මොකක් හරි හේතුවක් හින්දා අමුඩෙ අමතක වෙලා තිබියන්

අමුඩේට ලැබෙන ප්‍රතිචාර ගැන සමන් ලෙනින් කියයි
ජනවාරි 24, 2019

 තම පණ සරි පෙම්වතියට වෙනත් මඟුලක් කතා කොට ඇත. පෙම්වතා සොවින් පසු වෙන්නේ රැයක් දවාලක් නැතුවය. ඔහුට වැඩි කෝපයක් ඇත්තේ කපුවා ගැනය.

මේ කෙල්ලටම මඟුලක් කතා කරා නොවැ. ඌට වෙන එකියෙක් හිටියෙම නැතිද. ඕකාට හොඳක් සිද්ධ වෙන්න එපා.

පෙම්වතා වස් කවියක පරිද්දෙන් සිය සිතුවිලි ගංගාව මුදා හැරියේය. ඉන් හොඳ හැටි දෙහි කැපූණේ කපුවාටය. දෝෂාරෝපණ ලැයිස්තුවේ දෙවැනි තැන සිටින්නේ පෙම්වතියගේ මවය. ඉන් පසුව අනෙක් අයය. පෙම්වතියට සහ ඇගේ පියාට මඳකුදු අව කැපෙන කතාවක් කියන්නේ නැත. ඔහු අපට කියන්නේ අද දිනක පෙම්වතෙකු ගැන නොවේ.

මෙකී කතා පුවත මා සඳහන් කළේ මේ දිනවල විඳින්නට ලැබෙන අපූරු ගීතයක් පිළිබඳ ඔබ සිතෙහි සිතුවමක් මැවීමටය. එය අමුඩේ නොහොත් වස් ගීයයි. නව පරපුරේ තම අනන්‍යතාව රැඳ වූ සමන් ලෙනින්ගේ හඬින් ගීතය අලංකෘත වී ඇත්තේය. ඕනෑම කලා කෘතියක පසු කතාවක් තිබෙන්නේය. අමුඩේ නොහොත් වස් ගීයට ද එම කාරණාව පොදුය. සමන් ලෙනින් අල්ලා ගතහොත් අමුඩේ නොහොත් වස් ගීයේ යටගියාව බොහොම අපූරුවට ගීයක් සේ අප ඉදිරියේ දිග හරිනු ඇත. ඇත්තෙන්ම ඔහුගෙන් ඒ ගැන නොඅසා වෙන කාගෙන් අසම්ද?

එලෙස සිතූ හෙයින් වැඩි කරදරයක් නැතුවම සමන් කතාබහකට එක්කාසු කොටගෙන අමුඩේ නොහොත් වස් ගීය පිළිබඳ වැඩි විස්තර අප මෙසේ ඇසුවෙමු.

පළමුවරට මං මෙහිදී සිහිපත් කරන්නේ මෙය ලියූ ඩිල්ෂාන් පතිරත්න. ඔහු මාගේ අතීතකාලීන මිත්‍රයෙක්. ඩිල්ෂාන්ගේ කලියුගයේ කුමාරයෙක් නමැති පොතේ තිබුණු මේ පද පෙළ එළියට ගත්තේ මුහුණු පොතේ සිටින කවියට ළැදි අපේම කිහිප දෙනෙක්. මෙහි ඇති විචිත්‍රවත්භාවය නිසාම ඉතාම ඉක්මනින් බොහෝ දෙනෙක් ඊට වසඟ වුණා.

ඔය අතරේ මගේ මිත්‍රයෙක් ඉන්නවා ජයන්ත සුභසිංහ කියලා. ඔහුත් මේ පැදි පෙළ බොහොම ආසාවෙන් රස විඳලා. ජයන්ත තමයි මාව මේ ගැන දැනුම්වත් කරලා ගීතයකට ගත්තොත් හොඳ වේවි කියලා මට මුලින්ම කිව්වේ. ඔහුගේ වචන ඔස්සේ මං ඩිල්ෂාන්ට මගේ අදහස කිවා. එතකොටත් ඔහුගෙන් මේ කවි මාලාව සහන් රන්වල ඉල්ලගෙන තිබිලා තියෙනවා. මං සහන්ට කතා කළා. පද පේළිවල ලස්සනට මං ඉල්ල ගත්තත් තවම මං ඒවායින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඔයා ගන්නවා නම් ගන්න. කවුරු හරි මේකට පණ දෙනවා නම් මං කැමැතියි කියලා සහන් නොපැකිලව මට මේ පද ටික දුන්නා.

මෙහි සංගීත නිමැවුමත් ක්ෂණයකින් වුණේ නැහැ. දවස් ගණනාවක් මං හිතලා හොඳට කල්පනා කරලා මෙලඩියක් යෙදුවා. ජන සංගීතය, ශාන්ති කර්ම ආදියෙහි ආභාසය තිබෙන නිසා මෙහි සංගීතයටත් අඩු වැඩි වශයෙන් එවැනි බලපෑමක් තියෙනවා. පහතරට බෙරය භාවිත කරලා එහි නාද රටාවක් ද එක් කළා. මෙහි වීඩියෝව කළේත් මං. නිලක්ෂි හැලපිටිය එහි පිටපත මට සකස් කරලා දුන්නා. එක්තරා තැනක කූඹින්ගේ දර්ශනයක් තියෙනවා. ඒක ගන්න තමයි හුඟක් අමාරු වුණේ. මේ මොන කරදරයක්ද කියලත් හිතුණා. මේ වීඩියෝව රූපගත කිරීම් කරද්දී මගේ කකුලට විස බීජයක් ගිහින් ප්‍රතිකාර ලබමිනුයි හිටියේ. ඔය මං කොර ගහනවා නේද, ඇත්තටමයි මං ඒ කොර ගැහැව්වේ ගීතයේ අදහසට අනුව මේ තරුණයා ද්වේෂයකින් ඉන්නේ. නමුත් එය පිට කරන්නෙ මහත් වූ සංයමයකින්. ලණුවක් හොයාගෙන ඒකෙන් බෙල්ලෙ වැල දාගන්නවා වෙනුවට ඔන්චිල්ලාවක් පදිනවා. ඔය වගේ දේවල් කරලා තමන්ගේ හිත අංශක එකසිය අසූවක් අනෙක් පැත්තට හරවාගෙන ඇත්ත තේරුම් ගන්නවා. කපුවා ගැන තමයි හුඟක් තරහා. අවසනදි පෙම්වතා පන්සලකට යන්නේ චංචල වූ හිත ආගමෙන් දහමෙන් සුවපත් කරගන්න.

මේ වන විට අන්තර් ජාලය ඔස්සේ මේ ගීතය ටෙ‍්‍රන්ඩිං ඇවිත් තියෙනවා. ඒ වගේම කිසිම වරදක් නොකියා හොඳම තමයි කියන්නේ. එහෙම වෙන්නේ මෙය මිනිස්සුන්ට විඳින්න පුළුවන් ගීතයක් නිසා. බලන්න වටිනාකමක් ඇති දෙයක් නිසයි මිනිස්සු අමුඩේ නොහොත් වස් ගීය මෙච්චර නරඹන්නේ.

 

 

අමුඩේ නොහොත් වස් ගීයේ සම්පූර්ණ පදමාලාව:

 

දුන්නු තේ එකට සිනි වෙනුවට

කලපු ලුණු හැන්දක්ම වැටියන්

ආයුබෝවන් කියන මොහොතේ

බුලත් හෙප්පුව බිම පෙරළියන්

කොයිතරම් ලස්සන වුණත් මට

ඌට මහ වස කැතට පෙනියන්

 

පරපුරේ පම්පෝරි දොඩවන

අම්මගේ කට වචන ගිලියන්

කැස්ස හැදිලා ආත්තම්මට

වාත පිත තරඟයට කිපියන්

අයියා පණ්ඩිතයා වෙලාවට

නොඑන්නට වාහනේ කැඩියන්

නොකළ හින්දා වැරැද්දක් මට

තාත්තට වෙන වැඩක් වැටියන්

 

මකුළු දැල් නැන්දම්මා දෑසට

කිතුල් මල් වාගේම පෙනියන්

නොහොබිනා හරුපයක් කියවී

කාගෙ හරි හිත තදට රිදියන්

මඟුල එහෙනම් තීන්දුයි දැන්

කීවොතින් හොර කපුවා එසැනින්

අලුත් නෑකම් සභා මැද්දේ

අනේ ඕකගෙ සරම කැඩියන්

මොකක් හරි හේතුවක් හින්දා . . .

අමුඩෙ අමතක වෙලා තිබීයන්. . .

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.