නෑකමෙන් නම හදාගන්න මං උත්සාහ කරන්නේ නැහැ

පුංචි තිරයේ දෝන කතරිනා වූ විදූෂි උත්තරා
ජනවාරි 24, 2019

 ඇය රංගනයට පැමිණි ඉතාම කෙටි කලකදී ඉතා ජනප්‍රිය ඓතිහාසික චරිතයකට පණ පෙවීමට භාග්‍ය ලද්දීය. එහෙයින් ඇය වඩාත් ජනාදරයට පත් වූයේ එම චරිතයේ නමිනි. විදූෂි උත්තරා යන සැබෑ නමට වඩා කුසුමාසන දේවි යනුවෙන් බොහෝ දෙනෙක් ඇය අමතන්නීය. විදූෂි කලා පවුලකට නැකම් කියන වග එතරම් ප්‍රසිද්ධ නැත. ඔබ මා හොඳින් හඳුනන කුසුම් රේණු ඇයගේ ලොකු අම්මාය. කුසුම්ගේ මලණුවන්ගේ දියණිය විදූෂී වන්නීය.

 

විදූෂි ඔබ ඒ නෑකකම ගැන වැඩිය කාටවත් කියන්නේ නැහැ නේද?

ඔව්. මම කාගේ කවුද යන වග කියන්නේ නැහැ. මෙතරම් දුර ආවෙත් ඒ නෑකමින් ප්‍රයෝජනයක් අරගෙන නෙවෙයි. හැබැයි ක්ෂේත්‍රයේ ගොඩ දෙනෙක් මං කාගේ කවුද කියන්න දන්නවා. නොදන්න අයට මට කලින් කියනවා මේ අහවලගේ ඥාති දුවෙක් කියලා.

ඔබේ ලොකු අම්මා කලා ලොව තුළ හොඳ ස්ථාවරයක් ගොඩ නඟාගෙන ඉන්නවා. නමුත් ඔබට එතරම් ලෙහෙසි වුණේ නැහැ කලාවට එන්න?

පුංචිම කාලේ කලාවට සම්බන්ධ වුණා. රූපවාහිනී අතුරු මිතුරු ළමා සමාජයේ හිටියා. සතර ඉම කියලා නාට්‍යයකත් රඟපෑවා. මගේ තාත්තා කැමැති වුණේ නැහැ මං දිගින් දිගටම කලාව තෝර ගන්න එකට. මම තාත්තට හරිම ආදරෙයි. ඔහු කියන දේවල්වලට පිටින් කිසි දෙයක් කරන්නේ නැහැ. තාත්තාගේ වචනෙට ගරු කරල කලා ලොවෙන් ඈත් වුණා.

ඊට පසුව ඔබ වෙනත් අංශයක රැකියාවක් කරනවා?

ස්වරණාභරණ නිර්මාණ ශිල්පිණියක් විදිහට වසර එකහමාරක් පමණ සේවය කළා. ඒ රැකියාව නිදහස හරි අඩුයි. සතියට දවස් හයක්ම වැඩ. වෙහෙසකර නිසා මං ඉන් ඉවත් වුණා.

එතකොට ඔබ ආයේ රඟපාන්න එන්නේ?

දෙයියන්නෙ රටේ නාට්‍යයේ ස්ක්‍රින් ටෙස්ට් එකකට ගියා යාළුවෙක් එක්ක. ඇත්තටම මට නෙවෙයි ඒකට සහභාගි වෙන්න වුවමනාව තිබුණේ යාළුවට. එයාගේ උදව්වටයි මං ගියේ. එතනදි මාව දැකපු එහි අධ්‍යක්ෂවරයා දෙයියන්නෙ රටේ නාට්‍යයේ සුළු චරිතයකට මාව තෝර ගත්තා. ඊට පසුව දෙවැනි ඉණිමට සම්බන්ධ වුණා . ඒ චරිතයේ නම මල්කි. මල්කි හුඟක් මිනිස්සු අතරට ගියා.

දෝන කතිරිනා ඔබේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා?

ඇත්තටම ඔව්. මාව ඒ චරිතයට තේරුවේ කවුද කියලා අදටත් කවුරුවත් මට කියන්නේ නැහැ. මගේ වාසනාවට චරිතය ලැබුණේ. ලොකු සතුටක් දැනුණා මාව කුසුමාසන දේවිය හැටියට තෝර ගත්තු එකට. මේකප් ටෙස්ට් එක දවසෙ මං හරි බයෙන් හිටියේ. නමුත් ප්‍රවීණ අංග රචනා ශිල්පී ජේ. සුරනිමල සහ කොණ්ඩා සැකසුම් ශිල්පී සෑම් පෙරේරාගේ උදව්වෙන් මං කුසුමාසන දේවිට සැරසුණාට පසුව මට පුදුම හිතුණා. මං ටිකක් මං දිහා බලාගෙන හිටියා. එහෙම කළේ සතුට වැඩිකමට.

ඔබ කුසුමාසන දේවිගේ සැබෑ රූපය දැකලා තියෙනවද?

මං එහෙම පින්තූරයක් හෙව්වා. නමුත් හමු වුණේ නැහැ. එක එක අය එක එක කතා කියනවා. හරි විස්තරයක් හොයා ගන්න බැරි වුණා.

කොහොමද ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර?

ඉතාම ඉහළයි. සෑම වර්ගයකම ප්‍රේක්ෂකයෝ මේ නාට්‍ය බලනවා කියලා හිතෙනවා. විවිධ වයස් පරතරවල පිරිස් කුසුමාසන දේවිය නේද මේ කියලා ඒ නමින්ම කතාත් කරනවා.

ඔබේ පියා මොකද දැන් කියන්නේ?

තාත්තා මුලදී ටිකක් බය වුණාට දැන් හරි වගේ. අම්මට තමයි වැඩියෙන්ම වුවමනාව තිබුණේ මාව රංගන ශිල්පිණියක් කරන්න. ඒ දෙන්නගෙම විශ්වාසය ගොඩනඟාගෙන මං දැන් රංගනයේ යෙදෙනවා.

මේ දිනවල රංගනයේ යෙදෙන අනෙකුත් නාට්‍ය ගැන සඳහනක් කළොත්?

රාජයෝගය, සිල්ලර සමනල්ලු යන නාට්‍යවල රඟපානවා.

විදුෂිගේ ගෙවල් කොහේද?

බුත්ගමුවේ.

උපන් දිනය?

නොවැම්බර් විසි නවය.

ඉගෙන ගත්තු පාසල?

කොළඹ ගෝතමී විදුහල.

විදුෂි මේ වන විට පෙම්වතියක්ද?

ආදරේ අපි හැමෝම විඳිනවනෙ. ඒක තමයි කියන්න තියෙන්නේ.

ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවහොත්?

හරිම ආදරණීය කෙනෙක්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.