පොල. තැන්වැනියා දියණිය ධම්මිකා. සිවුවැනියා චමින්ද වල්පොල. සුනෙත් විවාහ වී සිටින්නේ සුභද්‍රා සමඟ. ඔවුන් දෙදෙනාගේ පුත් හෙලංග ද මෑතකදී විවාහ වීමට සූදානම් වෙනවා. දෙවැනි පුතා අමිත් දැන් ඉන්නේ කැනඩාවේ. එයාගේ බිරිය ගංගානි හා දියණිය ගඟුලි ලංකවේ ඉන්නවා. ගඟුලි දැන් නීතිවේදිනියක් වෙන්න ඉගෙන ගනිමින් ඉන්නවා.

අමිත්ගේ පුතා චමිත් රැකියාව කරන්නේ අබුඩාබිවල. දියණිය ධම්මිකා විවාහ වෙලා ඉන්නේ මහින්ද බණ්ඩාර සමඟ. ඒ දෙන්නට ඉන්නේ පුත්තුම තුන් දෙනෙක්. ලොකු පුතා ගීතාන් විවාහ වුණේ නුවනි දුව සමඟ. එයාගේ දුවට තමයි මම මී මිත්තණිය වෙන්නේ. ධම්මිකගේ දෙවැනි පුතා තිසර බණ්ඩාර. ලංකවේ ඉන්න හොඳ වයලීන් වාදකයෙක්. එයා විවාහ වුණේ ක්‍රිස්ටිනා සමඟ. ධම්මිකාගේ තුන්වැනි පුතා මයුර. දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්නේ.

ලබන අවුරුද්දේ එයත් තුෂාරි කියලා දුවක් සමඟ විවාහ වෙනවා. මේ උත්සවයට අපේ පවුලේ සියළු දෙනාම එකතු වෙන්න බලාපොරොත්තු වෙන නිසා මගේ 85 වැනි උපන් දිනයත් එක් කරගෙන ලොකු සංගීත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ බාලම පුතා චමින්ද. එයා විවාහ වෙලා ඉන්නේ ඉන්දියානු තරුණියක් වන ක්‍රිතීෂා සමඟ. ඔවුන් දැනට ඇමරිකාවේ ජීවත් වෙනවා. මේ තමයි මගේ රාජ්‍යය. මේ හැම දෙනාගේම ආදර ගෞරවය මැද මම දියණිය ධම්මිත් එක්ක එයා ළඟ ඉන්නවා.’

‘රතු ගුරු පාරේ හැන්දෑවේ

අක්ක නගෝ වාගේ

අතිනත පටලා යමු අපි දෙන්නා

පුංචි දුවේ මාගේ . . .’

ධම්මිකාත් ඇයත් ගයන මේ ගීතය එක පාරටම මට මතක් වුණා. එදා සිය ඇස් දෙක මෙන් දියණිය රැකි මව, අද දියණිය බලා ගන්නේ සිය පණ වගේ.

ඈ ආදරණීය මවුතුමියක්, මිත්තනියක්, මී මිත්තණියක්. තම පරපුරෙ අභිමානය විඳිමින් ජීවිතේ අවසන් භාගය ගෙවනවා. පරපුරේ

උදේ සවස රූපවාහිනි නරඹන රියැලිටි සංදර්ශන අපමණ නරඹන අපට ඇගේ හඬින් ගැයූ ඇගේ ගීත ගායනා කරන නවකයින් අපි කෙතෙක් නම් දැක ඇත්ද? ඇගේ ගී ගයමින් ගී ලොවට ප්‍රවිෂ්ට වූවා පමණක් නොව සංදර්ශන වේදිකාවල ඇගේ ගී ගයා යැපෙන පිරිස් ද කොතෙකුත් ඇත. මේ සියළු දේ දෙස උපේක්ෂාවෙන් බලා සිටීමට තරම් රැජිණකගේ හදවත දයාර්ද්‍ර වනුයේ ද දේව ආශිර්වාදයෙන්ම විය යුතුය. ජීවිතේ සැඳෑ සමය ගෙවන ඈ උපතින් කතෝලික බැතිමැතියක වුව ද නිරන්තර බණ ඇසීමට පන්සලට මෙන්ම පල්ලියට ගොස් දේව ආශිර්වාදය ලබන්නට ද දැන් වැඩි කාලයක් යොමු කරයි. විවේකීව නිදහසේ ගෙවන කාලය තුළ පෙරදා මෙන්ම ගීයක් මුමුණමින්, මැහුමින් ගෙතුමින් කාලය ගෙවන්නට ඈ වැඩියෙන් ප්‍රියමනාපයි. කාන්තාවක ලෙසින් සිය දිවියේ අභිමන් කිරුළු රැසක් පැළඳි ඇයට හෙළ ගීත ක්ෂේත්‍රයේ ඉහළම කිරුළ ඊයේ අද මෙන් හෙට ද හිමිය.

Add new comment