මා ගයන්නේ සමාජයට පණිවිඩයක් දෙන ගීතයි

දෙසැම්බර් 27, 2018

සුපුන් චලින්ද

ආදරේ ගැන කියා දුන් ඔබ
ආදරෙන් සමුගෙන මෙසේ
ආයෙ කිසි දින විඳින්නට බැරි
පවන් රැල්ලක් සේ හමා ගියේ . . .

මේ දිනවල විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිතර දෙවේලේ ඇසෙන මේ ගී පද ඔබත් රසවිඳ ඇතිවාට කිසිදු සැකයක් නොමැත. ඉතා ආදරණීය, සිත් ගන්නාසුලු ගී හඬකින් අප දෙසවන් මෙන්ම සිත ද මොහොතකට දැහැන්ගත කරවන මේ ගීත ගායනය ඔබටත් මටත් සමීප කරවන්නේ නව පරපුරේ ගායකයකු විසිනි. ඔහු නමින් සුපුන් චලින්දයි. චලින්ද කලා ලොවට අමුත්තකු නොවූව ද ඔහුගේ නවතම ගීත නිසාම නැවුම් ගායකයකු ලෙස ඔහුගේ ගීත ගැන කතාබහ කරන්නට අද බොහොමයක් රසිකයින් කැමැත්තක් දක්වනු පෙනේ. ගීත ගායනය, රසික ආදරය මේ සියල්ල ගැනම කතාබහ කරන්නට වගේම ඔහුගේ නවතම කලා තොරතුරු ද අප සමඟ බෙදා හදා ගන්න චලින්ද පසුගිය දිනෙක සරසවියට ගොඩවැදුණා. .

ඔබ මේ දිනවල රසිකයයන් අතර කතාබහට ලක්වෙන ජනප්‍රිය ගායකයකු බවට පත් වෙලා මොකද හිතෙන්නේ?

ලොකු සතුටක් දැනෙනවා. ඉතාම කෙටි කාලයක් තුළදී මගේ හැකියාවන් නිසා වගේම ගීතවල තිබෙන ආදරණීය බව නිසාම රසිකයන් මා ගැයූ ගීත ඉතාම ඉක්මනින් වගේම ඉතාම ආදරයෙන්, ආසාවෙන් වැලඳ ගත්තා කියා මට සිතෙනවා. මේ වන විට මම ගීත හතරක් ගායනා කර තිබෙනවා. ඒවා මේ වන විට විද්‍යුත් මාධ්‍ය නාළිකාවලට ලබා දී ප්‍රචාරය වෙමින් පවතිනවා.

මේ ගීත මොන වගේ ගිත ද?

ඇත්තටම ප්‍රේම ගීත කිව්වොත් නිවැරැදියි. ආදරය කියන්නේ කාටත් අවශ්‍ය දෙයක්. ප්‍රේම ගීත වුණත් ඒවා විවිධත්වයෙන් යුතු තේමාවන් අනුව ලියවුණු ගීත. අර්ථාන්විත ගීත කිව්වොත් හරි. මේවායේ තිබෙන අරුත් බවත් රසිකයන් මා ගැයූ මේ ගීත ආදරයෙන් වැලඳගන්න හේතු වෙන්නට ඇති.

ඔබ කලා ක්ෂේත්‍රයට අත් පොත් තබන්නේ?

පොඩි කාලෙදිමයි. මම කුඩා කාලෙදි 'මෙලෙඩියන්ස්' සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් ලෙස කටයුතු කළා. ඒ කාලයේදී ගීත ගැයුමටත් හැකියාව තිබුණා. මේ විදිහට කලා කටයුතු සිදු කරගෙන යන අතරතුර මට විදේශගත වෙන්නට සිදු වුණා. ඉන් පසුව අවුරුදු 22 න් වගේ නැවත ලංකාවට ආවා. විදෙස් ගතවී සිටිද්දිත් මම සංගීතයෙන් දුරස් වුණේ නැහැ. එහිදිත් සංගීත කටයුතුවල නිරත වුණා. ලංකාවට ආවාට පසුව මම ගීත ගායනා කරලා ඒවා ගීත රසිකයනට තිළිණ කළා.

ඔබේ පළමු ගීත ගායනය ගැන කතා කරමු?

'ආදරේ ගැන කියා දුන් ඔබ' කියන ගීතය තමයි මම මුලින්ම ගායනා කළේ. ඒ ගිය වසරේදී. මේ ගීතය රචනා කළේ සරත් විමලසිරි. සංගීතවත් කළේ මහින්ද බණ්ඩාර. මේ වන විට මේ ගීතයට රූප රචනාවක් කරලා තිබෙනවා. එය ඕනෑම කෙනෙකු යූ ටියුබ් ඔස්සේ රස විඳින්නට පුළුවන්. මේ ගීතයට නොහිතපු ආකාරයට රසික ප්‍රතිචාර ලැබුණා. රසිකයන්ගෙන් නිබඳවම ලැබෙන ප්‍රතිචාර නිසාම මට දෙවැනි ගීතයත් නිර්මාණය කරන්නට හිතුණා. ඒ අනුව තමයි 'හොඳම කාලය ගෙවී ගිය පසු . . . සතුට නුඹ ඇවිදින් . . . ගීතය ගායනා කළේ. එය පද රචනය කළේ තනුජා දනන්සූරිය. සංගීතවත් කළේ නාලක අංජන කුමාර. මේ ගීතය ජාතික රූපවාහිනියේ 'සිත් ගත් ගී' ඔස්සේ බොහෝ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර මැද ප්‍රචාරය වුණා.

'මං ගාව දෑස තනි වෙච්ච' ගීතය තමයි මගේ තෙවැනි ගීතය. මෙයටත් හොඳ ප්‍රතිචාරයක් මගේ රසිකයන්ගෙන් ලැබුණා. මෙය පද රචනා කළේ අමිල දිල්හාන්. ඒ වගේම සංගීතයත් ඔහුගෙන්ම සිදු වුණා.

ඔබේ ගීතවලට සමාජයේ ලැබෙන ඉඩකඩ ගැන වගේම මේ ගීතවලින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?

මම හිතන විදිහට මා ගැයූ ගී සියල්ලම රසිකයන් ආදරයෙන් වැලඳ ගත්තා. මටත් අවශ්‍ය වුණේ මගේ ගායනයෙන් මේ සමාජයට හොඳ දෙයක් ලබා දෙන්නයි. අද කාලේ අපිට ඇහෙන සින්දුත් එක්ක බැලුවහම මා ගැයූ ගීතවලට රසිකයන් බොහෝ ප්‍රිය කරන බව දැනුණා. මටත් අවශ්‍ය වුණේ අහන් ඉන්න පුළුවන් රස විඳින්න පුළුවන් වගේම අර්ථාන්විත ගීත ටිකක් මේ සමාජයට ලබා දෙන්නයි. අද තරුණ දරුවනට අහන්න පුළුවන් දෙයක් දෙන්න තමයි ඉදිරියේදී වුණත් මගේ ගී ඔස්සේ මම බලාපොරොත්තු වෙන්නේ. එනිසා ඉදිරියටත් මගේ අතින් සමාජයට යමක් ගත හැකි හොඳ නිර්මාණ තමයි එළිදැක්වෙන්නේ.

ඔබේ නවතම නිර්මාණ මොනවාද?

' මධුවිතයි ආදරේ . . .' ගීතය තමයි මගේ නවතම නිර්මාණය. මේ ගීතය මේ වන විට මම ගායනා කර අවසන්. මේ වන විට එයට රූප රචනයක් එක් කරන්නට බලාපොරොත්තු වෙනවා. එය ලිව්වේ සම්පත් ප්‍රනාන්දුපුල්ලේ. ඉදිරියේදී මගේ රසිකයන්ට මේ ගීත රස විඳ මට ප්‍රතිචාර දක්වන්න පුළුවන්.

මේ සියලු දේ කරන ඔබ වෘත්තියෙන් කවුරුන්ද?

මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. පදිංචිය මීගමුවේ. ජනාධිපති සම්මාන ලැබූ ව්‍යාපාරිකයෙක් කිව්වොත් හරි. මාළු අපනයනයෙන් වැඩියෙන්ම විදේශ විනිමය ලංකාවට ගෙනආපු කම්පැණිය මගේ. 'ජොව් සී ෆුඩ්' ආයතනය තමයි ඒ. නො. 55, පන්සන් පාක්, ගුවන් හමුදාවත්ත පාර, කදිරාන, මීගමුව මගේ ලිපිනයයි.

තුෂාරි නේරංජා වික්‍රමසිංහ
නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.