අනාගතේ අපේ අතේ-නැතේ

යාළු මාළු 2-අතුරු මිතුරු තැනූ ලාල් ප්‍රියදේව
ජනවාරි 3, 2019

මල්ලි, මම එකොළහ වෙනකොට ලේක්හවුස් එකට එනවා... චිත්‍රපට අධ්‍යක්ෂ ලාල් ප්‍රියදේව මා හා පැවැති දුරකතන ඇමතුම හමාර කළේ එලෙසිනි. ඔරලෝසුවේ දහය කනිසම වැදුණා පමණි. ලාල් එනතුරු කල්මරමින් සිටින මගේ අවධානය යොමුවූයේ ඔහුගේ නවතම සිනමා පටයෙහි පූර්ව ප්‍රචාරක පටය වෙතටයි. එය නරඹා අවසන් වෙද්දී අපේ සිනමාකරුවකු කියූ වදනක් මට සිහිවිය.

"ලංකාව වගේ රටක චිත්‍රපට කරනවාට වඩා හොඳයි මිරිස්ගලක් එල්ලගෙන මුහුදෙ පනින එක."

සුදර්ශියේ නුගගහයටදි සුසුම් හෙළූ ඔහුට බුලත් විටක් හපමින් සිටි චිත්‍රපට නළුවකු හූමිටි තිබ්බේය. චිත්‍රපටයක් නිර්මාණය කරනවාට වඩා එය තිරගත කරන්නට අමාරු බව නිර්මාණකරුවන් අතර පවතින මුල් බැසගත් මතයකි. එහෙත් ඇතැම් චිත්‍රපට රූපගත කොට කෙටි කලෙකින් මහජන ප්‍රදර්ශනය සිදුවේ. එහෙම වෙන්නේ කොහොමද යනවග තමන් නොව සක්කරයාවත් නොදන්නා වග සමහර චිත්‍රපට අධ්‍යක්ෂවරුන් පවසන්නේ ඇස් උඩතබාගෙනය. මෙවන් වූ කාලයක ලාල් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට යුගළයක් එකළඟ තිරගත කිරීමට අවකාශය ලැබිණ. යාළු මාළු යාළු 2 මෙන්ම අතුරු මිතුරු හරි අපූරු සිනමාපටය සිනමාලෝලීනට නැරැඹීමට අවස්ථාව උදාවී ඇත. එහෙම වුණේ කොහොමද? ලාල් ප්‍රියදේවගෙන් ඇසියයුතු පළමු පැනය විය යුත්තේ එයයි. ඒ සිතුවිලි වියැකී යද්දී ලේක්හවුසියේ පිළිගැනීමේ දොරටුව අභියසට ලාල් පැමිණ ඇතිවගට පණිවිඩයක් ලැබිණ.

ජොලිහලෝ සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවට පත් වූ ලාල් ඊට ප්‍රථම දෙබස් රචකයකු වශයෙන් සිනමාවේ සක්‍රීයව කටයුතු කළේය. සරල විනෝදාත්මක සිනමාපට තනන්නෙකු බවට වඩාත් ප්‍රකට වූ ඔහු බොහෝ පිරිසක් සිනමාවට හඳුන්වාදීමද සිදු කළේය. ජොලිහලෝ ධ්ධ්, විශ්ම රාත්‍රිය, අලි පැටියෝ ඔයයි මමයි, කිව්වද නහී නොකිව්වද නහී, මගෝඩිගොඩයි, මගේ යාළු පුංචි භූතයා, අපේ යාළු මාළු ඇතුළු චිත්‍රපට දොළහක් ලාල් විසින් අධ්‍යක්ෂණය කරන ලදී. අද දින අතුරුමිතුරු හරි අපූරු ලෙසින් තිරයට එන්නේ ලාල්ගේ දහතුන්වැනි සිනමා නිර්මාණයයි.

ලාල්, උපන්දා සිට ඔබට සිනමාව ආගන්තුක විෂයක් වුණේ නැහැ. චිත්‍රපට අධ්‍යක්ෂ අයි. පී. සේන වූ ඔබේ පියාගේ ආභාසය ඔස්සේ ඔබ සිනමාවට පිවිසෙනවා. එදාට වැඩිය අද සිනමාව වෙනස්. චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ පිළිවෙතත් වෙනස්. එහෙම තියෙද්දී ඔබේ සිනමාපටයන් දෙකක් එකලඟ තිරගතවනවා?

අතුරු මිතුරු චිත්‍රපටය ෂූට් කළේ දෙදහස් පහළොවේ. ඊට පස්සෙ මං චිත්‍රපටයක් කළා. අප්පට සිරි කියලා. ඒක ගිය අවුරුද්දෙ රිලීස් වුණා. ඔයාලගෙ මේ සැරේ සරසවිය ෆෙස්ටිවල් එකටත් ඒක තිබුණා. දෙදහස් දහසයෙ මං කරපු යාළු මාළු යාළු චිත්‍රපටය දැන් තිරගත වෙනවා. අතුරු මිතුරු චිත්‍රපටයයි ඔක්කොටම කලින් කරපු චිත්‍රපටය. ඒවා එකළඟ තිරගතවුණත් චිත්‍රපට හැදූ පිළිවෙළට නෙවෙයි රිලීස් වුණේ.

මං අහපු පැනයට නිශ්චිත පිළිතුරක් ලැබුණේ නැහැ. චිත්‍රපට තිරගත කරගන්නට විදිහක් නැහැ කිය කිය නිර්මාණකරුවන් මැසිවිලි නගන යුගයකයි ඔබේ චිත්‍රපට එකළඟ තිරගතවෙන්නෙ?

එකළඟ චිත්‍රපට තිරගතවීම හරිම සරලව වෙච්ච දෙයක් කියලා හිතන්න එපා. අද වන විට චිත්‍රපට තිරගතකිරීමේ ක්‍රමවේදය පඹගාලක් වෙලා තියෙන්නෙ. අපිත් ඒකෙ පැටලි පැටලි එළියට එනවා. චිත්‍රපටයක් තිරගත කරන්නට යද්දි ඒකෙ පැටලෙනවා. ආයෙ එළියට එනවා. දැන දැන පැටලෙන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා. මගෙ චිත්‍රපට නිර්මාණය කරලා ඉවරවෙලා ප්‍රදර්ශනය සඳහා ගන්න පුළුවන් සෑම උත්සාහයකම නියැලුණා. අන්තිමේ එක එක්කෙනාට වැඳලා වගේ තමයි මේවා එළියට දාගත්තෙ.

ඔබේ චිත්‍රපට ගුණාත්මක නැතැයි ඔබදුන් ඉහත ඒ අදහස ඔස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන්?

නැහැ. එහෙම කියන්න බැහැ. සම්මාන ගත්තු චිත්‍රපටත් පෝලිමේ තියෙනවා. මගේ මතයට අනුව චිත්‍රපටයක් තිරගතවෙන්නට තිබිය යුත්තේ වාසනාවම පමණයි. එහි අන්තර්ගතය මොකක් වුණත් වැඩක් නැහැ. වාසනාව තියෙනවානම් ඕන චිත්‍රපටයක් තිරගතකරගන්න හැකියාව තියනවා.

ලාල් ප්‍රියදේව දැන් කරන්නෙ ලෝ බජට් චිත්‍රපට කියලා මතයක් තියෙනවා?

චිත්‍රපට කලාව විතරක් නෙවෙයි හැම දෙයක්ම දැන් හෑල්ලු වෙලා තියෙන්නෙ. ඉස්සර ලක්ෂ තුනක් විතර ටෙලිනාට්‍යයක එපිසෝඩ් එකකට ගෙව්වා. අද එහෙම කරනවද නැහැනෙ. බජට් ලෝවෙන්න පුළුවන්. ඒක නිර්මාණයකට ගළපගන්නෙ නැතුව ඉන්න නිර්මාණකරුවට ශිල්ප තිබිය යුතුයි. ඔය අතුරු මිතුරු චිත්‍රපටය තියෙනවා නේද? ඒකට අපි හුඟක් වියදම් කළා. වඳුරෙක්ව ගත්තා. එළුවෙකුත් යොදාගත්තා. ඉන්දියාවෙ ෂූට් කළේ. එහෙ වඳුරො ෂූටිං වලට ගන්න තහනම්. කවුදෝ ඔත්තුවක් දීලා දර්ශන තලයට ඉන්දියාවෙ පොලීසියෙන් කඩා පැන්නා. ලංකාවෙ වගේ නෙවෙයිනෙ. අනික මෙහෙ හිරේ ගියත් කමක් නැහැ. ලංකාවෙනෙ. චිත්‍රපටයක් කරන්න ගිහින් ඉන්දියාවේදී හිරබත් කරන්න වුණානම් මගෙ පවුලත් අනාථයි. වෙලාවට පොලිසියෙන් එනකොට අපි රූගත කරමින් සිටියෙ එළුවගෙ දර්ශන ටික. ඒ හින්දා යන්තම් ගැලවුණා. එහෙම කම්කටොළු මැදයි අතුරු මිතුරු චිත්‍රපටය කළේ. මගෙ බජට් එක ගැන හොයා බලනවට වැඩිය වෙච්ච මහන්සිය ගැන චිත්‍රපටය ඔස්සේ කෙනෙකුට පේනවානම් ඒක වටිනවා.

ඔබේ ‘යාළු මාළු යාළු 2’ චිත්‍රපටයේ පළමු කොටසද ‘මගේ යාළු මාළු’. එහෙත් ඒවාහි කතා පුවත් එකිනෙකට සම්බන්ධ වන්නේ නැහැ නේද?

ඔබගේ අවධානයට ලක්වුණු පළමු කාරණය නිවැරදියි. මේ චිත්‍රපටවල ඇත්තේ එකිනෙකට වෙනස් වූ කතා දෙකක්. ඊළඟට ඔබට එන ගැටලුව තමයි එහෙනම් මම ඇයි චිත්‍රපටයේ නම අගට දෙකේ ඉලක්කම දැම්මෙ කියලා. ඒක මම හිතලම කරපු වැඩක්. මගේ යාළු මාළු චිත්‍රපටයේ යම් යම් පාර්ශ්වලින් මට අසාධාරණකම් වුණා. ඉල්ලීම් වෙනුවට විධාන ලැබෙන්න පටන් ගත්තා. මං ඒකට ආස නැහැ. හරි දිනයක් ලැබෙන්නෙ නැතුව පසු නිෂ්පාදන කටයුතු කල් ගියා. නිර්මාණකරුවකු විදිහට මට එකම චිත්‍රපටයක දිගටම රැඳෙන්න අමාරුයි. මං නවරියන් චිත්‍රපටය එක්ක එකතු වුණා. ඔය අතරතුරදි ‘මගේ යාළු මාළු’ චිත්‍රපටය වෙනත් කෙනෙකුව යොදාගෙන ඩබ් කරලා තිබුණා. රූපගතකිරීම් අධ්‍යක්ෂ කියලා මගෙ නම දාල. කාර්මික අධ්‍යක්ෂවරයකුත් ඉන්නවා. සාමාන්‍ය චිත්‍රපටයක කාර්මික අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නෙ අධ්‍යක්ෂවරයාට වැඩ බැරිනම් තමයි. මේ වගේ දේවල් නිසා මගෙ හිත රිදුණා. අන්තිමේ මං නඩුවකුත් දැම්මා.

මොකක්ද ඒකේ තීන්දුව වුණේ?

මං නඩුව දාලා තිබුණෙ වැරදි උසාවියක. ඊට පස්සෙ හරි උසාවිය හොයගෙන නඩුව දාන්න හදද්දී මේවා නිසා මට වන රස්තියාදුව ගැන හිතලා ඒක අයින් කරගත්තා. ඔය අතරතුරදි මට ළමා චිත්‍රපටයකට නිෂ්පාදකවරයකුගෙන් ආරාධනාවක් ලැබුණා. මං ඊට යාළු මාළු යාළු නම දැම්මා.

ඒ කියන්නෙ යාළු මාළු යාළු 2 චිත්‍රපටය කළේ මගේ යාළු මාළු චිත්‍රපටයට ඇටෑක් එකට වගේ?

මගෙ කලින් පිළිතුරේ මේ ප්‍රශ්නයට පිළිතුර තියනවා.

අනෙක් චිත්‍රපටකරුවන්ට තිබෙන නළු නිළි ප්‍රශ්න ඔබටත් පොදු ඇති?

ඉස්සර වගේ නෙවෙයි දැන් ඉක්මනට චිත්‍රපට හැදෙනවා. ඉස්සර නෙගටිව් ඩිවලොප් කරන්න ඕන ලූප් හදන්න ඕන. වැඩ ගොඩයි. ඒ නිසා රිහසල් ගොඩයි. දැන් ටේක් එකයි ටේක් ගොඩයි රිහසල් එකයි. මේක සමහර නළු නිළියන්ට ප්‍රශ්නයක්. ඔවුන් මොනවාහරි කරලා දවසෙ සේවය නිමා කරන්න හදන්නෙ. තව අය ඉතා සීමිත දින ගණනයි නිර්මාණයකට දෙන්නෙ. එතැනින් එහාට දිනයක් ගන්න අමාරුයි. දිනයක් ලැබුණත් නිෂ්පාදක බයවෙනවා. ඇයි ඉතින් තවත් දවසකට ගෙවන්න එපායැ. ඔය අතරේ මහේන්ද්‍ර පෙරේරා වගේ හරිම නම්‍යශීලි නළුවොත් ඉන්නවා.

වෘත්තිය සිනමා නිර්මාණකරුවකු විදිහට අනාගතය ඔබට පැහැදිලිව පෙනෙන්නට තිබෙනවාද? නැත්නම්...?

අනාගතය අපේ අතේ නෙවෙයි අනාගතය මණ්ඩල අතේ තියෙන්නෙ. ඉන්දියාවෙ වගේ චිත්‍රපටයක් කරලා බෙන්ස්ගන්න අපිට බැහැ. මේ මණ්ඩලවලින් චිත්‍රපටයක් රිජෙක්ට් කළොත් මොනවා කරන්නද. මේ නිසා වෘත්තිමය අභියෝගයක අපි ඉන්නෙ. ඉන්දියාවෙ කපුර් පරපුර, බච්චන් පරපුර ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔවුන් තම තමන්ගෙ ඊළඟ පරම්පරාවට සිනමාව බාරදනවා. අපේ එහෙම තියෙනවාද. මගෙ ළමයින්වත් මං සිනමාවට යොමු කළේ නැහැ. යොමු කරන්නෙ කොහොමද. බයයිනෙ. "කොල්ලො උඹ චිත්‍රපටකාරයෙක් වෙයං" කියලා මොන තාත්තටද කියන්න පුළුවන්. එතැනින්ම හිතාගත හැකියි අපේ සිනමාවේ අනාගතය ගැන.

 ඔබේ චිත්‍රපටවලට ලියැවෙන විචාර ගැන මොනවද කියන්න තිබෙන්නෙ. නොසෑහෙන්න බනිනවා නේද ඔබේ නිර්මාණවලට?

විචාර ඔස්සේ වැරදි කියන්න. අපිත් ආසයි වැරදි හදාගන්න. කැමරා ඈන්ගල් වැරදිනම් කියන්න. ලයිට්නිං මදිනම් කියන්න. අපි පිළිගන්නම්. නමුත් පදනමක් නැතුව චිත්‍රපටවලට අවරගණයේ නිර්මාණ කියලා විචාර ඔස්සේ කියන්න එපා. ඒවගේ විචාර පොඩිළමයින්ටත් ලියන්න පුළුවන්.

අතුරු මිතුරු හරි අපූරුවලින් පසුව ඔබේ නිර්මාණ කාර්යය මොකක්ද?

හැමදාම නිෂ්පාදකවරු පස්සෙ යන්න බැහැ. ඒ නිසා මං තීරණය කළා ඊළඟ චිත්‍රපටය මමම නිෂ්පාදනය කරන්න. සංවර සීලය වගේ නමක් තමයි පාවිච්චි වෙන්නෙ. ඒක මං මීට ප්‍රථම නිර්මාණ කළ චිත්‍රපටවලට වඩා වෙනස්ම ආරක් ගනියි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.