පාර්ලිමේන්තු ජෝක්ස් කතා පෙළක් දැන් කරතහැකියි

සුපිරි නළු රන්ජන් රාමනායක
ජනවාරි 24, 2019

මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන රන්ජන් රාමනායකගේ කුලුදුල් සිනමා අධ්‍යක්ෂණය වූ ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ චිත්‍රපටය මේ දිනවල දිවයිනේ සිනමා ශාලා රැසක යළි ප්‍රදර්ශනය අරඹා තිබේ. මීට වසර විස්සකට පමණ පෙරාතුව ඔහු විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය එවකට සිනමා ක්ෂේත්‍රයේ අදායම් වාර්තා තබමින් තිිරගත වූවකි. එමෙන්ම එම වසරේ ජනප්‍රියතම චිත්‍රපටය ලෙසින් සරසවිය සම්මානයට පාත්‍ර වූයේ ද මෙම චිත්‍රපටයයි.

දේශපාලනික සමාජ පරිසරය තුළ සිදුවන්නා වූ විවිධ සංසිද්ධීන් නිර්දය ලෙස උපහාසයට, විවේචනයට ලක් කරමින් නිර්මාණය කරන ලද මේ නිර්මාණාත්මක ප්‍රහසනය යළිත් වතාවක් මහජන ප්‍රදර්ශනය ඇරඹීම පිළිබඳ එහි අධ්‍යක්ෂවරයා, තිර රචකයා මෙන්ම ප්‍රධාන නළුවා ද වූ වත්මන් ආණ්ඩුවේ මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමතිවරයා වන රන්ජන් රාමනායක සමඟ කළ පිළිසඳරකි මේ.

මේ කතාබහේ නිමිත්ත ඔබ අධ්‍යක්ෂණය කළ ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ චිත්‍රපටය නැවත ප්‍රදර්ශනයට පැමිණීමයි. වසර විස්සකට ආසන්න කාලයකට පසු නැවත මේ චිත්‍රපටය තිර ගත කරන්න හිතුවේ ඇයි?

මුලින්ම කිව්වොත් ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ කියන්නේ මගේ පළමුවැනි දරුවා වගේ. මම නිර්මාණය කරපු පළමුවැනි චිත්‍රපටය. ඊට කලින් මම නළුවෙක් වශයෙන් චිත්‍රපට රාශියකට රංගනයෙන් එක් වී තිබුණත් මගේම තිර රචනයකට මම විසින්ම අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය වුණේ මේක. මගේ චිත්‍රපට ජීවිතයේ ආරම්භයේ සිටම ඒ සඳහා මට ලොකු හීනයක් තිබුණා. ගාමිණී ෆොන්සේකා ‘පරසතු මල්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අවුරදු 26 දී කියලා මම අහලා තිබුණා. ඉතින් මටත් ආසාවක් තිබුණා ඒ වගේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. නමුත් ඒක දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක් කියලත් දැනගෙන හිටියා. ඔහොම ඉන්න කොට 1990 දශකයේ අග භාගය වෙනකොට අපේ රටේ සිනමාවේ ප්‍රහසන රැල්ලක් බිහි වුණා. රෑ දනියෙල් දවල් මිගෙල්, ඇර සොයිසා වගේ වෙනස් ආකාරයේ ප්‍රහසන තමයි තිබුණේ. ඉතින් මට

හිතුණා ඉන් බැහැරට ගිහිල්ලා දේශපාලන ප්‍රහසනයක් ඉදිරිපත් කළොත් හොඳයි කියලා. ඒ අනුව තමයි මම අතින් 1999 දී විතර ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ තිර පිටපත ලියවෙන්නේ. ඒ වෙනකොට මම ට්පඥචබ ච්ඪජබචබධප වැනි චිත්‍රපටයක හිට්ලර්ගේ ඒකාධිපතිවාදී ස්වභාවය ගැන වූ විවේචනයක් නරඹලා තිබුණා. ඒ නිසා මට හිතුණා ලංකාවේ දේශපාලනය ගැන පණ්ඩිත කතා නැතුව, ගමේ ගොඩේ සාමාන්‍ය ජනතාවටත් තේරෙන බසින් චිත්‍රපටයක් කරන්න. තිර පිටපත ලිව්වට ඒක මල්ඵල ගන්නවා ගන්න ක්‍රමයක් නැතුව ඉන්නකොට මට ආරංචියක් ආවා එවකට චිත්‍රපට සංස්ථාවෙන් චිත්‍රපට සඳහා ණය ලබාදෙන ක්‍රමවේදයක් තියෙනවා කියලා. මම මගේ තිර පිටපතත් අරගෙන ගියා එවකට චිත්‍රපට සංස්ථාවේ සභාපති වු තිස්ස අබේසේකරයන් මුණ ගැහෙන්න. ඒ වන විට මම ඔහුගේ ‘පිටගම්කාරයෝ’ වැනි ටෙලි නාට්‍යයක රඟපාලා ඔහුව දැන හඳුනාගෙන හිටියා.

ඔහුට මගේ තිර පිටපත දුන්නා. දීලා කියවලා බලලා සාධාරණයක් කරන්න කීවා. ඔහු මේක බලලා මට කතා කරලා කිව්වා ආණ්ඩුවෙන් ණය ලබාදෙන ක්‍රමවේදයක් තියෙනවා තමයි. නමුත් මෙතෙක් ණය ලබා දීලා තියෙන්නේ කලාත්මක ගණයේ චිත්‍රපටවලට. නමුත් මේ ස්ක්‍රිප්ට් එකේ වෙනසක් දකිනවා. මේක අලුත්ම කතාවක්. මට හිතෙනවා මේක හොඳට දුවයි කියලා. ඒ නිසා මට මේකට ණය නොදී ඉන්න බෑ. ඒ නිසා අපේ සංකල්පය මඳක් වෙනස් කරලා හොඳ කොමර්ෂල් එකක් විදියට මේකටත් ණය ලබා දෙන්න එතුමා තීරණය කළා. ණය විතරක් නොවෙයි චිත්‍රපටයේ නිර්මාණ ආශි‍්‍රත කටයුතු වෙනුවෙන් ඒ කියන්නේ කැමරා ආම්පන්න, රසායනාගාර කටයුතු වැනි දේ සඳහාත් විවිධ පහසුකම් ලබල දුන්නා. ඒ විදියට තමයි ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ මුලින් නිර්මාණය වුණේ.

ඇත්තටම චිත්‍රපටය තිරගතවීමෙන් පස්සේ මමවත් නොසිතුව ආකාරයේ ජනප්‍රියත්වයක් චිත්‍රපටයට ලැබුණා. මුලින්ම නම් අවලාද ටිකක් ආවා. නමුත් පස්සේ ලංකාවේ දෙවැනි ජනප්‍රිය චිත්‍රපටය බවට පත් වුණා. පළවෙනි චිත්‍රපටය වුණේ සෝමරත්න දිසානායකගේ සූරිය අරණ. ඊට පස්සේ මේ චිත්‍රපටය නීතිමය ප්‍රශ්නයක් නිසා පසුගිය කාලයේම නැතිවෙලයි තිබුණේ. ඩී. වී. ඩී. මඟින් හෝ රූපවාහිනී නාලිකාවකින් හෝ කාටවත් බලන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඊට පස්සේ මම චිත්‍රපටය ගැන හොයමින් ඉන්නකොට ‘මායා’ චිත්‍රපටය කළ සදේශ් කුමාර් මගේ මිත්‍රයා චිත්‍රපටයේ වැඩ කටයුතුවලට ප්‍රසාද් චිත්‍රාගාරයට යනකොට මම කිව්වා අහලා බලන්න කියලා පාර්ලිමන්ට් ජෝක්ස්වල නෙගටිව් පටයක් තියෙනවද කියලා. ඔහු අහල බැලුුවම ප්‍රසාද් චිත්‍රාගාරයේ කෙලවරක වායු සමීකරණය කළ කාමරයක සුරක්ෂිතව එහි නෙගටිව්පටය තිබී හමු වුණා. හැබැයි ඒක ගන්න මට ඔවුන්ට ලොකු ගාණක් ගෙවන්න වුණා. ඊට පස්සේ නීතිමය ගැටලු නිරාකරණය කරගෙන නිෂ්පාදක මහත්මා සමඟ කතාබහ කරලා මගේ තනි අයිතියට චිත්‍රපටය ගත්තා. නෙගටිව් පටය හොඳට තිබුණ නිසා සිනමාස්කෝප් කරලා ඩිජිටල් කරලා හොඳ තත්ත්වයෙන් හැදුවා. ඔහොම ඉන්නකොට තමයි ඊ. ඒ. පී. එකෙන් ගැප් එකකට දාන්න මේ චිත්‍රපටය ඉල්ලුවේ. ඉතින් මමත් හිතුවා අවුරුදු 20 ක් නුදුටු මේ චිත්‍රපටය නැවත ප්‍රදර්ශනය කළොත් හොඳයි කියලා. පසුගිය කාලේ අපි ඇහූ දුටු දේත් එක්ක ඒක මේ කාලෙට වඩාත්ම සුදුසුයි කියලත් හිතුණා.

රන්ජන් රාමනායක ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ ලියන්නේ දේශපාලනයට, පාර්ලිමේන්තුවට එන්න කලින්. ඒත් ඔබම උපහාසයට ලක් කරන මේ තැන අද ඔබත් සාමාජිකයෙක් වෙලා නේද?

එදා මම මේක ලියපු ස්ථාවරයේම තමයි මම අදත් ඉන්නේ. ඒ මතයම තමයි මම අදත් දරන්නේ. එදා මම ලිව්වේ මේ චිත්‍රපටය මේ කිසිවක් ඇසින් දැකලා නෙමෙයි. දවසක් හෝ දෙකක් පාර්ලිමේන්තු ගැලරියට ගිහින් තිබුණට පාර්ලිමේන්තුව ඉස්සරහා පාරෙන් ගිහින් තිබුණා විතරයි. ඒත් දැන් මම මේවා සජීවීව අත් දකිනවා.

මෙතන සාමාජිකයෙක් වුණාට මම මේ පසුබිමෙන් එළියට ආපු මිනිහෙක්. සාමාන්‍යයෙන් දේශපාලනයට ආවම තමන්ගේ පක්ෂය හෝ පක්ෂ නායකත්වය හෝ කැබිනට් ඇමතිවරු හෝ විවේචනය කරන්නේ නෑ. ඒක තමයි සම්ප්‍රදාය. නමුත් මම ඒකට අයිති වෙන්නේ නෑ. ඒකනේ මට දැනට නඩු 24 ක් වැටිලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට මට විරුද්ධව පෙත්සම් 04 ක් ඉදිරිපත් කරලා තිබෙනවා. මගේ භූමිකාව තුළ සීමාවෙන් එහාට ගිහින් මම ගෝරි දාගත්තු කෙනෙක්. දහ වතාවක් විනය කමිටු ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මම පාර්ලිමේන්තු සාමාජිකයෙක් වුණාට දේශපාලන මඩ ගොහොරුවට ආවට මම වෙනස් මිනිහෙක්.

දැන් ඔබට තව සීරිස් එකක් ලියන්න පුළුවන් ඇති නේද?

ඔව්. තුන හතරක් වුණත් ලියන්න පුළුවන්. මම මුලින්ම ලියපු පාර්ලිමන්ට් ජෝක්ස් හරියට සම කරන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි චිත්‍රපටයක් බලන්න එන ප්‍රේක්ෂකයකුට සම කළොත් මේක හරියට චිත්‍රපට ශාලාවේ එළියේ එල්ලා තියෙන පෝස්ටර් බලපු, ශාලාව ඉස්සරහ පාරෙන් ගමන් කරපු එහෙමත් නැත්නම් චිත්‍රපටයේ ට්‍රේලරය විතරක් නරඹපු ප්‍රේක්ෂකයෙක් වගේ. දැන් තමයි මම චිත්‍රපට ශාලාව ඇතුළට රිංගලා චිත්‍රපටය බලන්නේ. දැන් මම සජීවීව ඒක විඳිනවා. සාමාන්‍ය බහුතර ජනතාව හිතාගෙන ඉන්නේ ඔවුන් පාර්ලිමේන්තුවට එවන නියෝජිතයා ඔවුන් වෙනුවෙන් මරාගෙන මැරෙනවා කියලා. ඒ වුණාට පාර්ලිමේන්තුවට එන ඔවුන් කරන්නේ උදේට ඇවිල්ලා කෑම කාලා කට්ටිය එක්ක කරට උඩින් අතදාගෙන සුහද කතාබහේ යෙදිලා දවල්ටත් කෑම කාලා දෙපැත්තේ ඉඳගෙන අමු කුණුහරුපෙන් බැනගෙන හවසට තේත් බීලා හවසට ක්‍රිකට් මැච් එකකුත් බලල රෑට මධුවිතකුත් අතට අරගෙන මහ රෑට සජීවී විකාශයක දෙපැත්තේ ඉඳගෙන බැනගන්න එකනේ.

මේ යථාර්ථය ගැන තමයි මම හැමදාම කතා කළේ. මගේ නිර්මාණ හරහාත් පාර්ලිමන්ට් ජෝක්ස් විතරක් නෙවෙයි ලීඩර් හරහාත් ධදඥ ඵඩධබ ධදඥ හරහාත් නවරියන් හරහාත් කතා කළේ මේ පොදු යථාර්ථය. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාට ලක්ෂයකින් පඩි වැඩි කළා. මම ඒකට විරෝධය පළ කළා. එහෙම කරලා මම ලිඛිතව කතානායකතුමාටත්, පාර්ලිමේන්තු ලේකම්තුමාටත් ලිව්වා මේ සඳහා ට්‍රිලියන 10 ක් වැය වෙනවා. ඒ නිසා මේ ලක්ෂෙ ලබාගන්න බෑ කියලා. ඒ වුණාට අනිත් හැමීම මේක ගන්න ඕන කියන තැන හිටියේ. මම විවාහ වෙලා නෑ. මට බිරිඳත් නෑ. දරුවෝ නෑ. රකින්න පවුලක් නෑ. මහජනතාවගේ සල්ලි මට එහෙම ගන්න බෑ. මම මෙතන්ට ආවේ මහජනතාවට ආදරෙන්. පාර්ලිමේන්තු පැමිණෙනවට වරකට රු: 500/- ක් ගෙවනවා. ඒක පස්සේ 2500/- ක් කළා. මම කිව්වා මට ගන්න බෑ කියලා. මම ඒක ගන්නේ නෑ. සැප වාහන ගෙන්නුවේ නෑ. සාමාන්‍ය මහජනතාව බස් එකේ එල්ලිලා යද්දි සැප වාහන ගන්න මම ඉදිරිපත් වුණේ නෑ. මම ගත්තේ නැති වුණාට මගේ නමින් අරගෙන ඇමතිවරුන්ගේ ගෙදර අය පදිනවා. රාජ්‍ය ඇමතිවරයෙක් වුණාම පහසුකම් සහිත ලොකු නිල නිවාසයක් හම්බ වෙනවා. ඒත් මම තවමත් ඉන්නේ මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දෙන නිවෙසේ. රාජ්‍ය ඇමති කෙනෙකුට කාර්ය මණ්ඩලය 21 දෙනෙක් ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් කරන්නේ පවුලේ උදවිය දරුවෝ ටිකයි දාගෙන පඩි ටික ගෙදරට ගෙන්න ගන්න එක. මම කිසිම පවුලේ කෙනෙක් අරගෙන නෑ. ඒකයි මම කිව්වේ මම කරන්නේ වෙනම දේශපාලනයක් කියලා.

එදා පිට ඉඳගෙන දැකපු දේ අද ඔබ සජීවීව පාර්ලිමේන්තුව තුළ අත් දකිනවා. පාර්ලිමන්ට් ජෝක්ස් සීරිස් එකක් කරන්න දැන් ඔබට බොහොම පහසු ඇති. එහෙම දෙයක් කරන්න බලාපොරොත්තුවක් නැත්ද?

ඇයි නැත්තේ පාර්ලිමන්ට් ජෝක්ස් - 1 කියලා මේක නම් කළේ ඒ මතු බලාපොරොත්තු ඇතිව තමයි. පාර්ලිමේන්තුව තුළ පසුගිය කාලේ අපි දැකපු දේවල් කොයි තරම්ද? මිරිස් කුඩු ගැහුවා. කතානායක පුටුවට වතුර වත් කළා. මයික් කැඩුවා. ගහ ගත්තා. බැණ ගත්තා. ඒ වගේ ඉවරයක් තිබුණේ නෑ. මට හිතෙනවා ඉදිරියේදී එක චිත්‍රපටයක් නෙවෙයි, චිත්‍රපට තුන හතරක්ම කරන්න පුළුවන් වෙයි. මම ඇසින් දුටු කතා තියෙන නිසා ඉතාම හොඳ තිර පිටපත් ලියන්න පුළුවන් වෙයි. මේ වන විට අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කර තිබෙන නිසා ඉතාම කාර්යබහුලයි. ලියන්න නම් ඉතා හොඳ විවේකයක් ඕනෑ. මට හොඳ වෙලාවට මගේ ජීවිතයේ සියලු කාලය මේ වෙනුවෙන් කැප කරන්න පුළුවන්. පෞද්ගලික සබඳතා මට ඉතාම සීමිතයි. පවුලක්, දරු මල්ලන් නෑ. ඒ නිසා දරුවන්ගේ පේරන්ට්ස් මීටින් යන්න, ඉස්කෝලේ රැස්වීම, ශ්‍රමදානය, හුණු ගාන්න යන කාලය මට ඉතුරුයි. ඒ බැඳීම් මට මුකුත් නෑ. ලොකු කාලයක් මට මේ වෙනුවෙන් ඉතිරියි වගේම නිර්භීතකමකුත් තියෙනවා. වයිෆ් කෙනෙක් හිටියා නම් මේ තරම් නඩු වැටෙන කොට මෙහෙම නිර්භීත කතා කියන්න ඉඩ දෙන එකක් නෑ. එහෙම නිර්භීතකම් කරපු අය බිරියගේ කීම අහලා කට වහගෙන ඉන්න අය මම ඇස් දෙකට දැකලා තියෙනවා.

නඩු වැටි වැටි වුණත් පාර්ලිමන්ට් ජෝක්ස් වැනි ප්‍රහසන ලියමින් ජරා ජීර්ණ දේශපාලනය උපහාසයට ලක් කරමින් වුණත් ඔබත් මේ ජීවිතයට කැමතියි කියලා මට දැනෙනවා?

ඇත්තටම මේ දේශපාලන ජීවිතයට මම වැඩියෙන්ම තල්ලු වුණේ ඒ දිනවල මම කරගෙන ගිය අපේ මැද පෙරදිග ශ්‍රමිකයන් ගැන හොයලා බලන්න ගත්ත තීරණය නිසයි. ඒ අය ගැන සොයලා බලල කතා කරන්න ගත්තම, ඒ අය වෙනුවෙන් කතා කරන්න මට තියෙන සිවිල් බලය මොකක්ද කියලා ඔවුන් මගෙන් ප්‍රශ්න කරනවා. ඔබ කවුද ඒ ගැන කතා කරන්න කියලා. ඉතින් ඒ දවස්වල මට දෙන්න උත්තරයක් නෑ. මම නිකම්ම නිකම් නළුවෙක් විතරයි. නමුත් මට දැන් දේශපාලන ජීවිතය නිසා පිළිගැනීමක් තියෙනවා. මම රාජ්‍ය ඇමති කෙනෙක් කිව්වම තානාපති කාර්යාල මට ඇහුම්කම් දෙනවා. ඒ නිසා මිනිස්සුන්ට යහපතක් කරන්න ඒකත් ප්‍රයෝජනවත් වුණා.

දැන් මට නඩු පිට නඩු වැටුණ එකත් මට වුණු යහපතක් විදියට ගත්තා. මේ නඩු නිසා මටත් දැනගන්න ඕනෑ වුණා මේවයේ නීතිමය පැත්ත කුමක්ද කියන එක. ඒ නිසා දැන් මට ඕන ඹ්ඹ්ඕ උපාධිය කරලා නීතිය අධ්‍යයනය කරන්න. ඒ වෙනුවෙන් දැන් මම විවෘත විශ්ව විද්‍යාලයේ පළමු උපාධිය හදාරනවා. දේශපාලන විද්‍යාවයි, ආර්ථික විද්‍යාවයි කියන විෂයන් දෙකත් ඇතුළත්ව. මට නඩු පිට නඩු දැමීමට කවුරුත් මට ‘හොරා’ කියලා චෝදනා කරන්නෙ නෑනේ. බොහෝ වෙලාවට මට අපහාස කරනවා නම් කරන්නේ මගේ පෞද්ගලික දෙයක් අල්ලගෙන. සමහරු මට ‘ජිග්ලෝ’ කියල කියනවා. සමහරු මගේ ප්‍රේමවන්තියන් ගැන කියලා අපහාස කරනවා. නමුත් ඒවා එකක්වත් මහජන මුදල් සොරකම් කරලා, අව භාවිත කළා කියලා නෙමෙයි. මෙතෙක් මම කරපු නිර්මාණ සියල්ලක්ම සමාජ අසාධාරණයට එරෙහිව කරපුවා. ඉදිරියේදීත් එහෙම නිර්මාණ බිහි වෙයි.

මේ සියල්ල අතරේ ඔබ නළුකම ආරක්ෂා කර ගන්නේ කොහොමද?

නළුකම කියන එක මම හදා ගත්තේ හුඟක් දුක් විඳලා. මම ඉතින් ක්ෂේත්‍රයට ආවේ අතිරේක නළුවෙක් විදියට ප්‍රධාන නළුවෙක් ළඟින් ඉන්න. නැත්නම් මොනවා හරි ගෙනත් දෙන්න. එහෙම හිටිය මම හිතුවේ පොඩි දෙබස් කෑල්ලක් කියලා පෙනී හිටින්න තිබුණොත් ඒක මගේ කූටප්‍රාප්තිය කියලා. මම ඉස්සරලම ආවේ සුනිල් ආරියරත්නගේ ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේ විජය මාමා රඟපාද්දි ඔහු පස්සෙන් ගිය පිරිස අතරට එක් වෙන්න. ඩොනල්ඩ් කරුණාරත්නයන් කැමරාව කළේ. ඒකත් මට ඒ කාලේ සක්විති රජකම ලැබුණා වගේ දෙයක්. ඊට පස්සේ දුර්ගා එකේ දුෂ්ඨයා, ඔබටයි ප්‍රියේ ආදරේ හි ‘මනාලයා’ වැනි කුඩා චරිත ලැබුණා. ඊට පස්සේ මම සෝමරත්න රාමනායකගේ චිත්‍රපට භාගයක රඟපෑවා. ඔහොම ඇවිත් තමයි ජනපි‍්‍රය වුණේ. ඒ අතීතය ගැන මට සතුටුයි. මම අද මෙතන ඉන්නේ මට ආදරය කරපු චිත්‍රපට නරඹපු ඒ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව නිසා. මම ඔවුන්ට සදා ණයගැතියි. ඇත්තටම කිව්වොත් දේශපාලනයට එන්න පාර කැපෙන්නෙත් ඒ ජනතාව නිසානේ. නැත්නම් මම දේශපාලනයට ආවේ ජනතාවට සේවය කරලද? රැකියාවල් අරන් දීලද? පාරවල් හදලද? නෑනේ. මට තිබුණ ආකර්ෂණීය ජනතා ප්‍රසාදයට කොහේ හරි ඡන්දෙට ඉදිරිපත් වෙන්න කෙනෙක් නැත්නම් කෝකටත් තෛලෙ වගේ මාව දානවා. රත්නපුරේට දැම්මා දිනුවා. ගම්පහට දැම්මා දිනුවා. ඒ මට තිබුණ ජනතා ප්‍රසාදයට. ජනතාව මා වෙනුවෙන් කැමැත්ත ලබා දෙන්නේ වැඩිපුරම සිනමාවෙන් මම ගොඩ නඟා ගත්ත ප්‍රතිරූපයට. ඒක ගොඩ නඟන්න අති විශාල පිරිසක් මට සහාය වුණා. මගේ චිත්‍රපට නරඹපු ප්‍රේක්ෂකයාගේ ඉඳලා චිත්‍රපට පෙන්නපු සිනමා ශාලා අයිතිකාරයාගේ ඉඳලා නිර්මාණකරණයේදී මට තේ එකක් හදල දුන්න කෙනාගෙ ඉඳලා අධ්‍යක්ෂවරුන් සිට සියලුම සාමාජිකයින් දක්වාත්, මා ගැන ලියලා පින්තූරයක් පළ කරලා මාව ඔසවා තැබූ සියළුම මාධ්‍යවේදින් ප්‍රධානකොට සියලුම දෙනා නිසා හදපු ප්‍රතිරූපය තමයි මම භුක්ති විඳින්නේ. ඊට අමතරව මගේ පවුලේ අම්මා, තාත්තා, අක්කා මේ මොහොතේ මතක් කරන්න ඕනෑ.

පාර්ලිමන්ට් ජෝක්ස් තිරගත වෙත්දි මුලින්ම පානපත්තු කළේ මගේ අම්මා. අම්මගේ ඒ ආශිර්වාදය මට අදටත් ආදරයෙන් සිහිපත් වෙනවා. අපේ අම්මා වගේම මේ චිත්‍රපටයට දායකවුණු ශිල්පීන් අතරින් බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නෑ. ෆ්‍රෙඩී සිල්වා, ඔහුගේ පුත් ජනේෂ් සිල්වා, රාජා සුමනපාල වැනි අය. ඒ ගැන මතක් වෙත්දිත් අද මට හිතට දුකක් දැනෙනවා.

ඒ කොහොම වුණත් මගේ ජීවිතේ ආපස්සට හැරෙත්දි මට සතුටක් දැනෙනවා. ඒ සතුටට දායකවුණු සියළු දෙනාටම මම සදා ණය ගැතියි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.