හොඳ වෙලාවට මට විජේවීර මුණ නොගැහුණේ

කමල් අද්දරආරච්චි
ජනවාරි 17, 2019

මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ දකුණේ තරුණ නැඟිටීම් ද්විත්වයම ජනතා විමුක්ති පෙරමුණ නිසා සිදු වූ බව රහසක් නොවේ. පක්ෂයේ පුරෝගාමියා වූ රෝහණ විජේවීර සහෝදරයා පිළිබඳ මතකය මහජනතාව අතර විවිධ හැඩතල ගෙන පවතින්නේද මේ යුග දෙකේදී ඒ ඒ පිරිස් මුහුණ දුන් අත්දැකීම් අනුවය. ඒ කෙසේ වෙතත් චතුර කථිකයකු හා විප්ලවවාදී නායකයකු ලෙස පොදු පිළිගැනීමට ලක් වූ විජේවීර නම් දේශපාලන චරිතයේ ජීවිත කතාවේ හරස් කඩක් 18 දා සිට ගින්නෙන් උපන් සීතල (ජ්පධලඥද ටඪපඥ) නමින් රිදී තිරය මත දිගහැරෙන්නේ අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයෙනි. එහි විජේවීර චරිතයට පණ පොවන ප්‍රවීණ නළු කමල් අද්දරආරච්චි සමඟ චිත්‍රපටය පිළිබඳවත් එහි චරිත නිරූපණය පිළිබඳවත් මෙසේ කතාබහ කළෙමු.

මේ චරිතය නිරූපණයට ආරාධනා කළ විට මුලින්ම හැඟුණේ?

ඇත්තටම ඒ ගැන එච්චර හැඟීමක් තිබුණේ නැහැ. මොකද අනුරුද්ධ මට කියද්දි හිතුවේ තවත් නිකං පොඩි දන්නැද්ද නිකං... එහෙම එකක් කියලා. මට කතා කළේ හරි සරල දෙයක් වගේ. දවසක් කිව්ව ඔන්න මචං පටන් ගන්න යන්නේ කියලා. ඒ පාර මම කිව්වා මේ මොනවා කළත් මට ස්ක්‍රිප්ට් එකක් නැතුව බැහැ කියලා. මොකද ඒකෙන් අපට කියන්න පුළුවන් ගොනා යන්නේ පොල් පැළේටද කොස් පැළේටද කියලා. ඒපාර පිටපතක් දුන්නා. ඒකෙත් තිබුණේ නිකං සීන් බ්‍රේක්ඩවුන් එකක් විතරයි. ඒ ගැන ඇහුවාම ඔන්න තව වැඩ වගයක් තියෙනවා. ඒක ඉවරවෙලා ස්ක්‍රිප්ට් එක දෙන්නම් කියලා ඒ පිළිවෙළට කතා කළා. ඊළඟට මුහුරත් එකට එන්න කීවා. මම කොහොමද එහෙම එන්නේ කීවාම, එදාට දෙන්නං ප්ලීස් මචං වරෙං කියලා කීවා. හැබැයි ඒ වෙද්දි මටත් පොඩ්ඩක් විතර හිතට මේ වැඩේ දැනිලා තිබුණේ. ඉතිං මම ගියා.

ඒත් ඔබ කරන්න යන්නේ රටේ බහුතරයක් දන්න හඳුනන චරිතයක්?

ඒක තමයි. (හඬ බරකර ඔහු කියයි)මම හිතුවා, මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් රෝහණ විජේවීර චරිතය කරන්න බැහැ කමල් අද්දරආරච්චිට. කමල්ට, මිනිස්සු කවුරුත් දැකලා නැති රජ චරිතයක් හරි පින්තූරයක් හොයාගන්න නැති එකක් කරන්න පුළුවන්. ඒත් රෝහණ විජේවීර එහෙම කරන්න බැ. ප්‍රතිරූපයක් තියෙනවානේ.

රැවුල වවපු, කණ්ණාඩි දාපු, කොණ්ඩෙ පොඩ්ඩක් තියෙන වෙනම ආකෘතියක්. ඒ නිසා මේ චරිතය කරනවා නම් අනිවාර්යයෙන් බාහිර ස්වරූපය වෙනස් කිරීම අත්‍යාවශ්‍යයි. එහෙම කීවම අනුරුද්ධත් කීවා ඔව් ඔව් එහෙම තමයි කියලා.

ඒ පාර ඔන්න මේක්අප් ටෙස්ට් කරන්න පටන් ගත්තා. විශේෂයෙන් විජේවීර කීවාම ඔහුගේ කටෙත් වෙනම හැඩයක් තිබෙනවා. ඒ හැඩය ගන්න මට වෙනම දත් සෙට් එකකුත් දාන්න වුණා.

ඒක හරියට තමන්ගේ නොවන තමන්ගේම දත්සෙට් එකක් වෙලා ගැලවෙන්නයි, හෙලවෙන්නයි, එල්ලෙන්නයි ගන්න නැතුව තියාගන්නත් ඕනා.

විජේවීරගේ කතාව බොහොම වේගවත්? දත් කුට්ටමක් එක්ක කොහොමද ඒ අත්දැකීම?

අපෝ ඒ විඳපු දුක නම් කියලා වැඩක් නැ. දෙබස්වල වේගවත්බව රැකගෙන අපහසුවකින් තොරව ඉන්න බව පේන්නත් එපැයි. ෂූටින් පටන් ගත්තේ 2016 අගභාගයේ. මම කීවා මම නම් එන්නේ නැහැ විජේවීරගේ ප්‍රතිරූපය හරියට පේන්න ආවේ නැත්නම් කියලා. කණ්ඩායම දර්ශන තලයට ගියාට මම දින කීපයක්ම ගියේ නැහැ. මමත් වේශනිරූපණ ශිල්පියාට අදහස් දෙමින් පුළුවන් තරම් ඒ ගතිය ගන්න කටයුතු කළා. මොකද ඒ චරිතයේ සියුම් අංගයන් සමඟ මම රඟපානවා නම් මට අවශ්‍යයි ඒ පහසුව සහ පෙනුම. එතකොටයි මටත් විශ්වාසයක් ගොඩ නැඟෙන්නේ. චරිතයේ බාහිර ස්වරූපය තියෙනවා නම් ඊට පස්සේ එහි ආත්මීය ගුණය එකතු කරගෙන පණ ගන්වන්න පුළුවන් වෙනවා.

වේශ නිරූපණයම පමණක් ප්‍රමාණවත්ද?

නැහැ. බාහිර ස්වරූපය හරි ගිය ගමන් ජනතාව බලනවා වටපිටාව කොහොමද කියලා. ඒකට ඔහු ඇවිදින විදිහ, කතා විලාසය, සිනාව වැනි චරිත ලක්ෂණ,ඒ හැඩතල ඔළුවට දාගන්න, සියල්ල පිළිබඳ අධ්‍යයනයක් කරන්න වුණා. ඒ එක්කම අර ආත්මීය ගුණය ගන්න වෙන්නේ යමෙක් වචනයක් පිට කරද්දි එයට ලැබෙන අර්ථාන්විත බව සහ විශ්වසනීයත්වය ඒ පුද්ගලයා දුන් ආකාරයෙන්ම එකතු කිරීමෙනුයි. එයට උච්චාරණය සහ අවධාරණය කරන ආකාරය වැදගත්. ඒ වගේම යමෙකුගේ කතාවක තිබෙන යටි පෙළ තේරුම් ගැනීම අවශ්‍යයි. විශේෂයෙන්ම ජවිපෙ නායකයා ලෙස ඔහුගේ ප්‍රතිරූපය ගොඩනැඟී තිබුණේ බොහොම ආක්‍රමණශීලී, සටන්කාමී, ම්ලේච්ඡ හැසිරීමකින් තමන්ගේ ව්‍යාපාරය ගොඩනඟන්න උත්සාහ කළ කෙනකු ලෙසයි. ඇත්තටම එවැන්නක් සිදු වුණාද? එසේ නම් ඒ කොයි ආකාරයෙන් ද? එය හඳුනා ගන්න වන්නේ ඔහුගේ අදහස් ප්‍රකාශනයෙන්. එය පවතින්නේ ඔහුගේ වචන මාලාවෙයි.

එය ඔබ මූලාශ්‍ර මඟින් අධ්‍යයනය කළාද?

එහෙම නැතුව බැහැනේ. ඒ කාලේ පැවතුණු ආණ්ඩුවෙන් මඟින් ඔවුන්ගේ ව්‍යාපාරය මේ දේශපාලන බිමෙන් අතුගාලා දාන්නම උත්සාහ කරද්දි ඔහු කියනවා, (රඟපා පෙන්වමින්) ‘මෙ අපි මේ දේශපාලන බිමෙන් අතුගාලා දාන්න ඕනෙ නම් මෙන්න මේකයි කොරන්න තියෙන්නේ. අපිට කලින් මේ රටේ සමාජවාදී විප්ලවය කොරන එකයි ඇත්තෙ.’ එහෙම කියද්දි ඒ පුද්ගලයාගේ අවශ්‍යතාව මේ රටේ ත්‍රස්තවාදී විප්ලවයක් කරන එකද, වෙනත් විප්ලවයක්ද නැත්නම් දේශපාලන පසුබිම තනන එකද කියලා තේරුම් ගන්න පුළුවන්. ඔහුට මෙතනදි ඇත්තටම අවශ්‍ය වුණේ හැමෝටම එක හා සමාන අයිතිවාසිකම් තිබෙන සම්පත් සමානව බෙදී යන සමාජවාදී විප්ලවයක් කරන්න. ඉතින් නිර්ධන පන්තියේ ඉද්දි ඔවුන්ට තිබුණේ මිනිස් සම්පත පමණයි. සන්නිවේදනයත් නැහැ. යම් සිදුවීමක් වුණොත් ක්ෂණිකව නවතා ගන්න බැහැ. අවසානයේ වැරැද්දක් වුණාම එක යන්නේ නායකයාගේ පිටින්. ඒත් පාලක පක්ෂය සියලු සම්පත් සමඟ ආරක්ෂිතයි. සංවිධානාත්මකයි. ශක්තිමත්. අපේ ජනතාවත් පහසුවෙන් ඉන්න කැමති පිරිසක් බවට කාලයක ඉඳන් පත්වෙලා නිසා විජේවීර සහෝදරයාට සිදු වුණේ එහෙම ජනතාවක් මෙහෙයවා ගන්න. මෙවැනි පසුබිමක ඔහුගේ අවශ්‍යතාව සහ ඔහුට මුහුණපාන්න සිදු වූ දේවල් එක්ක ඔහු පිළිබඳ අප නොඇසූ නොදුටු කතාවක් තමයි මේ චිත්‍රපටයේ තිබෙන්නේ. එය ඉතාමත් අනුවේදනීය වගේම ජනතාව දැනගත යුතු කතාවක් වෙනවා.

ඔබ විජේවීර පියවි ඇසින් දුටු කෙනෙක්ද?

විජේවීර අපේ බම්බලපිටියේ ගෙවල් ළඟටත් ඇවිත් තියෙනවා. අපේ බතික් සහ ස්වර්ණාභරණ කර්මාන්ත ශාලාවේ ඔහුගේ ඥාති සහෝදරියක් ඉඳලා තියෙනවා. අම්මා කියනවා ඇය හමු වන්න විජේවීර ආවා කියලා. ඒත් මම ඇහැට දැකලා නැහැ කවදාවත්. හොඳ වෙලාවට එහෙම වුණේ. නැත්නම් මමත් ඔහුගේ කතාවට පැටලිලා ඒ මඟේ යන්නත් ඉඩ තිබුණා. හැබැයි මම ඔහුගේ වීඩියෝ පට අධ්‍යයනය කළා.

ඔබේ පළමු චිත්‍රපටය 'සාගරයක් මැද' නිරූපණය කරන්න තිබුණේ විප්ලවවාදී තරුණයකුගේ චරිතයක්?

ඒ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම්වලට ගිය, බොහොම මුරණ්ඩු, විශ්වවිද්‍යාල තරුණයකුගේ චරිතයක්. ඒකෙත් හිටියා වෙන නළුවෙක් රෝහණ විජේවීර ලෙස. හැබැයි මා කළ ඒ චරිතයයි මේ චරිතයයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඔහු දඩබ්බර නාහෙට අහන්නැති තරුණයෙක් විතරයි. රෝහණ විජේවීර කියන්නේ එහෙම නෙවෙයි. ඔහු යුග පුරුෂයෙක්. ඒ චරිත දෙක සසඳන්න බැහැ. විජේවීරගේ නොහික්මුණු ගතිය තිබුණේ කථනයේදී විතරයි. ඔහු මේ රටට සිටිය යුතු දේශප්‍රේමී නායකයකු ලෙසයි මම හඳුනා ගන්නේ. අදටත් ඔහු පිළිබඳ විවිධ දේ කියයි මේ චිත්‍රපටය බලලා ශාලාවෙන් එළියට එද්දි. ඒත් අපට පේන සත්‍ය කැන්වසයක ඇඳපු චිත්‍රයක් වගේ තියෙන්නේ නැනේ. එය පිකාසෝගේ චිත්‍රයක් වගේ. හිතනවාට වඩා වෙනස් දෙයක් ඇතුළේ තිබෙන්නේ. යම් අධ්‍යයනයක් කරන්න පුළුවන් නම් ඒ කාලේ මේ වෙනුවෙන් මිය ගියේ රටේ සිටිය බුද්ධිමත් උගත් තරුණ තරුණියෝ. 71 වුණත්, 88-89 කාලේ ඉන්දු ලංකා ගිවිසුම මඟින් වුණත් අපේ ස්වෛරීභාවයට බලපැමක් ඇති කර ලංකාව එක එක කඳවුරුවලට ගොඩ ගහ ගන්න හදනවා. ඉතින් ඉන්දියාවට, ඇමෙරිකාව හෝ චීනය කොයිකට ගියත් යම් කඳවුරකට නතු වෙනවා. ඒ කාලේ වුණත් මේ කරුණ වෙනුවෙන් සටන් කරපු පිරිස තමයි මිය ගියේ. මේ රටේ කොතරම් ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා කීවත් ඇත්තෙන්ම සිදු වන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු. සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය ජනතාවට නොවේ පාර්ලිමේන්තුවටයි.

මේ චිත්‍රපටයේ ඔබ නිරූපණය කරන විජේවීර සහ ඔබ ජීවිත කාලය පුරා අසා දැනගත් විජේවීර සමානද?

ඇත්තටම මතවාදයක් ලෙස විජේවීර එක කාලෙක වැවිලිකරුවකු වගේ, මැණික් මුදලාලි කෙනෙක් වගේ හිටියා කියලා පැතිරුණා. බාර් එකක් තිබුණා කියලා කීවාට විජේවීර කියන්නේ මත් පැන් බිදක් සිගරට්ටුවක් කටේ තිබ්බ නැති ආදර්ශමත් නායකයෙක්. ඒත් ඔහුට එහෙම මවා පාන්න වුණා ආරක්ෂාව වෙනුවෙන්. මෙය චිත්‍රපටයෙත් තිබෙනවා.

මා අසා ඇති කතා අනුව විජේවීර බොහෝ දරාගැනීමේ හැකියාවක් ඇති දැඩි ශක්තිමත් පෞරුෂයක් ඇති පුද්ගලයෙක්. එහෙත් චිත්‍රපටයේ ඔහු වැස්සකට තෙමී සෙම්ප්‍රතිශ්‍යාවට වෙවුලන කෙනෙක්?

විජේවීර කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්. අනෙක ඔහු පක්ෂය තුළ තිබෙන සියලුම තීරණ ගන්න පුද්ගලයා නොවේ. ඔවුන්ට තිබුණා පොලිබියුරෝ එකක්. ඒ කණ්ඩායම වැඩි මනාපය අනුවයි තීරණ ගන්නේ. එහිදි විජේවීරට විරුද්ධ වුණු තීරණත් ගත්තා. විප්ලවයක් වැරදුණාම ඒක යන්නේ නායකයාගේ පිටින්. කවුරු කොහොම කීවත් විජේවීර කියන්නේ යුද වීරයෙක් වගේ කෙනෙක් නෙවෙයි. මිය යද්දි වුණත් ඔහුට අත්විඳීන්න වූ දේවල් සමඟ හැසිරී ඇති ආකාරය අනුවේදනීයයි. ඒත් අප ඒ දුරට චිත්‍රපටය ගෙන යන්නේ නැහැ. මොකද ඒ ඝාතනය සිදු වී තිබෙන්නේ ම්ලේච්ඡ විදිහට බව අපට අහන්න ලැබුණ නිසා. එය ඉතින් කවුරුත් දන්න අබිරහසක්නෙ. ඒ නිසා විජේවීරට ලොකු ප්‍රතිරූපයක් ගොඩ නඟන්න අවශ්‍ය නැහැ. ඔහු සාමාන්‍ය විදිහට දරුවන් පිරිසක්ම හදාගෙන පවුලට ආදරය කරමින් පවුල් ජීවිතයක් ගත කළ චරිතයක්. ඔහු මානුෂීය පුද්ගලයෙක් කියලත් කියන්න පුළුවන්. ඔහු හම්බන්තොට ඉන්න කාලේ මුට්ට කරගහලා කුලී වැඩ කරලා හම්බුණු සොච්චමයි, අහක දාන එළවළු ආදියයි එකතු කරගෙන තමන්ගේ පිරිස රැකගන්න මහන්සි වුණු මිනිහෙක්. එතකොට ඒ පිරිස හිතනවා මේ මනුස්සයා මෙච්චර අමාරුවෙන් අපට කන්න බොන්න දෙද්දි අපි මොකටද සිගරට්වලට වියදම් කරන්නේ කියලා දුම්බීම නවත්වපු අය ඉන්නවා.

මෙවැනි කරුණු අනාවරණය වුණේ කොහොමද?

ඔහු සමඟ සමකාලීනව ව්‍යාපාරයේ හිටපු, ඇසුරු කළ අදටත් ජීවත්වන අයට මතක තොරතුරු අනුව කියලයි අනුරුද්ධ සමඟ තිරරචනය කළ ධම්ම කීවේ. ඒ නිසා ඒ කරුණු සියයට අනුනවයක්ම විශ්වසනීයයි කියන්න පුළුවන්. චිත්‍රපටය සත්‍ය සිදුවීම් ඇසුරින් තැනෙන්නක් නිසා එහි ජීවනාළියට විකෘතියක් ඇති නොවන අයුරින් ආලෝකයක් දෙන දෙයක් අවශ්‍යතාව අනුව එකතු කළා පමණයි.

විජේවීරගේ හඬ මෙන්ම ඔබේ හඬත් වෙන් වෙන්ව ජනතාව හඳුනනවා?

නළුවෙකුට සතර අභිනය අතරින් ප්‍රබලම අංගයක් වන්නේ වාචික අභිනය. එය පළපුරුද්දෙන් කළ යුතු දෙයක්. මම මුලින් කීවා වගේ කෙනකුගේ කතාවේ ආත්මීය ගුණය ගන්න නම් ඒ පුද්ගල චරිත ලක්ෂණ ගත යුතුයි. රෝහණ විජේවීර කියන පුද්ගලයාට මේ රටේ මිනිසුන් මරන්න ඕන වුණාද? ගිනි තියන්න ඕනාවුණාද? ඔහුට මේ රටේ සිදුවේගන ගිය පරිහානිය හා අනතුරු පෙනුණා. ඔහුගේ කතා ආවේගශීලී වෙන්නේ ඔහුගේ හැඟීම අනුව. ඒ වගේම තමයි ඕනැම කෙනෙක්. අවශ්‍යතාව අනුව හැඟීමෙන් කියන්න පුළුවන් ඕන දෙයක්. විජේවීරගේ අවශ්‍යතාව රට වෙනුවෙන් පිවිතුරුයි. හැදැරීමක් අවබෝධයක් තිබෙන නළුවකුට එය තේරුම් ගන්න ලේසියි. චරිතය තමන් ප්‍රිය කරන එකක් නම් එය වඩාත් ලේසි වෙනවා. ඒ වගේම තමන් අතිශයින් අප්‍රිය කරන චරිතයක් නම් ඒත් ලේසියි චරිතයට සාධාරණීකරණයක් කරන්න.

බෝගම්බරදි එහෙම පක්ෂයෙන් විශාල සහයෝගයක් ලැබුණා කියලා ආරංචියි?

ජනතා විමුක්ති පෙරමුණට මේ චිත්‍රපටය ඉතාම හොඳ ආලෝකයක්. ඒවාගේම ඔවුන්ට කියන්න බැරි, අවබෝධ කරන්න බැරි දේවල් බොහොමයක් මෙයින් කියැවෙනවා. හැබැයි කාටවත් ඇඟිල්ල දික්කරන්න බැහැ මේ චිත්‍රපටය ජවිපෙ හොරණෑවක් කියලා. මොකද ප්‍රසිද්ධ සිදුවීම් ඔස්සේයිි මේ චිත්‍රපටය කරන්නේ. මිය ගිය කෙනකුට මෙය උපහාරයක් මොකද ඔහුට පසුගිය කාලයේ බොහෝ විශාල අසාධාරණයක් වුණා ඔහු පිළිබඳ වැරැදි තොරතුරු ප්‍රචාරය වීම නිසා. අනෙක ජනතාවට යමක් අලුතින් හිතන්න පුළුවන් දෙයක් මෙයින් ලැබෙනවා. ඒ වගේම මෙය දේශප්‍රේමී චිත්‍රපටයක්.

ඔබේ වෘත්තීය අත්දැකීම් අනුව මේ චිත්‍රපටය ජනතාව බාර ගන්නවා ඇත්තේ කොහොමද?

සාමාන්‍ය ජනතාව ඉතාම සුබවාදී වෙයි කියන්න පුළුවන්. ඒත් කාලයක් තිස්සේ දේශපාලන විචාරකයන්, විශාරදයන් වගේ කතා කරන අය තමන්ගේ මතයෙන් වෙනස් වෙන එකක් නැහැ.

චරිත කතා චිත්‍රපට රැල්ලක් ඇතිවෙයි වගේ දැනෙනවා?

එක අතකින් ඒවායේ වැදගත්කමකුත් තිබෙනවා. ඔවුන්ගේ චරිතවල තිබෙන හොඳ හෝ නරක සමඟ ජනතාවගේ අධ්‍යාත්මයට කතා කරන්න පුළුවන්. මනුෂ්‍යත්වයට නිගාදෙන චරිතවලින් පවා ප්‍රේක්ෂකයන්ට මනුෂ්‍යත්වය පිළිබඳ යම් අවදි කිරීමක් කරන්න පුළුවන්. අනගාරික ධර්මපාලතුමා, ඩීඑස් වැනි දේශාභිමානී, දේශප්‍රේමී චරිත පිළිබඳ වුණත් කතා කිරීම තරමක් ප්‍රවේශමෙන් කළ යුතුයි. මොකද සමහරු ඒවා අන්තවාදීව ගන්න පුළුවන්. මේ රට බහු ආගමික, ජාතීන් සමගියෙන් ජීවත් වන රටක්. ඒවා රැකගන්න පුළුවන් චිත්‍රපට විය යුතුයි. ඒ කොහොම වුණත් දේශප්‍රේමී චිත්‍රපට මේ රටට අත්‍යාවශ්‍යයි.

මොකද දේශප්‍රේමී කියන්නේ ජාතියකට, ආගමකට සීමා කළ හැකි දෙයක් නොවේ, එහි තේරුම රටේ මිනිස්සු රටට ආදරය කිරීමයි. ජාතවාදය, ආගම්වාදය, කාම රැල්ල වැනි අධ්‍යාත්මයට හානි කරන චිත්‍රපටවලට වඩා මිනිසුන්ගේ අධ්‍යාත්මය ගොඩ නැඟීමට උදව් වන චිත්‍රපට කිරීම වැදගත්.

චිත්‍රපට පෝලිම සහ පෝලිම් පැනීම පිළිබඳ මොකක්ද ඔබේ අදහස?

මේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි රටට අවශ්‍ය පරිපාලනය දේශපාලනඥයන් තුළ නැති වීම. පරිපාලනයක් ඇති කර ගන්න ඕනා ජාතික ප්‍රතිපත්තියක් අනුව. එසේ නැති වීම නිසා ප්‍රධාන වශයෙන්ම කෘෂි කර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍ය වගේම කර්මාන්තවලටත් විශාල අර්බුද ඇති වෙලා. ඒ කන බොන දේට අමතරව මිනිසුන් සුවයක් ලබන්නේ විනෝදාස්වාදයෙන්. එයට සංගීතය, සිනමාව, ජනමාධ්‍ය ආදිය අවශ්‍යයි. ඊට අමතරව අපි කිසි කෙනෙක් මේ වනතුරු හරියට අල්ලා නොගත්ත, ඒ වගේම ඒ වෙනුවෙන් පෙනී ඉන්න අයත් නිකම්ම ඇඳුම් ඇඳගෙන ඉන්න විතරක් පුරුදු වෙච්ච වටිනාම දේ තමයි බෞද්ධ දර්ශනය. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකටත් එහා වැඩ සිටි බුදුවරුන් පවා දැන සිටි මේ දර්ශනය ගෞතම බුදුන්ට පමණක්වත්, අපට පමණක්වත් සීමා වූ දෙයක් නෙවෙයි.

මේ ලෝකෙම මිනිස්සුන්ගේ අවධානය මේ රටට දිනාගන්න, ඔවුන් මෙහේ ගෙන්වා ගන්න තිබෙන හොඳම සහ ලෝකයටම ශාන්තියක් ඇති කරන්න පුළුවන් දර්ශනය එයයි. ඒ පසුබිම නිසා තමයි මේ රටේ අනෙක් සියලු ආගම් ආදිය රැකී තිබෙන්නේ. ඒ අනුව ජීවත් වෙනවා නම් වෙන මුකුත් ඕනෙ වෙන්නෙත් නැහැ. ඒත් දැන් අපි කරන්නේ අරක්කු බෝතලයකට සූප්පුවක් ගහගෙන කිරි කියලා හිතාගෙන බොන එකයි.

හාමුදුරුනමක්, පූජකයෙක්, ගුරුවරයෙක්, දේශපාලනඥයෙක් පැය ගාණක් කියන දේ චිත්‍රපටයකින් විනාඩි කිහිපයකදි කියන්න පුළුවන්. සිනමාවේත් පරිපාලනය කඩා වැටුණු තත්ත්වයකට පත්ව තිබෙන නිසා එය අද වෛශ්‍යා වෘත්තියේ යෙදවිලා. ඕන කෙනකුට ඕන ජරාවක් චිත්‍රපටයක් කියලා හදන්න පුළුවන්. එයින් මිනිසුන්ගේ ඔළු වෙනස් වෙනවා. ඒ නිසා සෞඛ්‍යසම්පන්න මානසිකත්වයක් හදාගන්න තිබෙන අවස්ථාව නැති වෙනවා. සාහිත්‍ය, කලාව, ආගම, දර්ශනය කියන දේවල්වලින් බැහැර වුණාම කිසිම පාලකයකුට මේ රට කරන්න හම්බෙන්නෙත් නැහැ. හැමදාම ණය වෙවි, අපේ අනාගත පරපුර අපේ ඇස් ඉදිරියේම බලන් ඉන්න බැරි දේවල් කරද්දි ඉවසා ඉන්න සිදුවන නිවට ජාතියක් බවට පත්වෙයි.

ඉතින් ඒ බව තේරුම් ගෙන යම් පාලකයෙක් කටයුතු කළොත් ඒ පාලකයාගේත් රටේත් උන්නතියට භාවිත කළ හැකි හොඳම මාධ්‍යයත් සිනමාවයි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.