මාතු භාර්යාවක් වන්න මටත් පින් තියෙන්න ඇති

අසංකා අබේසේකර
දෙසැම්බර් 20, 2018

 විදුලි සෝපානය අප ඉහළට රැගෙන යයි. රාජගිරියේ සුපුරුදු නිවහන අතහැර මේ මහල් නිවෙසට එන්නට අැයට කරුණු කාරණා බොහෝ තිබෙන්නට අැත. අප දොරටුව අබියසය. නත්තල් සැරසිල්ලක් අපේ නෙත ගැටේ. අැය දොර පියන විවෘත කරයි. දම් පැහැ කොටු හැට්ටයක් සහ එයටම ගැළපෙන ස්ට්‍රෙච්පැන්ට් එකකින් සැරසී සිටින්නේ අසංකා මොනරවිල නම් නිළියද නැතහොත් අසංකා අබේසේකර මැතිනියද? මගේ සිත විමසයි. තවමත් අැගෙන් යෞවනය පළාගොස් නැතිසේය. මගේ අැස් දුවන්නේ අැගේ ළැම සිපගෙන කරමාලයේ එල්ලී සිටින රවුම් වස්තුව දෙසය. නැත එය රවුමක් නොවේ. මුදුවකි. තිස්ස අබේසේකරයන්ගේ උණුසුම අදටත් අැගේ ළයට දැනෙන බවට අැති ‍භෞතික සාධකය එය විය යුතු යැයි මගේ සිත මට කියයි. මගේ දෙනෙත අැයට හසුවෙයි. අැය සිනාවක් සමඟ මුදුව ඉදිරියට ගෙන පෙන්වයි.

"සර්ගේ මුද්ද?"

"හ්ම්..." අැය එය යළි ළමැදේ සතපවා ගනී.

"යුග පුරුෂයකුගේ බිරිඳක් වුණාම ඔහොම තමයි නේද?" සරසා අැති නත්තල් ගස අයිනේ සැටියට බර දෙමින් මම අසමි. පාට කොට්ටවලින් පිරුණු ඩිවානයේ හිඳ ගන්නා අතර කොට්ටයක් තුරුළු කරගන්නා අැය මදෙස බලා කියයි.

"එහෙම වෙනසක් දැනෙන්නේ නැහැ. මම එහෙම හිතාගෙන හිටයෙත් නැහැනේ බඳිනකොට. ඔහු යුග පුරුෂයෙක් වන්න අැති. ඒත් මම සාමාන්‍ය බිරිඳක්. ඔහු මට සාමාන්‍ය සැමියෙක්. ඕනැම ගැහැනියකට තමන්ගේ ස්වාමියා යුග පුරුෂයකු වගේ දැනෙනවා අැති. මෙතන වෙනස තිබෙන්නේ අනෙක් අය ඔහු යුග පුරුෂයකු කියලා පිළිගැනීම"

මම බාධා කරමි. "ඒ කියන්නේ ජීවන රටාවේ වෙනසක් දැනුණේ නැද්ද?"

"පොඩ්ඩක් ජීවන රටාව වෙනස් අැති. සාමාන්‍ය පිරිමියකු නම් වැඩට යනවා එනවා. මේ අය එහෙම නෙවෙයි. තිස්ස වැඩි කාලයක් ගත කරන්නේ ගෙදර. මම බිරිඳක් විදිහට පැය විසිහතරම ඒ වටේ භ්‍රමණය වෙමින් ඉන්න ඕනේ. සමහර දාට රෑ එකොළහට දොළහට නිදියගෙන ආයෙත් දෙකට තුනට අැහැරෙනවා මොනවා හරි ලියන්න. කෝපි ඉල්ලනවා. විවේකට හරි අඩුයි. හැම තිස්සේම අැලර්ට් එකේ ඉන්න ඕනා."

"එ් කියන්නේ යුග පුරුෂයකුගේ නෝනා වීමත්..." මම අතුරු ප්‍රශ්නයකට පිවිසෙද්දි අැය සිනාසී කියයි. "විශාල වගකීමක්. සාමාන්‍ය ගැහැනියකට වඩා සමාජයට වැඩි වගකීම් පිරුණු ජීවිතයක්. ක්‍රමානුකූල රීතියකට ජීවත් වීමක්. කාර්යබහුලතාවක්. විශේෂයෙන්ම ඔහු සිටි කාලයට වඩා සමුගත්තට පසු කාලේ ඔහුගේ සියයට හැත්තැ පහත් එක්ක ඉටු කළ යුතු දේ බොහොම වැඩි වුණා. සමාජයට, දරුවන්ට, පවුලට මෙතෙක් ඔහු ගෙන ආ දේ නැවතුණු තැන සිට ගෙන යන්න ඕනා ඒ බිරිඳ. විශේෂයෙන් තිස්ස අබේසේකර වැනි කෙනකුගේ රාජකාරි බොහෝයි. දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය පවා තනි මවක් ලෙස කරන්න වුණා. ඉතින් පුළුවන් විදිහට කරගෙන යනවා. තිස්ස මිය ගිය පසු ගෙවුණු වසර දහය පුරා ඔහුගේ පොත්පත් පහක් හයක් පමණ එළි දැක්වූවා. ඒත් ලොකු උත්සව නම් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ."

"අැයි ඒ"

"ඉතින් එයා මුදල් හම්බ කළේම නැහැනේ... උදාහරණයක් කියන්නද? පිටගංකාරයෝ ටෙලි නාට්‍යයට ස්පොන්සර් කෙනෙක් එක්ක කතා කරලා තිබුණා. මම අැහුවා ඔයාට ඔය ගාණට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. මොකද නිෂ්පාදන කටයුතු කරන නිසා මම දන්නවා මුළු ගාණ කොටස් ගාණෙන් බෙදලා ගත්තාම අපට එක කොටසකට යන වියදමට මේ මුදල ගැවෙන්නවත් මදි කියලා. එයා කීවා බැංකුවෙන් ණයක් ගමු කියලා. ඒක පියවන්නේ කොහොමද අැහුවාම පිටරටකට නාට්‍යය විකුණ ගන්න බලමු කීවා. වැඩේ පටන් ගත්තා. සල්ලි මදි වුණා. විශ්වාස කරනවාද මම සියයට 10 පොළියට සල්ලි ගත්තා. බැංකුවකින් ණයක් ගත්තා. ඒ දවස්වල මට ටෙලිනාට්‍යවලට අනුග්‍රාහකයන් හොයලා දුන්නාම පොඩි කමිෂන් එකක් ලැබෙනවා. ඒ සල්ලි අතට එද්දිම මම අර පොළියයි මුදලයි ගෙවලා දානවා. ඒත් බැංකුවේ ලක්ෂ විස්ස පොළියත් එක්ක ලක්ෂ 40ක් වෙලා. බැංකුව අපට නඩු දැම්මා. අපේ නඩුවට කතා කළේ විජේදාස රාජපක්ෂ මහත්මයා. ඔහු කීවා මේ අය සල්ලි අරන් තිබෙන්නේ විනෝද වෙන්න නෙවෙයි හොඳ දෙයක් සමාජගත කරන්න නිසා මුදල විතරක් ගෙවන්න පොළිය ඉවත් කරන්න කියලා. අන්තිමට ණය ගෙවලා ඉවර වුණේ අන්තිම දවස්වලට අවුරුදු දෙකතුනකට කලින්. චිත්‍රපට සංස්ථාවේ සභාපති වෙලා ඉද්දිත් අපේ කාර් එක විකුණලා ණය ගෙව්වා. ලේකම්තුමිය කීවා සර්ට පර්මිට් එක ගැන මතක් කරන්න කියලා. තිස්ස කියනවා කාර් ගන්න කලින් මට මගේ වැඩ ඉවර කරන්න තියෙනවා කියලා. අන්තිමට කොහොම හරි අස්සන් කළේම නැහැ. මාසෙකින් පර්මිට් එක කැන්සල් වුණා. අන්තිමට අයින් වෙද්දි අපට කාර් එකකුත් නැහැ. කැබ්වල තමයි ගමන් බිමන්. මම පත්තරවල ටෙන්ඩර් එකක් බලලා ගත්ත සල්ලි 

වගයක් ෆික්ස් ඩිපොසිට් දාලා ලීස් කරලා උප්පරවැට්ටියක් දාලා ගත්ත කාර් එක තමයි අදටත් තියෙන්නේ. පුතා අහන්නේ ඒකයි ඒ වගේ ගේකුත් ගන්න බැරි වුණේ අැයි කියලා. ඉතින් මට මොළේ පැදුණේ පස්සෙනේ. ළමයින්ගේ වැඩ, ගෙදර වියහියදම්, බිල් ගෙවන්න ඕනා, ගෙවල් කුලී ගෙවන්න ඕනා."

"අැයි ගෙවල් කුලී"

"එයා හැදුවේ ටෙලි නාට්‍ය මිස ගෙවල් නෙවෙයිනේ. අපි හැමදාම හිටියේ කුලියට. අපේම ගෙයක් හදන්න කියලා ආසාවක් තිබුණා. ඒත් කොහොමද කරන්නේ. වනසරණ ටෙලි නාට්‍යයෙන් ලාභයක් තිබුණා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම දාලා අර අතරමඟ නැවතුණු පිටගංකාරයෝ ඉවර කළා. එතකොට අපට සතයක්වත් ඉතිරි නැහැ. ටෙලි නාට්‍ය පිටපත් ලියනවා. හම්බෙන ගාණෙන් කීයක් හරි ගෙදර වියදමට කියලා මට දෙනවා. ඉතිරි ඔක්කොම බැංකුවලට ණය ගෙවනවා. මැරෙන්න අවුරුදු හතරකට කලින්නේ ඔය ණය ඉවරවුණේ. එදා මට කිව්වා මට දැන් සැනසිල්ලේ මැරෙන්න පුළුවන් අපි කාටවත් ණය නැනේ කියලා. ඉස්පිරිතාලේ ඉද්දිත් ඒකම කීවා. ඒත් මැරෙන්න තරම් අමාරුවක් එයාට තිබුණේ නැනේ."

"ඒක තමයි. මොකක්ද අැත්තට ඒ වුණේ?"

"එයා ස්කෑන්වලට බයයි. ඉස්පිරිතාලෙට අැවිදගෙන ගිහින් චෙකප්ස් වගයක් කළා. මම ගෙදර ආවේ එක්කන් එන්න අැඳුම් ගෙනියන්න. ෆ්‍රෙෂ් ෆ්ලවර්ස්වලට හරි ආසා නිසා මම මල් වාස් එකට දාලා. ආප්ප කන්න ආසා නිසා අැඹුල්තියල් හදලා ලුණුමිරිස් එක්ක ආප්ප කන්න ලැස්ති කරලා ඔක්කොම කරලා ගියේ ඉස්පිරිතාලෙට. යද්දි අැඳ හිස්. මම නර්සස්ලට කීවා කෝ සර් නැනේ කියලා. ඒ ගොල්ලො මට පෙන්නුවා නැ මැඩම් අර කියලා. බලද්දි කොට් එකක් වගේ අැඳක දාලා. මම ළඟට ගියාම අමාරුවෙන් කීවා 'චූට්ටි,එක පැත්තක් පණ නැ වගේ' කියලා. මුද්ද ගලවලා දුන්නා. මාව පැරලයිස් වෙයිද කියලා අැහුවා. මගේ හිත අැතුළින් කඩා වැටිලා. ඒත් මම පෙන්නුවේ නැහැ. මම කීවා බය වෙන්න එපා ඔයාට එහෙම වෙන්නේ නැ. අද තියෙන තාක්ෂණය දියුණුයි කියලා. ඔළුව පුපුරන්න කැක්කුමයි කීවා. එයා ගියෙත් ඔළුවෙ කැක්කුමට. ඒත් දොස්තරලා බැලුවේ හාට් ප්‍රොබ්ලම් එකක්ද කියලා. චූටි ලේ කැටි දෙකක් තියෙනවා කීවාම. බයිපාස් එකක් කරමු ඒක ලේසීයි කියලා මෙයා කීව නිසා මම ඒකටත් සල්ලි බැන්දා. ස්නායු වෛද්‍යවරයා කීවලු කෙස් ගහක් විතර ඉදිමුමක් තියෙනවා කියලා. එහෙනම් මගෙ ඔළුව පලන්නත් වෙයි නේද අැහුවලු. ඒ අතර තමයි එම් ආර් 

අයි එකක් කරලා තියෙන්නේ. ඒකට බය වෙලා බැහැම කීවත් ඒක කරලා. ඒ බයට තමයි අසිහිය වෙලා දවස් අටක් හිටියේ. යන්ඩ තියෙන වෙලාව ආවාම අපි යන්ඩම ඕනා."

අැගේ නහයට එන්නේ බර ගතියකි. හඬ තරමක් බිඳීයයි. උගුරේ යමක් සිරවූවා වැනිය. එහෙත් එය මැඩ ගනිමින් පවසයි.

"මම ෆාදර්ස්ලා ගෙන්නුවා. හාමුදුරුවරු ගෙන්නුවා. බෙල්ලන්විල හාමුදුරුවො පවා ආවානේ. ඒ දෙන්නා පොඩිකාලේ සෙල්ලම් කරපු යාළුවෝ. ඒවා ගැන තමයි කතා කරලා තිබුණේ. පාර්ලිමේන්තුව ගැන පොතක් ලියන්න බාර අරන් තිබුණා පාර්ලිමන්ට් ඔෆ් ශ්‍රී ලංකා කියලා. ඒක දෙන්න තිබුණු දවස ටිකක් පරක්කු වුණා. ඒ නිසා ඔය ඔළුව කැක්කුම ගැන දොස්තරලාට දාපු එපොයින්මන්ට්ස් තුනක්ම අතැරියා මහන්සියි කියලා. නියපොත්තෙන් කඩන්න තිබුණ දේ තමයි අන්තිමට බලන්න වෙච්ච දේ. විජමු ලොකුබණ්ඩාර පොත අරන් කීවලු කැම ටිකක් කාලා යමු කියලා. අද බැ පස්සේ දවසක එන්නම්කො කියලා ගියා ගියාමයි කියලා හරියට විජමු දුක් වුණා."

මට අතුරු පැනයකි."කන්න එහෙම කැමති දේවල් දන්නවාද?"

අැය රහසින් මෙන් කියයි. "කරවලවලට හරිම ආසයි. මගේ පුතත් අදටත් ආසයි. වෛවාරන්න කැමවලට වඩා පොළොස් කොස් වගේ දේවල් තමයි ආසා. මුල් දවස්වල අපි ඒවා හැදුවෙත් නැ. මට හොඳට ආප්ප හදන්න පුළුවන්. ඒත් මම ඒ තාච්චි දෙකම දීලා දැම්මා. අවුරුදු නවයකට විතර පස්සේ මේ ගෙදරට ආවාමයි ළමයින් පවුනේ කියලා ආයේ හැදුවේ. ඒත් ඒ වෙලාවටත් අපි කතා වෙනවා අප්පච්චි හිටියනම් හරි ආසාවෙන් කයි නේද කියලා. මොකද එදා මම ලැස්ති කළාට එයාට කන්න හම්බුණේ නැනේ. එයා නැති වුණ වෙලාවෙ මට මුකුත් නොදැනී ගියා. මම දුවගෙන අැවිත් මුළු ගේම අස්පස් කරලා ඔක්කොම ලැස්ති කළා. අඬ අඬ හිටියේ නැ. මට ශක්තියක් ආවා දැන් මම මේ බර කොහොම හරි කර ගහන්න ඕනා කියලා. අන්තිම මොහොතේ බට ටික ඔක්කොම ගලවන්න කියලා. ඔක්කෝටම යන්න කියලා අප්පච්චිත් එක්ක චුට්ටක් මට තනි වෙන්න උවමනාව හරියට තිබුණා. ඒත් බැරි වුණා. සීයක් විතර වට කරගෙනනෙ. ඒ නිසා වෙන්නැති මාස තුනක් විතරම මම හීනෙන් දකිනවා එයා වැටෙන්න යද්දි මම අතින් අදිනවා. එයා කියනවා ඔයාට අදින්න බැ අතාරින්න කියලා. මම ඒ මොහොතට යන්න කැමති නැහැ ආයේ. මම තනි වුණාම පපුව එළියට එන තරම් හයියෙන් කැගහලා අැඬුවා. එත් දැන් මට තිබෙන රාජකාරි එක්ක එහෙමවත් වෙලාවක් නැහැ. අැත්තම කීවොත් රාජකාරියේ ලොකු වෙනසකුත් නැහැ. මොකද එයා ඉන්න කාලෙත් ගෙදර වැඩ බහුතරයක් ඉටු වුණේ මගේ අතින්. බිල්ගෙව්වේ, ටැක්ස් හැදුවේ, එයාගේ අැඳුම් ලැස්ති කළේ මම. දැන් අමතරව තියෙන්නේ මුදල් හම්බකරන රාජකාරිය තමයි. එත් මට ස්වාමි පුරුෂයා නැති වුණා." අැය නොදැනුවත්වම මුද්දට අත යයි. මම එදෙස නොබලා අසමි.

"ඒක ඉතින් හිතේ හැමදාම තියෙනවා නේද?"

"හිතේ නෙවෙයි මගේ මුළු ජීවිතේ හැමදාම ඉන්නවා. මට තේරෙනවා. මට දැනෙන දෙයක් තමයි ඒ ආත්මය තාම මාව අතහැරලා නැ වගේ හැඟීමක් මට දැනෙනවා. ඔයා කියන්නේ නැතිවෙලා මාසෙකට විතර පස්සේ මගේ නංගිගෙ මහත්තයා ආවා. එයා ක්‍රිස්ටියන් පාස්ටර් කෙනෙක්. ක්‍රිස්තියානි ආගමේ මැරුණට පස්සේ ආත්ම ගැන එහෙම කොහෙවත් නැ. ඉතින් දවසක් එයා ගියා ස්ටඩිරූම් එකට. ගිහින් අැවිත් මට කිව්වා හරි අමුතුයි. ඒ රූම් එකේ ප්‍රසන්ස් එකක් තියෙනවා වගේ දැනෙනවා. තිස්ස අයියා තාම ඉන්නවාද කොහෙද? දාලා ගිහින් නැනේද තාම කියලා."

"එයාට විතරද එහෙම දැනුණේ?"

"නැ. අපිටත් එහෙම දැනුණු අවස්ථා කීපයක් තිබුණා. දවසක් මමයි පුතයි දෙන්නා ලයිබ්‍රරි එකේ පොඩි කතාවක් අැති වුණා. එයා කියපු එහෙකට මට තරහ ගිහින් එක පාරට මම අැහුවා ඔයා කාගේ පුතාද කියලා. කිසිම හේතුවක් නැතුව එතන තිබුණු බර සම්මානයක් දඩාං ගාලා බිම වැටුණා. පුතා ඒ දිහා බලලා මට කියනවා දන්නවානේ දැන් කාගේ පුතාද කියලා සද්ද කරපු එක්කෙනාගේ පුතා තමයි කියලා. තවත් සැරයක් මම එයා අකමැති කෙනකුගේ ගෙදර ගිහින් එතනදි හිත රිදෙන වැඩකුත් වුණා. මම දුවට කිය කිය හිටියා අප්පච්චි මට කී සැරයක් කියලා තියෙනවාද එහෙ යන්න එපා කියලා මම කියන දේ අැහුවේ නැනේ කියලා. ඉතින් ඔයාට මතකයිනේ අපේ රාජගිරියෙ ගෙදර පඩිපෙළ. එතන ඔය කබඩ් එක තියලා මිස්ට අබේසේකරගේ පින්තූරයක් තියලා තිබුණේ. ඒක කවදාවත් හුළඟකට හෙළවිලාවත් නැ. එදා අර පඩිපෙළ දිගේ දඩ දඩ දඩ ගාලා පෙරළිලා ගිහින් හරියට පොළොවෙ ගැහුවා වගේ උඩ අතට ඉන්න බිඳුණනේ. දුව කීවා අම්මා විශ්වාස කරන එකකුත් නැ කියලා. ඉතින් අපි කතා වුණා අප්පච්චි අකමැති දේවල් කරද්දි අපට දෙන සලකුණු තමයි ඒ කියලා. අනෙක අපට මිලමුදල්, ඉන්න තැනක් තියලා ගියේ නැති වුණාට දරුවො දෙන්නට ඉගෙන ගන්නයි, අපට මේ විදිහට ඉන්නයි කොහොම හරි පුළුවන් වුණානේ."

අැය අසල තිබූ මංගල ඡායාරූපය ගෙන එහි දූලි අංශූ අැඟිලි තුඩු අගින් තල්ලු කරයි.

"අපි මේ ඊයෙ පෙරේදාත් කතා වුණේ, මගේ දුව හැමතිස්සෙම එයා ආදරය කරන අය හොය හොය ඉන්නවා. ඒ පාර මම කීවා පුතේ අපි ආදරේ කරන අය ඕන තරම් අපට හොයා ගන්න පුළුවන් ඒත් අපට ආදරේ කරන කෙනෙක් හොයාගන්න අමාරුයි. මම කැමති අය ඕන තරම් මටත් හොයා ගන්න තිබුණා. ඒත් මට අප්පච්චි වගේ ආදරේ කරන කෙනෙක් හම්බෙන්නේ නැහැ කියලා."

හොඳ කරුණකි. හේතුව දැනගත යුතුමය. "ඒ මොකද එහෙම කියන්න විශේෂය?"

"මම විවාහයට ඉස්සෙල්ලා එහෙම ආදරයක් අැතිවෙලා නෙවෙයි බැන්දෙ. මට දැන් ඒක කියන්න පුළුවන් මොකද තරහ වෙන්න කෙනෙක් නැනේ. අපිට අවබෝධයක්, විශ්වාසයක් තිබුණා. ඒත් ඒ පැත්තෙන් ආපු තරම් ආදරයක් මගෙන් තිබුණෙ නැහැ. හේතුව මම කොන්වන්ට් ගිය නිසා අතින් අැල්ලුවත් කසාද බඳින්නම ඕනා කියන මතයෙ තමයි හිටියේ. ඒකත් මේ තාප්පෙට උඩින් ලියුමක් දෙන්න ගිහින්. ඒත් මගේ ප්‍රථම ප්‍රේමය ගැන දැඩි බැඳීමක් මට තිබුණා. ඒ සම්බන්ධය කැඩුනට පස්සේ එහෙන් මෙහෙන් ආපු අය හිටියත් ඒ අය යාළු කමට එහා තලයකට යනවා කියලා දැනුණම මම කිසිම හේතුවක් නැතුව අයින් කරලා දානවා. මගේ දුවටත් ඒ ලෙඩේ තියෙනවා. ඔහොම ඉඳලා තමයි මිස්ට අබේසේකර මගෙන් අැහුවේ බඳින්න කැමතියි කියලා. ඒ වෙලාවේ මම මගේ ෆර්ස්ට් ලව් එක ගැනත් කියලා කීවා කසාද බඳින්න නම් පුළුවන්. ඒත් ආදරේ කරනවා කියලා පොරොන්දු වෙන්න බැ කියලා."

"හිත රිදුණේ නැද්ද ඒ කතාවට?"

"නැ. මම ඉතින් කසාද දෙකක් බැඳලා ළමයි ඉන්න මිනිහෙක්නේ ඔයා දෙන දෙයක් අරගෙන ඔයාව බාරගන්න තමයි වෙන්නේ කියලා. හැබැයි ඉතින් මගේ ජීවිතේ ඒ බැඳුණ ආදරය මටම පුදුමයි. අපි බැඳලා අවුරුදු තිහක් ගිහිල්ලත් කාටවත් කියන්න බැ එච්චර කල් කියලා. ළමයි දෙන්නා කියනවා අම්මට ඉන්නේ අප්පච්චි විතරයි නේද? කියලා. මොකද එයාලා ඉස්කෝලෙ ඉඳන් ආවාම කන්න බොන්න දීලා හෝම්වර්ක් බලලා අප්පච්චිට කෝපි එකයි සැන්ඩ්විච් එකයි අරගෙන යනවා කීවාම, ළමයි කියනවා අම්මා ඉතින් ගියොත් ගියාම තමයි කියලා. අැත්ත. මොකද අපි දෙන්නා හරියට කතා කරනවා අනේ."

"කොහොමද අප්පේ ඒ කතාවට මුල පිරුණේ?" මගේ උනන්දුව අප්‍රමාණය.

"මාව හරියට අයිති කරගන්න හදනවා. මට නොදැනුණාට අනෙක් අයට දැනිලා තියෙනවා. ඔන්න කරුමක්කාරයෝ අැක්ට් කරද්දි මගෙයි විජේගෙයි (විජය කුමාරණතුංග) ඉඹගන්න සීන් එකක් තිබුණා. විජේ කීවා අද දවසටම අසංකා මේ සීන් එක විතරයි ෂූට් කරන්නේ කියලා. මට තේරුණේ නැහැ. මම කීවා නැහැ තව සීන්ස් ගොඩක් තියෙනවානේ කියලා. විජේ හිනාවෙලා කීවා ඔව් මම දන්නවා ඒ වුණාට කිස් කරගන්න සීන් එක ටේක්ස් ගොඩක් යන්න වෙනවානේ කියලා. මම දැන් හොඳටම බය වෙලා වෙව්ලනවා. මට රඟපාගන්නත් බැ වගේ. මම හිමින් විජේට කීවා අපි මේක වන් ටේක් එකෙන් කරමුද කියලා. විජේ අනෙක් අය දිහා බලලා කියනවා ඒවා බැ නංගි එක සැරෙන් කීයටවත් ඉවර කරන්නේ නැ. කවුද ඔය චාන්ස් එක අතහරින්නේ කියලා. අනේ ඔයා විශ්වාස කරන්න තිස්ස සීන් එක ගන්න එනකොට අපි ඉන්න ඕන තැන් කියනවා. විජය අසංකා මෙතන ඉන්නවා ඔයා මෙතනට අැවිත් අසංකාව අැදලා ඉඹින්න හදන්න. 

එතකොට අසංකා ඔයා විජේගේ පපුවට අත්දෙක තියලා තල්ලු කරලා දාන්න. අම්මේ ඔන්න මටත් ආයේ රඟපාන්න පුළුවන් කියලා හිතුණා. ඉතින් ඉඹිලි නැ. අපි වන් ටේක් එකෙන්ම සීන් එක ඉවර කළා. විජේ අහනවා නංගි මාව ඉඹින්න බැ කියලා මිස්ට අබේසේකරට කිව්වද? මම ඉතින් දිවුර දිවුර කියනවා අනේ එහෙම දෙයක් මම කීවේ නැ කියලා. හැබැයි මම විජේව පේනකොට එහා පැත්තෙන් මාරු වෙනවා. අැදලා ඉම්බොත් මොන දෙයියන්ට කියන්නද? ගීතා (කුමාරසිංහ) හරියට උදව් කළා ඒ දවස්වල මට. මම ගීතගේ අත අල්ලගත්ත ගමන්මයි. මොකද ඒ දෙන්නා තරහයි එතකොට." මේ මොහොතේ වූවක් සේ ඒ සිදුවීමේ සතුට සමරා මතු වූ අැගේ උස් සිනාව සාලය පුරා පැතිරී අපටද බෝ විය.

"තවත් වතාවක මහවැලියට කළ වාර්තා චිත්‍රපටයක තිබුණා නීල් අලස්ටයි මටයි පෝරුවේ නැඟලා අතපැන් වත්කරන සීන් එකක්. නීල් අලස්ට කලින් මෙයා පෝරුවට නැඟලා හරියට හිටගෙන මගේ අත අල්ලගෙන ඒ චාරිත්‍ර කරලා පෙන්වනවා. ඒත් මට තේරුණේ නැහැ. ඩිරෙක්ටර්ස්ලා එහෙම වෙන්නැති කියලයි මම හිතුවෙ. ඔය ඩොකියුමන්ට්‍රියේ කැමරාමන් සුද්දෙක්. අවුරුදු විසි ගාණක. එයා මට අැත්තටම මට ලයින් දැම්මා. මම අඳින ගවුම්වල රෙදි කැලිවලින් කලිසමේ පැචස් දාගෙන මට පෙන්වනවා. මම කීවා මේකට පිස්සුද කොහෙද කියලා. සපෝට් එක ඉල්ලලා තියෙන්නේ මිස්ට අබේසේකරගෙන්. මොකද මම 'අංකල්' කියලානේ මුලින්ම මිස්ට අබේසේකරට කතා කළේ. මට වඩා අවුරුදු 16ක් වැඩිමල්නේ ඉතින්. සුද්දා අැහුවලු නැදැයො නේද කියලා.

අවුරුදු තිහක්ම හිටියනේ ඉතින්. විවාහ දෙකක් අසාර්ථක වෙච්ච මනුස්සයකුට එච්චර කාලයක් එක ගැහැනියක් එක්ක ඉන්න පුළුවන් වුණ එකත් ලොකු දෙයක්. පළමු විවාහය අවුරුදු හතරයි. ඒ ලොකු දුව මට වඩා අවුරුදු දහයක් විතර තමයි බාල. මට අක්කේ කියන්නේ. ඒ අය බන්දලා දුන්නේ පවා මම. දෙවැනි විවාහය තිබුණේ අවුරුදු අටයි. දෙවෙනි දුව පෝරුවෙදි දෙන රෙදි කච්චිය ඔළුවෙ තියාගෙන ගියෙත් මම. හැබැයි මට තේරුම්ගන්න බැරි දේ තමයි එයා පවුල් සංස්ථාව, කුටුම්භ සංරක්ෂණයට හරි ලැදි කෙනෙක් විදිහට කොහොමද මුල් ඒවා අසාර්ථක වුණේ කියන එක.

මම ගෙදරට හැමදේම කියන කෙනෙක්. අපෙ අම්මා හරි සැර නිසා මම තාත්තට තමයි මේ යෝජනාව ආවාම කීවේ. තාත්තා දුවලා ගිහින් මගේ කේන්දරේ බලපුවාම කීවලු ගොඩාක් වැඩිමල් කෙනෙක් තමයි බඳින්නේ මෙය පතාගෙන ආ එකක් විරුද්ධ වෙන්න නම් එපා හොඳින් හෝ නරකින් කවදා හරි කෙරෙන්නේ මේකමයි කියලා."

"ආගම් භේදය බලපැවෙ නැද්ද?"

"එයා උපතින් බෞද්ධ වුණාට යාළුවෝ කියන්නේ බෞතිස්ම නොවෙච්ච ක්‍රිස්තියානිකාරයෙක් තිස්ස කියලා. දරුවො දෙන්නම බෞතිස්ම කළා. ජෝසෆ් වාස් අවුරුදු 50 සංවත්සරයේ ප්‍රධාන දේශකයා වුණේ තිස්ස. ලෝකෙ පුරාම කතෝලික බිෂොප්වරුන් එක්ක කැම කන්න මටත් අවස්ථාව ලැබුණා එයා නිසා. මම හිතුවා උපතින් කතෝලිකයකු වන මට මගේ බෞද්ධ ස්වාමිපුරුෂයා නිසා මට මේ මෙසේ වාඩි වෙන්න ආශීර්වාද ලැබුවා. දෙවියන්ට මම ඒ වෙනුවෙන් ස්තුති කළා."

"අවසානයේ ආදරේ කරන්න ගත්තේ මොන ගුණයටද?"

"ඔහු තුළින් මම දුටුව ඉහ වහා යන මනුෂ්‍යත්වයට. අවංකත්වයට. ස්ත්‍රීන්ට කරන ගෞරවයට."

"උදව් කළාම?"

"මම ගොඩක් උදව් කළේ විරාගයට. කේන්ති ගිහින් බැනුම් අහපු අවස්ථා තිබෙනවා. ස්වාමි පුරුෂයකු ඉද්දි අපට තනිවම තීරණ ගන්න බැහැ. මම කරන්න හදපු කිසිම ව්‍යාපාරයකට තිස්ස මට ඉඩ දුන්නේ නැහැ. බොහෝ පිරිමි හිතනවා ඉන්න කන්න දුන්නාම අැති කියලා. ඒ වගේම මමත් කවදාවත් කිසිම අවශ්‍යතාවක් ඉල්ලා සිටියේ නැහැ. එහෙම වුණානම් අර නිර්මාණ කිසිවක් ඔහුගෙන් නොවන්න ඉඩ තිබුණා. අනෙක වත්සලා අක්කා කියන්නේ මම පත්තරේකට ලියපු කතාවක්. ඒක චිත්‍රපටයක් කරන්න තිර රචනා කළාම, තිස්සත් මමත් දෙන්නම පිටපත් දෙකක් ලියලා චිත්‍රපට සංස්ථාවට දුන්නා. මගේ පිටපත ඒ ශ්‍රේණියටත් තිස්සගෙ පිටපත බී ශ්‍රේණියටත් තමයි තේරුණේ. එදායින් පස්සේ මම තිර පිටපත් ලීවෙ නැහැ."

"දුව ඉපදෙන්න ආවාම?"

"එයා වැඩිය දරුවන්ට කැමති නැති බව මම දැනගෙන හිටියා. ඒත් මම හරිම ආසයි දරුවන්ට. මගේ යාළුවෝ මට කීවා තිස්සට එපා කීවට දරුවෝ ඉන්නවා. ඒත් ඔයා අඩු ගානේ එක දරුවෙක් හරි හදන්න ඕනා කියලා. රාධා ද මෙල් මට තරයේ අවවාද කළා. එතකොට තිස්ස කීවා ඔයා ගොඩක් කැමති නම් බබෙක් හදන්න කමක් නැ කියලා. ඒ කියලත් අවුරුදු තුනහතරකට පස්සේ තමයි දුව ආවේ. ඒක පාලනය වුණේ ඉබේම වගේ. ඒත් දුවට අවුරුදු හතරක් යද්දි මම ආයේ ප්‍රෙග්නන්ට්. මට බයේ බැ. සෝමලතා සුබසිංහ මගෙන් අැහුවා උඹට මේ ළමයා ඕනෙද එපාද කියලා. මට තීරණය කරන්න බැරි නිසා මම තිස්සට කීවා. එයා කීවා බැරි වෙලාවත් කොල්ලෙක් වුණොත් කියලා. මගේ පුතා හම්බෙච්ච වෙලාවේ ලෙස්ටර් පීරිස් කිව්වලු තිස්සට කරන්න බැරි වුණ දේ අසංකා කළා කියලා. තිස්සත් මට එක දවසක් කීවා මගේ කියලා දේකට මම ඉතුරු කරලා යන්නේ පුතා විතරයි කියලා. ඒ වුණාට දුවටත් ආදරෙයි. අප්පච්චි නැති වෙච්ච වෙලාවේ පුතා කතාවක් ලියලා තිබුණා. මම දුවට කීවා ටිකක් බලන්න කියලා. එයා බලලා කීවා අම්මා අප්පච්චි වගේම මල්ලි ලස්සනට ලියලා තියෙනවා කියලා. මටත් හිතුණා පුතා පිටිපස්සේ ඉඳන් එයාද ඒක ලියෙව්වේ කියලා. සුනිල් 

ආරියරත්නත් කියලා තිබුණා ඒ කතාව අහලා, දැනුයි හුස්ම ටිකක් ගන්න පුළුවන් වුණේ, තිස්ස තමන්ගේ ලකුණ තියලා ගිහින් තියෙනවා කියලා. මේ දෙන්නටම හොඳට ලියන්න පුළුවන්. හැබැයි මම ලියන්න කීවාම මට මේ නඩු වාර්තා කියවන්නයි ඕවා ලියන්නයි බැහැ කියනවා. දේශපාලනේට එන්නත් පුතාගෙ නම් අදහසක් තියෙනවා. හැබැයි මට, තිස්ස එක්ක ඉන්නවාට වඩා අමාරුයි මේ දෙන්නත් එක්ක ජීවත් වෙන්න. එච්චරට දේවල් හොයනවා. දන්නවා." මව් සෙනෙහස පිරුණු අැගේ දෙනුවන්වල අැත්තේ මහත් දයාවකි.

"ඉතින් පුතා දේශපාලනේ කරනවාට කැමතිද?"

"මේ කාලේ තමයි අලුත් පිරිසක් දේශපාලනේට හඳුන්වලා දෙන්න ඕනේ. මේ පල් හොරු දෙපැත්තේ ඉඳන් පාලනය රට කරනවා. පුතා මේ රටේ ඉන්නේ නැ කීවා දේශපාලනේට එන්න නොදුන්නොත්. මම කීවේ ලේ ගැවුණු ජවිපෙ වැඩ අමතක නොවුණු මිනිස්සු පිරිසක් තවමත් විඳවන නිසා ඒකෙන් නැතිව සමසමාජෙන් එන්න කියලා. අප්පච්චිත් කළ දේ නේ. කවුද මට කීවා නුගේගොඩ ලොකුම රැස්වීමට ආවේ තිස්ස මහත්තයාගේ කතාව අහන්න ඕන නිසා කියලා. එයාලා තමයි ඡන්දෙට නොආ සැබැ දේශපාලනඥයෝ. සත්‍ය වශයෙන්ම මහත්වරු. අසූව අග ඡන්දෙදි කෝට්ටෙන් තිස්සට ඉල්ලන්න කීවා. එතකොට විජේව මරලා. මෙයාවත් මරනවා කියලා තිබුණේ."

"ඒවාට ඔරොත්තු දුන්නේ?"

 

"බර්නාඩ් සොයිසා ගෙදරය කෝල් කරන වාරයක් පාසා මම කියන්නේ ගෙදර නැහැ කියලා. උදේ පහටත් නැ. රැ දොළහටත් නැහැ. දවසක් මම ගේට්ටුව අරින්න යද්දි එයාගේ වාහනේ අපේ ගේ අයිනේ නවත්තලා. මම හිමීට හැරිලා අැවිත් තිස්සට කීවා. ගෙදරට එන්න කියන්න කියලා තිස්ස කීවා. බර්නාඩ් සොයිසා අැවිත් කීවේ තිස්ස ඔයා ආනන්ද තිස්ස ද අල්විස්ට විරුද්ධ පැත්තෙන් තරග කරන්න ඕනා කියලා. මම බර්නාඩ් අංකල් ගාව දණගහගෙන කීවා 'අංකල් මට බබෙක් හම්බෙන්න ඉන්නවා' කියලා. එයාට දුක හිතිලා ගියා. පස්සෙ කාලෙක මට බොහෝ දෙනෙක් ස්තුති කළා මම තිස්සව දේශපාලනයෙන් වළක්වපු එක ගැන. තිස්ස අබේසේකර කියන මනුස්සයා දැවැන්තයෙක් වෙන්න ඉඩ අැරියේ අසංකාය කියලා. තිස්සත් මට කිව්වනේ අන්තිමට මම මාතු භාර්යාවක් කියලා. මේ වගේ පුද්ගලයෙක්ගෙන් එහෙම අහගන්න මටත් පිනක් තියෙන්න අැති."

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.