කැලණි සරසවිය සිනමා නිර්මාණයට එක් වෙයි

ජනවාරි 10, 2019

චිත්‍රපටය වියසිදුරු
අධ්‍යක්ෂණය ප්‍රභාත් අගම්පොඩි
නිෂ්පාදනය කැලණිය විශ්වවිද්‍යාලය

සිංහල සිනමාවේ පළමු කථානාද චිත්‍රපටය වන 'කඩවුණු පොරොන්දුව' නිෂ්පාදනය කළේ සීමාසහිත චිත්‍රකලා මූවී ටෝන් සමාගම විසින්. ඒ සමඟින් 1947 ජනවාරි 21 නිල වශයෙන් ආරම්භ වුණු සිංහල සිනමාවේ පසුගියදා තිරගත කෙරුණු 'අතුරු මිතුරු හරි අපූරු' සහ 'ටවුමේ ඉස්කෝලේ' චිත්‍රපට දක්වා චිත්‍රපට1291ක් නිර්මාණය වී තිබෙනවා. එදා පටන් මේ දක්වා මෙරට චිත්‍රපට නිෂ්පාදකවරු රැසක් මෙන්ම විවිධ පෞද්ගලික ආයතන එම චිත්‍රපට නිර්මාණයට නිෂ්පාදන දායකත්වය ලබා දී තිබෙනවා. පසුගියදා අපට අසන්නට ලැබුණේ අපේ රටේ විශ්වවිද්‍යාලයක් විසින් වෘත්තාන්ත චිත්‍රපටයක් නිෂ්පාදනය කළ පුවතක්. මේ පුවතේ වැඩි විස්තර දැන ගැනීමට සුදුසුම පුද්ගලයා වන්නේ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා යි. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රභාත් අගම්පොඩි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනි ඩිප්ලෝමා පාඨමාලාවේ අධ්‍යයන සම්බන්ධීකාරක ලෙසින් කටයුතු කරන්නේද ඔහු යි. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ 'වියසිදුරු' චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලය විසින්. මෙම චිත්‍රපටය නිර්මාණය වීමේ නිමිත්ත පිළිබඳ ප්‍රභාත් පැවසුවේ මෙවැන්නක්.

"ආචාර්ය ඩී. බී නිහාල්සිංහයනගේ මූලිකත්වයෙන් සිනමා හා රූපවාහිනි අධ්‍යයන උපාධි පාඨමාලාව ආරම්භ කෙරුණේ 2016 වසරේදී යි. වසර හතරක කාලසීමාවක් යටතේ පැවැත් වුණු එය අභ්‍යන්තර ශිෂ්‍යයන්ට පමණක් සීමා වුණු නිසා විශ්වවිද්‍යාලයෙන් පිටත සිටින සිනමාවට ලැදි වූවන් වෙනුවෙන් ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව අපට හොඳීන් වැටහුණා. ඒ අනුව තමයි 2017 වසරේ ජූලි මාසයෙදී අපි සිනමා හා රූපවාහිනි අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කළේ. එම ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු කණ්ඩායමේ දායකත්වයෙන් නිර්මාණය කළ චිත්‍රපටය තමයි මේ."

චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඩිප්ලෝමා පාඨමාලාවට විශේෂ වූ අංගයක් ද?

මෙම පාඨමාලාවේ අවසානයේදී ඔවුන්ට කණ්ඩායම් ව්‍යාපෘති ලෙසින් ප්‍රායෝගික වැඩ කිහිපයක් පැවරෙනවා.

විශ්වවිද්‍යාල‍යට එන ළමයින්ට සිනමාව පිළිබඳ පුහුණුව අවමයි. උසස් පෙළ විභාගයෙන් අනතුරුව පැමිණෙන නිසා සිනමාව හා සම්බන්ධව කටයුතු කරන්න ඔවුන්ට ලොකු කාලයක් ලැබෙන්නේ නැහැ. නමුත් මෙම ඩිප්ලෝමා පාඨමාලාවට සම්බන්ධ වන්නන් එසේ නොවෙයි. විවිධ වයස් මට්ටම්වල සිසුන් මෙම ඩිප්ලෝමාව හදාරන්න පැමිණෙනවා. වයස අවුරුදු හැටේ පමණ අයත් ඉන්නවා. මේ අයට ක්ෂේත්‍රය පිළිබඳ යම් දැනුමක්, අවබෝධයක් තියෙනවා. එපමණක් නොව සිනමා ක්ෂේත්‍රයට යම් යම් ප්‍රමාණවලින් දායක වන අයත් ඉන්නවා. ඒ නිසා මුල සිටම පටන් ගන්නේ නැතුව යම් තරමක් ඉදිරියට පැමිණ අපට මෙය ආරම්භ කරන්න ලැබීම ලොකු පහසුවක් වුණා. ඒ වාසියත් අරගෙන මෙම පාඨමාලාවේ අවසන් නිෂ්පාදනය ලෙස වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කරන්න තීරණය කළා. මගේ අධ්‍යක්ෂණය යටතේ මෙම පළමු කණ්ඩායමේ ළමයින් 55ක් මෙම චිත්‍රපට නිර්මාණයට දායක වුණා.

චිත්‍රපටයක් නිර්මාණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. ඒ නිසා මෙවැන්නක විශේෂ අරමුණකුත් ඇති?

ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන්ට යම් ප්‍රමාණයක ප්‍රායෝගික අත්දැකීමක් ගැනීම මෙහි මූලික අරමුණ වෙනවා. ලිඛිත අංශයට පාඨමාලාවේ වැඩි ඉඩක් වෙන් වුණත් සිනමාව පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ඔවුන් ලබාගත යුතු වෙනවා. ඒ නිසා කණ්ඩායම් වශයෙන් ප්‍රායෝගික කටයුතු රැසක් ඩිප්ලෝමා පාඨමාලාවට ඇතුලත් කර තිබෙනවා.

විශ්වවිද්‍යාලයකින් නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටය වෙන්නෙත් මේ චිත්‍රපටය යි?

විශ්වවිද්‍යාලය පැත්තෙන් මේ වෙනුවෙන් ලොකු වගකීමක් ගත්තේ ආචාර්ය පැට්‍රික් රත්නායක මහතා. මෙය ඔහුගේත් සිහිනයක්. එතුමා නිර්මාණය කළ පිට්ටනියේ තමයි අපි සෙල්ලම් කරන්නේ. එතුමාගේ මූලිකත්වය නිසා මේ කටයුතු පහසුවෙන් කරගෙන යාම අපට ලොකු පහසුවක් වුණා.

මෙහි තිරරචනය කරන්නෙත් ඔබ විසින් ?

කොහොමත් චිත්‍රපටක් නිර්මාණය කරන්න මගෙත් පොඩි උනන්දුවක් තිබුණා. ඒවෙනුවෙන් තිරපිටපත් කිහිපයකුත් සූදානම් කරගෙන හිටියා.මෙම සිසුන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක, සංජීව පුෂ්පකුමාර, රසික සුරවීරආරච්චි වැනි ප්‍රවීණයන් යටතේ තිරරචනය පිළිබඳ හැදෑරීම් කළා. ඒ පුහුණුව සමඟින් කණ්ඩායමේ සෑම අයෙකුගෙන්ම තිරපිටපතක් බැගින් ගත්තා. නමුත් වර්තමානයේ පවතින තත්ත්වය අනුව ඒ තිරපිටපත්වලින් අපට වෘත්තාන්ත චිත්‍රපටයකට එකක් තෝරා ගැනීම තරමක් අපහසු වුණා. ඒ නිසා පවතින තත්ත්වය මත පහසු පිරිවැයකට අනුව, රූගත කරන දින ගණන වගේම අවම නළු නිළියන් සංඛ්‍යාවකගේ දායකත්වයෙන් නිර්මාණය කළ හැකි චිත්‍රපටයකට තිරපිටපතක් මම ම රචනා කළා.

චිත්‍රපටය නිර්මාණය කිරීමේදීත් එහි තිරපිටපත රචනයේදීත් විශ්වවිද්‍යාලයෙන් යම් යම් නීතිරීති පැන වුණා ද?

මෙහෙමයි, විශ්වවිද්‍යාලයකින් නිකුත් කෙරන චිත්‍රපටයක් නිසා එම නිර්මාණය සම්බන්ධයෙන් අපට ලොකු වගකීමක් තියෙනවා. කරන්නන් වාලේ චිත්‍රපටයක් හදලා ඒක තිරගත කරන්න බැහැ. විශ්වවිද්‍යාලයේ ගෞරවය රැකීම වගේම සාර්ථක කතා තේමාවක් සමඟින් සමාජයට වැදගත් යමක් ලබාදීම අපේ යුතුකමක්.

මේ වෙනුවෙන් නළු නිළියන් තෝරා ගැනුණේ කෙසේ ද?

චිත්‍රපටය වෙනුවෙන් පිරිවැයෙන් අනතුරුව මූලික ගැටලුව වුණේ මේ වෙනුවෙන් දායක වෙන නළු නිළියන් කවුරුන්ද කියන එකයි. මේ වෙනුවෙන් අපි මෙහි තිරපිටපත නළු නිළියන් කිහිප දෙනෙකු වෙත ලබා දුන්නා. වටිනාම දේ වුණේ, ඔවුන් එය කියවා රංගනයට කැමැත්ත පළ කිරීමයි. ඒ අනුව මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ කලණ ගුණසේකර. ශලනි තාරකා, ලක්ෂ්මන් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, තුමිඳු දොඩන්තැන්න, සංජීව දිසානායක, චතුර ප්‍රභාත් මෙහි රංගනයෙන් දායක වෙනවා. අපි අපේ ශිෂ්‍ය කණ්ඩායමෙනුත් නළු නිළියන් කිහිප දෙනෙක් තෝරා ගත්තා.

චිත්‍රපටයේ කතා තේමාව ගැනත් සඳහන් කළොත්?

මුලින්ම අවධානය යොමු කළේ මේ චිත්‍රපටය ලංකාවට ගැලපෙන විදියට නිර්මාණය කරන්නයි. මගේ පෞද්ගලික අදහස නම් ලංකාවට ගැලපෙන්නේ කලාත්මක දර්ශනයක් තියෙන වාණිජ චිත්‍රපට බවයි. ඒ නිසා මම වැඩි අවධානයක් යොමු කළෙත් ඒ සම්බන්ධවයි. මේ නිසාම අපි නිර්මාණය කළෙත් එවැනි චිත්‍රපටයක්. ඒ වගේම මේ වන විට ලංකාවේ ප්‍රේක්ෂකාගාරය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින බව සැඟවිය යුතු නැහැ. මේ ගැටලුව ජය ගන්න විසඳුමක් මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් ලෙසින් පූර්වාදර්ශයක් දිය යුතු වෙනවා. ඒ අනුව යමින් තමයි මෙවැනි තිරපිටපතක් ඇසුරින් 'වියසිදුරු' චිත්‍රපටය නිර්මාණය වුණේ. ත්‍රාසජනක ශානරය යටතේ කතා තේමාව දිවෙන අතර ප්‍රේමය වැනි උප කොටස්වලටත් එය බෙදී යනවා.

ඔබේ කළුඳුල් අධ්‍යක්ෂණය සමඟින් ආධුනිකයන් පිරිසක් මෙහෙයවීම අභියෝගයක් වෙන්න ඇති ?

බැරෑරුම් සහ අපහසුම දේ වුණේ එය තමයි. ඩිප්ලෝමා පාඨමාලාවක විවිධ වයස් මට්ටම්වල, විවිධ අධ්‍යාපනික මට්ටම් සහිත විවිධ සමාජ පන්තීන් නියෝජනය කරන පිරිසක් සහභාගි වෙනවා. ඒ නිසා ඔවුන් කණ්ඩායමක් ලෙසින් යම් කටයුත්තකට දායක වීමේදී විවිධාකාර අදහස් මතුවීම ස්වාභාවික දෙයක්. ඇත්තම කියනවා නම් මේ කණ්ඩායමට එක් වුණේ චිත්‍රපට පිස්සො ටිකක් කිව්වොත් වඩා නිවැරදියි. සාමාන්‍යයෙන් මේ ක්ෂේත්‍රයට එක් වන බොහොමයක් දෙනා රැඩිකල් අදහස් තියෙන බොහොම නිදහස් චින්තනයෙන් යුක්ත අය කීවොත් වඩා නිවැරදියි. ඔවුන් ක්ෂේත්‍රයට එන්නෙම නිදහස් සිතුවිලි සමඟින්. ඒ නිසා ඕනිම අභියෝගයක් භාර ගැනීම ඔවුන් පැකිළෙන්නේ නැහැ. ආධුනිකයන් සමඟින් වැඩක් කරනකොට අපි අහලා තියෙන්නේ වැඩේ ලේසි වෙන්නේ නෑ කියලා තමයි. අනික 55 දෙනෙකුගේ ආධුනික කණ්ඩායමක් මේ වගේ කටයුත්තකදී මෙහෙයවීම ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු වෙන්නේ නැහැ. ඒ හැමෝගෙම පළමු චිත්‍රපටය මෙය යි. අවසානයේදී සියලු අභියෝග ජය ගනිමින් අපි සාර්ථක සිනමා නිර්මාණයක් බිහි කළා.

සිනමා හා රූපවාහිනි අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව ගැනත් විස්තරයක් කරමු.

සිනමාව සහ රූපවාහිය අංශ දෙක යටතේ විශාල වපසරියක් මෙයින් ආවරණය කෙරෙනවා. උපාධි පාඨමාලාව වෙනුවෙන් වූ විෂය නිර්දේශයම ටිකක් කෙටි කරලා ‍මේ ඩිප්ලෝමා පාඨමාලාවට ඇතුළත් කරලා තියෙනවා. සිනමා ක්ෂේත්‍රයේ ලිඛිත පැත්ත දෙසට අපේ මූලික අවධානය‍ යොමු වුණත් මාස හයක් පමණ දැනුමෙන් සන්නධ කළ පසු ප්‍රායෝගික අංශයට යොමු වෙනවා. වර්තමානයේදී ලංකාවේ ගුණාත්මක සිනමා හා රූපවාහිනි ඩිප්ලෝමා පාඨමාලාවක් ලෙස මෙය ක්‍රියාත්මකයි. සිනමාව හදාරණ අයට මේ පාඨමාලාව ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් බව මගේ හැඟීමයි.

මේ නිර්මාණ කටයුත්ත අවසානයේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් විදියට ඔබට දැනුණු හැඟීම මොන වගේද?

සිනමාවට සම්බන්ධ අය වගේම සිනමාවට ආස කරන, සිනමාවේ අගලිය මුලගිය තැන්වල ගැවසෙන පිරිසකුත් මේ කණ්ඩායම තුල සිටිනවා. බැංකු කලමනාකාරවරුන් වගේම නීතිඥවරුත් ඉන්නවා. ඔවුන් තම තමන්ගේ අංශ දායකකර ගෙන මේ නිර්මාණයට දායකත්වය ලබා දුන්නා. ඔවුන් මෙම පාඨමාලාවෙන් ඉවත්ව ගියත් මේවන විටත් කණ්ඩායමක් විදියට සිනමාවට සම්බන්ධ විවිධ වැඩකටයුතු වලට දායක වෙමින් සිටිනවා. මෙම චිත්‍රපටය තිරගත කළ පසු ඔවුන්ගේ පාඨමාලාව අවසන් වුණත් ඔවුන් එය හැර යන්න සූදානම් නැහැ. චිත්‍රපට කතිකාවක් හෝ පවත්වන්න කටයුතු යොදන මෙන් ඉල්ලා සිටිනවා.

'වියසිදුරු' චිත්‍රපටය තිරගත කෙරෙන්නේ කවදා ද?

මේ වන විට ලබන පෙබරවාරි මාසයේදී විශේෂ දර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා තියෙනවා. එයින් පසුව ලබන මාර්තු මාසයේදී චිත්‍රපටය තිරගත කරන්න බලාපොරොත්තු වෙනවා.

ශාන් රඹුක්වැල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.