‘ප්‍රාර්ථනා’ සිහිනය ඉටු කරන්න මේ අපට කාලයයි

කීර්ති පැස්කුවෙල්ගේ සද්කාර්යයට ඉත සිතින් එක් වෙමු
ජනවාරි 24, 2019

ජනකාන්ත ගායක කීර්ති පැස්කුවල් පසුගියදා උත්තම වූ සද්කාර්යකට අත ගැසුවා. මෙරට පිළිකා රෝගීන්ගේ සුවසෙත සඳහා ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකයක් පිහිටුවීමයි. එය අති විශාල කර්තව්‍යයක් වන අතර කෙනෙකු සිහිනෙන්වත් සිතන්නක් ද නොවේ. එහෙත් කීර්ති එම කර්තව්‍යට අත තබා තිබෙනවා. ඒ වෙනුවෙන් මෙරට ජනප්‍රිය ගායක - ගායිකාවන් මෙන්ම සිනමා ශිල්පීන් ද නොමිළයේ සහභාගි වන මහා ප්‍රසංගයක් මෙම මස 26 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. මේ වන විටත් ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරන කීර්ති පැස්කුවල් සරසවිය හා කතාබහට එක් වුණේ තමන්ගේ මූලිකත්වයෙන් ඇරඹි මේ මහා පුණ්‍ය කටයුත්තේ සුලමුල ගැන කියන්න.

ඔබ මේ වන විට මුල පුරලා තියෙන මේ සුවිශාල සමාජ සත්කාරය පිළිබඳ සිතුවිල්ල කොහොමද ඇති වෙන්නේ?

අසරණ වන රෝගීන් පිළිබඳ සංවේදී සිතුවිලි මගේ ජීවිතයට ගොඩක් බලපානවා. ඒ ගැන මම නිතර හොයනවා. ලෙඩ ගැන මම මම ගැනම හොයන ගමන් මම අනික් අයටත් පිහිටක් වෙන්නේ කොහොමද කියලා බලනවා. දැන් බලන්න අන්ත දිලිඳු පවුලක කෙනෙකුට රෝගයක් හැදුණම ඒකට හරියට ප්‍රතිකාර ගන්න ක්‍රමයක් නැහැ. දිලිඳුකම නිසා ඒකට හරියට බේතක් ගන්න ප්‍රමාණවත් මුදලක් නැති වෙන්න පුළුවන්. මෙන්න මේ අය ගැන මහත් වූ සංවේගයක් මට තියෙනවා.

දෙදහස් එකොළහේ ඔක්තෝබර් 21 වැනිදා මගේ හදවත නැවතුණා. වෛද්‍යවරුන්ගේ දැඩි උත්සාහයකින් තමයි මම නැවතත් ජීවය ලබල තියෙන්නේ. මම හිතන්නේ මේ මගේ ජීවිතයේ දෙවැනි ඉපදීම කියලා. සමහර විට මම මේ ගෙවන්නේ ජීවිතයේ බෝනස් එකක්. මට හැඟෙන්නේ වෛද්‍යවරුන්ගේ උත්සාහයත් කැප කිරීමත් නිසා තමයි මට ජීවත් වෙන්න ලැබුණේ. ඒක කවුරුවත් දන්නේ නැහැ.

මෙවර ඔබේ පුණ්‍ය කටයුත්ත මොන වගේ දෙයක්ද?

පිළිකා රෝගයෙන් දුක් විඳින අසරණ රෝගීන් අපි දැකලා තියෙනවා. එවැනි සිද්ධි අපි අත්දැකලා තියෙනවා. මට හිතුණා මගේ කීර්ති නාමය වගේම මට තියෙන සබඳතා ප්‍රයෝජනයට අරගෙන අරමුදලක් හදලා පිළිකා රෝගීන් වෙනුවෙන් යමක් කරන්න. මම මේ ගැන පෞද්ගලිකව හොයලා බැලුවා. එහිදී මට අවශ්‍ය වුණා විශේෂිත විකිරණශීලී ස්කෑන් මැෂින් එකක් (ටෝමෝ තෙරපි) Tomotheraph) මැෂිමක් ලබා දෙන්න පුළුවන්නම් ගොඩක් රෝගීන්ට පිළිසරණක් වෙන්න පුළුවන් කියලා. මේ මැෂිමේ වටිනාකම විතරක් රුපියල් කෝටි අටසීයක්. මේ මැෂිමෙන් ප්‍රතිකාර ලබා දෙන්න පෞද්ගලික රෝහලකින් විතරක් එක් අයකුට රුපියල් ලක්ෂ දහයක් යනවා. මම මේ මැෂිම ලංකාවට ගෙනත් රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ වැඩ පිළිවෙලක් අරඹන්න හිතලා විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහත්තයාට මේ ගැන අදහස කිව්වා.

ඒ වෙලාවේ එතුමා සඳහන් කළා ඒ මැෂින් එකට වඩා රටට අවශ්‍ය දෙයක් තියෙනවා ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකයක් පටන් ගන්න අරමුදලක් හදන්න කියලා. එහෙම කළොත් අපිට අවුරුද්දකට ජීවිත පන්සීයක් විතර බේරගන්න පුළුවන්. ඒ සඳහා රුපියල් ලක්ෂ තුන් දහසක් හාර දහසක් අතර ප්‍රමාණයක් තමයි යන්නේ. අපි ඒ දේ කරමු කියලා. ඒ යෝජනාව අනුව මාගේ ව්‍යාපාරික මිතුරු මිතුරියන් එක්කාසු කරගෙන අරමුදලක් පිහිටුවන්න සංවිධානයක් හැදුවා හෙල්ප් සර්කල් ප්‍රාර්ථනා නමින්.

මේ ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකය කොහෙද පිහිටු වන්නේ?

කොතලාවල වෛද්‍ය පීඨ පරිශ්‍රයේ මේ වෙනුවෙන් උචිත පාරිසරික සාධක වගේම නිස්කලංක පරිසරයක් තියෙනවා. දැනට මහරගම පිළිකා රෝහලෙත්, රිජ්වේ ආර්යා ළමා රෝහලෙත් මේ ඒකක පිහිටුවලා තියෙනවා. ඒත් ඒවා පවතින්නේ ප්‍රාථමික මට්ටමේ.

ඔබ කොහොමද ප්‍රාර්ථනා අරමුදල ශක්තිමක් කරන්නේ?

මාත් එක්ක දැනටමත් ප්‍රාර්ථනා ශක්තිමත් කරන්න දහසකුත් දෙනා එක් වෙලා ඉන්නවා. මූල්‍යමය අතින්, උපකරණ අතින්, දැනුම අතින් අපිට උදවු කරන්න බොහෝ අය සැදී පැහැදී ඉන්නවා. ස්වීඩනය, ජර්මනිය, චීනය, කොරියාව රටවල වෙසෙන අපේ ශ්‍රී ලාංකිකයෝ මේ සඳහා උදවු කරන්න අපිට සම්බන්ධ වෙලත් තියෙනවා.

අරමුදලේ ශක්තිමත්භාවය ඇති කරන්න ලොකු ප්‍රසංගයකට ඔබේ සූදානමක් තියෙනවා නේද?

ඔව්. අපි මෙය නම් කරලා තියෙන්නේ ප්‍රාර්ථනා ලයිව් ඉන් කොන්සට් කියලා. ජනවාරි 26 වැනිදා සවස 7.00 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී තමයි පැවැත්වෙන්නේ. මේ වෙනුවෙන් අපිට සම්මන්ත්‍රණ ශාලාව නොමිලේ තමයි ලැබෙන්නේ. මේ සඳහා සම්පත් දායකත්වයෙන් එක්වන අය කිසිදු මුදලකින් තොරවයි ඊට එක් වන්නේ.

ප්‍රාර්ථනා කොයි විදියට ද එදාට හැඩ වෙන්නේ?

අපිත් එක්ක එදාට වික්ටර් රත්නායක, ටී. එම්. ජයරත්න, එඩ්වඩ් ජයකොඩි, රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, ඇනස්ලි මාලේවන, මරියසෙල් ගුණතිලක, කොරින් අල්මේදා, ජානක වික්‍රමසිංහ, සමිතා මුදුන්කොටුව, කසුන් කල්හාර, මිහිඳු ආරියරත්න, චිත්‍රාල් සෝමපාල, කීර්ති පැස්කුවෙල් ඇතුළු ප්‍රවීණ ශිල්පීන් දාහතර දෙනෙක් ගීත ගායනයෙන් එක් වෙනවා. ඒ වගේම චන්න උපුලි නර්ථනයෙන්, කැළුම් ශ්‍රීමාල්ගේ කථනයෙන් ශුති සංගීත කණ්ඩායමේ කසුන් පැස්කුවෙල්, තිසර බණ්ඩාරගේ සංගීත සංයෝජනයෙන් එක්වෙන අතරේ පූජා උමා ශංකර් මේ සද්කාර්යේ අවසානය දක්වා අපිත් එක්ක සන්නාම නියාමකවරිය ලෙසත් කටයුතු කරන්න අත්වැල් බැඳගෙන ඉන්නවා.

විශාල මුල්‍යමය ඉලක්කයක් සොයා යන්න මෙැවනි ප්‍රසංග ප්‍රමාණවත්ද ?

මගේ බලාපොරොත්තුවක් නෑ ප්‍රසංග පවත්වමින් මේ සඳහා මුදල් හොයන්න. ඒ සඳහා වැය කරන කාලය සුළුපටු නැහැ. මට එහෙම ගියොත් මේ ඉලක්කය ගන්න අවුරුදු පහ හයක් යයි. මගේ අරමුණ දානපතියන් ළඟට ගිහින් මේ වැඩේ අරමුණ පැහැදිලි කරලා ඒ වෙනුවෙන් දායකත්වය එක් කිරීමයි. මෙහිදී මූළික වන්නේ කළමනාකාරිත්වය. අද ලංකාවේ නැතිම දේ තමයි අවංක මිනිස්සු නැතිකම. හොඳ පිරිසුදු චේතනාවෙන් නායකත්වය අරන් ගමනක් යන අය අඩුයි. මම කියන්නේ අවංක චේතනාවෙන් මූලිකත්වය ගත්තොත් ඒ කෙනාට ඒ ඉලක්කයට යන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා.

ප්‍රාර්ථනා ශක්තිමත් කරන්න දායක වෙන්න කැමති අයට කොයි ආකාරයෙන් ඒ සඳහා මූල්‍යමය දායකත්වය එක් කරන්න පුළුවන්ද?

අපි මේ වෙනුවෙන් ලංකා බැංකුවේ 83688366 ගිනුමක් ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා ඕනෑම කෙනෙකුට මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඊට අමතරව 0717376565 දුරකකථන අංකයෙන් වගේම 0773023697 මගේ දුරකථන අංකයෙනුත් ඒ පිළිබඳ තොරතුරු විමසා දැනගන්නත් පුළුවන්.

Name - Help Circles (guarantee) Limited
Bank - Bank of Ceylon - Corporate Branch
Account No - 83688366
Bank code 7010
Branch Code 660
SWIFT CODE - BCEYLKLX

මේ වෙන කොට මීට පෙර ඔබේ සමාජ සත්කාරයන් අතර ප්‍රධාන වී තිබුණේ මොනවද?

ළමා නිවාස, මහලු නිවාස, ආබාධිත නිවාසවලට මම ගීත ගායනයෙන්, ඔවුන්ට සංගීත භාණ්ඩ අරන්දීමෙන් උදවු කරලා තියෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් එකතු කොට සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීම කරපු දේවල් අතරින් ප්‍රධානයි.

එළඹෙන 29 වැනිදාට ඔබ ජීවිතයේ තවත් වසරකට එළඹෙනවා?

1976 දී තමයි මම කලා ක්ෂේත්‍රයට ආවේ. මේ වෙනකොට මාගේ කලා ජීවිතයට අවුරුදු 42 ක්. මට අද වගේ මතකයි මම එතකොට වයස අවුරුදු අටක විතර පුංචි කොල්ලෙක්. දවසක් මගේ වේලපත්කඩේ බලන්න අම්මා ගුරුන්නාන්සේ කෙනෙක් ළඟට එක්ක ගිහින් එනකොට මට කිව්වා කාරණා තුනක්. ඒකෙන් දෙකක් දැන් ඉටු වෙලා කියලා හිතන්නකෝ. තව එක කාරණයක් කිව්වා. අම්මගේම වචනවලින් කිව්වොත් පුතාගේ අතට වැලි ගත්තොත් රත්තරං වෙන කාලයක් එනවා. ඒ දවස කවද ද කියලා තමයි මාත් මේ ඉන්නේ.

කලාකාරයෙක් වීම ගැන ඔබ තුළ තියෙන්නේ මොන වගේ හැඟීමක්ද?

ආඩම්බරයක්. අද මම කලාකාරයෙක් වීම නිසා මට ගොඩක් දේ ලැබුණා. මාව හඳුනා ගත්තේ, මට සමාජ තත්ත්වයක් ගොඩ නැඟිලා තියෙන්නේ මේ කලාව නිසයි. මේ පිළිගැනීම මට නොලැබෙන්න මේ වගේ සමාජ සත්කාරයක් වෙත යොමු වෙන්න මට ලැබෙන එකක් නැහැ. අද මම මේ ලබන ගෞරවයේ කීර්තියේ යම් පිනක් තියෙනවා නම් ඒ දේ අත් වෙන් ඕනෑ මගේ අම්මට, තාත්තට වගේම මම ඉගෙන ගත්ත පාසලට (මහනුවර ධර්මරාජ විද්‍යාලයට) කියලයි මම සලකන්නේ. මම එහෙම කියන්නේ මගේ අම්මා මට කියලා තිබුණා පුතා නිසා මම ජීවිතයේ ගොඩක් පිං කර ගත්තා. ඒ පින ඇති පුතාගේ ජීවිතය හරි යන්න කියලා.

කලා ජීවිතයට වසර 42 ක් සපුරා ඇති තව නොබෝ දිනකින් ජීවිතයේ තවත් කඩඉමක් පසු කරන ඔබ අදත් පිරිපුන් තාරුණ්‍යයෙන් සපිරි පුද්ගලයෙක් ලෙස ජීවත්වීමේ රහස මොකක්ද?

දුම් පානයෙන්, මත්පැන් පානයෙන් සම්පූර්ණයෙන් තොර පුද්ගලයෙක් වීම. නිතර ව්‍යායාම කිරීම, ආහාර පිළිබඳ සැලකිලිමත් වීම. මගේ බිරිය මට අවශ්‍ය බේත් හේත් කෑම බීම නිසි ලෙස ලබා දෙමින් මාව හොඳින් බලා ගැනීම. ප්‍රසන්නව සිටිම, විනෝදයෙන් ගත කිරීම, සංගීතයත් එක්ක සතුටින් ජීවත්වීම.

චන්දන දයාසිරිවර්ධන
නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.