මගේ දේශපාලන මතය චිත්‍රාංගනීගේ චරිතයට අදාළ නැහැ

සුලෝචනා වීරසිංහ
ජනවාරි 31, 2019

මා හමුවන්නට පැමිණි තරුණිය දුරකතන ඇමතුමකය. මිනිත්තු කිහිපයක් ගත වූ තැන දුරකනය සවනින් මඳක් පහළට ගෙන ‘මට විනාඩියක් දෙන්න’ යැයි පැවසුවාය.

‘හරි හරි අවුලක් නැහැ. මට වෙලා තියෙනවා’

මම කීවෙමි. ඉතා ඉක්මනින් ඇය ඇමතුම නිමා කළාය.

ඔයා දන්නවද මුදු රංජිත් ද සිල්වා, අන්න එයා මේ කතා කළේ. ෆිල්ම් එක බලලා මගේ රඟපෑම ඉතාම ඉහළයි කියලා කිව්වා. ෆෝන් එක කට් කරන්න බැහැනෙ. ඒකයි ටිකක් වෙලා කතා කළේ, සොරි.

ඇයගෙන් මට නිදහසට කරුණු අවශ්‍ය නොවුණි. ඒ මන්ද යත් ඔවැනි ඇමතුම් ඇයට මේ දිනවලදී අනිවාර්ය නිසාය. ඇගේ රංගනයට ප්‍රශංසාවන් හිමි වුණාට කම් නැති බවට විශ්වාසය. ඒවා ඇයට ලැබිය යුතු දේවල්ය. ලැබෙන චරිතයන් අවබෝධයෙන් යුතුව රඟපාන අතළොස්සක් වූ නව පරපුරේ නිළියන් අතර පෙරමුණේ සිටින ඇය නමින් සුලෝචනා වීරසිංහය.

ගින්නෙන් උපන් සීතල සිනමාපටය අනුරුද්ධ ජයසිංහ තැනුවේ රෝහණ විජේවීරගේ චරිතය පදනම් කර ගනිමිනි. ඔහුගේ කැරැල්ලේ සාමාජිකාවෝ අඩු වැඩි වශයෙන් සිනමාපටයේදී දක්නට ලැබෙති. කෘතියට අනුව ඔවුන් සියල්ලට වඩා විජේවීරයන්ගේ සමීපතමයා වූයේ ඔහුගේ බිරිය වූ චිත්‍රාංගනියි. විජේවීර සිය චින්තනය නිවසින් පිටත පතුරුවද්දී නිවෙසෙහි රැඳෙමින් පවුල් සටනේ යෙදුණ ඇගේ සිත කොතරම් ශක්තිමත්දැයි විටෙක සිතෙයි. දරුවන් පස් දෙනකු හදා වඩා ගනිමින් තවත් දරුවකු කුස තුළ දරාගෙන නිහඬ අරගලයක නියැළු ණ ඇය විජේවීර නම් වූ අපූර්ව චරිතයට ඔරොත්තු දුන් අධිෂ්ඨානශීලී ගැහැනියකි. එවන් වූ චරිතයක් බාරදීමට අනුරුද්ධට වෙන කෙනෙකු නොවුණි. මනසෙහි මැවුණේ සුලෝචනාව පමණි. වර්තමානයේ ඇය සේවය කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ එළිමහනේ ඇති අඹ රුක් සෙවනැල්ල යට එක්තරා සන්ධ්‍යාවක සුලෝචනා හා මගේ මේ හමුවීම සිදු විය. කතාව පටන් ගත යුතු වන්නේ කොතැනින්ද. ඇය ජංගම දුරකතනය මඳ වේලාවකට ක්‍රියා විරහිත කෙරුවාය.

 

චිත්‍රාංගනී විජේවීර චරිතය තවමත් ජීවතුන් අතර ඉන්නවා. මනඞකල්පිත චරිතයක් නිරූපණය කරනවා වගේ නෙවෙයි. ඒක බැරෑරුම් කටයුත්තක්. එහෙම නේද?

අනුරුද්ධ අයියගෙන් මේ සඳහා ඇරැයුම් ලැබෙද්දී මං ප්‍රශ්න කළා ඇයි මාව මේ චරිතයට ගත්තේ කියලා. ලෙහෙසි පහසු චරිතයක් නෙවෙයි. ඇය විප්ලවවාදියකුගේ බිරියක්. චිත්‍රපටයේ මංගල දර්ශනය දවසෙත් මං ප්‍රශ්න කළා අනුරුද්ධ අයියෙ මේ චරිතයට වෙන ඔප්ෂන් එකක් තිබුණෙම නැද්ද කියල. චරිතයකට කෙනෙක් බැහැ කිව්වොත් වෙන ඔප්ෂන් එකකට යන්න පුළුවන්නෙ. ඒක ඔළුවෙ තියාගෙන තමයි නිර්මාණකරුවකු අර්ටිස්ලට කතා කරන්නේ. ඒත් අනුරුද්ධ අයියා කිව්වේ මේකට මාවම විතරයිලු මතක් වුණේ. ඔප්ෂන් නැහැ කිව්වා. චිත්‍රාංගනී විජේවීර මහත්මියගේ තරුණ කාලේ රුව මගෙන් දකින්නට ඇති. අනුරුද්ධ අයියගේ යකඩ පහන් තිර නාට්‍යයේ මං රඟපෑවා. හොඳම සහාය නිළිය හැටියට මා ඒ නිර්දේශ වන්නේ එකී චරිතය නිසා. අනුරුද්ධ අයියා එතැනදී මං පිළිබඳ අවබෝධ කර ගත්තා. අධ්‍යක්ෂවරයාට සෙන්ස් වෙන්නත් ඕනෑ චරිතයකට කතා කරද්දි.

 

ඔබට විජේවීර මහත්මිය හමුවන්නට අවස්ථාවක් ලැබුණද චිත්‍රපටයේ ඇගේ චරිතයහි ප්‍රතිනිර්මාණයට ප්‍රථම?

මම කිහිප සැරයක්ම උත්සාහ කළා ඇයව හමුවන්න. හැම අවස්ථාවකදීම මොකක් හෝ හේතුවක් නිසා මඟ හැරුණා. සමහර විට ඇයට ඒ ඒ මොහොතවලදී හමුවන්නට බැහැ කියලා හිතුණද දන්නේ නැහැ. දිගින් දිගටම උත්සාහ කළත් ඒ උත්සාහයන් බිඳ වැටුණු තැන මං වෙනත් මාර්ගයකින් ඇය පිළිබඳ දත්ත රැස් කළා. ඇය මුහුණ දුන් යම් යම් සිදුවීම්වලදී එතැන හිටි මිනිසුන් කවුද කියලා සොයා බලලා ඔවුන්ගෙන් විස්තර ගත්තා. ඒ ඒ අවස්ථාවලදී ඇය කොහොමද කටයුතු කළේ, හැසිරීම කොහොමද, කතා ස්වභාවය කෙසේද යන කරුණු දැනගෙන ඒවා චරිතයට ඈඳා ගත්තා. ඇය මුහුණ දුන්නෙත් සුන්දර අත්දැකීම්වලට නෙවෙයිනෙ. හරියට ගරිල්ලා චරිතයක් වගේ ඇය කටයුතු කළේ. ඇයට එතකොටත් දරුවො පස් දෙනකු හිටියා. බඩෙත් තව එක් කෙනෙක්. එක ගෙයක ඉන්න ලැබුණේ නැහැ. ගෙවල් මාරු කළා නිතරම. ඒවා හරි කටුක අත්දැකීම්. විශේෂයෙන්ම ගැහැනියකට.

 

කෙටියෙන්ම කිව්වොත් ඇය නිහඬ විප්ලවකාරිණියක්?

හරියටම හරි.

 

මේ මවගේ චරිතයට ඔබට කතා කරද්දී ඔබත් මවක් වූ අලුත. එක අතකින් ඔබට ලෙහෙසි වන්නට ඇති ඇතැම් හැඟීම් ප්‍රකාශනවලදී?

චිත්‍රපටයට මට කතාකරන කොට මගේ දියණියට මාස හතරයි. අධ්‍යක්ෂවරයාට මං කිව්වා දියණිය ගැන. කිසිම ගැටලුවක් නැතුව ඇයට සියලු පහසුකම් සපයන්නට ඔහු පොරොන්දු වුණා. ඒ ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ. මගේ මවත් එක්ක දුවවත් රැගෙන තමයි ෂූටිං ගියේ. මං වගේම මාස හතරේ දියණියත් ලොකු කැපකිරීමක් කළා. ඇයට නොතේරුණත් මං ඒ ගෞරවය ඇයට ලබා දෙනවා. ඔය කාලය වන විටත් මව් කෙනෙකු වීමේ අත්දැකීම විඳලා තිබුණු නිසා චරිතයට ප්‍රවිෂ්ඨවීමේ අති විශාල පහසුවක් මට ලැබුණා. සමහර හැඟීම් හදවතින්ම මට ඉදිරිපත් කරන්නට ලැබුණේ ඒ හින්දා කියලා විශ්වාසයක් තියෙනවා.

 

මෙම චිත්‍රපටයේ රංගනයේ නියැළීම නිසා ඔබත් ඒ පක්ෂයේ කෙනකු කියලා සම්ප්‍රදායික මතයක් ගොඩ නැඟෙන්නට පුළුවන්?

එහෙම ආදේශ කර ගත්තොත් ඒක මෝඩකමක් හැටියටයි මං දකින්නේ. මටත් දේශපාලන මතයක් තියෙනවා. ඡන්ද අයිතියක් තියෙනවා. මෙතෙන්දි මං කළේ මාගේ වෘත්තීය රාජකාරියක් පමණයි. දැන් හිතන්න මං ගණිකා මඩමක අයිතිකාරියකගේ චරිතයක් කරනවා කියලා. මං ඇත්තටම ගණිකා මඩමක අයිතිකාරියක් වෙනවද. නැහැනෙ. හුදෙක්ම එය නිරූපණයක් පමණයි. චරිතයක් චරිතයක්ම පමණයි කියලා මිනිස්සු අවබෝධ කරගන්න ඕනෑ. මගේ දේශපාලනය වෙනම තිබිය දෙන්. ඒක වෙනයි. මේක වෙනයි.

 

දක්ෂ රූපණවේදිනියක් වෙලත් ඇයි ඔබ අඩුවෙන් රංගනයේ යෙදෙන්නේ. ආරාධනා සීමිතද? නැතිනම් ඔබ බෙදා වෙන් කරගත් අධ්‍යක්ෂවරුන් යටතේ පමණද රඟපාන්නේ?

නිර්මාණවලට කතා කරනවා. යන්න ලැබෙන අවස්ථා අඩුයි. චරිතය ඇතුළේ පෙනී සිටීම නෙවේ. රඟපාන්න දෙයක් තිබිය යුතුයි. මං මේ කියන්නේ මට ප්‍රධාන චරිත ඕනෑ කියලා නෙවෙයි. තන්හා රති රඟා චිත්‍රපටය බලන්න. මං එහි කුඩා දර්ශන කිහිපයකට හිටියේ. නමුත් ඒකේ මට කරන්න දෙයක් තිබුණා. මං අන්තිමයට රඟපෑවේ ලලිත් රත්නායකගේ වන්වේ නාට්‍යයේ. අවුරුදු තුනකට පසුවයි ආයේ නාට්‍යයක් බාර ගත්තේ. පහුගිය කාලේ අපට කළ ගෙවීම එහෙමත් අඩු වුණා. වැඩකට කතාකරද්දී කතාව පටන් ගන්නෙම මේක ලෝ බජට් වැඩක් කියලා. මටත් සල්ලි ප්‍රශ්න තියෙනවා. නැතුව නෙවෙයි. නමුත් මං ලාභ වෙන්න සූදානම් නැහැ. අනිත් අය ලාබ වෙනවටත් මං කැමැති නැහැ. නළු නිළියන් කියන්නේ එහෙම විය යුතු අය නෙවෙයි. වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන වටිනාකමකින් යුතු මිලක් මං හදාගෙන තියෙන්නේ ඒ හින්දයි.

 

සවස හතෙන් පසුව පුංචි තිරය නරඹද්දී ඔබට මොන වගේ හැඟීමක් ද හිතට එන්නේ? විශේෂයෙන්ම අද හැදෙන ටෙලි නාට්‍ය ගැන?

එකක් දෙකක් හැර අනෙක් නිර්මාණ දකිද්දී හිතට කනගාටුවක් ඇති වෙනවා. ඉතා දීර්ඝ පිටපත් තුළින් නාට්‍ය බොරුවට ඇදෙන සම්ප්‍රදායක්නෙ තියෙන්නේ. වෙලාවකට හිතෙනවා මිනිස්සු බලනවට දෝ මේවා හදන්නේ කියලා. කවියක් හෝ වේවා පොතක් හෝ වේවා, ඊට පරිබාහිරව නිර්මාණයක් හෝ වේවා ඒ තුළින් මිනිසුන්ගේ සිත් ප්‍රකම්පනය කළ යුතුයි. එතකොටයි එය සදාකාලික නිර්මාණයක් වන්නේ. බලන්න ඉස්සර නාට්‍ය අපි කොච්චර සතුටින් රස වින්දද කියලා. ඒවාහි තිබෙන ගුණාත්මකභාවය නිසයි එහෙම වුණේ. අද වෙලා තියෙන්නේ මොකක්ද. අපේ වයසේ අයත් ලොකු ළමයි ඉන්න අම්මලා තාත්තලාට රඟපානවා.

 

ඔබේ රැහේ උන් වෘත්තීය නළු නිළියො වෙද්දී ඔබ රජයේ රැකියාවක් කරන්නට පෙළඹෙනවා?

කිසි දිනෙක රැකියාවක් කරන මතයක නෙවෙයි මං හිටියේ. කැලණිය කැම්පස් එකෙන් උපාධිය අරගෙන වසර ගණනාවක් මං නිළියක විදිහට කටයුතු කරමින් සිටියා. මගේ තාත්තට වුවමනාව තිබුණා මාව රැකියාවකට යවන්න. රඟපානවට ඔවුන් විරුද්ධ වුණේ නැහැ. රැකියාවක් තියෙනවා නම් ස්ථාවරයි කියලා කිව්වා. කාගෙන්වත් බලපෑමක් නැතුව මගේම සුදුසුකම්වලින් තමයි මේ රැකියාවට ආවේ. මේ යන විදිහ හොඳයි කියලා හිතෙනවා.

 

සම්ප්‍රදායික නොවන නිළි චරිතයක් ලෙස ඔබ ප්‍රකටයි. ඇතැම් අවස්ථාවලදී අභියෝගාත්මක චරිත නොපැකිල ඔබ බාර ගන්නවා?

මං තුළ සාම්ප්‍රදායික කාන්තාවක් ඉන්නවා. ඒ කෝණය ඔස්සේ මගේ වෘත්තීය ජීවිතය දෙස බලන්නේ නැහැ. අභියෝගාත්මක චරිත බාරගන්නේ මට රඟපාන්න දෙයක් තිබෙන නිසයි. ලිංගික දර්ශන වුණත් ඒක චිත්‍රපටයට අදාළ නම් නිළියක් විදිහට වෘත්තීය කළාට වරදක් වෙන්න බැහැනෙ. නමුත් බලෙන් ඔබ්බවන දර්ශන ඇතුළත් චිත්‍රපට නම් මං බාර ගන්නේ නැහැ. අප ජීවත් වන්නේ සම්ප්‍රදායික චින්තනයක් සහිත මිනිසුන් ඉන්න රටක. ඇතැමුන් නිකනුත් සම්ප්‍රදායිකයි. ඒක මිනිස්සුන්ගේ අවුලක්. තමන් අවුලක කියලා තමන්ට තේරෙන්නේ නැහැ. ඒක තමයි මට පේන්න තියෙන ලොකුම අවුල.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.