ශාන් මුකර්ජි, ශ්‍රීකර් සමඟ ගයමින් හේමාල් සමඟ රඟන හිරුෂි

ජනවාරි 10, 2019

හැඟුමන් ගීතයේ පදමාලාව

ආදරයක සිත සොඳුරු
කීව කතා මට නුහුරු
දෑස පුරා ඇඳි පිළිරූ
ඔබ නේද ආල සිත කැලඹූ
ඔබේ සුසුමේ දැවටිලා
සිත ගාව මාව තනි කළා
පෙම් සිත්තම් රූ මවා
හද සෝ සුසුම් නිවා
මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
හැඟුමන් හදවතේ
යළි හංගන් ඉන්න බෑ
මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
මා පෙම් කළ තරම්
ඔබ එය දන්නේම නෑ
නොසැලෙයි මගෙ සිත මියුරු
ආදරයක හද ඇඳි රූ
මා පෙම් කළ සිත රුසිරූ
ඔබ නේද ආල සිත කැලඹූ

මායා සිනමාපටයේ හීනෙන් ඇවිදින්න ගීතය සුරේන්ද්‍ර පෙරේරා සමඟ ගැයුවේ හිරුෂි ජයසේනයි. ඇය වෛද්‍ය රනිල් ජයසේනගේ එකම දියණිය වන්නීය. හිරුෂිගේ හඬින් රසවත් වූ ඇගේ නවතම ගීය ඉකුත් දා එළිදැක්විණි. එය නම් කොට ඇත්තේ හැඟුමන් නමිනි. යොවුන් ආදරය තේමා කොටගෙන එම ගීය පද රචනා කරනු ලැබුවේ මාලිනී ලියනගේය. පසන් ලියනගේ සංගීතයෙන් රස ගැන්වීය.

තාල රූප වෙනුවෙන් චමිල් පතිරණ හැඟුමන් සඳහා රූප රචනා සිදු කර ඇත. හේමාල් රණසිංහ සමඟ හිරුෂි ජයසේන එහි රංගන දායකත්වය සැපයීය. පෙම්වතුන් යුවලකගේ දර්ශන පමණක් ඇතුළත් කලාත්මක ගණයේ රූප රචනාවක් ලෙස එය හඳුන්වා දිය හැකිය. ලීසා සෙල්සිංගර් රූප රචනයෙහි නර්තන අධ්‍යක්ෂණයෙන් දායක විය.

මායා සිනමාපටයේ හිරුෂි ගැයූ හීනෙන් ඇවිදින්න ගීතය ඉතාම ජනප්‍රිය විය. එමෙන්ම ඇය සරණ සමනලී ටෙලි නිර්මාණයට ද ගායනයෙන් දායකත්වය ලබා දුන්නාය. ගායිකාවක වශයෙන් ඉන්දියාවේ ගායකයකු වූ ශාන් මුකර්ජි සමඟ යුග ගීයක් ගයන්නට ලැබීම හිරුෂි ලද ජයග්‍රහණයකි. මෙරේ සින්ද ගී නමැති එය නොබෝ දිනකින් රූප රචනය ද නිර්මාණය කොට එළි දැක්වීමට සූදානමින් පවතියි. කන්නඩ බසින් ද හිරුෂි ගීයක් ගයා තිබේ. එයට යුග ගායනයෙන් එකතු වුණේ කන්නඩ ගායකයකු වූ ශ්‍රීකර්ය.

ප්‍රසාද් සමරතුංග

 

 

 

Add new comment