මගේ හිතේ තියෙන දේ කියන්නේ අම්මාට විතරයි

රංගනයට එක් වූ කඩවසම් ඉලන්දාරියා චන්දීප ජයකොඩි
ජනවාරි 24, 2019

චන්දීප ජයකොඩි යනු එඩ්වඩ් - චරිතා යුවළගේ එකම පුත්‍රරත්නයයි. මේ වන විට මාපියයන් සේම ඔහු ද සංගීතයට යොමු වී සිටියි. එපමණක් ද නොව එඩ්වඩ් ඉඳහිට කළ ටෙලි නාට්‍ය රංගනයට ද චන්දීප එක්ව සිටිනු දක්නට ලැබෙයි. බාල වියේ සිට චන්දීප ජීවත් වූයේ කලාකාමී පරිසරයකය. එහෙයින් ඔහුට කලාව අමුතු විෂයක් වූයේ නැත. අද මෙලෙස චන්දීපව අප හා කතාබහට එක් වූයේ කඩවසම් යෞවනයකු ලෙසට රසික ආකර්ෂණය විඳිමින් සිටින මොහොතකය.

චන්දීප වැඩි කාලයක් වෙන් කරලා තිබෙන්නේ රංගනයට ද සංගීතයට ද?

එහෙම කියලා වෙන් කරගෙන වැඩ කටයුතු කරන්න අපහසුයි. අවස්ථාව ලැබෙන විදිහට නිර්මාණවලට එකතු වෙනවා. ජාතික නාළිකාවේ ටෝන් පොයම් වැසටහනේ සංගීත අධ්‍යක්ෂවරයකු විදිහට මං කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම මං රඟපාන නිරාෂා නාට්‍යයේ ෂූටිංවලටත් එකතුවන්න තිබෙනවා. ඒකෙ ෂූටිං තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. දවස් දහයකට විතර එහෙ යන්නත් වෙනවා. එතකොට මට සංගීතය ගැන හිතන්නවත් බැහැ. මං ඒකයි කිව්වේ එන විදිහට රංගනයටයි සංගීතටයි වෙලාව වෙන් කරනවා.

නිරාශා ඔබේ පළමු ටෙලිනාට්‍ය?

ඔව්.

එහි ඔබේ චරිතය මොකක්ද සහ එයට ආරාධනා කළේ කවුද?

මගේ චරිතය ෂෙනාල්. මට ඒකට කතා කළේ නාට්‍යයේ අධ්‍යක්ෂ සඳරුවන් අයියාමයි. ගිය අවුරුද්දේ ජුලිවල වගේ තමයි ඒ ආරාධනාව ලැබුණේ. ෂෙනාල් කියන්නේ මියුසික් සමඟ යන චරිතයක්. සඳරුවන් අයියයට හිතෙන්න ඇති මාව එයට සුදුසුයි කියලා. නිරාශා නාට්‍යයේ අන්තර්ගතය ගැන මට දැනගන්නට ලැබුණු වෙලාවේ ඒක දැවැන්ත වැඩක් කියලා හිතුණා. මගේ රංගන ජීවිතය පටන් ගන්නට වඩාත් සුදුසු නිර්මාණයක් කියල ලොකු විශ්වාසයක් ගොඩනැඟුණු නිසා ෂෙනාල් චරිතයට ලැබුණු ඇරැයුම බාර ගත්තා.

ඔබට වඩාත් පහසු මාධ්‍ය සංගීතය ද රංගනයද?

මට ඒ විෂයන් දෙකම අමාරුයි. ලෙහෙසි නැහැ. අන්ත දෙකක් නිසා මහන්සි වෙන්න වෙනවා. හැබැයි මේ දෙකෙන් මට වඩාත් ගැලපෙන්නේ මියුසික් කියලයි මං හිතන්නේ.

අම්මගෙයි තාත්තගෙයි ජනප්‍රියත්වය නිසා ඔබේ ගමනත් ඉක්මන් වුණා නේද?

තරමක් දුරට එහෙම වුණා. තැනකට ගියත් අම්මගෙයි තාත්තගෙයි නමට කරන ගරු කිරීමෙන් කොටසක් මටත් ලැබුණා. නමුත් මං ඒ පස්සේ ජනප්‍රිය වෙන්න හිතුවේ නැහැ. මට ගයන්න රඟපාන්න පුළුවන්. වාද්‍ය භාණ්ඩ හතරක් පමණ වාදනය කරන්නත් පුළුවන්. ඒ හැකියාව ඔස්සේ කට්ටක් කාලා මගේම නමක් හදා ගන්නයි මං උත්සාහ කරන්නේ. අම්මගෙයි තාත්තගෙයි නම් පාවිච්චි කරලා බැබළෙන්න පුළුවන් තාවකාලිකව. එහෙම වුණා නම් ඔවුන් නැති කාලෙක මට ගමනක් යන්න බැරි වෙනවා.

ඔබ පියාගේ ගීත කිහිපයක් රීමේක් කළා. කොහොමද ලැබුණු ප්‍රතිචාර?

ඉතාමත් හොඳයි. ඒවා අහපු අයගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබුණා. එහෙම පියාගේ ගීත ගැයුවත් මං මගේම ගීතත් කරලා තියෙනවා. රෑ මාරුතේ කියලා සිංදුවක් යූ ටියුබ් එකේ තියෙනවා. නිරාශා නාට්‍යයෙත් ගීයක් ගැයුවා.

චන්දීප ප්‍රසංග වේදිකාවේ ගී ගයන්න එකතු වෙලා තියෙනවාද?

ඔව්. ඒ සඳහා මට ආරාධනා ලැබෙනවා. තාත්තාගේ ගීත තමයි ඉල්ලන්නේ. ඒ අතරතුරදී මගේ ගීතත් ගයනවා.

ඔබේ පියාගේ ගීත අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන ගීත මොනවද කියලා මං ඇහැව්වොත්?

මාරම්බරී ගීතයට මං හරිම ආසයි. නෙතු දැහැන් බිඳී, මේ මල් යායේ, සමනළයා මල හා ළමයා සේ ගීතවලටත් ප්‍රිය කරනවා. ඒ ගීතවලට යොදලා තියෙන මෙලඩි ඉතාම මිහිරියි. රාග ඇසුරෙන් නිර්මාණය වුණත් බටහිර ආභාසයක් තියෙනවා කියලත් අහද්දී දැනෙනවා.

චන්දීප මේ වන විට ප්‍රේමවන්තයෙක්ද?

අනේ නැහැ. මගේ ගමනට ප්‍රේමය බාධාවක් වේවි කියලා හිතලා දැනට ඒ ගැන නොසිතා ඉන්නවා.

ඔබ එහෙම හිතුවට අම්මා එහෙම මේ වන විටත් ඔබට මනාලියක්ව හොයන්න උනන්දු වෙනවා ඇති?

එහෙම කරනවා ද කියන්න මං දන්නේ නැහැ. අම්මා මගෙන් එය ගැන අහලාවත් නැහැනේ.

චන්දීප ඔබේ හිතේ තියෙන දේවල් වැඩිපුරම කියන්නේ කාත් එක්කද?

අම්මා එක්ක. මගේ හිතේ තියෙන බොහෝ දේවල් මං අම්මත් එක්ක කියන්නයි පුරුදු වෙලා ඉන්නේ.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.