හොඳ දෙයක් වෙනවා නම් ඔහු හීනෙන් පේනවා

ලතා කේමදාස
දෙසැම්බර් 27, 2018

රාජගිරිය පාර රාජගිරිය දිගේ අප රැගත් වාහනය ඇදෙයි. කොහොඹ ගස තවමත් හුන් තැනමය. කහමල් ගස සුළඟේ මුසුව ඇති සංගීතය අමතක නොකළා වැනිය. අපි ගෙට ගොඩවුවත් සැටියේ සැපට නිදි කිටියාට වගේ වගක් නැත. බව්වන් හතරදෙනාම කුස්සිය පැත්තේ සිට වලිග වනා ආචාර සමාචාර කර ගෙතුළට වැදෙනු පෙනෙයි. මාස්ටර්ගේ සේයාරුවක් මෙන්ම ආලේඛ්‍ය සිතුවමක් දෙපස බිත්තිවල සිට අප දෙස බලා හිඳීයි. හාත්පස බලන අපට සෙටිසෙට් දෙක මැද මුල්ලේ බිම පරෙස්සමට සිටින කේමදාස මාස්ටර්ගේ අඹන ලද හිස පෙනෙයි. ලතා කේමදාස මහත්මිය ඉක්මන් අඩි තබමින් අප දෙසට එන්නී අසුන් දෙස අත දිගු කරමින් හිඳ ගැනීමට ආරාධනා කරන්නීය. අපි කෑම මේසයේ උස පුටු තෝරා ගනිමු.

මගේ පළමු ප්‍රශ්නයට අවස්ථාව පැමිණෙයි.

"කේමදාස මාස්ටර් වගේ කෙනකුගේ නෝනා වීම ගැන මොකද හිතෙන්නේ?"

පමාවකින් තොරව ඇය පිළිතුරු දෙයි. "හරි වටිනාකමක් දැනෙනවා හිතට. ලොකු ආඩම්බරයකුත් එනවා" ඇය කෙටි පිළිතුරු පමණක් සපයන්නියක බව පළමු මොහොතේම අවබෝධ වෙයි. එනිසා දිගින් දිගට පැන විචාරයට සිදුවනු ඇත. ඇය ඊළඟ පැනය තෙක් මදෙස බලා හිඳීයි. මම විමසමි.

"සාමාන්‍යයෙන් යුග පුරුෂයන් ගැන කතාකරද්දි ගෙදර කටයුතු කරන්න වෙලාව මදි වෙනවා කියලයි මෙච්චර කල් කතා කළ නෝනාවරු නම් කීවේ?"

"මං හිතන්නේ හුඟ දෙනකුට වඩා මෙයාගෙන් නම් ඒ දෙකම එක විදිහට ඉෂ්ට වුණා. ගෙදර යුතුකමුයි, වෘත්තියයි."

එය මෙතෙක් යුග පුරුෂයන්ට වෙනස් වූ කතාවකි. මගේ උනන්දුව වැඩි වෙයි.

"ඒ කිව්වේ?"

"ළමයින්ගේ වැඩයි, ගෙදරට අවශ්‍ය කනබොන දේවල් පවා ගේනනේ එයානේ. මට තනියම කඩේ, පොළේ යන්න දෙන්නේ නැ. ඒත් මං අහනව අපි ගේන්නෙ හොඳ කෑම නෙවෙයිද කියලත්. ඒකට හිනා වෙනවා මුකුත් කියන්නේ නැහැ. ඒ වගේම ඉතින් පුදුම විදිහට, හැමදේම ඉඟුරු කැල්ලේ ඉඳන් ඉවර වෙනකොටත් එයා දන්නවා. ඒ අඩුවැඩිය ආපහු ගෙනත් දානවා. අපට හොඳ අම්මේ කෙනෙකුත් හිටියා ආසාවෙන් උයන්න උදව් වෙන. අම්මෙත් කියන්නේ මහත්තයා ගැනු කෙනකුටත් වඩා හොඳට බඩු ටික තෝරගෙන එනවා කියලා. හොඳ කොලිටි දේවල් තමයි හොයන්නේ. මාර්කට් එකේ එළවලු අම්මෙලා එහෙම අඳුනගෙන ඉන්නෙ. පොළොස්, කොස්, ඉස්සො, දැල්ලො වගේ දේවල් තමයි රසට කන්න ආසා. උයන අම්මේ වයසක නිසා ලුණු ඇඹුල් එහෙම ටිකක් අඩු වුණත් එයා අහනවා මොකද මේ කෑම එකට අද ලුණු අඩු එහෙම කියලා."

"ඒ කියන්නෙ මාස්ටර් උයන්නත් උත්සාහ කරනවාද?"

"අපෝ නැ. එයා උයන පැත්තේවත් එන්නේ නැහැ"

"එහෙනම් ඉඟුරු කැල්ල පවා ඉවර බව දන්නේ?"

"අනේ මන්දා. මගෙන් කවදාවත් අඩුපාඩු අහන්නේ නැහැ. අපි කියන්නෙත් නැහැ. ඒත් එයා දන්නවා. ඒකත් එයාගේ සංගීතය වගේම තමයි. කොහොම දැනෙනවද මට තේරෙන්නේ නෑ. කොහොම හරි ඔය වැඩේ නිසා එයා නැති වෙද්දි මම කඩේක බඩුවල ගණන් හිලව්වත් දන්නේ නැහැ." ඇය සිනාසෙන්නේ පමණකටය. අප මෙන් කට බලියා එක මොහොතකටවත් සිනාසෙන්නේ නැත. කන්‍යාරාමයේ හුරු කළ තරම තවමත් එසේමදැයි වරෙක සිතේ. තව කතා බහ තිබේ එහිදීවත් බලමු.

"එච්චරද ගෙදර වැඩ කියන්නේ?"

"නෑ නෑ. කවුරු කොහොම ගෙදර හිටියත් එයා තමයි ළමයින් වෙලාවට ඉස්කෝලෙ දාන්නේ. රෙකෝඩින් එකක් තිබුණත් ඒක හරියට ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඉවර කරලා ළමයින් ගන්න ඉස්කෝලෙ ගේට්ටුව ගාවට යනවා. උගන්වන්න ඕනා කියලා තිබුණා හිතිවිල්ල ලොකුවටම. ළමයි පන්ති ගෙනිච්චෙත් එයා හරි මම හරි විතරමයි. අනෙක කවුරු හිටියත් රෑ 9 වෙද්දි නිදියනවා."

"ඈ.. එතකොට ඒ කාලේ යාළු මිත්‍රයෝ එහෙම ගෙදර ඉන්නේ නැද්ද 9න් පස්සේ?"

"ඉන්නවා. ඒගොල්ලෝ කනවා බොනවා. අනේ වෙනම පොතක් ලියන්න පුළුවන් යාළුවන්ගේ අස්සරේ ගැන. පතිරාජ, විජය, ලූෂන්, බර්ටි ගලහිටියාව, අර්ජුන මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක පවා නොවැරදිම මෙහෙ සෙට් වෙන කට්ටිය. ඉරිදට විස්සකට තිහකට කැම හදනවාමයි. සමහර දවසට බත් හැලි 4ක් උයනවා. නාමෙල් මාලනී එනවමයි. සමහර දාට අජන්තා (රණසිංහ) රැ 2ට විතර ඇවිත් කියනවා අනේ මොයිසක්කේ කැම කාලා නැ කියලා. ඉතින් අම්මේ කියනවා ඉන්න මහත්තයා මම විනාඩි දහයෙන් හදලා දෙන්නම් එතකල් ඔය බෝතල් කොටයක් හොයා ගන්නකො කියලා. මට දැන් අහන්න ලැබෙනවා ඔය ටෙලි නාට්‍ය කරන අය එහෙම කියනවා කට්ටිය එනකොට හරි කරදරයි කියලා. අපට නම් පුදුමයි එහෙම කියද්දි. අනේ අපට නම් කවදාවත් එහෙම හිතුණේ නැහැ. අපි හරි ආසාවෙන් ඒ අයට සැලකුවේ. පෝය දාට වැඩියෙන්ම කට්ටිය මෙහෙ. මොකද එදාට බෝතල් නැනේ. ඒත් මෙහෙ තියෙනවා. කොච්චර බෝතල්ද කිව්වොත් දුවට ටියුෂන් දෙන්න ආපු සර්ව උඩ තට්ටුවේ ලැස්ති කළා පහළ සද්ද වැඩි නිසා. ඒ කොරිඩෝර් දිගේ තිබුණු හිස් බෝතල් ගොඩ දැකලා ඒ සර් අහනවලු මෙහෙ වෙද මහත්තයෙක් ඉන්නවද කියලා. එයාගේ හිතේ අරිෂ්ඨ කියලා. (සුපුරුදු මද සිනාව) මෙයාට පොඩ්ඩ ගත්ත ගමන් කන්න ඕනා. ඊට පස්සේ නිදිමත. මමයි අම්මෙයි එකතු වෙලා ඒ අයට කැම හදලා දෙනවා. සාලේ පිරෙන්න යාළුවො. මම ඉතින් ඒවා අස්පස් කරලා නිදියන්න යන්නේ. හරියට පිරිසුදුව අස්පස් කරලා තියෙන්න ඕනෙ ගේ එහෙමත්. මෙයා 9 නිදියලා ආයෙ මහරැ දෙක තුන වෙද්දි ඇහැරෙනවා. ඒ වෙලාවට තමයි චිත්‍රපටවලට එහෙම මියුසික් දාන්නේ. ඒ වෙලාවට මම ඇහැරිලා කිරි කෝපි එකක් හදලා දීලා ආයෙ නිදා ගන්නවා"

"ඒක ටිකක් අමාරු වැඩක්නේ?"

"ඔව්. අමාරුයි තමයි. ඒත් බැඳලා ටික කාලයකදි පුරුදු වුණා. බැඳපු කාලේ ඉඳන්මත් ටිකක් වෙනස් චරිතයක්නේ. ඉතින් මගෙත් පුරුදු ගෙදරදි වගේ හරියන්නේ නැහැ."

"ටිකක් කේන්ති යනවා නේ?"

"කේන්ති යනවා තමයි හැබැයි ටික වෙලාවයි. අම්මෙ කියන්නෙත් මහත්තයා ඉතින් සෝඩා බෝතලේ වගේනේ කියලා. වැඩියෙන්ම කේන්ති යන්නේ අසාධාරණකම්වලට. ඒ වෙලාවට අපට හැසිරීමෙන් හොයන්න පුළුවන්. වැඩිය කතා නැ. හයියෙන් එහෙට මෙහෙට ඇවිදිනවා. අසාධාරණ විදිහට එයාට සම්මාන එහෙම නොලැබුණාම ඉන්නවා තරහෙන්. සම්මාන දිනලා ආවාම නම් සතුටින් ඉන්නෙ. මම ඒ මොහොකටවත් කතා කරන්න යන්නේ නැහැ. එක සැරයක් එච්.එම්. ජයවර්ධනයි මෙයයි සම්මානෙට නොමිනේට් වෙලා සම්මානේ ගියේ එච්.එම්ට. ඒත් එයා සම්මානේ ගන්න ගිහින් කීවා මට වඩා හොඳට සංගීතය කරලා තියෙන්නේ කේමදාස ඒ නිසා මේ සම්මානය අයිති එයාට කියලා. ඒත් ඉතින් විනිශ්චය මණ්ඩලයෙන් දීලා ඉවරයිනේ. මෙයා පුංචිකාලේ ඉඳන් තනියම පොත පත කියවලා තනියම ෆිල්ම්ස් බලලා මියුසික් අහලා ඉගන ගත්ත කෙනෙක්නේ. ඉතින් හරි මහන්සියෙන් තමයි මේ තත්ත්වෙට ආවේ. එහෙම වෙලා අසාධාරණකම් වෙනකොට කේන්ති යනවා තමයි ඉතින්."

"මම දැක්කා පොතක් තියෙනවා මාස්ටර්ගේ ගුරුවරයෙක් ගැන කියලා?"

"එක එක තරහ කාරයෝ විවේචනය කරන්න මොනවා හරි ලියපුවා වෙන්න ඇති" ඇයට බරපතළ ස්වරූපයක් ආරූඪ වෙයි. මම මාතෘකාව වෙනස් කරමි.

"ඔබ සංගීතය කළේ නැද්ද?" සුපුරුදු සිනාමුසු මුහුණින් කියයි.

"මම මියුසික්වලට කැමතියි. ඉගෙන ගෙන නැහැ. ඉස්කෝලෙ යන කාලේ උත්සවවලට එහෙම සින්දු කියලා තියෙනවා. අපි සින්දුවක් එහෙම අහද්දි සමහර ඒවා ගැන කතා බහ කරනවා. සමහර රාගධාරී සින්දුවල රාගය එහෙම කියන්න පුළුවන්. සමහර ඒවායේ බැහැ. මම ඉගෙන ගන්න ඇහුවා. එයා කීවා අපෝ අපෝ අපි දෙන්නම මෙතන සංගීතය කරන්න ගියොත් වෙන වැඩක් කෙරෙන්නේ නැති වෙයි කියලා."

"එහෙම කීවාම දුක හිතුණේ නැද්ද?"

"නෑ. කොහොමත් මම ගායිකාවක් වෙන්න කැමැත්තෙන් හිටියෙ නැහැ. රස්සාවක් කරන්න කැමැත්තක් තිබුණෙත් නැහැ. අපේ අක්කලා ඒ දවස්වල රුපියල් දෙතුන්සීයේ පොඩි පඩිවලට ටීචර්ලා වෙලා හිටියා. මම පොඩි කාලේ ඉඳලම කීවේ එහෙම රස්සාවල් මට එපා කියලා. අපේ තාත්තා වැවිලිකරුවෙක්. සංගීතයට කැමතියි. ඒ නිසා යාළුවොත් එක්ක එහෙම සින්දු කියනවා. අපේ ගෙදරත් සර්පිනා, බටනළා, වයලින් එහෙම තිබුණා. මෙයා දූලා දෙන්නටත් සංගීතය හොඳට ඉගැන්නුවා. ඒත් කවදාවත් එයාගේ වැඩවලදි සින්දු කියන්න එහෙම ගත්තේ නැහැ. එයා කීවෙම මගේ දූලා සංගීතය හොඳට හදාරලා තියෙන්න ඕනා, දැනුම ලබාගෙන ඉන්න ඕනා කියලයි. ලොකු දුව නම් සමහර ඒවායේ ප්ලේ කළා. ඒත් සින්දු කීවේ නැහැ. එයා කම්පියුටර් ඉංජිනියර් කෙනෙක් හැටියට දැන් පිටරට වැඩ කරන්නේ. පොඩි දුව තමයි කේමදාස පදනම කරගෙන යන්නෙ. දෙන්නම තාත්තා කීවා වගේ සංගීතය හොඳට හදාරලා තියෙන්නේ."

"මාස්ටර් දන්නේ පොඩි කාලේ ඉඳන්මද?"

"අඳුන ගත්තේ ඉස්කෝලෙ යන කාලේ. මගේ අය්යත් පාණදුර සෙන් ජෝන්ස්නෙ. අය්යට හිටියා බටනළා එහෙම ගහන යාළුවෙක්. මම ඉගෙන ගත්ත කොන්වන්ට් එකේ වැඩවලට පියානෝ ගහන්න එහෙමත් ඒ යාළුවා එනවා. මට හිතුණා මෙයාට නම් මොකක් හරි හැකියාවක් තියෙන කෙනෙක් කියලා. අපි ඉතින් අඳුනගෙන හිටියේ. මෙයාට ඉස්කෝලෙන් අසාධාරණයක් වුණා. හයේ පන්තියෙදි ඩබල් ප්‍රොමෝෂන් හම්බෙලා මෙයයි තව ළමයි පස්දෙනකුටයි. පළමුවෙනියාටයි හයවෙනියාටයි ඒක දීලා මේ හතරදෙනාට දීලා නැහැ. මෙයා ප්‍රින්සිපල්ගෙන් ඒ ගැන අහන්න ගියාම ප්‍රින්සිපල් මෙයාට බැනලා වේවැලෙන් ගහලා. ඉගෙන ගෙන වැඩක් නැහැ කියලා අතේ තිබුණු ශත 15න් ෆ්ලූට් එකකුත් අරගෙන ගෙදර ගිහින්. එතනින් ඉස්කොලෙ ගමන එපා වුණත් ඕලෙවල් වෙනකල් කොහොම හරි ගියා. ගෙදර අය ඒ බටනළා පළලා ලිපට දානවලු කේන්තියට. මෙයා ආපහු ශත පහළොවක් එකතු කරලා එකක් ගන්නවලු. එහෙම තමයි සංගීතය කරලා තියෙන්නෙ. හරියටම ඕ ලෙවල් දවසෙ මෙයාට ගුවන්විදුලියේ වැඩසටහනකට සහභාගී වෙන්නත් තිබුණා. මෙයා ඒකට ගියා. එතනින් එහාට ඉස්කෝලෙ ගියේ නැහැ. ඒ වෙද්දිත් මෙයා කැලෑමල්, බැරි සිල්, නව නළු රසය වගේ ගීත නාටක කරන්න පටන්ගෙන. අය්යාගේ යාළුවෙක්ගෙ වැඩක් නිසා අම්මලා එක්ක තමයි මමත් ඒවා බලන්න ගියේ. ඒ අතර අපි බඳීමු කියලත් හිතලා තිබුණා. 50-60 කාලේ මියුසික් කරන අයට හොඳ තැනක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ ගෙදර විතරක් නෙවෙයි ඒගොල්ලන්ගේ ගෙදරිනුත් කසාදයක් කරනවාට කැමති වුණේ නැහැ. මොකද මුදල් අතින් එච්චර සාර්ථක නැති නිසා. අපේ අම්මලාට ඕන වුණේ ගෙවල් දොරවල්, ඉඩකඩම්. මට ඒ කිසි දෙයක් ඕන කියලා හිතුණේ නැහැ. අපේ අක්කා ඒ වෙද්දි බැඳලා හිටියේ. ඒ අයියා අන්තිමට කීවා මම වෙන එකක් කරන පාටක් නැති නිසා මේකවත් කරලා දෙමු කියලා. තාත්තා කීවා ඕගොල්ලන්ට ඕන එකක් කියල. කැලෑමල් ගීතනාටකය බලලා තමයි කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා 'සැනසුම කොතැනද' චිත්‍රපටයට මෙයාට සංගීතය කරන්න කතා කළේ. අපි බැඳපු අවුරුද්දේ තමයි ඒ චිත්‍රපටය රිලීස් වුණේ. අපි බැන්දේ1966 දෙසැම්බර් 12. චිත්‍රපටියට මෙයාට ලැබුණේ රුපියල් 6000යි. අපි බැඳලා හිටියෙත් මාස්ටර්ගේ වාද්දුවේ මහ ගෙදර. දවසක් ලේඩීස් කොලේජ් එකේ වැඩක් ඉවර වෙලා මහ රැ අපිට ටැක්සියක එන්නවත් සල්ලි නැතුව පයින්ම ගෙදර ආවා. ඒ වගේ වෙලාවකවත් මට දුකක් දැනුණේ නැහැ. එවෙලට කළ යුතු දේ කළා. අපි අමාරුවෙන් ආව ගමණක් තමයි මේක. හැබැයි මට විශ්වාසයක් තිබුණා කවදා හරි හරියයි කියලා."

"අද මොකද හිතෙන්නේ ඒ තීරණේ ගැන?"

"මම ඇත්තටම හිතනවා අදටත් මම කොහොම කැමති වුණාද මාස්ටර්ට කියලා. පස්සේ කාලෙක හිතුණා එදා මම මුකුත් නොහිතා වුණත් ගත්තු තීරණය හරි කියලා. මාස්ටර්ගේ හිතේ ලොකූ කරුණාවන්තකමක් තියෙනවා. මොනවා වුණත් මගේ අම්මටත් හරිම ආදරෙන් සැලකුවා. අම්මා අපේ මඟුලට විරුද්ධ වුණෙත් නැනේ. මම ජීවිතේ බලාපොරොත්තු වුණ හැම දේම මාස්ටර් මට ලබා දුන්නා." ඇය මොහොතක් නිහඬව සිටියි. මම ඇයට වැඩිදුරක් යන්නට නොදී බාධා කරමි.

"මාස්ටර්ගෙ අම්මටත් හරි ආදරෙයි නේද?"

"අම්මේ... සිම්ෆනි එකකුත් කළානේ අම්මා වෙනුවෙන් 'මගේ කාලේ මවුනි' කියලා. අපි 1978 මැයි 01 ගියා අම්මා බලන්න. සිම්ෆනි එක තියෙන්නේ 02දා. මාස්ටර් කීවා අම්මේ හෙට උදේ මම කාර් එකක් එවනවා මගේ වැඩක් බලන්න එන්න අම්ම තමයි චීෆ් ගෙස්ට් කියලා. ලේඩීස් කොලෙජ් එකේ ෂෝ එකට ඔක්කොම ලැහැස්ති කරනවා අපි එදා ඉතින්. මට අල්ලපු ගෙදරින් කෝල් එකක් ආවා. අම්මා නැති වුණා කියලා. මම කොහොම කියන්නද මාස්ටර්ට ඒක. පස්සේ මම කෝල් එකක් දීලා කීවා ගෙදර පොඩි හදිසියක් ඉක්මන්ට එන්න කියලා. එයා ආවා. නොකියා කොහොමද? මම හීන් සැරේ කිව්වා. ඉතින් අපි ඒ කටයුතු ඔක්කොමත් ලැස්ති කළා. ටිකට් එහෙම විකුණලා ෂෝ එක කැන්සල් කරන්නත් බැනේ හවස ෂෝ එකත් කළා. එයා මට හැමදාම කියපු දෙයක් තමයි මම කෝල් කරල හදිසියක් කියද්දි එක පාරටම හිතුණලු අම්මට එහෙම වෙලාද දන්නෙ නැහැ කියලා. ඒ එක්කම පුංචි කාලේ අම්මා ළඟින් ආපු සුවඳ නිකං දැනුණා වගේ වුණාලු. හරියට දුක් වුණා ඒ වෙලාවේ. ඔක්කොම කටයුතු කළෙත් මෙයානෙ." ඇය යළිත් මතකයේ ගිලෙයි. එයින් මුදවා කතාවට ගත යුතුයි.

"මාස්ටර්ගේ නිර්මාණවල ගුණාගුණ කියන්න එහෙම පුළුවන් වුණාද?"

"අපෝ ඔව්. රොකෝඩින් එකක් කළාම ඒ දවස්වල තියෙන්නේ කැසට්නේ. ඒකත් අරන් එනවා. අපෙන් අහනවා කොහොමද කියලා. ඊට පස්සේ දූලට කියනවා මම මේ කොටසට මේ භාණ්ඩෙ දැම්මේ මේ හින්දා කියලා."

"හොඳ නැති මියුසික් එකක් ආවොත් කට්ටියම ඒක කියනවාද?"

"එහෙම උචිත නැහැ කියන්න එකක් කවදාවත් හදලා නැ. මට මතක විදිහට සරල ගීයක් හැදුවත් ඒක ලස්සනයි. අදටත් අහද්දි හිතෙනවා ඒවා කොච්චර ලස්සනද මේ අද අහන්න තියෙන ඒවා එක්ක එහෙම බැලුවාම."

"මාස්ටර් කවදා හරි කියලා තියෙනවාද අර සින්දුව නම් මම හිතපු විදිහට ආවේ නැ කියලා එහෙම?"

"කවදාවත් නැහැ. එයා හරි අමුතුයි. උදේ අරවෙලාවට නැඟිටලා මේ පියානෝ එක ගහලා. කොළ කැලිවල ලියලා ලියලා අන්තිමට ඒ ටික උණ්ඩි කරලා මේසේ උඩ දාලා හිස් අතින් රෙකෝඩින් එකට යනවා. එතනදි ගුණසේනට එහෙම කියනවාලු ඒ වෙලේ එයා කියන ටික ලියන්න කියලා. එහෙම තමයි සින්දුවකට වුණත් මියුසික් දාන්නේ."

"එහෙම සංගීතය කළ එක පාරටම ආසාවෙන් මතක්වෙන සින්දු එහෙම තියෙනවද?" ඇය පිබිදුණා සේ කියයි.

"සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා... අමරදේවගෙ. තව... කන්‍යාවී අමරසිරිගෙ. හැබැයි කන් තියෙන ඕන කෙනෙක් වගේම මමත් ආසම ගොළු හදවත මියුසික් එකට"

"අද ඒවා ඇහෙනකොට?"

"මේ වගේ හවස් වෙලාවට අපට කන්න මොනවා හරිත් අරගෙන එනවා මතක් වෙනවා. ඔක්තෝබර් 24ට අවුරුදු 10ක් වෙනවා එයා ගිහින්. තිස්ගණන්වල ඉඳන් සීනි තිබුණනේ. ඒ බෙහෙත්වලට තමයි වකුගඩු නරක් වෙලා තියෙන්නෙ. නිදිවරණවා, මහන්සි වෙනවා. ඔපරේෂන් එකෙන් පස්සේ ඩොක්ටර්ස්ලා කීවා වැඩිය මහන්සි වෙන්න එපා, අවුරුද්දටම එකක් වගේ වැඩ කරන්න කියලා. මාස්ටර් මගෙන් අහන්නේ අපිට වැඩ කරන්න බැරිනම් ජීවත්වෙන්නේ මොකටද කියලා. අන්තිමට අග්නි ඔපෙරා එකට අවුරුද්දක්ම මහන්සි වුණා. මම සමහර දාට නුවර හොස්පිට්ල් යද්දි එයාට හොරෙන් නවතින්න අවශ්‍ය බඩු මූට්ටු ඔක්කොම ඩිකියේ දාගෙන යන්නේ. අපට ගන්නෝරුවේ සර්කිට් බංග්ලෝ එක දීලා තිබුණානේ. ඉතින් මම හොරෙන් ඩොක්ටර්ට කියනවා නතර කරගන්න රෙස්ට් කරවන්න කියලා. ඩොක්ට කීවම නතර වෙන්න කියලා මාස්ටර් කියනවා අපි ලැස්තිවෙලා අවෙත් නැනේ වැඩත් තියෙනවා කියලා. එතකොටයි මම කියන්නේ නැ නැ ඕනදේවල් ගෙනත් තියෙන්නේ කියලා."

අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනා සමඟ කැමරා ශිල්පී සුදම් ගුණසිංහත් මමත් ප්‍රේමසිරි කේමදාස සංගීතඥයාගේ සුවදුක් 'සිළුමිණ' ට ලියන්නට නුවර ගිය මොහොත මට සිහිවෙයි. මගේ තාත්තා (සැම්සන් සිල්වා) සෙක්කුව සංගීතය සපයද්දී කේමදාස මහතා ඒකාධිපති සංගීතය සපයමින් රාජ්‍ය නාට්‍ය උලෙළේ තරගවැදුණු අයුරු පිළිබඳ රසකතා සිහිවෙයි. ජීවිතයේ තරගය යනු කුමක්ද? දෙදෙනාම අද අප අතර නැත. ඔවුන්ගේ මතක සුවඳ හා බැඳුණු නිර්මාණවල රසය පමණි අපට අකුරුබවට පරිවර්තනය කළ හැක්කේ. මගේ මතකයන්ගෙන් මිදුණේ ඇයගේ හැඟීම්බර හඩිනි.

"මම දවසක් දැක්කා එයාට ගහලා තිබුණු බටේක ලේ ඇවිත්. මට එදා හිතුණා. අපි බෝධි පූජා තිබ්බා. ඩොක්ටර්ස්ලා කීවා අපි තව පැය 24ක් බලමු කියලා. නර්ස් කීවා මැඩම් කතා කරන්න සර්ට හොඳට සිහිය තියෙනවා කියලා. ඒත් මම කරදර කරන්න ගියේ නැ. දුව කතා කළාම එක ඇහැක් විතරක් ඇරලා බැලුවා. අපට අයිසීයූ එකෙන් එළියට යන්න වුණා මාස්ටර්ව හෝදන්න ඕන කියලා. ඒත් දොස්තරලා හතරපස්දෙනා ඇතුළට යනවා එනවා. හවස හයාමාරට විතර තමයි ඒ ගොල්ලො කීවේ. මට නම් එකම එක සැරයයි ගිහින් බලන්න පුළුවන් වුණේ. මම අත අල්ලලා බැලුවා එතකොටත් හරි රස්නෙයි ඒ අත."

මෙතෙක් උපැස් යුවලින් දරා සිටි වේදනාව ඇය වමතේ දබරැඟිල්ලෙන් ඇස් කොණ පිසදා අපෙන් සඟවන්නට බලයි. එහෙත් දකුණු ඇස කොපුල දිගේ එය අපට හෙළි කරයි. ඇය කියයි.

"එයා මෝචරිවලට එහෙම හරි බයයි. ඒ නිසා අපි ඒ කටයුතු මෝචරියට නොදා කරන්න කියලා දොස්තරලාට කිව්වා. මට මතක් වුණේ මීට පස්සේ මොකද වෙන්නේ කියලායි. කටයුතුවලින් සතියකට විතර පස්සේ මානෙල් වීරමුණි මාව ඉන්දියාවේ එක්කගෙන ගිහින් තමයි සාංකාව ටිකක් අඩු කරන්න උත්සාහ කළේ.

එයා දුවලටමයි කැමති. කොල්ලො නම් ලොකු වුණාම බයිසිකල් කට්ටක් අරගෙන පාරෙ රස්තියාදු වෙන්න ගනී කිව්වා. ගැනු ළමයි නම් ගෙදර ඉඳීයි කීවා. අදටත් අපට මොකක් හරි හොඳ දෙයක් වෙන්න තියෙනවා නම් තුන්දෙනාටම තාත්තා හීනෙන් පෙනිලා කියනවා. පොඩි දුව අනූපා ඇමෙරිකන් ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වය හම්බෙන වෙලාවේ එයා හීනෙන් ඇවිත් දුවගේ අත අල්ලන් ලොකූ වතුරක් ළඟට ගිහින් කීවා එන්නකො මම මෙයාවත් එගොඩ කරලා දෙන්න කියලා. අපේ ඉතින් පව් පින් අනුව නේ සංසාරේ හමුවීම් වෙන්වීම් වෙන්නෙ."

කතාව නිමා කළ යුතුය. මම ඇය දෙස බලා සිටිමි. ගයත්‍රි පැමිණ මවගේ උරහිසට බර වෙයි.

"තහනම් කරපු සින්දුව ආයෙ රොකෝඩ් කළාලු නේද?"

"ඔව් දැන් ප්‍රශ්නයක් නැහැ." ගයත්‍රි මව දෙස බලා සිනාසෙයි.

"ලතා පෙරේරා, ලතා කේමදාස වුණ හැටිත් අපූරුයි" මම සිනාසෙමි.

"ලතා කේමදාස වුණා කියලා වෙනසක් නැහැ. මම ස්වාධීනයි" ඇයගේ සංවර සිනාව සමඟ අපට සමු දෙන ඇය කියයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.