ටජ්මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමි

ජෝතිපාලයන්ගේ බිරිය හමුවී
ජනවාරි 31, 2019

 එච්. ආර්. ජෝතිපාලයන්ගේ බිරිය, වින්ටර් බ්ලොසම් ජෝතිපාල මහත්මිය වෙසෙන නව ඉසව්ව සොයාගත් අයුරු අපි ගිය සතියේ විස්තර කළෙමු. හෝරාවක් පමණ ගතවන විට ඇය අප හා බොහෝ කුලුපග වී ඇති සෙයකි. සුජී අක්කිගෙන් (දෙවැනි දුව රෙජිනා ජෝතිපාල) විස්තර අසද්දී 'මමා' යනුවෙන් අමතන්නටත්, 'ඔබතුමිය' වැනි දුරස්ථ ගෞරව පදවලින් ඈත් වී 'ආන්ටි' ලෙස අමතන්නටත් හැකි තරම් වින්ටර් බ්ලොසම් මහත්මියට හදවතින්ම ළං වූ පසු ඇය තම නමේ අර්ථය මෙන්ම පොහොට්ටුවක් සේ වැසී තිබූ ඒ අතීතය කෙමෙන් කෙමෙන් පිපෙන මලක පෙති සේ මා ඉදිරියේ දිගහරින්නට වූවාය. මගේ පන්හිඳ ඒවා සටහන් තබා ගන්නේ මටත් වඩා වේගයෙනි.

 

"ඒ ජීවිතවලට නිදහසක් නම් නෑ ඉතින්. ඕනි වෙලාවක ඉන්ඩ ඕන ඉතින් ලෑස්ති පිට"

"තිස්සෙම කට්ටිය පිරිලා ගෙදර. එහෙමද?" මම අසමි.

"එහෙමත් නෑ ඉතින්. එයාගේ යාළුවො එනවා තමයි, ඔය ජෝකින් මුදලාලිලගේ කට්ටිය (--) ඔක්කොම එදා ඉඳලා හිටපු යාළුවොනෙ. ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා එහෙම ඕනෙ වුණාම එවනවනේ ඒ ගොල්ලන්ගේ ඇත්තො. මම අයින් වෙනවා ඒ අයට කතාබහ කරගන්න ඉඩ දීලා."

"එතකොට කැමබීම සප්ලයි කරන්න ඕන ආන්ටිද?"

"මොකක්ද ආයෙ ඒක නම් ඉතින්. ඒගොල්ලන්ට ටේස්ට් එකට බයිට් එකක් අරකක් මේකක් තිබ්බහම... එහෙම තමයි. ඒවා අපි දන්න විදිහට අපිම හදනවා. අප්පෝ මරදානේ ඉන්නකොට නම් නිදහසක්ම නැහැ."

මේ කතාවට නිශ්ශංකගෙන් බාධාවකි.

"මේ මේ පින්තූරුවලත් දෙන්නා එකට ඉන්න එකක් නම් නැහැ"

ඇය එය සරලව බාරගනියි.

"අපි වැඩිය ඔය ඔව්වට... ළමයි ගියා මිසක මම ගියේ නැහැ. ගෑනු ළමයි හතරදෙනෙක් හදනකොට පුළුවන්ද ඔය එහෙ මෙහෙ ගිහිල්ලා?" ඇය ඔහුට පිළිතුරු දෙන්නේ පැනයකිනි.

"වෙඩින් එකේ නැද්ද අම්මගේ පින්තූරයක්?" නිශ්ශංකගේ පැනය සුජී අක්කිටය.

"නැහ්" ඇගෙන් කෙටි පිළිතුරකි. එහෙත් බ්ලොසම් මහත්මිය එය විස්තර කරයි.

"අපේ මහගෙදර නම් තියෙනවා ඔක්කොම නේද සුජී? නෑ ඉතින් ළමයි හතර දෙනත් එක්ක එයාගේ ආසාවනේ පින්තූරෙට ඉන්න එක. මම වැඩිය ඕවට මූණ දෙන්න යන්නේ නැහැ අප්පච්චියේ...ඒ... බේරිල්ලක් නෑ." අපි සිනාසෙමු. ඒ සමඟ මම කතාව වෙනස් කරමි.

"ඇත්තටම කොහොමද ආන්ටිට ජෝති මහත්තයා හම්බුණේ?"

"දෙමටගොඩ ඉන්න කාලේ ඉඳන් අඳුනනවා අපි. මගේ පප්පගෙ (තාත්තගේ) ළඟම නෑදෑවෙන කසින් කෙනකුගේ ගෙවල් පේළියේ කෙළවරේ තමයි එයාගේ මහ ගෙදර තිබුණේ. එහාට යනවා එනවා ඉතින් එහෙම ගිහිල්ලා ඇවිල්ලා තමයි ඔය දැන අඳුනගෙන ඉතිං... සාමාන්‍යයෙන් ජෝතිපාල හරි... ඕන කෙනෙක්ට ලැදියි නේ. ඉතින් සැරසිලි කෙරුවත් වෙසක් එකට හරි මොන එකකට හරි අපි තමයි ඒ පර්ත් රෝඩ් එක පැත්ත පළාතෙම එව්වට ඉදිරිපත් වෙන්නේ."

"ඒ කියන්නේ ආන්ටිත් බෞද්ධද?"

"ඩඩා බෞද්ධනේ" ඒ සුජී අක්කාය. ඊට උඩින් ඇය පවසයි.

"මම කොන්වන්ට් නෙ ගියේ. මේගොල්ලොත් කොන්වන්ට්. නැ ඉතින් ආගම්වලින් වැඩක් නැනේ නේ? ආගම් බේදයක් ඇත්තේ නැනේ."

"ආන්ටි කොහෙ කොන්වන්ට්ද?"

"හෝලි ෆැමිලි කර්නිගෝල්. (කුරුණැගල) බෝඩිමේ අපි හිටියේ. අපිව එළියේ ඇරියේ නැහැ ඩේ ස්කොලර්ස්ලා වගේ. ඇන්ඩ් අපේ පප්පා හිටියේ බියොන්ඩ් ට්‍රින්කො (ත්‍රිකුණාමලේට එහා). ට්‍රේල්ස් ඉන් කුච්චුවේලි කියලා 'හත්පත්තු ගමක'. හහ්හහ්හා." අපටද සිනාව සමඟ පුදුමය ගෙනෙමින් ඇය සිංහල භාවිත කරයි.

"ඒ වුණාට හරීම ෂෝක්. නිෂ්චලේ හිටියැහැකි." ඇය දෑස පියාගෙන ගමට යයි. මද සිනාවක් දෙතොලේ සටහන්ව තිබේ. මම ඒ ගමනට බාධා කරමි.

"ඒ කියන්නේ තාත්තා?"

"හී වොස් ඇන් එස්ටේට් ඕනර් නො. දේ හැඩ් මනී. වින්ටර්ස් ආ විත් මනි.(ඔහු වතු හිමිකරුවෙක්ාන. එයාලට සල්ලි තිබුණා. වින්ටර්සලා පොසත්කෙ.)

සෙන්ට් ජෝජ් එස්ටේට් ගලගෙදර කීවම අහල ඇතිනෙ? ඕන හැටියෙ දේවල් තියෙනවා අද වුණත් ගියාම අපට."

"ඉතින් ආන්ටි කොළඹ ආවේ?"

"මමි වැඩ කළානේ ඩර්ඩන්ස් හොස්පිට්ල් එකේ. එතනදි තමයි ඩඩා අඳුනගෙන තියෙන්නෙත්. මමීගේ යාළුවෙක් හිටියා එතල් ආන්ටි කියලා." සුජී අක්කි කෝල බැල්මක් මමී වෙත හෙළයි.

"ඔච්චර දේවල් තියාගෙන, ඇරත් ඒ කාලේ? ආන්ටි නර්සිංවලට ගියේ ආසාවටද?"

"ගෙවල්වල නිකං ඉන්නවට වඩා හොඳයිනෙ නේද එහෙම එකක් කරන එක. එස්ටේට්වල නිකං රැඳීලා ඉන්නවට වඩා කොච්චර හොඳයිද නිදහස්ද ඒක. කෝ..ච්චර සේනාවක් යන එනවද අපට දැන අඳුන ගන්න නේද? අපට ලෝකෙ ගැන දැනගන්න. අඩු ගානෙ ඉන්න දේසෙ ගැනවත් තේරුම් ගන්න. අර වතුයාය මැද්දෙ ඉන්නවට වඩා." ඇය නිදහස සොයන්නියක බවට පත් කරන්නේ දෛවය විසින් යැයි මට සිතේ. බඹා කෙටූ සැටියට ඇගේ අනාගත ඉරණම්කරු ‍සොයා ගැනීමේ මඟ පැදෙන්නේ මේ ස්වභාවය නිසා නොවේද? එසේ නොවුණා නම් ඇය අදටත් මහා වතුයායක් මැද බංගලාවක සුදු මහත්තයකුගේ 'නෝනාහාමු' කෙනකු ලෙස ජීවිත් වන්නට ඉඩ තිබුණි. එහෙත් ඇගේ දෛවයේ ලියැවී තිබුණේ එවන් ගමනක් නොවේ. මගේ කල්පනාවට බාධා කළේ කිසිදු විමසීමකින් තොරව තනිවම ජෝතිපාලයන් පිළිබඳ ඇය කළ ප්‍රකාශයකි.

"හරි අහිංසකයි ඉතින්... අහිංසක කියලා දාන්න හොඳ නෑනේද බුද්ධාගමේ හැටියට."

"නෑ. එහෙම එකක් නෑ. අහිංසක කියන්නේ එහෙම වචනයක් නෙවෙයිනෙ?" මමය ඒ. ඒ සුන්දර ආරම්භයට නිශ්ශංකගෙන් බාධාවකි. "මේ ඔය හතරදෙනාද?" මට තරහකුත් එයි. ඈ සේයා රුව විස්තර කරයි.

"මේ ලොකු දුව වරුණි විලෝචිනී, මේ මෙයා අයෝනි රෙජිනා, තුන්වෙනියා එස්ටර්, හතර ක්‍රිෂ්ණි. අම්මෝ හොඳ වෙලාවට පුතෙක් නොහිටියේ. නැත්නම් මට පස්සෙන් දුව-දුවා ඉන්න වෙයි පුතේ පුතේ කිය කිය. හප්පොච්චියේ... ඒ ඔක්කොටම හරියන්න ඔය අපට එක්කෙනෙක් ඉන්නෙ ගජබා රජබා වගේ." සුජීගේ පුතු, චිරන්ත මුණුපුරා කාමරයේ සිටින බව දැනගෙනම ඇය පවසන්නේ උපහාසය මුසු හඬිනි. සුජී අක්කි බෙල්ල උරහිස් තුළ ගිල්වා නිහඬ සිනාවකින් කතාව දිග්ගැස්සීම නතර කරයි.

"අනික් ඔක්කොම මිනිබිරියො." බ්ලොසම් මහත්මිය පහදයි. මම යළි යෝජනා කරමි

"ඉතින් ඉතින් කොහොමද මුණ ගැහුණේ කියලා අහගමුකො"

"මම ඉතින් බෝඩිං ස්කූල් ඉඳලා විභාග පාස් කරලා නිකං ඉන්නවාට වඩා හොඳයි කියලා තමයි නර්සිං තෝරාගත්තේ. ඉට්ස් අ නෝබල් ප්‍රොෆිෂන් නො? (ඒක ගෞරවාන්විත රස්සාවක්නෙ)අපි හරි ජොලියෙන් හිටියා. පොඩි ළමයි නෙවේනෙ, අපි ඩියුටි ඕෆ්වෙලා ෂොපින් යනවා. ෂොපින් විතරක් නෙවේ අපි යනවා ඈතට- ඈතට. අපේ තාත්තලෑ ගෙවල් පැත්තට ට්‍රින්කො යනවා. හරි විනෝදයි. එහෙම ඉද්දි තමයි අපේ ජෝතිව හම්බුණේ. ෂර්ලි ෆර්නැන්ඩු කියලා හිටියා අපේ තව නර්ස් කෙනෙක්ගේ බෝයි ‍‍ෆ්‍රෙන්ඩ් කෙනෙක්. එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තමයි ජෝතිපාල. ඉතින් අපි හොස්පිට්ල් ලොබි එකේ හම්බෙනවා කතා කරනවා. බජාර් එකේ කට්ටිය එකට එළියට යනවා."

"එතකොටත් ජෝති මහත්තයා සින්දු කියනවාද?"

"එතකොට එහෙමටම සින්දු කියලා ජනප්‍රියයි කියලා එකකුත් නැහැ ඉතින්."

"කවුද දැන් මුලින්ම යෝජනාව කළේ?"

"එහෙම නැහැ ඉතින් කොහොම හරි ඔය ෂර්ලිලා එකතුවෙලා අපේ මහගෙදර කුච්චුවේලි ගිය වෙලාවක ඇහුවා. එතකොට නේන්නම් පප්පට කේන්ති ගිහින් දඟලන්න ගත්තේ."

"ඇයි අකමැති වුණේ මෙච්චර කෙනකුට"

"ඒ කාලේ එච්චර දෙයක් තිබුණේ නැහැ එයාට. පප්පලා ඉතින් වතුකාරයොනේ ගණන් ගන්නේ නැහැ කාවවත්. ඉංග්‍රීසි අතින්නේ පප්පලා හිතන්නේ. වින්ටර්ස්ලානෙ. ඒ වුණාට ග්‍රැන්පා බැඳලා හිටියෙත් හොඳ සිංහල උඩරට මැණිකෙ කෙනෙක් දසනායක මුඩියන්සෙලාගේ බන්දුමැණිකෙ කොටින්ම කියන්ඩ. එතකොට කොහොමද? ඒකෙන් මේකෙන් තමයි අපට චාන්ස් එක හම්බුණෙත්. (යමක් මතක් වූ සේ නළලට අත්ලෙන් ගසා හයියෙන් සිනාසෙමින්) හය්යෝ දෙයියනේ මේ කතා අහනකොට හිනාත් යනවා."

"පප්පගේ නම මොකක්ද?"

"ජෝර්ජ් වින්ටර්. ගලගෙදර ජෝජ් එස්ටේට්, පිලගොඩවැලි එස්ටේට් ඔය ඔක්කොම ඒගොල්ලන්ගේ. ඒවා බූදල් වුණා. ලක්ස හතරක් පප්පට. ඒ කාලේ (ඇය පවසන්නේ 1940 යුගයයි). මොන මෝඩ වැඩද පිරිමි ළමයින්ට සල්ලි දීලා ගැනු ළමයින්ට ඉඩකඩම් ලීවා. ඔය අරලිය ගහ මන්දිරෙත් පප්පලාගේ. මට මතකත් නැහැ හරියට."

සුජී අක්කි එය පැහැදිලි කරන්නට සැරසෙයි. "මිස්ටර් වයිට් කියලා මමීලගේ ග්‍රේට් ග්‍රැන්ඩ්ෆාදර් කෙනෙක් තමයි චැපල් එකකට ඒක ලියලා තියෙන්නේ. අන්තිමට දේශපාලනේ කරන අය චූටි චැපල් එකක් පැත්තකින් හදලා ඒක අරලියගහ මන්දීරය කියලා පාව්චියට අරගෙන. ඒකෙ පින්තූරයක් තිබුණා අපේ මල්ලි කෙනෙක් ගාව ඒ සීයා ඉඳගෙන ඉන්නවා එතන. අර සෙල්ලිපියක් වගේ තියෙන එකෙත් සීයා ගැන ලියලා තියෙනවා." ඒ කතාවෙන් පසු යළිත් ප්‍රේම පුරාණයට ඇය යයි.

"අනේ මන්දැන්නැ කොහොම වුණාද කියලා, ඔය ෂර්ලිලා ජෝතිලා එක්ක හොරෙන් එකතුවෙලා, රෙජිස්ටර් කන්තෝරු ගිහිල්ලා... හපොයි හපොයි මොන කරදරද වුණේ. ඊට පස්සෙ මොන කරදරද ඇති නොවුණේ. හිතපු නැති කරදර. මං හිතුවේ නැ අපි නං ගොඩ යයි කියලා. ඒ දවස්වල මම ගෙදර පැත්තට යන්න තියා හිතන්නෙත් නැ. පප්පට බයේ (ඇය කීවේ රහසිනි. දැන් පප්පාට ඇසේ යැයි මටද සිතේ. ඇය රඟපා පෙන්වන්නේ තුවක්කුවක් අතේ ඇති සැටියකි.) අයිල් ෂූට් දැට් බ්ලඩි බගර්. හූ ඉස් දැට් පාල? දිස් පාල-දැට් පාල (මම ඔය කාලකන්නියාට වෙඩි තියනවා. මොකාද ඔය පාල? අරපාල මේපාල)

ගගා පප්පා කියවනවා. ඉතින් කාට කියන්නද? අපේ පවුලේ හතයි. බෲස් අය්යා, බ්ලොසම් මම, ටාසන්, රොබට්, විලී, ටිස්ල්, ඩොරිස්. අපේ මහගෙවල් වුණත් කුච්චුවේලිවල හරි ලස්සනට හදලා තිබුණේ. ඊට පස්සේ පේන්නැද්ද දැං නාත්තණ්ඩියෙ අපි." ඇය අප සිනාගස්වන්නීය.

ඇයගේ කතාව සම්පූර්ණ කරන්නේ සුජී අක්කිය. "ඇයි මමී කොළඹට වඩා කොච්චර සනීපද මෙහෙ. හරිම නිස්කලංකයි. ඒත් අපි හිනාවෙනවා සැන්ටින් බාස් කිය කිය මහ ගෙවල් හදපු බාසුන්නැහේට. හැබැයි ගෙවල් හැම එකක්ම වගේ හරිම වාසනාවන්තයි. ඒවා හරිම ශක්තිමත් විදිහට ලොකූ උළුවහු දොර ජනේල දාලා හදලා තිබුණෙ. ඒත් කොටි ප්‍රශ්නෙන් පස්සේ වහලවල තිබුණු ලී කැලි පවා ගෙනියලා තිබුණා. වී මෝල් එහෙම බැකෝ ගෙනත් හාරලා තියෙන්නේ. හැබැයි මම පොඩි කාලෙත් අපට තිබ්බ ලොකු වතුර ටැංකිය තමයි පොලීසිය ගාව තාම තියෙන්නෙ. දැන් අවුරුදු පනහකටත් වැඩියි."

අතුරු කතා බොහෝමයක් මැදින් ප්‍රධාන කතාවට යළි එලැඹෙන්නට උත්සාහ කරමි.

මතු සම්බන්ධයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.