මාව සමහරුන්ට දැක්කත් හිනා යනවා

- බොනිෆස් ජයශාන්ත
ජනවාරි 10, 2019

තමන්ගේ ශරීරයේ ස්වභාවය ආශිර්වාදයක් කොට ගත් රංගන ශිල්පියකු හැටියට බොනිෆස් ජයශාන්තව හඳුන්වා දිය හැකිය. නේක රංගන පරාසයන් සහිත චරිත නිරුපණය කළ ද ඔහුට වඩා වැඩි ඇරැයුම් ලැබෙනුයේ හාස්‍යෝත්පාදක චරිතවලටය. ඒවා ප්‍රතික්ෂේප නොකොට ප්‍රේක්ෂකයන් පිනවන බොනිෆස් ගායන ශිල්පියකු වශයෙන් ඉදිරියට යමින් සිටින්නේය.

 

බොනිෆස් කොහොමද මේ දිනවල ඔබේ වැඩ කටයුතු?

රංගනයම තමයි. ඔබ සඳහන් කළා වගේ ලැබෙන ඇරැයුම්වලින් සියයට අනූවක්ම ලැබෙන්නේ කමඩි චරිතවලට. ඇඟේ හැඩයට එපායැ චරිත ලැබෙන්න (බොනිෆස් සිනාසෙයි).

 

ඉකුත් දිනවලදී ඔබ රඟපෑ චිත්‍රපටයක් තිරගත වුණා නේද?

ඔය අහන්නේ කොළඹ සන්නිය ගැන වෙන්න ඇති. ඒක තිරගත වෙලා ඉවරයි. මං රඟපෑවේ නිර්වස්තර කියලා චරියක්නෙ. පැරැණි කොළඹ සන්නියේ එහෙම චරිතයක් තිබුණට මේකට එය ඇතුළත් කරලා තියෙන්නේ වෙනස් විදිහකට.

 

වේදිකාවේත් ඔබ කාර්යබහුල නළුවෙක්?

වේදිකා නිර්මාණ බාර ගන්නේ බොහොම කැමැත්තෙන්. වේදිකාවේ ගැවසීම තුළින් නිරන්තරයෙන් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ දවස්වල මං අන්තඞපුරය හොරු කඩයි සහ රයිගමයයි ගම්පළයයි කියන නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා. වේදිකා නාට්‍යවලට ඇරැයුම් ලැබුණොත් ලෙහෙසියෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

 

ඇයි නිතරම විකට චරිතවලට කතා කරන්නේ?

ශරීරයේ සොභාවයටනෙ. සමහරුනට මාව දැක්කත් හිනා යනවා. මගේ ඇඟේ හැඩය තියෙන නළුවො අඩුයි. අනික හැමෝටම කමඩි කරන්නත් බැහැනෙ. මං හැබැයි සීරියස් චරිතත් කරලා තියෙනවා.

ඔබේ ඇඟේ මහත නිසා විහිළුවට ලක් වෙලා නැතිද?

මොකද නැත්තේ, කොච්චරවත් දන්න කියන අය මට විහිළු කරනවා. හැබැයි ඒවා ගණන් ගන්න තරම් ඒවා නෙවෙයි.

 

ඔය විදිහේ ඇඟක් තියෙන එක ගැන දුක් වෙච්ච අවස්ථා තියෙනවාද?

ඒ ප්‍රශ්නයට නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. මට මේ ඇඟ නිසයි චරිත ලැබෙන්නේ. මං හිතන්නේ මේ මහත සොභාවය මගේ රංගන ජීවිතයට ලැබුණු ආභරණයක් කියලා.

 

ඔබ කාලයක් තිස්සේ රංගනයේ යෙදෙනවා. ලැබුණු ජනප්‍රියත්වය ගැන මොකද කියන්න තියෙන්නේ?

මං හිතනවා මං ජනප්‍රියයි කියලා. ඒ ජනප්‍රියත්වය මේ රසික රසිකාවෝ මාව වට කරගෙන සමරු අත්සන් ගන්න ජනප්‍රියත්වයක් නෙවෙයි. මං ජනප්‍රියයි කියලා මට දැනෙනවා. තැනකට ගියාම සුහදශීලීව පිළිගන්නවා. චරිත ගැන කතා කරනවා. ඇතැම් අය අඩුපාඩු පෙන්වලා දෙනවා. ෆොටෝ එහෙමත් ගන්නවා. එතකොට මට හිතෙනවා මං ජනප්‍රියයි කියලා.

 

ඒ නිසාද ප්‍රසංග වේදිකාවටත් ඇරැයුම් ලැබෙන්නේ?

ප්‍රේක්ෂක ආදරය නිසයි මට ප්‍රසංග වේදිකාවට කතා කරන්නේ. මං ඒවට සහභාගි වෙලා ගීත ගායනයේ යෙදෙනවා. සනත් නන්දසිරි මහත්මයාගේ ගීත තමයි වැඩිපුරම ගයන්නේ.

 

මේතාක්කල් ඔබ නිරූපණය කළ හොඳම චරිතය මොකක්ද කියලා සඳහන් කළොත්?

කොළඹ අහසේ ජපන් ලැම්බර්ට්ව. ඒ නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ගයා රම්‍ය අල්විස්. මමත් ඉතාම ආසාවෙනුයි ඒ චරිතය කළේ. නාට්‍ය විකාශය වන දවස්වල අසීමිත ලෙස ප්‍රතිචාර ලැබුණා. දැනුත් සමහරු මතක් කරනවා. සමහරු ජපන් ලැම්බර්ට් කියලම කතා කරන අවස්ථාවනුත් තියෙනවා.

 

රඟපෑමට ඇගැයීම් ලැබුණා මදිනේද?

ඒක මට විතරක් නෙවෙයි බහුතරයකට තියෙන ප්‍රශ්නයක්. ඔය ජපන් ලැම්බර්ට් කියන්නේ ඇගැයිීමක් තිබිය යුතු චරිතයක්. යම් යම් හේතූන් නිසා එහෙම වුණේ නැහැ. මගේ හිතේ පොඩි බලාපොරොත්තුවකුත් තිබුණා ඒ චරිතය ගැන.

 

රැකියාව හිරිහැරයක් නොකරගෙන කොහොමද ඔබ රඟපෑමේ යෙදෙන්නේ?

අර කට වචනයට කියනවා වගේ මං කොහොම හරි ගේම ගහනවා. ඒකට මට හැමෝගෙන්ම සහාය ලැබෙනවා. මං වැඩ කරන අලියන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී ඩෙනිස් හේවාගම, ප්‍රාදේශීය කළමනාකරු සංජීව හේමරත්න යන මහත්වරුන්ව මේ මොහොතේ මතක් කළ යුතුමයි.

 

මොනවද ඉදිරි වැඩ කටයුතු?

උදයකාන්ත මහත්තයා අලුත් වැඩකට කතා කරලා තියෙනවා. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ. තව ටෙලි නාට්‍යවලටත් ඇරැයුම් ලැබෙනවා. එහෙම ලැබෙන චරිතවලට සාධාරණයක් ඉටු කරමින් හෙමින් ගමනක යෙදෙන්නට තමයි බලාපොරොත්තුව.

 

නිශ්ශංක විජේරත්න

ප්‍රසාද් සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.