සරසවිය සම්මානයෙන් ඇරැඹි රෝහණ වීරසිංහ

ජනවාරි 17, 2019

සිනමා ස්වරාභිමානය

සප්ත ස්වරය ආශ්චර්යක් කියලා ඔහු අපට පසක් කළා. තවදුරටත් පසක් කරමින් සිටිනවා. ඔහු ඇසුරේ වැඩෙන ස්වර හත වෙලාවකට අපිව අලුත් අලුත් ලෝකවලට ගෙන යනවා. මේ ස්වර ඔහු ඇසුරේ වැඩෙනවා කියනවට වඩා මට හිතෙනවා ඔහු ඒක ඉමහත් ආදරයෙන් සුරතල් කරනවද කියලත්. හරියට පියෙක් දරුවෙකුට දක්වන කෙළවරක් නොවන ආදරය, සෙනෙහස වගේ. ඒ ඔහුගේ ආදරයෙන්, සෙනෙහසින් වැඩෙන දරුවෝ අද මුළු රටක්ම නළවනවා. වෙලාවකට හඬවනවා. තවත් වෙලාවකට නටවනවා

ඒ සප්ත ස්වරයේ ආශ්චර්යයම පමණක් නොවේ. ඒවා හසුරුවන ඔහු තුළ වන්නා වූ අති මහත් වූ නිර්මාණශීලී හැකියාවේ බලමහිමයෙන්. ඔහු ආචාර්ය රෝහණ වීරසිංහයන්. ඊටත් වඩා ඔහු මෙරට ගීත ශ්‍රාවක හද ගැඹරේ ‘ආදරණිය රෝහණ’ වීරසිංහයන්ය.

මෙරට චිත්‍රපට පසුබිම් ගීත කලාව තුළ රෝහණ ලකුණ පුරා දශක හතරකට ආසන්න කාලයක් ඔහු රනින් සලකුණු කළා කියලා අපේ චිත්‍රපට සංගීතය පිළිබඳ පිරික්සීමේදී හිතෙනවා. ඔහු සතුවන ගායකයා, වාදකයා, සරල ගී නිර්මාණ ශිල්පියා, කැසට් ගීත කලාවේ අති ජනප්‍රියතම ගී තනු නිර්මාපකයා ආදී වූ මෙකී නොකී කරුණු කාරණාවලින් බැහැරට ගොස් මෙරට චිත්‍රපට ගීත කලාවේ ඔහුගේ නිර්මාණශීලී දායකත්වය පිළිබඳ පමණක් සැලකූ කළ එදා මෙදාතුර ඔහු තවමත් මෙරට පසුබිම් සංගීතය තුළ කාර්ය ශූරයාය. නිර්මාණශීලියාය. කාර්ය බහුලයාය. ක්‍රියාශීලියාය. මෙය අපට පසක් කරන්නට තවත් උදාහරණ අවශ්‍ය නොවන්නේ එයට අපේම දෙයක් සාක්ෂි සපයන නිසාය. 1981 වර්ෂයේදී සිය කුලුඳුල් චිත්‍රපට පසුබිම් සංගීත අධ්‍යක්ෂණය උදෙසා ඔහු ප්‍රථම සම්මානය දිනා ගන්නේ අපේ සරසවිය සම්මාන උලෙළෙනි. එදා මෙදා තුර වසර 37 ක කාලයක් ඔහු සරසවිය සම්මාන පමණක් 6 ක් දිනා ගන්නා අතර ඔහු මෙතෙක් අවසන් වරට සංගීතය නිර්මාණය කළ චිත්‍රපටය වූ ‘ප්‍රේමය නම්’ උදෙසා ද පසුගිය සරසවිය සම්මාන උලෙළේදී සම්මාන දිනා ගත්තා.

ඉඳින් ඔහු ගැන විමසන්නට සේම ඔහු ගැන රටට කියන්නට අපට ඇත්තේ සමීප ඥාති සබඳතාවයක්. ඔහු අපේ කෙනෙක් යන ආඩම්බර හැඟීමක්.

රටක් ආදරයෙන් වැළඳ ගත් ගී රාජ්‍යයක හිමිකරුවෙක්. සුපුරුදු සැහැල්ලු සිනාබර වතින් අප හමු වෙනවා. මේ හමුව සුවිශේෂ කටයුත්තකට. ඉතින් . . . අපි කතා කරමු.

මොකක්ද නිමිත්ත? . . . ඔහු සිනාසෙනවා.

‘මගේ 70 වැනි ජන්ම දිනය නිමිති කරගෙන ප්‍රසංගයක් පවත්වන්නයි සූදානම. ප්‍රසංගයේ නම ‘සුදු මුතු රළ පෙළ’. මහාචාර්ය සුනිල් ආරියරත්නයි නම දැම්මේ. ජනවාරි 20 වැනිදා සවස 6.30 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පවැත්වෙනවා.

අවුරුදු 70 ක් මම ආයෙමත් මගෙන්ම විමසනවා. ඔව් වයස කියන දේ දවසින් දවස ගෙවිලා යනවා තමයි. අපි ආදරේට කියන ‘රෝහණ අයියාට එච්චර වයසද? පෙනුමක් නෑ එහෙම. ජවය, ශක්තිය, නිර්මාණීලී හැකියාව සප්ත ස්වරයේ මිශ්‍රණය තවමත් තරුණයි කියලා මට හිතුණා. ඒ තරුණ බව දැනෙන්නේ ඔහුගේ පෙනුමෙන් නෙවෙයි. ඔහුගේ සංගීතයෙන්. ලෝකය වෙනස් වෙලා, ලෝකය නවීන වෙලා. අධි තාක්ෂණික භාණ්ඩ භාවිතා වෙලා. පරම්පරවෙන් පරම්පරා ගණනාවකට සිතුවිලි මාරු වෙලා. රුචිකත්වය මාරු වෙලා. ලෝකය උඩු යටිකුරුව තිබුණත් වර්තමාන නව යෞවනයට ගැළපෙන සංගීතය අති නිර්මාණශීලීව ඔහු අතින් භාවිතයට ගැනෙනවා. මට හිතෙන්නේ ඔහු වත්මන් තරුණ පරපුුරත් එක්කත් ඒ විදියට හුස්ම ගන්නවා කියලයි. ඒකට හොඳම උදාහරණය ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයේ සංගීතය.

අපි ආපස්සට හිතලා බැලුවොත් අතීතය කොයි තරම් සොඳුරුයිද කියලා ඒ ගැන කියන්න වචන නෑ.

‘’සීත අරණේ සුපුල් නාමල

සුවඳ ගැල් වූ ජීවිතේ

සීත හිමගිර සීත නොදැනේ

දැනේ උණුසුම ආදරේ . . .

එදා මෙදාතුර මේ ආදරේ උණුසුම නොදැනුණ කෙනෙක් නැතුව ඇති. රෝහණ වීරසිංහයන් අතීතයට යනවා.

‘මම චිත්‍රපට පසුබිම් සංගීතයට හා හාපුරා කියලා එක් වෙන්නේ 1981 ආපු විජය ධර්ම ශ්‍රීගේ ‘ආරාධනා’ චිත්‍රපටයට. මම අන්තිමටම සංගීතය අධ්‍යක්ෂණය කළේ පසුගිය වසරේ සම්මානයට පාත්‍ර වුණු වින්දන - කල්පන ආරියවංශගේ ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයට. මේ අතර කාල පරාසය අවුරුදු 37 ක්. මේ කාලය තුළ චිත්‍රපට රාශියකට මම සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු වෙලා තියෙනවා. සිනමා සම්මාන රාශියකටත් හිමිකම් කියලා තියෙනවා. ඒ අතරින් ජනප්‍රිය ගීත 24 ක් වගේ තෝරගෙන තමයි ‘සුදු මුතු රළ පෙළ’ ප්‍රසංගය පවත්වන්නේ. මේක නම් කරලා තියෙන්නෙත් ‘රෝහණ සිනමා ගීතාවලෝකන’ කියලා.

මේ ප්‍රසංගය පවත්වන මොහොතේ එක්තරා ආකාරයක දෛවෝපගත සිදුවීමකුත් මගේ ජීවිතයේ තිබෙනවා. මගේ ප්‍රථම චිත්‍රපටයට සිනමා සම්මානය වුණු ‘ආරාධනා’ චිත්‍රපටයට ලැබුණු සම්මානය වගේම අවසන් චිත්‍රපටය වුණු ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයට මට ලැබුණු සම්මානයත් සරසවිය සම්මානයක් වීම. මේ අතීතේ දිහා ආපස්සට හැරිලා බලනකොට මට ලොකු සතුටක් තියෙනවා. හේතුව මේ කාල පරිච්ඡේදය පුරාම මම සජීවීව සිනමා සංගීතකරණයේ යෙදිලා ඉඳලා තිබීම.’

ඇත්තටම නිර්මාණකරුවෙකුට තමන් ජීවත් වෙනවා යැයි දැනෙන්නේ නිර්මාණකරණයේ යෙදෙන විටයි. ඉන් ලබන සතුට, ආශ්වාදය, ප්‍රීතිය කොයි තරම් දුෂ්කර අත්දැකීමකට මුහුණ දුන්නත් ඒ සියල්ල එක මොහොතකින් තුරන් වෙනවා නිර්මාණය දුටු විට.

‘නෙළූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ

මැකී ගියාදෝ කාලයේ වෙරළේ

ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා

ස්නේහයේ සත් පියුමන් යළිදු පිපේවා . . .

ආරාධනා . . . ආරාධනා . . .

මේ නිර්මාණ කවදාවත් කාලය වෙරළේ මැකී නොයන ඒවා.

‘ඇත්තටම ආරාධනා චිත්‍රපටය මට සංගීතවත් කරන්න ලැබෙන්නේ 1978 දී 1979 දී විතර. ඒ වෙනකොට මම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා ගුරුවරයෙක් විදියට සේවය කරනවා. මගේ ගී තනු නිර්මාණයට ආකර්ෂණය දිනා ගන්නේ 1971 දී 72 දී විතර. මම නිර්මාණය කරපු ජනප්‍රිය වුණු ගීතය වුණේ ‘ඔබේ අතගෙන පෙර සැඳෑවක’ ගීතය. ඊට පස්සේ ටී. එම්. - නීලා ගැයූ ‘එක සිත දෙතැනක නතර වෙලා’ වගේ ගීත. මේ ඔක්කොම කැසට් ගීත. එවකට මේ කැසට්පට නිෂ්පාදනය කළේ විජය රාමනායක තරංගා ලේබලයෙන්. ඔවුන් කරපු මුල්ම චිත්‍රපටයට ඊට පස්සේ ඔවුන් මාවත්, එච්. එම්. ජයවර්ධනවත් සම්බන්ධ කර ගත්තා.

ආරාධනා චිත්‍රපටයේ පසුබිම් සංගීතය මම කළා. චිත්‍රපටයට ගීත 3 ක් ඇතුළත් වුණා. ඉන් දෙකක් මම කළා. විජය කුමාරතුංග ගායනා කළ ‘සිනහවකින් පුතුගේ මුවේ’ කියන ගීතය එච්. එම්. ජයවර්ධන කළා. මම කරපු පළමු චිත්‍රපට පසුබිම් සංගීතයටම මට සම්මාන ලැබුණා.’

රෝහණ වීරසිංහයන් අතීතය සිහිපත් කරනුයේ හද පිරි බැතියකින්. ඒ ඇරඹුම ඔහුගේ සම්මාන පෙළහරක ද ඇරඹුමක් වේ යැයි ඔහුත් සිතන්නට නැතුව ඇති. ඒත් සිදු වෙන්නේ නොසිතු දෙයක්ම තමයි. එකක් ඉවර වෙන කොට තවත් චිත්‍රපටයක. ඒත් ඔහුගේ ආදරණීය ස්වර රටා ඉවර වෙන්නෙ නෑ.

‘සුදු මුතු රළ පෙල

කිඳුුරු කෙදෙව්වේ

පාවඩ පලස එළා

සිඳුළඳ ගෙන දුන්

මුතු කැකුළක් සේ

ඔබ මට තිළිණ වෙලා . . .’

ට පස්සේ ‘ආදර හසුන’ (1986), සහරාවේ සිහිනය (1990), සෙයිලම (1995), වීසිදැල (1979), ප්‍රේමය නම් (2018) සරසවිය සම්මානම 6 ක් ඔහු පසු පස්සේ. එතකොට අනෙකුත් සම්මාන ස්වර්ණ සංඛ 1990(සහරාවේ සිහිනය) ඕ. සී. අයි. සී 1990 (සහරාවේ සිහිනය) ජනාධිපති සම්මාන (මදාරා පරසතු, සප්ත කන්‍යා, මේ මගේ සඳයි, අංජලිකා) දෙරණ සම්මාන (කුස පබා) සිග්නිස් සම්මාන (කුස පබා, සරිගම) හිරු ගෝල්ඩන් සම්මාන (අජාසත්ත, සරිගම) හොඳම සිනමා සංගීතයටත් හොඳම ගී තනු නිර්මාණයටත් ඔහු දිනා ගත්තා. ඔක්කොම සම්මාන 17 ක් ඔහුගේ රාක්කයේ ආඩම්බරෙන් වැජඹෙනවා. මේ ඔක්කොම සත්සරට බැඳුණු පෙමට උපන් තිළිණ.

වෙලාවකට හිතෙනවා මේ ගී තනු කොහෙන් කොතනින් උත්පාදනය වුණා ද කියලා. ඔහුගේ සංගීතයේ තිබෙන සුවිශේෂී අනන්‍යතා ලක්ෂණයත් ඒකයි. කාලයක් පුරා කෙරුණු සතතාභ්‍යාසයත්, අත්දැකීමත්, අධ්‍යයනයත් මේ අලංකාර ස්වර වියමනේ අති විශිෂ්ටය විය හැකියි. එහෙත් එහි මූල බීජය ඉතාම කුඩා අවදියක සංගීතයට අසීමිතව ප්‍රේම කරමින් ඒ වෙනුවෙන් අසීමිතව චිත්‍රපට නැරඹූ චිත්‍රපට ලෝලියකුගේ කතාවකි.

‘මම ඉගෙන ගන්න කාලෙත් සංගීතය ගැන තමයි වැඩි කැමැත්ත තිබුණේ. ඒ කාලේ මම චිත්‍රපට ලෝලියෙක්. වැඩිපුරම බලන්නේ හින්දි චිත්‍රපට. මොකද ඒවයේ තියෙන සංගීතයට, ගී තනුවලට තියෙන ආසාවට. ඉන්දියානු සිනමා සංගීතයට මම අසීමිතව ප්‍රේම කළා. පසු කාලයක මගේ සංගීත නිර්මාණයන්ට හා ගී තනු නිර්මාණයන්ට ඒක දැඩි ලෙසම බලපාන්න ඇති කියලා මට හිතෙනවා. අපි නිතර නිතර අහලා අපේ මනසේ තැන්පත් වෙන රස භාවයන් අපි නිර්මාණකරණයේ යෙදෙන විට ඉබේම මතක් වෙනවා. ඒ වගේම සිනමා සංගීතය නිර්මාණයේදී දේශීය වශයෙන් මම හදාරපු කෙනෙක් තමයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සහ ආචාර්ය වික්ටර් රත්නායකයන්. අනිත් පැත්තෙන් වර්තමානය වන විට බොහෝ විට විදේශීය සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගීතයට ඇහුම්කන් දීලා, ඒ අය කොහොමද මේවා කරන්නේ, අලුත් තාක්ෂණයත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ කොහොමද, ඒ සිනමාව තුළ ප්‍රේක්ෂකයාට දැනෙන සංගීත රසාස්වාදය කොයිතරම් දැවැන්තද? මේවා ප්‍රශ්න කරමින් අධ්‍යයනයේ යෙදෙන්න ඕනෑ. නව ප්‍රවණතා හඳුනා ගන්න ඕන.’

නව යෞවනයේ සිතවිලිත් එක්කත් හුස්ම ගන්නව කියලා මම කිව්වේ ඒ හින්දයි. ඒත් ඔහුගේ චිත්‍රපට සංගීතය තුළ අප අත්දකින විවිධ භාවිතාවන් තිබෙනවා. විටෙක ඔහු ඉන්දියානු රාගධාරි, ශාස්ත්‍රීය සංගීතය බහුල ලෙස භාවිතා කරනවා. තවත් විටෙක මෙරට ජන සංගීතයේ ආභාෂය මූල බීජය කොටගෙන සමස්ත සිනමා සංගීතයම ඒ දෙසට හරවනවා. තවත් විටෙක ඔහු බටහිර සංගීිතයේ අනන්‍යතා ලක්ෂණත් එක්ක එකට ගැටෙනවා. ඒත් අන්තිමට මේ ඔක්කොම එකම තලයකට විත් සමස්ත ප්‍රේක්ෂක ජනතාවම අති ආනන්දනීය වූ ප්‍රඥා ගෝචර සමාජයක සාමාජිකයන් බවට පත් කරනවා. අපි අහමු ඒ කොහොමද කියලා.

‘මම හිතනවා මම ඉන්දියානු රාගධාරි ශාස්ත්‍රීය සංගීතය බහුල ලෙසම පාවිච්චි කළ චිත්‍රපටයක් වෙයි නම් ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘යශෝදරා’ චිත්‍රපටයට. ඒකට හේතුව චිත්‍රපටයේ ඉල්ලුම. යශෝදරාට පසුබිම් වෙන්නේ ඉන්දියානු පරිසරයක්. ගැඹුරු ශාස්ත්‍රීය තේමාවක් යටතේ මේ කතාව දිව යන්නේ. ඒ නිසා පසුබිම් සංගීතයත් ඒ ආකාරයෙන් නිර්මාණය කරන්න මම උත්සාහ කළා. ඒ ඇරුණම ‘කුසපබා’, ‘පත්තිනි’ යන චිත්‍රපටවලටත් මේ ඉන්දියානුු පසුබිම තිබුණ නිසා ඒ චිත්‍රපටවලටත් එය භාවිතා කළා. හැබැයි මම සෝමරත්න දිසානායකගේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයට ඉන් සම්පූර්ණයෙන් වෙනස් දිශාතනියකට යොමු කළා. ඒකට මම පාවිච්චි කළේ සම්පූර්ණයෙන්ම අපේ දේශීය ජන සංගීතය. මේ අපේ රටේ පසුබිම, අපේ ගම, රට, කුඹුර, අපේ ජන සමූහයා පාදක වෙන්නේ මේ තේමාවට. ඒ නිසා අපේ ජන සංගීත මූලාශ්‍ර ඊට භාවිත කළා.

ඔහුගේම චිත්‍රපටයක් වුණු ‘සරිගම’ සඳහා මම පාවිච්චි කළේ බටහිර සංගීත ඇසුර. ඒකට පසුබිම් වෙන්නෙත් බටහිර පරිසරයක්. ඊළඟට ජැක්සන් ඇන්තනීගේ ‘ඇඩ්‍රස් නෑ’ වගේ චිත්‍රපටයක් ගත්තම මේ සියල්ලටම වඩා වෙනස් වුණා. ඒ කතාව පාතාල ලෝකයක් සමඟ සම්බන්ධ හරිම දැඩි, කර්කෂ සමාජ යථාර්ථයක් කියවෙන චිත්‍රපටයක්. ඒ කර්කෂ තේමාවට ඔබින සංගීතය තමයි එහිදී මගෙන් නිර්මාණය වුණේ. ඉතින් මට හිතෙනවා ඒ විිවිධත්වය තෝරා බේරා ගන්නට මට වාසනාව තියෙනවා කියලා.’

ඒක එසේ මෙසේ වාසනාවක් නොවෙයි. සසර පුරා ජන්මයෙන් ලද සංසාර පුරුද්දක්. මිණි කැට ගොඩින් කිහිපයක් තෝර ගන්නේ කෙලෙසකදැයි සිතුණත් එදා මෙදා තුර මෙරට චිත්‍රපට සංගීතයට තිළිණ කළ ගී නිර්මාණ රැස අතරින් 24 ක් සුදු මුතු රළ පෙළ ප්‍රසංගයේදී ගැයෙනවා. සාමාන්‍ය ප්‍රසංගයකින් එහා ගොස් වාදන ශිල්පීන් 35 දෙනෙකුගෙන් සමන්විත වාදක මණ්ඩලයක් ඊට සත්සර මුසු කරනවා. පත්තිනි චිත්‍රපටයේ එන නෘත්‍ය රාජිනි අභිෂේක මංගල්‍යයේ ගීතයට පමණක් මෙරට ප්‍රකට කථක් නර්තන ශිල්පිනී අනුෂ්කාගේ රැඟුමක් එක් වෙනවා. කථනය සමන් අතාවුදහෙට්ටිගෙන්.

ඒ අතරම මේ විශේෂ වේදිකාව තවත් කෘතගුණ සැලකීමක් වෙනුවෙන් වෙන් කරන්නටද ආචාර්ය රෝහණ වීරසිංහයන් කල්පනා කළා. එදා මෙදාතුර ඔහුගේ ජීවිතයට ආරම්භයේ පටන්ම විවිධ අවස්ථාවලදී අත්වැලක් වූ පිරිසකට බුහුමන් පුදන්නට.

රෝහණ වීරසිංහයන් පිළිබඳ විවිධ විද්වතුන්, රසිකයින්, විචාරකයින් විසින් ලියන ලද ලිපි ඇතුළත් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ද එදිනම දොරට වඩිනවා. එහි සංස්කාරකවරුන් වනුයේ සුනිල් ආර්. ගමගේ, සමුද්‍ර වෙත්තසිංහ හා කුලරත්න ආරියවංශයන්ය. ප්‍රකාශනය සුරස ප්‍රකාශන වෙනුවෙන් ප්‍රේම් දිසානායකයන්ය.

ඒ සමඟම මූර්ති ශිල්පී අතුල හේරත් විසින් නිර්මාණය කරන ලද රෝහණ වීරසිංහගේ ඉටි ප්‍රතිරූපය එදිනම එළි දක්වන්නට බලාපොරොත්තු වෙනවා.

ඉතින් මේ සියල්ලට . . .

තවත් යුග යුග ගණනන්

අප නළවන මියුරු ගී හදන්නට . . .

ඔබට සුවහසක් ආශිර්වාද . . .

තවත් බොහෝ කල් වැජඹෙන්නට

දීර්ඝායුෂ සමඟ!

-----------------------------------------------------------

පායනා ඉරපාන  කාගේ.....

පායනා ඉරපාන කාගේ

පීදෙනා මල් යාය කාගේ

හසරැලි මවෙත ගෙනා

පායනා දස සේ ගලා ඒ

වෑහෙනා නදියේ රැඳී ඒ

නෙත දිලි කඳුළු දොවා

සීත මදනල ඈත කඳු සිප

මෑත මා සොයනා . . .

 

මේ ගඟ දිය රැලි වාගේ

පිබිදේ සිතුවිලි මාගේ

දිදුලනා . . . තරු නෙලා

වන තීරයේ සරා

හිනැහෙමි සැනසෙමි

සොයනෙමි ඔබ දිව රෑ

 

ළසෝ දුක නෑ හිත මානේ

මේ ඉර රෑ හඳ මාගේ

පියඹනා . . . සිත සදා

මගේ හීනයේ වෙලා

හිනැහෙමි ඔබ දිව රූ

 

පායනා ඉර . . .

 

ගායනය - උරේෂා රවිහාරි

චිත්‍රපටය - අංජලිකා


සරසවිය සම්මාන දිනූ රෝහණ ගී

රන් දෙවොලින් . . .

රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමින් පිට යන දෙයියෝ
හෑල්ලු ඔරුකඳ දිය මත පාවේ
නැත සිඳු පතුලේ කිමිදෙන්නේ
ජීවන ගමනේ බර කඳ නොදැනේ
සොම්නස් සයුරේ පාවෙන්නේ

ඔරුවට රුවලයි රුවලට ඔරුවයි
සුළං බදා එකටම යන්නේ
රැල්ල මතින් පෙන නිල්ල නඟා
සැනසිල්ලේ යමු රන් දෙවොලේ

රන් දෙවොලේ . . .
සිත් තුළ දෙවියන් රජයන යාමේ
මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ
මාළුවනේ අපි යාලුවොනේ අද
පෙම් කෙළිමින් යමු දිය වතුරේ

ගායනය - දමයන්ති ජයසූරිය
චිත්‍රපටය - ආදර හසුන

----------------------------------------------------------------------------

සුදු මුතු - රළ පෙළ

සුදු මුතු රළ පෙළ - කිඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා
සිඳු ලඳ ගෙන දුන් මුතු කැකුළක් සේ
ඔබ මට තිළිණ වෙලා

යුග දිවි වැල්ලේ අඳුරු ඉසව්වේ
මුකුලිත සිතැඟි සලා
අරුණැල්ලක් සේ
අරුණැල්ලක් සේ නුඹ මිණ පායා
සනහස ජනිත කළා
සුදු මුතු . . .

සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ
රැඳුනෙමි සරණ සොයා
පවනැල්ලක් සේ . . .
පවනැල්ලක් සේ නොම හැර ආවෙමි
ඔබ හද සැදෙන තුරා

සුදු මුතු . . .

ගායනය - ටී. එම්.ජයරත්න / නීලා වික්‍රමසිංහ
චිත්‍රපටය - ආදර හසුන

--------------------------------------------------------------------

සුවඳ දැනී

සුවඳ දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ
අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීන බිඳු බිඳු
හීන් පිනි හුළඟේ හිනස්සා හීන හැඟුම්
සුවඳ දැනී දැනෙනවා

ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා
ජීවිතේ සුන්දර ද මෙතරම්
සුවඳ දැනී දැනෙනවා

රෑන රෑන එන පාට පාට සමනළයෝ
පේන පේන මල සිප ගන්නේ
ආදරේ . . . ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ
බලාපොරොත්තුව දෝත දරා මඟ බලා හිඳී ඔබ එනතුරා
ආයේ හෙට දවසක් තියේවි අද වාගේ
ජීවිතේ සුන්දර ද මෙතරම්
සුවඳ දැනී දැනී දැනෙනවා

ගායනය -- රූකාන්ත ගුණතිලක
චිත්‍රපටය - සප්ත කන්‍යා

-------------------------------------------------------------------

ගුමු ගුමුව

ගුමු ගුමුව වදුලේ
සිලි සිලිය සුළඟේ
මුනු මුනුව නදියේ
කසු කුසුව ගඟුලේ
අදයි මට ඇසුණේ
අදයි මට ඇසුණේ

විහඟ මිහිරාවී
මුදු හඬින රාගී
කොතැන තිබුණි ද තී
අද ගයන මේ ගී

ගුමු ගුමුව . . .

හද බඳුන ඉතිරී
ගලන මී මිහිරී
කොතැන නම් සැඟ වී
තිබිණි දැයි සොයමි . . .

ගායනය -- සමිතා මුදුන්කොටුව
චිත්‍රපටය - විසිදැල

----------------------------------------------------------------

අනන්තයක් වී

අනන්තයක් වී ඔබේ ආදරේ
ඔබේ ආදරේ
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කළ සරාග සුවඳ විජිතයේ

නීල නිලන නිම්නයේ
සුමුදු සයනයේ
නෙතු පියන් වැසී වැසී වැසී
ස්වප්නයක් ද මේ තරම් පුදුම වූ

ඔබේ ආදරේ . . . ඔබේ ආදරේ
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කළ සරාග සුවඳ විතේ

කැකුළු පිසින සිරිපොදේ
පිපුණු සීතලේ
දෙතොල් පෙති ලිහි ලිහී ලිහී
මධු විතක්ද මේ තරම් මධුර වූ
ඔබේ ආදරේ . . .

ගායනය -- රූකාන්ත / චන්ද්‍රලේඛා
චිත්‍රපටය - පොරොන්දුව

----------------------------------------------------------------

ආරාධනා . . . ආරාධනා

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා . . .

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයෙ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා
ස්්නේහයේ සිත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා . . . ආරාධනා

එදා සිඟිති ගී සුවඳින් යුග දිවි අරණේ
ඔබේ උණුසුමේ යළිදු උපන්නෙමි
බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා . . . ආරාධනා

- පණ්ඩිත් අමරදේව
චිත්‍රපටය - ආරාධනා

-------------------------------------------------------------------

දූවිල්ලෙන් වත්සුණු

දූවිල්ලෙන් වත්සුණු තවරා
කුමර කුමරියන් වී ළෙන්ගතු ඇසුරේ
වහස් බැලුම් දෙන සැන්දෑවේ
නන්නාඳුනනා . . . කය මිස සිත නැති පුරවරයේ
කවුරුන් හෝ තුරුලේ
නිමේෂයක් කොඳුුරාවි රහසින්
ආ ගිය උන් හිටි තැන් සඟවා

ගිනි කඳු සිරසේ මලපුඩු අතරේ
කැදලි සදාවි මොණර කිරිල්ලී
රැයකින් රැයකට කුස පිරෙනා
සඳ සෙවනැල්ලේ . . .
සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ
වහස් බැලුම් සඟවා
උකුසු ඇසක් ගෙන ගුරුලු වෙසක් ගෙන
පියඹා යාවී . . . මොණර කිරිල්ලී

සැඩ සුළඟේ මුල් ඉදිරී යන ගස මුදුනේ
නූපන් දවසේ රන් කිරි කඳුලේ
සිහින දකීවි මොණර කිරිල්ලී

ගායනය - මොරිස් විජේසිංහ
චිත්‍රපටය - සප්ත කන්‍යා

------------------------------------------------------------------------

සීත අරණේ

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල් වූ ජීවිතේ
සීත හිමගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන්
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙම් හදවතින් . . . හදවතින්

වලාවක් සේ අයලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි
මහා කතරක ගෙවූ තනි මඟ
නිමා කළ ඉම ඔබ නෙතයි . . . ඔබ නෙතයි
සීත අරණේ . . .

- මිල්ටන් මල්ලවාරච්චි
මාලිනී බුලත්සිංහල
ආරාධනා

--------------------------------------------------------------------

ඉරෙන් හඳෙන්

ඉරෙන් හඳෙන් එළිය අරන්
ඇලෙන් දොළෙන් සිසිල අරන්
අපට සැදුණ අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාලුවේ

සමනල තටු සිඳින්නෙපා
පාට මැකී යයි දේදුන්නේ
ගහවැල සිඳ දමන්නෙපා
පොළව දැවී යයි ඉර ගින්නේ
අපට සැදුන අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාළුවේ

නටා ගයන බටිති මලිත්තෝ
අපා දෙපා සිවුපා ඇත්තෝ
ඉරේ හඳේ ගහේ වැලේ
අපි වගේම උරුමය ඇත්තෝ
අපට සැදුන අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ

ගායනය - හර්ෂණ දිසානායක
චිත්‍රපටය - සූරිය අරණ

--------------------------------------------------------------------

උන්මාද වූ ප්‍රේමාදරේ

උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ

රළ පෙළ කැළඹේ හසඟන විලසේ
ලවනත සුදු මුදු පහස ලැබේදෝ
ඔබ හදවත මා හඳුනා ගත් සේ
මා හදවත ඔබ හැඳින ගනීදෝ

කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරින් සැඟ වී ආවාදෝ
චණ්ඩ මාරුතේ ඉන්ද්‍ර ඛීලයක් වගේ
නෙසැලී ඉන්නට වරම් ලැබේදෝ

- කමල් අද්දරආරච්චි /
දමයන්ති ජයසූරිය
චිත්‍රපටය - සප්ත කන්‍යා

----------------------------------------------------------------------

මධු චන්ද්‍ර යාමේ

මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ
දල්වා ඇති පහන් නිවී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ . . .

වරල සිකිපිල් සිඹින සලමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
උරමඬල සියපත වතින් නිති සරසා
මිලාන හදවත තුරු සරින් සදමු

දෙතොල මී විත අමා පුදමින්
දෙතැන සැලසින් පවස නිවමින්
සිරි යහන සුවහස් දමා පුළු උකුලේ
පතිකුලය සුමිහිරිය සදා රැක ගනිමු

ගායනය - කසුන් කල්හාර
චිත්‍රපටය - කුසපබා

-----------------------------------------------------------------------

වලාකුළක් ගෙන

වලාකුළක් ගෙන මුවා කරමු හිරු
ගිනිගෙන වියරුව නලියන වැලිකතරේ
රත්වුණු වැලිකැට පුපුරන
මැද පෙරදිග මරු කතරේ

වතුර මලෙන් නා දොල අමතක කර
දූලි සුළං විඳ දෙන අමතක කර
විදුලි පහන් මැද සඳ අමතක කර
දෙපා අබියසට ගමු අපි සුරපුර

නගර දනන් හට සුවිසල් මන්දිර
අතර උපන් රට නොරටුන් ළංකර
පඳුර පතොක් කටු අතගා උල්කර
විනෝද වෙමු අපි ලේ මස් දියකර

ගායනය - විජය කුමාරතුංග
චිත්‍රපටය - සහරාවේ සිහිනය

--------------------------------------------------------------------------------

අම්බරුවෝ පින් දරුවෝ . . .

කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා
දොලේ ගලන හීතල දිය බීපල්ලා
වෙලේ හීය අහවර කර නාපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා

නැම් බඹරේ මගෙ කුඹුරේ දිය බැන්දා
පින් හීයට දහ අට බානක් බැන්දා
රන් පොළවේ ලී නඟුලෙන් ඉරි ඇන්දා
අම්බරුවනේ රට රැකුණේ තොපි හින්දා
අම්බරුවනේ රට රැකුණේ තොපි හින්දා

ගායනය - සමන් ලෙනින්
චිත්‍රපටය - සිරි පැරකුම්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.