ටජ්මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමි ජෝතිපාලයන්ගේ බිරිය සොයා

ජනවාරි 24, 2019

අපමණ වෙහෙසක් දරා වින්ටර් බ්ලොසම් ජෝතිපාල මහත්මිය සම්බන්ධ කර ගැනීමට අපි සමත් වීමු. ඒ සඳහා උපකාර කළ මාධ්‍යවේදී සිරි කහවල මහතාටත්, සංගීතඥ සරත් ද අල්විස් මහතාටත් සරසවිය ප්‍රණාමය පුදමින්ම කතාව අරඹන්නට සිතමි. මෙහෙයුම අවසානයේ රෙජිනා ජෝතිපාල හෙවත් එච්.ආර් ජෝතිපාලයන්ගේ දෙවැනි දියණිය වන ‘සුජී අක්කි’ට කතා කිරීමට අංකයක් හමු වෙයි. ඒ කොළඹ සිටින ක්‍රිෂ්ණි ජෝතිපාල හෙවත් සිවවැනි දියණියගේ මාර්ගයෙනි. අප කතා කළ බොහෝ අවස්ථාවල සුජී අක්කි සිටියේ එක්කෝ ගමනකය. නැත්නම් උත්සව අවස්ථාවකය. ඒ නත්තල් සමය නිසා උත්සව අවස්ථා බොහොමයක් යෙදෙන බව සැබැවකි. ඉතින් පමා වී හෝ අපි ගමනට දිනක් යොදා ගතිමු. නාත්තණ්ඩිය මහ දුරක් නොවුණද පහන් දොරින් ගමන පිටත් වීම කෝකටත් හොඳය.

තෝප්පුව හන්දියෙන් හැරී නාත්තණ්ඩියට පැමිණ මකර තොරණ යටින් විත් සමෘද්ධි නිලධාරිගේ කාර්යාලය ළඟ අපේ වාහනය නතර වෙයි. අපට ඕනැ උදේ වරුවේ ඇමතුම් දෙමින් කරදර නොකරම ඔවුන්ගේ නිවෙසට යාමටය. නිශ්ශංක වාහනයෙන් බසී. තරමක් ලොකු වතු මැද පිහිටි නිවෙස්වල දොරපියන් හැර තිබුණද කිසිවකු පෙනෙන්නට නැත. ඔහු ඒ මේ අත යයි. මොහොතකින් පැමිණ වාහනයට නඟී. ‘හරි යං. අර කෙනා පෙන්වයි තැන’. ටැටූවලින් අතපය පිරුණු හැඩි දැඩි තරුණයෙක් මෝටර් බයිසිකලයකින් පෙර ගමන් යයි. අප ඔහු පසු පසිනි. අඩි පාරක් ළඟ බයිසිකලය නතර කළ ඔහු වාහනයේ රියැදුරු නුවන් මල්ලි දෙස බලා, ගැඹුරු හඬින් ආඥාවක් දෙයි. “ඔහොම කෙළින්ම ගිහින් ටී හන්දියෙන් දකුණට හැරෙව්වාම කඩයක් ඇති. එකෙන් දෙවෙනි ගෙදර.”

‘බොහොම ස්තුතියි’ අපි එකවර කියමු.

කඩය දකිද්දී වාහනයේ වේගය අඩු වෙයි. දෙවෙනි ගේ ළඟදී යළි නිශ්ශංක වාහනයෙන් බැස වේගයෙන් යන්නේ ආකිමීඩිස් මෙනැයි මට සිතේ. මම වාහනයේ සිට අවට බලමි. බුදු රුවක් උළුවස්ස මුදුණේ වෙයි. මම කැගසමි. “නිශ්ශංක බුදු හාමුදුරුවන්ගේ පින්තූරයක්, වෙන්න පුළුවන්ද?” මගේ කීම ගණන් නොගත් ඔහු ගේ දොරකඩට යයි. ඔහුට ඇත්තේ ජෝතිපාල පවුලේ හැකිතාක් පින්තූර තම කැමරාවට හසු කර ගැනීමේ කලබලය බව මම දනිමි. ඊටත් වඩා වේගයෙන් වාහනය මිදුලට දමා නතර කරන්නට නුවන් යුහුසුලුය. මට දෙබස ඇසෙයි.

“ජෝතිපාල මහත්තෙලැ ගෙදරද” ඒ නිශ්ශංකය.

“ඔව්” ගෙතුළින් එන පිරිමි කටහඬකි.

“අක්කා ඉන්නවාද”

“අක්කා වැඩට ගියානේ”

නිශ්ශංකගේ මුහුණේ ඇත්තේ අපේක්ෂා භංග වූ ස්වරූපයකි. “වැඩට ගිහින්ලුනේ. අද එනවා කියලා කන්ෆර්ම් කළේ නැද්ද” ඔහු මගෙන් අසයි.

“ඔයා ඉස්සල්ලා නම කියලා අහන්නකො. කොයි අක්කද දන්නැනේ වැඩට ගියේ” මගේ හඬට තුවායක් ඉනේ දවටාගෙන සිටි වයස පනහක පමණ පුද්ගලයෙක් එළියට එයි.

“එච්. ආර්. ජෝතිපාල මහත්තයාගේ ගෙදරද අහන්නකො” මම යළිත් කියමි. එය ඔහුට ඇසෙයි.

“මම තමයි මෙහෙ ජෝතිපාල. ඒ ජෝතිපාල මහත්තයාගේ ගෙදර පහුකරන්නෙ ඇවිත් තියෙන්නේ. ඉස්සර අපේ ගෙදරට එහෙට එන ලියුම් කියුම් එහෙමත් ආවා. අපි ආපහු යැව්වා.” අප යා යුතු පාර පිළිබඳ විස්තර කියන ඔහු කියයි.

“සින්දුත් කියනවද?” වේගයෙන් වාහනය වෙත එන නිශ්ශංක දෙස බලා මම ඒ ජෝතිපාලගෙන් විමසමි. ඔහු දැස බිමට බර කර පොළොවට මද සිනාවකින් සංග්‍රහ කරන්නේ කන් පෙති රත් පැහැ ගනිද්දීය.

“අපි එන්නං” වාහනය කරකවන අතර සුහද සිනාවකින් සංග්‍රහ කරමින් මම ඔහුට කියමි. පාරට වාහනය ගන්නා සැණින් මගේ සිනාව පුපුරා යයි.

“මටමයි වෙන්නේ” නිශ්ශංක තනිවම කියා ගනී. කරදර නොකර ගෙය සොයා ගන්නා අදහස අත හැර සුජි අක්කිට අමතන්නට තීරණය කරමි.

“හෙලෙඖව්...” වෙනදා මෙන් නොව ඇගේ ඇමතුම මිහිරි ගීයක් මෙනි. මොහොතක් එයින් නිහඬ වූ මම සිදු වූ අකරතැබ්බය කියමි.

“මොනවා? ඔය කියන කල් අපි මෙහෙ තව ජෝතිපාල කෙනෙක් ගැන දන්නේ නැනේ!”

ඇය අසල කඩෙන් විමසා අප සිටින තැනින් නිවෙසට ආ යුතු දිශාව පවසයි. ඒ ජෝතිපාල ගමේ ජනප්‍රිය පුද්ගලයකු බව කඩේ සුදු මැණිකෙගේ දෙබසින් අපට වැටහෙයි. අපි ඒ මඟ ඔස්සේ ඇදෙමු. හඳුනා ගැනීමේ කිසිදු අපහසුවක් නැත. ඇය ජෝතිපාලයන්ගේ කපාපු පළුව මෙන් ගේට්ටුව අසල සිටින්නීය. ජෝතිපාල මැතිනියද ඒ පිටුපස දිගු කලිසමකින් හා බ්ලවුසයකින් සැරසී සිටියි. මැක්සිගේ බිරිල්ලේ නිමාවක් නැත.

“මෙයා හරි හොඳයි. හපන්නේ නැහැ. හොඳ බල්ලො හදන්න ඕන තරම් අය ඉන්නවානේ. ඒ නිසා තමයි අපි මේ පාරේ ඉන්න අයට පිහිට වුණේ. මෙයයි, මෙයාගේ නෝනයි, පැටියයි පවුලක්ම ඉන්නවා.” ඒ සුජී අක්කිය. ඒත් මැක්සි නොවේ නවත්වන්නේ. ඒ පාර හඬ අවදි කළේ වින්ටර් බ්ලොසම් ජෝතිපාල මැතිනියයි. “යූ ගෙට් ඉන්සයිඩ්. නැ බල්ලෙක් වුණත් තේරුම් ගන්න ඕනා වැදගත් වැඩකට කෙනෙක් ආවාම කරදර නොකර ඉන්න. අයි සෙඩ් ගෙට් ඉන් සයිඩ්.” මැක්සි එය තේරුම් ගත්තා වැනිය.

එච්.ආර්. ජෝතිපාලයන් වෙනුවෙන් නිකුත් කළ මුද්දර සහිත රාමු කළ ඡායාරූපයක් සාලයේ ඇති වැඩ දැමූ පෙට්ටගම මත වෙයි. ජෝතිපාල මැතිනිය හිඳුවිය යුත්තේ එතන බව තීරණය වෙයි. මම ඉදිරි අසුනට බර වෙමි. සුජී අක්කි ඇතුළු ගෙට යන බිත්තියට හේත්තු වී අප දෙස බලා හිඳීන්නීය.

“අසහාය ගායකයා ගැනද ලියන්න ආවේ” බ්ලොසම් මහත්මියගේ මුවේ ඇත්තේ උපහාසාත්මක සිනාවකි.

“දැන් මොනවටද ඒවා. ඒවා ඔක්කොම ඉවරයිනේ” ඇය සුසුමක රඳවා වචන මුදා හරින්නීය.

මේ තණ තිල්ල ලේසි පහසු එකක් නොවන බව ඉතා පැහැදිලිය. සෙමින් පන්දුවට පහර දෙමින් තරගයට අවතීර්ණ නොවුණ හොත් අවුට් වීමට ඇති සම්භාවිතාව වැඩිය.

“අපි ආවේ ජෝතිපාල මහත්තයා ගැන කතා කරනවාට වඩා, ඒ වගේ අසහාය ගායකයෙක් එක්ක ඔබතුමිය ජීවත් වුණේ කොහොමද කියන එක ගැන ලියන්න.” මම ඉතා මෘදු ලෙස කියමි.

“අපෙ අප්පේ... ඒ මොන කතාවක්ද? සුජි, මං ගැනලු ලියන්න ආවේ.” ඇය දියණිය දෙස බලා කියයි. සුජි අක්කි කටපුරා සිනාවකින් අප දෙස බලා හිස වනා ‘ඔහොම යං’ වැනි ඉඟියක් කරයි.

වින්ටර් බ්ලොසම් නැතහොත් බ්ලොසම් ජෝතිපාල මහත්මිය සමඟ පුවත්පත් සාකච්ඡාවක් කෙරෙන්නට යන පළමුවැනි අවස්ථාව මෙය බව අපේ දැනීමයි. එය ඇයට මහත් ආගන්තුක හැඟීමක් ඇති කළ බවද රහසක් නොවේ. එය සමනය කළ යුත්තේ තවත් සමීප වීමෙනි.

“සුජී අක්කි තාත්තිගේ පින්තූර මෙච්චරද තියෙන්නේ?” මම අසමි.

“ඩැඩාගේ පින්තූරු තියෙන ඒවා පෙන්නන්න සුජී මේගොල්ලන්ට.” ඒ බ්ලොසම් මහත්මියගේ හඬයි.

“ඩැඩාගේ ලොකු පින්තූර ඔක්කොම නංගි ගෙනිච්චා කොළඹ. මටත් ඒවා ෆ්‍රේම් කරලා දෙනවා කියලා.

තාම හම්බුණේ නැ. මගේ වෙඩිං ෆොටෝස්වල නම් ඩැඩා ඉන්නවා.”

“ආ ඒවා දෙන්න මේගොල්ලන්ට බලන්න. දෙන් දේ කැන් සිලෙක්ට් සම් ෆොටෝස් නො. අය්යෝ තියාගන්න නම් බැහැ එක පොඩි ෆොටොග්‍රාෆ් එකක් වත්. හැමවෙලේම කවුරු හරි ආවොත් ඉල්ලගෙන යනවා. අපි මේවත් හංගලා තමයි තියාගන්නේ.

නැ ඉතින් ඔය එල්විස් ප්‍රෙස්ලිලා වගේ නමගිය ඇත්තන්ගේ ෆොටෝස් වුණත් පත්තරවලට දාන්න හරි ෆැන්ස්ලා ආවාම හරි ඉල්ලගෙන යනවා විනෝදකාරයොනෙ.” බ්ලොසම් මහත්මිය එසේ කියන අතර සුජී අක්කි සිය විවාහ මංගල්‍යයේ ඇල්බමය නිශ්ශංක අතට පත් කරයි. එහි මෙරට කලා කෙත අස්වැද්දූ සිය ගණනක් කලාකරුවන්ගේ සේයා රූ පෙළකි.

ඒවා පිටපත් කරන අතර මම ‘බ්ලොසම් ආන්ටි’ගේ ආදර කතාව අසාගන්නට හැකිවන තරම් කුලුපග වන්නට සමත් වන්නෙමි. බ්‍රිතාන්‍ය ජාතික පියකුගේ සහ උඩරට හෙළ කුල කතකගේ මද්දුම දෝණී වූ වින්ටර් බ්ලොසම්ට, ඒච් ආර් ජෝතිපාල නම් වූ ආදරවන්ත ගායකයා හමු වීමත් සමඟ වූ ජීවන පෙරළිය, යුග පුරුෂයකුට බිරිඳකව ඇය ගත කළ ජීවිතයේ හසරැල් මෙන්ම කඳුළැල් සරසවිය පාඨකයන් සමඟ ලබන සතියේ බෙදා ගන්නට සූදානම්ය. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.