රුක්මණීගේ සොඳුරු අතීතයේ මතක සුවඳ ගෙන එන සරසවිය අලෙවි නියෝජිත ඒ. පී. විජේරත්න

ජනවාරි 10, 2019

දශක හතක් පැරණි අපේ රටේ සිනමාවට ළෙංගතු වූවන් අතරේ ඒ. පී. විජේරත්න නමත් විශේෂයි. කුඩා වියේ පටන් කලාවට ලැදි වූ ඔහු අනාගත පරපුර වෙනුවෙන් කලාව හා සම්බන්ධ පැරණි සිහිවටන සුරැකීමට කැප වී සිටින අතර වාර්ෂිකව සිනමා ප්‍රදර්ශන පවත්වමින් එම වටිනා සිහිවටනයන්හි අගය සියලු දෙනා සමඟින් බෙදා ගැනීමට ද කටයුතු කරයි. ඔහු විසින් සංවිධානය කෙරන මෙම ප්‍රදර්ශන මාලාවේ ‍තෙවැන්න ‘සොඳුරු අතීතයේ මතක සුවඳ’ ජනවාරි 15 වැනිදා පෙරවරු 8.30ට ආරම්භ කිරීමට නියමිතයි. මෙම සිනමා ප්‍රදර්ශනයට සමගාමීව ‘නිසල සේයා’ නමින් ඡායාරූප ප්‍රදර්ශයක් ද පැවැත් වේ.15 සහ 16 යන දෙදින පෙරවරු 8.30 සිට රාත්‍රි 10.00 දක්වා ඩ් 2, ඇල්විටිගල මහල් නිවාස, ඇල්විටිගල මාවත, කොළඹ 08 හිදී මෙම ප්‍රදර්ශන පැවැත්වේ.

70 දශකයේදී ‍බෞද්ධාලෝක මාවත අලෙවි නියෝජිත ලෙසින් කටයුතු කළ ඒ. පී. විජේරත්න ,සොඳුරු අතීතයේ මතක සුවඳ’ සහ ‘නිසල සේයා’ ප්‍රදර්ශන පිළිබඳ මෙසේ අදහස් පළ කළා.

“ ‘සොඳුරු අතීතයේ මතක සුවඳ’ මෙවර 40 දශකයේ සිට 70 දශකය දක්වා සිනමාවේ ගමන් මග, රුක්මණි දේවියගේ 96 වැනි ජන්ම දිනය සැමරීම සහ එඩ්වින් ආරියදාස මහතාගේ 98 වැනි ජන්ම දිනයට ආශිර්වාද පැතීම වෙනුවෙන් වෙන් වෙනවා. එපමණක් නොව දිවංගත සිසිර සේනාරත්න, හර්බට් ඇම්. සෙනෙවිරත්න, චිත්‍රානන්ද අබේසේකර, ආරියරත්න කහවිට, කරුණාරත්න අබේසේකර, සිරිල් ඒ සීලවිමල යන කලාකරුවන්ට උපහාර පිදීමත් සිදුකරන්න සූදානම්. සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි සේනාරත්නටත් උපහාර පුදකර සිටිනවා”.

මෙවර ප්‍රදර්ශනයේදී දැකගන්න ලැබෙන විශේෂ දේමොනවා ද යන්නත් සඳහන් කරමු?

‘කඩවුණු පොරොන්දුව‘ චිත්‍රපටයේ සිට රුක්මණී දේවිය රඟ පෑ චිත්‍රපවල ඡායාරූප, සඟරා, 1940 දශකයේ සිට 70 දශකය දක්වා නළු නිළියන්ගේ ඡායාරූප, පැරණි ග්‍රැමෆෝන් යන්ත්‍ර, ග්‍රැමෆෝන් තැටි, ඊපී තැටි, එල්පී තැටි, පැරණි රේඩියෝ, පැරණි පටිගත කිරීමේ යන්ත්‍ර, පැරණි සිනමා පුවත්පත් සහ වාර සඟරා, පෝස්ටර්, ජෝති සහ විජයගේ සංරක්ෂික සිනමා ඡායාරූප, බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ජාතිය අවදිකළ නාට්‍ය ශිල්පින්ගේ ඡායාරූප සහ පෘතුගීසි පාලන සමයේ සිට වර්තමානය දක්වා කොළඹ නගරයේ ඡායාරූප මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා. ‘සොඳුරු අතීතයේ මතක සුවඳ’ ප්‍රදර්ශනයට සිනමා ඡායාරූප සහ ප්‍රදර්ශන භාණ්ඩ 2500ක් පමණ ඇතුළත් අතර ‘නිසල සේයා’ ඡායාරූප ප්‍රදර්ශනයට පෘතුගීසි සමයේ සිට මේ දක්වා කොළඹ නගරයේ ඡායාරූප 1500ක් ප්‍රදර්ශනයට ඇතුළත්.

මෙවර ප්‍රදර්ශනයේ විශේෂ ආරාධනය පිළිගැන්වුණේ කවුරුන් වෙනුවෙන් ද?

කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා මෙවර ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි වීමට නියමිතයි. එතුමන් සමඟින් මාධ්‍යවේදී දිලීප අබේසේකර, රංගන ශිල්පී දමිත් ෆොන්සේකා, ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්, ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ මහේෂ් දෙනිපිටිය සහ චිත්‍රපට අධ්‍යක්ෂ සුරංග අල්විස් මෙහි සමාරම්භක අවස්ථාවට එක් වෙනවා.

කලාවට මේ තරම් ලැදි වෙන්න විශේෂ හේතුවක් ඇති?

මා කලාවට ලැදියාවක් දැක්වූයේ පාසල් කාලයේදීයි. චිත්‍රපට නැරඹීමත් මගේ විනෝදාංශයක් වුණා. 1967 වසරේදී පාසල් අධ්‍යාපනයෙන් පසු කොළඹට පැමිණියේ රැකියාවක් සොයා ගෙනයි. ආරම්භයේදී බොහෝ දුක් ගැහැට වින්ඳත් 70 දශකය ආරම්භයේදී පුවත්පත් හා පොත්පත් අලෙවිය කුඩාවට ආරම්භ කළා. එකල බෞද්ධාලෝක මාවතේ ලේක්හවුස් අලෙවි නියෝජිත ලෙසින් කටයුතු කළෙත් මම. කලාවට ඇති උනන්දුව තව තවත් වැඩි වන්න එය විශාල රුකුලක් වුණා. මගේ පුවත්පත් අලෙවිසැල පිහිටා තිබුණේ ගුවන්විදුලි සංස්ථාව අසල වීම නිසා කලාකරුවන් රැසක් හඳුනා ගන්නටත් අවස්ථාව උදා වුණා. මා සතු සිනමා සංරක්ෂණ සිහිවටන සහ කොළොම්පුර සුන්දරත්වය ගෙන එන ඡායාරූප සමඟින් මේ ප්‍රදර්ශනය පවත්වන්නේ බොහොම ආසාවෙන්. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 011-2677746 සහ 0774803074 දුරකතන අංකවලින් ලබාගත හැකියි. ජනවාරි 15 සහ 16 යන දෙදින මෙම ප්‍රදර්ශනය නිරඹීමට පැමිණෙන ලෙස කලාවට ලැදි ඔබ සැමටත් මා ආරාධනා කරනවා

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.