ඇත්තටම දැන් තමයි ජීවත් වෙන්නේ

ජගත් කීර්තිධර අනෝජා වීරසිංහ
ජනවාරි 3, 2019

ඈ උපන්නේ කොළඹට හුඟක් ඈත මොනරාගල ප්‍රදේශයේ . සුන්දර ළමාවියක් නව යෞවනයක් සමඟ ඈට අනන්‍ය වූ ජීවිතයක් තිබුණා. ඒ ජීවිතය තුළ උපරිම ඵලවිඳීමේ හැකියාව ඇයට උදා වුණා. ඒත් අද ඈ ඉන්නේ ඒ ජීවිතේ දිහා හැරි හැරී බලමින් තමන් වින්ද ඒ ජීවිතය ජීවිතයක්ද කියා දීර්ඝව සිතමින් .

ඈ අනෝජා වීරසිංහ. ඈ ගැන කියන්නට ඉන් එහා කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ.මේ ජීවිතේ පුරා මහා අත්දැකීම් සමුදායක් ඈ ලැබුවා. දැන් ඈ ජීවිතය දකින්නේ වෙනත් විදියකට.

“ ජීවිතය කියන එක මහ ගැඹුරින් කතා කරන්න මම කැමැති නෑ. නමුත් අපි එදිනෙදා ජීවිතේ මනුෂ්‍යයෙක් වෙලා ඉපදුණාම අපට භෞතික ශරීරයක් තියෙනවා. භාවමය ශරීරයක් තියෙනවා. මනසක් තියෙනවා. මෙන්න මේවා ගැන අවබෝධයෙන් ඒවාට මුහුණ දීලා ගලාගෙන යන දේ තමයි ජීවිතේ කියන්නේ.මට එහෙම තමයි ජීවිතේ අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ. “

ඈ පවසන්නේ මනා වූ සංයමයකින්.

“ අපි හරියට ඒ ජීවිතේ ජීවත්වෙලා නෑ කියලා තීරණය වෙන්නේ අපි යථාර්ථවාදීව අපිට එළඹෙන දේවල් එක්ක ප්‍රමාණය ඉක්මවා ගැටෙනකොට අපි ජීවත්වෙලා නෑ. එතැනදි සිද්ධ වෙන්නේ අපි අරගල කරකර ඉන්න එක. ඒ වගේම අපි ප්‍රමාණය ඉක්මවලා දේවල්වල ඇලිළා ගැලිළා තණ්හාව පෙරදැරි කරගෙන අරගල කරනකොට අපිට ලැබිච්ච ජීවිතේ එක්ක අපි ජීවත් වෙන්නේ නෑ. ඔය පොඩි අවබෝධය තියාගෙන මේ ලැබිච්ච ජීවිතේ දැනෙමින් ඒ දැනුණ ජීවිතේ අනිත් අයත් එක්ක බෙදා හදා ගනිමින් සැනසීම සොයාගෙන යන්න උත්සාහ කරනවා....“

තැනින් තැන ඉදී ගියකෙටිකර කැපූ කොණ්ඩය ඇගේ පියකරු මුහුණට එක්කරන්නේ වචනයෙන් කිව නොහැකි තැන්පත් සුන්දත්වයක්. මේ රූපේ අතරින් වරින් වර මගේ දෑස් මායාව තුළ දිය ඇල්ලක් වගේ දෙපසට ඇද හැලුණ ඇගේ නිල්වන් දිගු කෙස් කළඹ මට මතක් වෙනවා. දෑස් අඳුන් තැවරුණු දෙතොල් මත පාට තැවරුණු සුසිනිඳු මුහුණ මත ඇදී ගිය දඟකාර සිනාරැලි මතක් වෙනවා.

ඒ ඔක්කොම හුඟාක් දුරකට ගිහිල්ලා වගේ. සරුව පිත්තල ලෝකයක මායාවම ජීවිතය කරගත් සුරංගනාවක් ශාන්තව මා දිහා බලා ඉන්නවා. නෙත් අඳුන් කිසිවක් නැති වුවත් ඒ දෑස දීප්තියෙන් බබලනවා. මේක් අප් කිසිවක් නැති මුහුණ මත මුව පුරා විසිරෙන සිනහව එදාට වැඩිය මේ මුහුණ ආලෝකවත් කරනවා නේද කියලා මට හිතෙනවා.

“ ඒ සරුව පිත්තල විසිතුරු ලෝකයේ හිටපු කෙනා සමඟ මට දැන් ඇත්තටම සම්බන්ධ වෙන්න හරි අමාරුයි. “ ඇගේ හඬ ආයෙත් අවදි වෙනවා.

“ ජීවිතේ දිහා ආපස්සට හිතලා හිතලා බැලුවොත් ඒ ජීවිතේ තිබුණේ අප්‍රමාණ ආශාවන්. නිළියක් වුණාම ලස්සනට අඳීන්න ආසයි. ජනප්‍රිය වෙන්න ආසයි. සමහර වෙලාවට ඔබලාටත් හිතෙන්න පුළුවන් මේ ඉන්නේ එදා හිටිය කෙනාද ? කියලා. ඒ කාලේ පත්තරේට ආටිකල් එකක් ඉල්ලුවාම කොහෙන් හරි වෙලාව හොයාගෙන රෑ මැදියමේ හරි ඒක කරන්න උත්සාහ කරනවා. ඒ ජනප්‍රිය වීමට තිබුණ ආශාවට. භෞතික දේවල් ලබා ගැනීමට තිබුණු අශාවට.චිත්‍රපට ගොඩකර ගන්න තිබුණු අශාවට. සම්මාන ලබා තැනීමට තිබුණු ආශාවට. මේ ආශාවන් එක්ක තිබුණු හරඹයක් තමයි ඒ කාලේ තිබුණේ.ඉතින් එතැනදි ඇත්තටම මට හිතෙනවා මම ඉස්සරලා කිව්ව වගේ මම ඒ කාලේ ජීවත් වුණාද? කියලා හිතෙනවා.

ඇත්තටම අනෝජා ජීවත්වෙන්නේ දැන් ද? කියලා මටත් හිතෙන්න ගත්තා .

“ ඇත්තටම දැන් තමයි ජීවත් වෙන්නේ.ඒ කාලේ ජීවත් වුණේ නෑ ඇත්තටම. අරගල කර කර අරගල කර කර ඒ ලබා ගත්තු දේවල් මොනව කරන්නද කියලා දැන් මට හිතෙනවා. සම්මානම තිස් ගාණක් තියෙනවා. ඒවා ඉතින් ඔහේ රාක්කේ ති‍යෙනවා....“

ඇත්තටම සම්මාන තිස් ගනණක් කියන්නේ කොයි තම් ප්‍රමාණයක්ද? මෙරට විතරක් නොවෙයි විදේශීය සම්මානත් ඇතුළුව. ඇය අපි හැඳීන්වුයේ අපේ රටේ රජත මයුරිය ලෙස. මල්දෙනියේ සිමියොන් චිත්‍රපටයේ රඟපාමින් ඈ මෙරට සිනමාව අන්තර්ජාතික තලය තුළ බැබළ වූ නිළිය. සමහර විට නිළියක් නොවුණා නම් ඇගේ ජීවිතේ මීට වෙනස් වෙන්නත් තිබුණා.

“ නෑ එහෙම වෙන්නේ නෑ. අපේ පන්තියට එන විවිධ අය මම ඇසුරු කරනවනේ. ඒ අයට තිබෙන ප්‍රශ්න ඊට වැඩිය වෙනස්. සාමාන්‍ය ගෘහණියක් ගත්තොත් එයාට තියෙන්නේ ළමයින්ට උගන්වන ප්‍රශ්න. දරුවෝ දොස්තරලා ඉංජිනේරුවෝ කරන ප්‍රශ්න. එහෙමත් නැතිනම් ක්‍රිකටර් කෙනෙක්. නළුවෙක් නිළියෙක් කරන එක. දැන් පවතින ඔය තරග වලට පොඩි දරුවෝ පවා තල්ලු කරන්නේ ඒ නිසයි. අම්මට තාත්තට බැරි වුණ ඒ බලාපොරොත්තු ඔවුන් දරුවන් ගෙන් ඉටුකර ගන්න හදනවා. ඒක හරි ගැටලුවක්. එහෙම ගියාම ඔවුන්ට තියෙන ප්‍රශ්න දිහා බැලුවම මම නිළියක් නොවී වෙන කෙනෙක් වුණා නම් මටත් වෙනත් ගැටලු තියේවි. සමහර අයට ආර්ථික ප්‍රශ්න. තව සමහරුන්ට සැමියා බිරිඳ ප්‍රශ්න. එහෙම හිතත්දී ඒ අයට වෙනත් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මට නිළියක් විදියට තිබුණු ප්‍රශ්න වගේම සාමාන්‍ය ගැහැනියක් විදියට එළඹෙන ප්‍රශ්නත් තිබුණා. ඉතින් එහෙම බලනකොට ඒ කාලේ ජීවිතේ ප්‍රශ්න පත්‍රයක්ම තමයි....“

ජීවිතේ ප්‍රශ්න පත්‍රයක් වුණත් මට හිතෙනවා ඈ ඒ ප්‍රශ්න පත්‍රයේ බොහෝ ප්‍රශ්න වලට හොඳීන් පිළිතුරු සපයලා ඉවරයි කියලා. වෘත්තීය ජීවිතයේ නිළියක වශයෙන් ඇගේ ගමන් මඟ තුළ හිණි පෙත්තටම යන්න ඈට වාසනාව ලැබුණා. කාන්තාවකගේ ජීවිතයේ ගැහැනිය මතෘත්වය වැනි කාරණා වලදීත් ඈට ජීවිතේ ගැන සතුටු ඇති.

 

...“ දැන් මෙතැන ඉඳලා බලනකොට ඒ එකකවත් සතුට තියෙනවද? කියලා හිතෙනවා. මවක් වීම සතුටක්ද? දරුවෙක් බිහි කිරීම සතුටක්ද? ඒ දරුවා හරි පාරේ ගෙනියන්න යහපත් පුරවැසියෙකු කරන්න බලාපොරොත්තුවක් ඇතිවනේ දරුවට උගන්න ගන්නේ. ඉතින් ඒ ඔක්කොම සතුටක්ද? හැබෑ සතුට තියෙන්නේ ඒවලද? මේවා ඔක්කොම ප්‍රශ්නාර්ථ තමයි. නමුත් එක පැත්තකින් මට යම්කිසි ප්‍රමාණයක සතුටක් හිතට දැනෙනවා. ඒ තමයි මේ සියලුම දේත් සමඟ අරගල කර කර ජීවිතේ එපා වෙචිච හත් වරක් සිය දිවි හානිකර ගන්න හදපු කෙනෙක් මේ තරම් යූ ටර්න් එකක් ජීවිතේට ගන්න තරම් කුසලයක් කරල තිබෙනවා කියන එක.

ඈ සත් වතාවක් දිවි නසා ගන්න ගිය කෙනෙක්. හිතා ගන්නත් අමාරුයි. කොයි තරම් මානසික පීඩාවක් විඳීන්න ඇති ද කියලා. එහෙම වුණා නම් ඒක කෙදිනක වත් ගෙවා ගන්න බැරි පාප කර්මයක්. එහෙත් ඈ ඒ පාපෙන් ගැලවුණා. එහෙම කෙනෙක් අද මෙවන් මාවතකට හැරෙන්න තරම් පින් මහිමයකුත් ඈට ඒ අතරෙම තිබිලා තියෙනවා.

“ ඒක සංසාරේ මාත් එක්ක ආපු දෙයක් වෙන්න ඇති. දැන් හැමෝම මගෙන් අහනවා වයස කීයද ? කියලා.මට 64 නෙවෙයි වයස.මට අවුරුදු දස දහස් ගනණක් වයසයි.මම දන්නේ නෑ කොච්චරද කියලා. ඒ වයස කාලය තුළ එකතු කරපුවා තමයි මේ. තවත් එකතු කරනවා. දැන් නම් ඇත්තටම උත්සාහ කරන්නේ මේ ඉතින් ඇති. තවත් සංසාරේ දික් වෙන්න එපා කියලා තමයි හිතන්නේ...“

ජීවිතේ ආධ්‍යාත්මික පැත්ත ගැන ඈ වැඩිපුර දැන් හිතනවද? කියලා මට හිතුණා.

“...සංසාරේ කෙටි කර ගන්න නම් ආධ්‍යාත්මික පැත්ත වර්ධනය කර ගන්න ඕන තමයි. ඒත් ඒ දේවල් කරන අය කිය කිය කරන්නේ නෑ. මම අරවා කරනවා මේවා කරනවා කියලා. සමහරු කියනවා මම සෝවාන් වෙලා. මම රහත් වෙලා කියලා. නමුත් ඉතින් එතැන තියෙන්නෙත් මමත්වය නේ. ඉතින් ඒක නිසා මමත් පුළු පුළුවන් දේවල් ටිකක් කර ගන්නවා. ඒවා ප්‍රසිද්ධියේ කිය කිය කරන්න ඕන දේවල් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. එතැනදී වැදගත් දෙයක් තමයි හොඳ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ රටේ. ඒක අපේ ලොකු පිනක්. උන් වහන්සේලා මුණ ගැසීම ලොකු පිනක්. ඒ වගේම ලංකාවේ හොඳ භාවනා මධ්‍යස්ථාන තිබෙනවා. දැන් අර සෝවාන් සහතික දෙන ඒවා අතරේ නිවැරදි ධර්ම මාර්ගය පෙන්වන නිවැරදි ස්ථානත් තිබෙනවා. ඒකටත් අපි බුද්ධිමත් වෙන්න ඕන හරි තැන හොයා ගන්න. නැත්නම් ඇත්තටම සංසාරේ කෙටි කර ගන්නේ නෑ. පව් පුරෝගෙන තව තවත් දික් කර ගන්නවා. අපි පැෂන් එකට යන්නේ නැතුව බුද්ධිමත්ව ඒක තෝර ගන්න ඕන.“

දැන් ඇගේ කාලයෙන් වැඩි කොටසක් වැය වෙන්නේ “ අභින “ පන්තිය කරගෙන යාමට සහ යෝගා භාවනා කරගෙන යාමටයි. අදටත් බෙල්ලන්විල රජමහා විහාර පරිශ්‍රය තුළ ඇගේ රුව නිරන්තරයෙන් දකින්න ලැබෙනවා.

බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ගේ වියෝවීම මට විතරක් නොවෙයි මේ රටටම විශාල පාඩුවක්. නායක ස්වාමීන් වහන්සේ හැටියට ධම්මරතන හාමුදුරුවෝ සිංගප්පූරුවේ වැඩ වාසය කළත් උන්වහන්සේ ගේ අවවාද අනුශාසනා ඇතුව තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ. පන්සලේ වැඩ වාසය කරන අනෙකුත් සියලුම ස්වාමීන් වහන්සේලා ගේ ආශිර්වාදයත් නොඅඩුවම ලැබෙනවා. මේ වැඩ සටහන පටන් ගන්න පන්සල් භූමියක ගොඩනැඟිලි හැදුවේ මගේ කර ගන්න නොවෙයි. ඒවා ඕන කෙනෙකුට පසු කාලයන ප්‍රයෝජනයට ගන්න පුළුවන්.බෙල්ලන්විල පන්සල ආශ්‍රිතව ලොකු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රජාව වෙනුවෙන් වැඩ කරන්න ප්‍රජා සංවර්ධන පදනමක් තියෙනවා. ඉතින් ප්‍රජාව වෙනුවෙන් වැඩ කරන ඕනම කෙනෙකුටමේ ගොඩනැඟිලි ප්‍රයෝජනයට ගත හැකියි. ඒ නිසා තමයි මම එතැන සංවර්ධනය කරන්නේ.

ඒ විතරක් නොවෙයි බෙල්ලන්විල රජ මහා විහාරය කියන්නේ පුදුම ශක්තියක් තිබෙන තැනක්. ඒක ඒ ගේට්ටුවෙන් ඇතුල් වෙන කොටම දැනෙනවා. එතැන තියෙන සන්සුන් බවත් සැනසීමත් ගැන ඒ ගේට්ටුවෙන් ඇතුලට එන හැමෝම කියනවා. ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම අමුත්තක් දැනෙනවා. ඒ අමුත්ත වෙන මුකුත් නිසා නොවෙයි. බුදුරජාණන් වහන්සේ ගේ සුවඳ තියෙන තැනකයි අපි වැඩ කරන්නේ. හැම තිස්සෙම ඒ සුවඳ අපිට දැනෙනවා.

දැන් මම මේ කරන රංගන පාසල ගැනත් දුර දිග හිතනකොට වෙලාවකට මට හිනහත් යනවා. ඒ මොකද මම රංගනයෙන් අයින් වෙනවා. මට රඟපෑවා ඇති කියලා හිතෙනවා. හැබැයි මම දරුවන්ට රංගනය උගන්නනවා. එතකොට මටම හිතෙනවා රංගනය කියන්නේ මායාවක් නේ. මවා පෙන්වීමක්නේ. එතකොට මේක මායාවක් බව දැනගෙනත් ඒකෙන් ඉවත් වෙන්න මම උත්සාහ කරලා තව කෙනෙකුට ඒක හරියට කරන්න උගන්නනවා. සම්මාන ගැන වුණත් මට මෙහෙම හිතෙනවා. හොඳටම මායාව කරපු කෙනාටනේ සම්මාන ලැබෙන්නේ. හොඳම රංගනය කියන්නේ මායාවේ හොඳටම ජීවත් වුණු කෙනාට.මේවා ගැන හිතනකොට මට හිනාත් යනවා ඒත් අනිත් පැත්තෙන් මට හිතෙනවා ගිහියන් විදියට මිනිස්සු ජීවත්වෙන විදියක් තියෙනවානේ. මට තනියම ඒවා හරවන්න පුළුවන් කමක් නෑ. මේ රටේ ඉන්න ඔක්කොමල ආධ්‍යාත්මික ගමනක් යන්න ඕන කියලා හරවන්න බෑ. ඉතින් මට හිතුණා අඩුම තරමින් අපේ පන්තිය තුළ අපේ සාරධර්ම ගැන, හර පද්ධතිය ගැන, සංස්කෘතිය ගැන, මිනිසත්කම ගැන, මිනිසත්කම ඉක්මවලා මිනිස්සු හැසිරුණ විදිය පසුගිය මාස ගනණක් පුරා අපි දැක්කනෙ. බල තණ්හාව වෙනුවෙන් කෙනෙක් මරන්න වුණත් පසුබට වෙන්නේ නෑ මිනිස්සු. ඒ වගේ පරිසරයක, පසුබිමක දරුවෝ හරි දේ දැනගෙන ගමනක් යනවනේ කියලා හිතෙනවා. ඒක “ අභින “ එකේ ඉගෙන ගන්න සියයට අනූවකගේම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අභින ආරම්භ කරලා දැන් වසර ගනණාවක් වෙනවානේ . ඒ නිසා ඒක අපි දැකලා තියෙනවා. අභිමානවත් ගමනක් යනවා කියලා. අභව්‍ය දේ රඟපෑවත් ජීවිතේ යම්කිසි බැලන්ස් එකක් තියාගෙන යනවා. මට වෙලාවකට හිතෙනවා ‘‘ නච්ච, ගීත, වාදිත ... කියලා සිල් පදයකුත් තියෙද්දී මම මේවා උගන්වා උගන්වා තව පව් පුරවා ගන්නවද කියලා. නමුත් මම මේක නැවැත් වුවත් ඒ අය වෙන තැනකට ගිහින් හරි ඉගෙන ගන්නවා. සමහර තැන්වල උගන්වන දේවල් ගැන හිතුවම හරි දුකයි. ඉතින් මේ දරුවෝ අඩු තරමින් ඔළුව කෙලින් තියාගෙන හරි දෙයක් හරි කරනවානේ. ඒ නිසා තමයි මේ පන්තිය නවත්වන්නේ නැතුව ගෙනියන්නේ.

අනිත් පැත්තෙන් යෝගා වැඩසටහන් කිරීම ගැන නම් මම හරි සතුටුයි. මේක යෝගා ආශ්‍රිත භාවනා ක්‍රමයක්. සමහරුන් මේක පටලවා ගන්නවා. ඇත්තටම මේක බෞද්ධ භාවනා ක්‍රමය නොවෙයි. යෝගා භාවනා බුදුරජාණන්වහන්සේ ගේ කාලයේත් තිබුණා. ආලාරකාලාම, උද්දකරාමපුත්ත පවා යෝගීන් නේ. බුදුරජාණන් වහන්සේට ඒක හරි ගියේ නැති නිසා තමයි වෙන මාර්ගයකට ගියේ. ඒ නිසා තමයි විපස්සනාව, සතර සතිපට්ඨානය වැනි භාවනා ක්‍රම උන්වහන්සේ අපට හොයලා දෙන්නේ.

යම් ප්‍රමාණයකට යෝගා කිරීම තුළ මානසික සුවයක් තියෙනවා. මානසින ව්‍යාකූලත්වය (ඤඥනපඥඵඵඪධද) ඒකට කියන්නේ විශාදය කියලා. විශාදයෙන් ඉවත් වෙලා මානසික සමබරතාවය පවත්වා ගෙන යන්න යෝගා භාවනාව හරියට උපයෝගී වෙනවා. විශාදය තියෙන අය බොහෝ වෛද්‍යවරු පවා මා ගාවට යොමුකර තිබෙනවා බෙහෙත් ගන්න ගමන් යෝගා කරන්න.

යෝගා කරන්න සහ උගන්වන්න මගේ නිළි ජීවිතේත් බොහෝදුරට මට ඉවහල් වුණා. ඒ මොකද නිළියක් විදියට අපි හැම මොහොතෙම ගනු දෙනු කරන්නේ ඉමෝෂන්ස් එක්කනේ.

රංගනය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් චරිතයක තියෙන භෞතික ශරීරයෙ, භාවමය ශරීරය කියන දෙක හඳුනාගෙන ඒ දෙක හසුරුවන ඒ චරිතයේ සිත හදුනාගෙන ප්‍රතිනිර්මාණය කිරීම නේ රංගනය කියන්නේ. හරියට බැලුවොත් ඒක තමයි රංගනය. මෙන්න මේ රංගනයේදී අපි ඒ චරිතයේ භෞතික ශරීරය හඳුනන්නේ නැතිනම්, භාවමය ශරීරය හඳුනන්නේ නැතිනම්, ඒ චරිතයේ සිත හඳුනන්නේ නැතිනම් හොඳ නිළියක් වෙන්න බෑ. මම ඒක කලා කියලා ලෝකය පිළිඅරන් තියනවානේ. එතකොට මට කිසියම් හැකියාවක් තියෙනවා චරිතයක ඔය ටික හඳුනා ගන්න. ඒක මට වාසියක් වුණා යෝගා කරන්න. මගේ පන්තියට එන ළමයි ගේ තත්ත්වයන් හඳුනාගෙන ඒ ඒ අයට විවිධ යෝගා ආසන , විවිධ ක්‍රියාකාරකම් ලබා දෙනවා. හැමෝටම එකක් දෙන්න බෑනේ. බෞද්ධ භාවනා ක්‍රම වලදී වුණත් කමටහන් දෙන්නේ විවිධ විදියට. භෞතික ශරීරයේ ප්‍රශ්න තියෙන අය හඳුනා ගෙන ඒ අයට වෙනම ආසන ලබා දෙන්න ඕන. මානසික ප්‍රශ්න තිබෙන අයට ඊට සුදුසු ආසන දෙන්න ඕන. යෝගා භාවනා ක්‍රමත් එක්ක සෑහෙන ප්‍රමාණයක් ශාරීරිකව, මානසිකව සුවපත් වුණ අය ඉන්නවා. ඒ අයට තවදුර යන්න ඕන නම් ආධ්‍යාත්මික මාර්ගයට යොමු වෙන්න අපේ ස්වාමීන් වහන්සේලා වෙත යොමු කරනවා. යෝගා භාවනා තුලින් ශාරීරික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, ආධ්‍යාත්මික හා සමාජීයය සෞඛ්‍ය යන කොටස් හතරම ඇතුළත් වෙනවා. මේවාත් එක්ක සමාජයේ ගැටෙන මට ලොකු සතුටක් තිබෙනවා. මොකද මම හැම වෙලේම කියන ආකාරයට මට මේ හැම දේම ලැබුණේ මේ රටෙන්. ජාත්‍යන්තර සම්මාන පවා ලැබුණේ මම මේ රටේ නිළියක් වුණ නිසා. ඒ හින්ද මගේ රටට මම ආදරෙයි. දේශපාලනඥයන් කියන ආදරයන් නෙවෙයි මගේ ළඟ තියෙන්නේ. රටේ මිනිස්සුනට මම ආදරෙයි. ඒ නිසා මට සතුටුයි ඒ අය වෙනුවෙන් මට පෙරළා යමක් දෙන්න පුළුවන් වෙච්ච එක ගැන. මම මේරටට ණය නැති දුවෙක් කියලා සතුටක් තියෙනවා.

අපේ රටට ආඩම්බරයක් වුණ මේ දුව ආයෙත් නම් රඟපාන එකක් නෑ කියලා මට හිතුණා.

..“ නෑ එකත් මෙහෙමයි. හැමදේම වෙනස් වෙනවානේ. ගලේ කෙටුවා වගේ ස්ථිරතාව තියෙන්නේ නෑනේ. දැන් මම හිතන ස්වභාවය අනුව මම දැන් ආයෙත් රඟපාන්නේ නෑ කියලා හිතනවා. ඒකට ගොඩාක් හේතු වුණේ හිම අභව්‍ය, තේරුමක් නැති, නිර්මාණ නිසා. අඩුම තරමේ ඒ චිත්‍රපටය තුළ කියවෙන දේ සමාජයට යහපතක් වෙනවා නම්, මිනිස්සුන්ට යහපතක් වෙනවා නම් රටට යහපතක් වෙනවා නම් ඒ චිත්‍රපටයේ මම රඟපෑවට කමක් නෑනේ.

ඇගේ පිළිතුර සිනමා ලෝලීනට නම් සුබ පණිවිඩයක් වේවි. මතු සිනමාවෙන් නොදැක්කද ඈ මෙරට සිනමාවට තිළිණ කළ සියල්ල අපට මහත් ධනයකි. ඈ මෙරටට රැගෙන දුන් ගෞරවනීය බව තව වසර ගණනාවක් යනතුරුත් මතු මතුත් කිසිදා සිනමා අඹරින් මැකීනොයනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.