කිම බැදිවල යන්නේ? මං මුළා වූ අයකු සේ

ජනවාරි 24, 2019

ළමා සිනමාපටයක් මාර්කට් කර ගැනීම ලෙහෙසි බව ඇතැමෙකුගේ පිළිගැනීමයි. ළමා චිත්‍රපටයක් නැරැඹීමට ළමයකු තනිවම චිත්‍රපට ශාලාවට එන්නේ නැත. දුව හෝ පුතා සමඟ භාරකරුවකු පැමිණීම නොඅනුමානව සිදුවන්නකි. ඇතැම් විට පවුලක දරුවකුට සිනමාපටය නැරැඹීමේ අවශ්‍යතාවය මතු වූ විට පැමිණෙන්නේ පවුල් පිටිනි. ටවුමෙ ඉස්කෝලේ සිනමාපටය ළමයින් වෙනුවෙන් නිර්මාණය කරනු ලැබුවකි. එහි අධ්‍යක්ෂ සුනිල් ප්‍රේමරත්න වෘත්තියෙන් බටහිර සංගීත පුහුණුකරුවෙකි. ඔහු තම ශිල්පය බෙදා දෙන්නේ දූ දරුවන්ටය. එහෙයින් සුනිල් වැඩිපුරම ගැවසෙන්නේ ළමයින් සමඟය. කුලුඳුලේ නිර්මාණය කළ සිනමාපටය ළමයින්ට තිළිණ කරන්නට සුනිල්ට සිතෙන්නට ඇති හේතුව එය වන්නට පුළුවන. ටවුමෙ ඉස්කෝලේ සිනමාපටය පිළිබඳ සංවාදයක යෙදෙන්නට එහි නිර්මාණකරුවා සරසවියට කැඳවන්නට අප අදහස් කළෙමු.

සුනිල්, ටවුමෙ ඉස්කෝලෙ ඔබේ පළමු සිනමාපටය. එහෙත් ඔබ තිර රචකයකු විදිහට සිනමාවට සම්බන්ධ වෙලා හිටියා?

ඔව්. නලින් රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ අඟර දඟර සහ ද රේන්බෝ කියන සිනමාපට දෙකේම තිර රචකයා වුණේ මම. එම චිත්‍රපට දෙකෙහිම සහාය අධ්‍යක්ෂවරයා විදිහටත් වැඩ කළා. සිනමාව ගැන අත්දැකීම් රැසක් මට ඒ චිත්‍රපටවල වැඩ කිරීමෙන් ලැබුණා. මගේ ඊළඟ පියවර වුණේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හැටියට නිර්මාණයක් ගෙන ඒම. ඒත් කාලයක් ගතවනතුරු මට නිෂ්පාදකවරයකු සොයා ගැනීමට අපහසු වුණා. චිත්‍රපට අධ්‍යක්ෂ හීනයත් කල් ගියා. ඔය අතරේ මට හමුවෙනවා දම්මික අතපත්තු කියලා තැනැත්තෙක්. ඔහු කැමැති වුණා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. එහෙම හදපු සිනමාපටය තමයි ටවුමෙ ඉස්කෝලේ.

කාලයක් තිස්සේ නිෂ්පාදකවරු හොයලා, ඒ ගැටලුව විසඳගෙන චිත්‍රපටයක් හදලා ප්‍රදර්ශනය කරන්නටත් කාලයක් බලාගෙන ඉන්න සිදු වුණා? තවත් විදිහකින් කිව්වොත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් මුහුණපාන පොදු ප්‍රශ්නයට ඔබත් මුහුණ පෑවා?

වසර කිහිපයක් මටත් බලාගෙන ඉන්න සිදු වුණා. අවස්ථාව ලැබුණු සැණින් මං චිත්‍රපටය ප්‍රදර්ශනයට ඉඩ ලබා දුන්නා.

ඔබ හිතනවාද නිසි කාලෙක මේ චිත්‍රපටය තිරගත වුණා කියලා?

එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක නෙවෙයි චිත්‍රපටය පෙන්වන්න සුදුසුම කාලේ. ගිය වසර අවසානයේ තමයි චිත්‍රපටය රිලීස් වුණේ. ඒ කාලය මිනිස්සුන්ට වෙනත් වැඩ වැඩියි. පිරිසක් නත්තල සමරනවා. සමහරු ට්‍්‍රප් යනවා. අන්න එතකොට චිත්‍රපටයකට කෙනෙකුගේ අවධානය යොමු වෙනවා අඩුයි. මේ වගේ තත්ත්වයකදී එහෙනම් චිත්‍රපටය ප්‍රදර්ශනය කළේ ඇයිද කියලා ඔබට හිතෙන්නට පුළුවන්.

ඔව්, මං ඊළඟට අහන්න හිටියේ ඒ ප්‍රශ්නය තමයි?

මේ සැරේ මිස් වුණොත් ආයෙ කවදා දිනයක් ලැබේවිද කියලා මමවත් දන්නේ නැහැ. ඒ හින්දා ලැබුණ වෙලාවේ දෙවතාවක් හිතන්නේ නැතුව චිත්‍රපටය රිලීස් කළා.

ටවුමෙ ඉස්කෝලෙ කතා තේමාව ඔබට හසු වූයේ කෙසේද?

මේ කතාවම නෙවෙයි ඊට සමාන කතාවක් ඇති ටෙලි නාට්‍යයක් වසර කිහිපයකට ඉහතදී විකාශය වුණා. මං ඒක නැරැඹුවේ රසිකයකු විදිහට. නාට්‍යයේ කතා තේමාව ගෙන වෙනත් අන්දමින් ඉදිරිපත් කිරීමයි මං මෙහිදී කළේ. ඇතැම් සිදුවීම් මෙන්ම චරිත ද අලුතින් එක්කාසු කළා.

සිනමාපටය ඔබට අවැසි අයුරින්ම නිර්මාණය වුණාද?

මං හිතනවා සියයට අසූවක් විතර මං සාර්ථකයි. පළවෙනි සිනමාපටයනෙ. අඩුපාඩු ඇති. ඒවා දෙවැනි සිනමාපට නිර්මාණයේදී මඳක් හෝ මං වෙනස්කර ගන්නට ඇති කියලා මං හිතනවා.

ටවුමෙ ඉස්කෝලෙ තුළ සිටින ගුරුවරිය තමන් උගන්වන පාසලෙහිම ඉගෙන ගන්නා තමන්ගේ දියණියව ඉස්මතු කරන්නට උත්සාහ ගන්නවා. ඒවා ඔබ සැබෑ ජීවිතයේ දුටු අත්දැකීම්ද?

ඔව්. මගේ වෘත්තීයේ හැටියට නිරන්තරයෙන් පාසල්වලට යන්න වෙනවා. එහිදී මං අනන්තවත් දැකලා තියෙනවා ඔවැනි ගුරුවරු. තමන්ගේ ළමයාව පමණයි ඔවුන් හයිලයිට් කරන්න හදන්නේ. එහිදී නොහිතන ප්‍රතිඵලයි අනෙකුත් දරුවන්ට අත් විඳින්නට සිදු වන්නේ. ටවුමෙ ඉස්කෝලෙදිත් වෙන්නේ ඒකනෙ. අඩුම තරමේ එක් කෙනෙක් දෙන්නෙකුවත් එය නරඹලා තමන්ගේ දුර්ගුණ වෙනස් කර ගනියි කියලා මං හිතනවා.

සිනමාපටයෙහි අවසාන දර්ශනය අනවශ්‍ය එකක් කියලා ඔබට චිත්‍රපට නැරඹු ඇතැම් දෙනා පැවසුවෙ නැතිද?

චිත්‍රපටය මං අවසන් කරන්නේ පන්සලේ දර්ශනයකින්. බොහෝ ප්‍රශ්නවලදී අපේ හිත නිදහස් වෙන්නේ ආගම දහමට යොමු වුණාම. මමත් ඒක අත්විඳලා තියෙනවා. එහෙයින් මං චිත්‍රපටය අවසන් කළේ පන්සලක තිබෙන දර්ශනයකින්. එය අනවශ්‍ය යැයි බොහෝ දෙනා කිව්වා. ඊට ප්‍රථම උච්චම අවස්ථා ඕනෑ තරම් තියෙනවා කිව්වා චිත්‍රපටය නිමා කරන්න. මං ඒ අදහස් බැහැර කරන්නේ නැහැ. සියයට සියයක් නොවුණත් මං ඒ අදහස්වලට එකඟ වෙනවා.

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හැටියට වර්තමානයේ අපේ රටේ සිනමා ක්ෂේත්‍රය දිහා මොන වගේ මනසකින්ද ඔබ බලන්නේ?

මේ තිබෙන අර්බුදවලට සැණෙකින් විසඳුම් සොයා ගත හැකියි. එහෙම නොකරන එකයි ගැටලුව. හොඳ පාරවල් පේන්න තියෙනවා. ඒත් අපි යන්නෙම වෙන වෙන පාරවල්වල. සංස්ථාව ගැන පොඩ්ඩක් බලන්න. සතියෙන් සතිය සභාපතිවරු පත් වෙනවා. ඒ හින්දා කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද. ගෙදරක තාත්තා පිස්සු නටන්නට පටන් ගත්තොත් පවුලේ අනෙක් අයට මොකද වෙන්නේ. අන්න ඒ තත්ත්වයට අපි පත් වෙලා තියෙන්නේ.

ටවුමෙ ඉස්කෝලේ ගැන තවත් අදහසක් ලබා දෙමින් මේ සංවාදය අවසන් කරමු?

චිත්‍රපටය නිර්මාණය කරන්නට පටන් ගත්ත වෙලාවෙ ඉඳලා බාධක කම්කටුලු රාශියකට මං මුහුණ දුන්නා. දිරිමත් කළේ බොහොම අතළොස්සයි. වළ කපපු අය වැඩියි. කරදර එන්න එන්න මාව ශක්තිමත් වුණා. චිත්‍රපටයත් හොඳට කළා. ඒ හින්දා මට මේ වෙලාවෙ කියන්න තියෙන්නේ මට රිද්ද වූ අයට බොහෝම ස්තූතියි කියන එක.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.