“සංගිලි” තේමාව වැඩිහිටියන්ටයි

ජනවාරි 17, 2019

සංගිලි සිනමාපටය තිරගතවීමට නියමිතව තිබුණේ ඉකුත් සිකුරාදා සිටය. එහෙත් එය සතියක පමාවකින් පසුව හෙට තිරගත වනු ඇත. ලලිත් පන්නිපිටිය සංගිලි සිනමාපටයේ අධ්‍යක්ෂවරයාය. සිනමා නිර්මාණයක වැඩ කටයුතු අවසන් වූ වහාම අධ්‍යක්ෂවරයාගේ ඊළඟ අරමුණ එය තිරගත කර ගැනීමය. සිනමාපටය සම්පූර්ණ වූ දිනය සහ තිරයට එන දිනය අතර කාලය කෙටි වන තරමට නිර්මාණකරුවාගේ සොම්නස ද වැඩිවනු ඇත. එහෙත් සිදු වන්නේ වෙන දෙයකි. චිත්‍රපටයක් නිර්මාණය කොට බොහෝ කාලයක් බලා සිටින්නට බහුතරයක් අධ්‍යක්ෂවරුන්ට සිදුවේ. ඇතැමුන් එය හඳුන්වන්නේ ඉවසීම සහ මානසික ශක්තිය ප්‍රගුණ කරගන්නා කාලයක් හැටියටය. ඒ හිත්රීදීම් වැඩිපුර සිදුවන නිසාය. ලලිත් ද මේ සන්තෑසියට මුහුණ දුන්නේය. සංගිලි නිර්මාණය කරන්නට පටන් ගත්තේ 2010 වසරේදීය. ඉන් වසර කිහිපයක් ගෙවුණු තැන එහි වැඩ කටයුතු නිම කළත් සිනමාපටය තිරයට ගෙන්වා ගන්නට තවත් වසර ගණනාවක් බලා සිටින්නට ඔහුට සිදු විය. ඒ සංක්‍රාන්තිය නිමා කොට සංගිලි තිරයට ආවේ එය නරඹන්නට මඟ බලා සිටි සිනමාලෝලීන් අස්වැසුමට පත් කරමිනි. ලලිත්ගේ අදහස් විමසීමට සුදුුසුම වේලාව ද මෙය බව අමුතුවෙන් කිවයුතු නැත. තවත් මේ පරිච්ඡේදය දිගු නොකරමින් ලලිත්ගේ හඬට ඉඩ දෙන්නට අපි අදහස් කෙරුවෙමු.

 

තේමාව වැඩිහිටියන්ටයි

* ලලිත්, කවුද මේ සංගිලි?

සංගිලි කියන්නේ ගමක ජීවත්වෙන කාත් කවුරුවත් නැති ගැහැනු ළමයෙක්. ඇගේ පාළු ජීවිතයට නොයෙක් දෙනා ළං වෙන්න හදනවා. ලිංගික බලපෑම් පවා එනවා. මේවට ඇය මුහුණ දෙන්නේ කොහොමද, තනි වෙච්ච ගැහැනු ළමයකුගේ ඉරණම මොකක්ද යන්න මං සිනමාපටය තුළින් කතාබහට ලක් කරනවා.

* මේක ආදර්ශවත් කතාවක්?

ඔව්. මං විශ්වාස කරන දෙයක් තමයි අප වගේ දකුණු ආසියාතික රටවල ගැහැනු ළමයකුට වඩා වැඩි ආරක්ෂාවක් දෙන්න ඕනෑ කියන එක. නැතිනම් ඒ අයට වෙන්න තියෙන කරදර වැඩියි. නිතර දකින්න අහන්න තියෙන පුවත් එක්ක මේ කාරණය ගැන මං තවත් විග්‍රහ කරන්න ඕන නැහැ කියලා මං හිතනවා.

 

* කොහොමද සංගිලි කතා තේමාව හොයා ගත්තේ?

කේ. එච්. කරුණාරත්න කියන පිටපත් රචකයා, කතා රචකයා මට හමු වූ අවස්ථාවක කොටුරූල් පොතක් දිග හැරියා. ඒකෙ ඔහු කතාවක් ලියලා තිබුණා. කියවලා බලපුවාම ඉතාම ලස්සන කතාවක්. මේ . . . මේක මෙහෙම හරි යන්නේ නැහැ. පිටපතක් විදිහට ආයෙ ලියමු කියලා මං කිව්වා. ඔහු ඊට එකඟ වෙලා මට කොටුරූල් පොත දුන්නා. එහෙම තමයි සංගිලි පිටපත හැදුණේ.

 

* සංගිලි කියන නම තිබ්බෙත් ඔබමද?

මම තමයි නම තිබ්බේ. ඔය සංගිලි පාලම් ගැන අහලා තියෙනවනෙ. ගොඩක් අය යන්න බයයි. ඒවායේ මැදට ගියාම ටිකක් හෙලවෙනවා. අවිනිශ්චිත ගතියකුත් තියෙනවා. ඔහොම කල්පනා කරද්දී මට හිතුණා සංගිලි කියන නම මෙයට වඩාත් ගැළපේවි කියලා.

 

* වැඩ කටයුතු නිම කරලා බොහෝ කලක් ගත වූ පසුවයි සංගිලි තිරයට එන්නේ?

වසරවලින් ගත්තොත් ඒක දිගු කාලයක්. එක අතකින් දුක් වෙන්නට හේතුවක් නැහැ. නියමිත සම්ප්‍රදායට තමයි මේ තිරගතවීම සිද්ධ වුණේ. හරියටම නිතියට. ඉන් පරිබාහිරව කිසිදු දෙයක් මං කළේ නැහැ. පෝලිම් පැන්නේ නැහැ. දේශපාලන පැත්තෙන් උදවු ගන්න තිබුණත් මං එහෙම කළෙත් නැහැ. ක්‍රමානුකූලව වඩාත් සුදුසු කාලයේදී සංගිලි තිරගත වුණා.

 

* සංගිලි තිරගත වන්නේ වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි යන ලේබලයෙන් යුතුවයි?

මං ඒක ඇහැව්වා රැඟුම් පාලක මණ්ඩලයෙන්. ඔවුන් කිව්වේ මේ තේමාව නිසයි ඒ කැටගරි එකට දැමුවේ කියලා.

 

* නමුත් ඇතැමුන් සිතන්නට පුළුවන් නොවේද සංගිලි සඳහා වැඩිහිටියන්ට වඩාත් සුදුසු දර්ශන ඇතුළත්ව තිබෙනවා කියලා?

නැහැ . එහෙම දර්ශන නැහැ. තේමාව පමණයි වැඩිහිටියන්ට සුදුසු වන්නේ. මං හිතනවා අවුරුදු දහ අටට වැඩි අයට තමයි මේක වඩාත් සුදුසු කියලා. පොඩි ළමයින් නැරැඹුවාට චිත්‍රපටය තේරෙන එකක් නැහැ.

 

* සිනමාපටය රූපගත කරද්දී වෙච්ච අමතක නොවන සිදුවිම් එහෙම මතකද?

මට එක පාරටම මතක් වුණේ දුලානි අනුරාධාට වතුරේ ඉන්න වුණ දර්ශන ගැන. ඇයට පැය ගණනාවක් වතුරේ ඉන්න වුණා. ඇයටත් ඒ සීන් අමතක නැතුව ඇති.

 

* දුලානි ගැන මතක් කරද්දි ඇසිය යුතු පැනයක් තිබෙනවා. ඔබ ඇය සංගිලි චරිතයට තෝර ගත්තේ සරසවිය පිටු පෙරළමින් සිටි අවස්ථාවක නේද?

ඔව්. සංගිලි සඳහා නිළියක් මං හොය හොයා හිටියා. කොච්චර හෙව්වත් හිතට හරියන කෙනා හමු වුණේ නැහැ. ඔය අතරේ එක්තරා දවසක මං සරසවිය පත්තරේ බලද්දී නිළියකගේ රූපයක් දැක්කා. වැඩිදුර හොයා බලද්දී ඇගේ නම දුලානි අනුරාධා කියලා දැනගන්නට ලැබුණා. ඒ මොහොතේම දුලානිගේ අංකය හොයාගෙන කතා කළා. පිටපත ලබා දුන් පසුව ඇය එය කියවලා මට කතා කළේ පුදුම සතුටකින්. ඇය බොහොම තෘප්තියෙනුයි සංගිලිට පණ පෙව්වේ.

 

 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.