ටවුමෙ ඉස්කෝලෙටආ යෙහෙළියෝ

පාරින්ද්‍යා මෙලීෂා
ජනවාරි 10, 2019

ටවුමේ ඉස්කෝලෙට ආව කෙනා කවුද?

මම මම.

සැනෙකින් අත ඉස්සුවේ පාරින්ද්‍යා ප්‍රභාෂි.

එතකොට ඔයා?

මම මෙලීෂා යෙනුලි වෙත හැරුණෙමි.

මම ඉස්කෝලෙ හිටපු කෙනා. මෙයා තමයි අලුතින් ආවේ.

රතු පැහැ ගවුමකින් සැරසී සිටින පාරින්ද්‍යා දෙසට මෙලිෂා අත දිගු කරයි.

දෙන්නා හොඳ යාළුවෝ නේද?

ඔව්ව්ව්ව් . . .

එක හඬින් එලෙස කියමින් පාරින්ද්‍යා මෙලීෂාගේ කරට අත දමා ඇයව ළඟට ගත්තීය.

කොහොමද දෙන්නට ටවුමෙ ඉස්කෝලෙ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ?

ඔවුනොවුන් මුහුණ බලාගෙන සිනාසෙති.

ඔයා කියන්න. මෙලීෂා පාරින්ද්‍යාට ප්‍රශ්නය මාරු කළාය.

අනේ ඔයා කියන්න.

පාරින්ද්‍යා මෙලීෂා දෙස බැලුවාය.

හරි හරි මමම කියන්නම්. පාරින්ද්‍යා පැනය බාර ගත්තීය.

අපි දෙන්නම මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකාවේ ඉගෙන ගන්නේ. ඉස්කෝලෙ නාට්‍යවල රඟපෑවා. ගයාත්‍රි නයන කුමාරි මිස් තමයි අපේ ඩ්‍රාමා ටීචර්. ටවුමෙ ඉස්කෝලෙ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු සුනිල් ප්‍රේමරත්න සර් අපේ පාසලට ආව වෙලාවක මං ගැන අහලා තිර පරීක්ෂණයකට එන්න කිව්වා. මට මුලදි කිව්වෙ ඩබල් ඇක්ටිං කරන්න කියලා. පස්සෙ සුනිල් සර් මගේ වයසෙම තව කෙනෙක්ව හොයලා තියෙනවා. එතකොට තමයි අපි මෙලීෂා ගැන කිව්වේ. ස්ක්‍රින් ටෙස්ට් එකකින් පසුව අපි දෙන්නව තෝර ගත්තා.

දෙන්නට එකට රඟපාන්න ලැබුණු එකට සතුටුද? මෙලීෂා කියන්න බලන්න.

අම්මෝ සතුටුයි. ගෙඩක් දවස් අපි එකට රඟපෑවා. මගේ හොඳම යාළුවා තමයි පාරින්ද්‍යා.

රඟපාද්දී මුලින් බය හිතුණේ නැද්ද?

අපි දෙන්නම මීට කලින් චිත්‍රපටවල රඟපාලා තිබුණේ නැති වුණත් කමර්ෂල්වල හිටියා. ඒක නිසා වැඩි බයක් හිතුණේ නැහැ. මේ චිත්‍රපටයෙහි සුනිල් සර් ඇතුළු කණ්ඩායම ඉතාම හොඳයි. අපට ගොඩක් උදවු කළා.

මෙලීෂාගේ පිළිතුරෙන් පසුව මම පාරින්ද්‍යා දෙසට හැරුණෙමි. මට ආරංචි වුණා චිත්‍රපටයේ සීන් එකක් කරන්න ගිහින් පාරින්ද්‍යා හොඳටම බැනුම් ඇහැව්වා කියලා. මෙලීෂාගේ මූණේ හිනාවක් ඇඳිණ.

මොකද හිනාවෙන්නේ. සුනිල් සර් මට ඒ බැන්නෙ බොරුවට.

පාරින්ද්‍යා බොරු නෝක්කාඩුවක් මවා ගත්තාය.

ඉස්කෝලෙ ඇතුළෙ හිරවෙලා ඉන්න සීන් එකේදී මං අඬන්න ඕනනෙ. මං ඒක හරියට කළේ නැහැ කියලා සුනිල් සර් මට හොඳටම බැන්නා. මං ඒ බයට ඇඬුවා. පස්සෙ තමයි දන්නෙ සුනිල් සර් බැනලා තියෙන්නේ බොරුවට කියලා. බැන්නට පස්සේ මං ඇඬුවම ඒක ලස්සනට ෂූට් කරලා.

මෙලීෂා, කොහොමද ටවුමෙ ඉස්කෝලෙ නරඹපු අය කියන්නේ?

ගොඩක් හොඳ කියනවා. ආයෙ චිත්‍රපටයක රඟපාන්න කියලත් කියනවා. පාරින්ද්‍යාටත් ඒකම කියනවා.

ඒ වුණාට දෙන්නම අනාගතයේ රංගන ශිල්පිණියන් වීමට බලාපොරොත්තුවක් නැහැ නේද?

මට ඕන භාෂා අංශයෙන් ඉදිරියටම ගිහින් මාධ්‍යවේදිනියක් වෙන්න.

ඒ පැතුම පරින්ද්‍යාගේ.

මං කවදා හරි ලෝයර් කෙනෙක් වෙනවා.

මෙලීෂාගේ අධිෂ්ඨානය එයයි.

පාරින්ද්‍යාගේ පදිංචිය?

කිරුළපන.

එතකොට මෙලීෂා?

මං පානදුරේ.

පාරින්ද්‍යාගේ පවුලේ විස්තර කියමු?

මගේ අම්මා නදීකා ශිවන්ති, තාත්තා ප්‍රභාත්. මට මල්ලියෙක් ඉන්නවා.

මෙලීෂාගේ පවුලේ තොරතුරු?

මගේ තාත්තා විදෙස් ගතවෙලා ඉන්නේ. කපිල සිසිර කුමාර තමයි තාත්තගේ නම. අම්මා චමිලා කුමාරි.

අපිට කෙනෙක්ව මතක් කරන්න ඕන.

දෙදෙනාම එක හඬින් කීවෝය.

කවුද?

අපේ ඉස්කෝල් ප්‍රින්සිපල් සුමේධා ජයවීර මැඩම්ව. මැඩම් තමයි අපිට ගොඩක් උදවු කරන්නේ.

පාරින්ද්‍යාත් මෙලීෂාත් කතාබහ අවසන්කොට අපූරු සේයාරුවකට මෙලෙස පෙනී සිටියෝය.

ප්‍රසාද් සමරතුංග

නිශ්ශංක විජේරත්න

හැඩගැන්වීම - සැලොන් ශිවන්ති

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.