මේ ප්‍රසංගය ඇරැඹුණේ මගේ සැමියාගේ ඉල්ලීම නිසයි

කාංචනමාලා මහවිතාන
දෙසැම්බර් 27, 2018

ප්‍රවීණ ගායිකාවක, රංගන ශිල්පිනියක මෙන්ම නර්තන ශිල්පිනියක ලෙසද කලා ක්ෂේත්‍රයේ ඇගයුමට ලක් වූ කාංචනමාලා මහවිතාන ඇගේ ‘කාංචනමාලා ලයිව් ඉන් කොන්සර්ට්’ ප්‍රසංගය මේ මස 28 වැනිදා සවස එනම්, හෙට මරදාන ටවර් රඟහලේදී පැවැත්වීමට නියමිතය. මේ සොඳුරු කලාකාරිණිය සමඟ පෙළ ගැහසන මේ කතාබහ වෙන්වනුයේ ඒ නිමිත්තෙනි.

මුලින්ම ඔබේ ප්‍රසංගයෙන්ම අපේ කතාබහ අරඹමු.

‘කාංචනමාලා ලයිව් ඉන් කොන්සර්ට්’ ප්‍රසංගය මේ වන විට වසරක් පාසා වාර දහසක් පමණ මම පවත්වා තිබෙනවා. මෙහි විශේෂෙත්වය තමයි ප්‍රවීණ කලාකරුවන්ට උපහාර පුදමින් ඒ අය අගය කරමින් චිත්‍රපට සංගීතය ඇසුරින් පැවැත්වීම. මෙයට කිසිදු ප්‍රවේශ පත්‍රයක් මම අලෙවි කරන්නේ නැහැ. ප්‍රවීණයන්ගේ වටිනා නිර්මාණ අපි අද ආසාවට ඒවා රස විඳීන්නට ගායනා කළත් ඒවා ඉතාම මහන්සියෙන් දැඩි කැපවීමෙන් ඔවුන් කළ නිර්මාණ. එවැනි නිර්මාණවලින් මම මුදල් අය කරලා එහෙම ප්‍රසංග පවත්වන්න කවදාවත් බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ ගීතවල රස බෙදා ගන්නට පමණක් ඒ ගීතවලට ආදරය කරන නිසා මම මේ ප්‍රසංගය වාර්ෂිකව පවත්වනවා. මෙය අපිට ගායන හැකියාව පවතින තාක්කල් කරන්න පුළුවන් දෙයක්.

ඔබ මෙවැනි ප්‍රසංගයක් පවත්වන්නට හිතුවේ ඇයි ?

ඇත්තටම, මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න කියන මූලික සංකල්පය මගේ හිතට ලබා දුන්නේ මගේ දිවංගත සැමියා සංගීතවේදී ස්ටැන්ලි ලියනගේ. මම ඉස්සර වඩාත් දක්ෂ වුණේ සංගීතයට වඩා නර්තනයට. ඒ අංශයෙන් විභාග පවා සමත් වූ කෙනෙක්. නර්තනය හදාරමින් වන්නම්, ජනකවි ඒ ඇසුරින් නිර්මාණ වේදිකාවේ සිට මම ගයන කොට නාඩගම් ගීත, නූර්ති ගීත ගායනකොට ඒවා අහගෙන හිටපු මගේ සැමියා තමයි කිව්වේ, ඔයා ගීත ගයන්නත් උත්සාහ කරන්න කියලා. ඒ අනුව තමයි මම ගායනයට යොමු වුණේ. ඔහුගේ චිත්‍රපට දෙකකත් මම ගීත ගායනා කරලා තිබෙනවා. ටෙලි නාට්‍ය කිහිපයකත් මම ගීත ගැයුවා. ඒ වගේම මගේ සැමියා රුක්මණී දේවි මහත්මියගේ සිට මෑත කාලයේ උරේෂා රවිහාරි දක්වා ගායිකාවන්ගේ යුගය දක්වාම සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කළා. ඔහු ෂෙල්ටන් ප්‍රේමරත්න, රොක්සාමි, මුත්තුසාමි වගේම සරත් දසනායක වැනි සංගීත අධ්‍යක්ෂවරුන්ගේ වාදක මණ්ඩලවල හිටපු සංගීතඥයෙක්. පසුකාලීනව ඔහු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙක් බවට පත් වෙනවා. එවිට තමයි ඔහු මට යෝජනා කරන්නේ අපි මෙහෙම ප්‍රසංගයක් පවත්වමු කියලා.

ඔබේ සැමියා ස්ටැන්ලි ලියනගේ ගැන කතා කළොත්?

එයාට හොඳ මතක ශක්තියක් තිබුණා. පැරණි සිනමාවේ ඕනම තැනක ඕනැම දෙයක් ගැන විග්‍රහ කරන්න පුළුවන්. ඒවා අලළා තමයි මුලින්ම අපි මේ ප්‍රසංගය පවත්වන්නට කටයුතු කළේ. දැනුත් ඒ විදියටම තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ. සියලුම ගීතවල ඉතිහාසය හොයා ගෙන ඒ ගැන ප්‍රසංගය නරඹන්නට එන ප්‍රේක්ෂකයන් මම දැනුම්වත් කරනවා.

ඔබට ප්‍රසංගයේදී සහය වන්නේ කවුරු ද ?

මෙවර සංගීතයෙන් දායක වන්නේ යුද හමුදා පෙරදිග තූර්ය වාදක මණ්ඩලයේ මේජර් සේනාධීර ඇතුලු පිරිස යි. එතකොට මගේ රංග වින්‍යාසය මගේ දියණිය චමත්කා ලියනගේ සමඟ නිර්මාණි රංග ආයතනය විසින් සිදු කරනවා. මෙහිදී යුග ගායනයෙන් මට සහය වෙන්නේ හිතවත් පුවත්පත් කලාවේදීන් වන සමන් ප්‍රියංකර, රමේෂ් උවයිස්, අයිටීඑන් ස්වර්ණ සම්මාන දිනූ තිස්ස ජයවර්ධන සහ ප්‍රවීණ නළු මයික් ප්‍රනාන්දු, ඩිලාන් විජේසිංහ, මගේ පුතා බුද්ධික සහන්, රෝහණ සිරිවර්ධන, රංග සොයිසා ඒ අතරේ සිටිනවා.

පූජා උමාශංකර් ඔබේ ප්‍රසංගයට එක්වෙනවා?

මම ගිය වසරේ ප්‍රසංගයට පූජා උමාශංකර් මගේ හිතවතියට ආරාධනා කළා. ඇය ඉන්දියාවේ යන්න ටිකට් බුක් කරලා පැයකට පෙර මගේ ප්‍රසංගය රසවින්ඳා. මෙවරත් ඇයට මම ආරාධනා කළා. ඇය මුළු ප්‍රසංගයම නිමාවන තුරු එය රසවිඳීන්න එන බව පැවසුවා. ඒ වගේම මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවත් මේ ප්‍රසංගයට මගේ ආරාධනයෙන් එකතු වෙනවා. මහාචාර්ය පැට්‍රික් රත්නායක වගේම මගේ සහෝදර කලා ශිල්පීන් රැසකුත් මේ ප්‍රසංගයට පැමිණීමට නියමිතයි.

ඔබ කලා ක්ෂේත්‍රයට එකතු වී කොපමණ කාලයක් ගත වෙලා ද ?

දැන් සෑහෙන කාලයක් වෙනවා. මම කුඩා කාලයේදී තමයි කලා ලොවට එකතු වුණේ. මම මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවක්. දැනට ලංකාවේ වැඩියෙන්ම කලා ශිල්පිනියන් බිහි වී තිබෙන එකම පාසල එය යි. ඒ පාසලේ එක පුරුකක් වන්නට ලැබීම මට භාග්‍යයක්. මමත් කලා ලොවට අත්පොත් තබන්නේ එතැනින් තමයි. එයට මූලික අඩිතාලම දමන්නේ පාසලෙන් සමුගත්තාට පසුව මම භරත නාට්‍යම් කලාව හැදෑරුවේ හරිදේවි ජයසුන්දර මහත්මිය යටතේ. ඉන් පසුව රැජිනි සෙල්වනායගම් මහත්මිය යටතේ මම උඩරට නර්තනය හැදෑරුවා. මේ කාලයේදී තමයි යෞවන සමාජ බිහි වෙන්නේ. ඒවායෙහි තරග තිබුණා. පළමුවන යෞවන සම්මාන උලෙළේ ලංකාවේ විශිෂ්ටතම නර්තන ශිල්පිනිය ලෙස සම්මාන ලබන්නේ මමයි. ඒ කාලේ දැන් කාලේ වගේ නෙවෙයි. ටවර් රඟහලේ පැවති නර්තන ප්‍රසංගයකදී මගේ හැකියාව දැකපු සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවා මාව ප්‍රසිද්ධ වේදිකාවට හඳුන්වා දුන්නා. ‘කිං කාලෝ’ වේදිකා නාට්‍යයෙන්. ඊට පසුව ටවර්හෝල් නූර්ති නාඩගම් වේදිකා නාට්‍යවල මම රංගනයෙන් දායක වුණා.

ඒ මතකය ගැන කතා කළොත්?

මට මතකයි සරසවිය පුවත්පතේ පළවුණා නාට්‍ය ගැන ලියවුණු පිටුවක්. ඒ පිටුවේ මගේ නම නැති දවසක් නැහැ. දැන් නම් වේදිකාවට එතරම් දායක නොවුණත් අමතක කරන්න බැරි අතීතයක් වේදිකාව සම්බන්ධයෙන් මට තිබුණා. දැනටත් අල්ලපු ගෙදර වේදිකා නාට්‍යයේ, රාමායණය නූර්තියේ මම රංගනයේ යෙදෙනවා.

ඔබගේ ටෙලි නාටය ජීවිතය?

ටෙලි නාටය ගත්තොත් මටමුලින්ම ඩී. බී නිහාල්සිංහයන් හඳුනා ගන්නට ලැබෙනවා. ඔහුගේ ‘රේඛා’ ටෙලි නාට්‍යයේ මම රංගනයේ යෙදෙනවා. එය ඔහුගේ දෙවන ටෙලි නාට්‍ය යි. එහිදී මට ලැබෙන්නේ ගායනයට දක්ෂ තරුණියකගේ චරිතයක්. ඊට පසුව අදටත් මම අවුරුද්දකට උපරිමව ටෙලි නාට්‍ය තුනකට හෝ දායක වෙනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.